දෙක ගොන්නු සහ තුන හරක්!
Posted on December 24th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කරපු අයවැය විස්තරය අහගෙන ඉන්න එක ලේසි නෑ. අපේ හැමෝ ම වගේ මේ ලේඛකයාත් ඒක අහන ගමන් හිනාවෙන්න පටන්ගත්තා. ඒ අමාරුවෙන් හරි ඒ හිනාව පාලනය කරගත්තා. තව කාලයක් ජීවත්වෙන්න හිතාගෙන ඉන්න හින්දා පපුවට වැඩිය වදදෙන්න හොඳ නෑ. ඒ කොහොම වුනත්, මේ නෝනා කියපු සංඛ්‍යා ගැන හිතලා බලන එක වටිනවා. අපි මුලින් ම, ඒ සංඛ්‍යාවලින් ටිකක් සළකා බලමු.

…රුපියල් මිලියන හාරදහස් පන්සිය තිස් දෙකයි එක්දාස් පන්සීයක්, … රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනවයයි හයසිය පනස්දාහක්, … හැත්තෑහය මිලියන අටසිය පනස් දහසයයි, … හැත්තෑ හත් මිලියන හතළිස් දහයයි, … එක් බිලියන විසිහය මිලියන දෙසිය අනූ දහසයි, … එක් බිලියන එකසිය හතර මිලියන තුන්සිය අනූ දහසයයි, … පන් බිලියන තුන්සිය හැත්තෑ හතර මිලියන නවසිය හැත්තෑහත නව දහසයයි, … පන් බිලියන අටසිය දහහත් මිලියන නමසිය එකළොස් දහසයයි, … තුන්සිය හැට එක් මිලියන පන්සිය විසි හය දහසයයි, … තුන්සිය පනස් හතර මිලියන හාරසිය විසි හතර දහසයයි, … තිස් හත් මිලියන පන්සිය දෙදහසයි, … විසි මිලියන හයසිය විසි දෙදහසකි. … දෙසිය තිස් හතර මිලියන හත්සිය හැත්තෑ හත් දහසයි, … දෙසිය පනස් හතර මිලියන නමසිය හතළිස් දහසයයි, … එකොළොස් බිලියන හයසිය හතළිස් තුන් මිලියන හයසිය විසි හතර දහසකි, … දොළොස් බිලියන තුන්සිය හතළිස් අට මිලියන නමසිය හැත්තෑ හත් දහසයි. …”

මේ ගණන් හිලව් කියන්න ගිහිල්ලා බර්නඩීන් රෝස් නෝනා වැරැදි කීපයක් කළා. අපේ සිංහල ක්‍රමයට අනුව ගණන් කරද්දි අනූ නව දහස් නවසිය අනූ නවයට පස්සේ ලක්‍ෂය කියලා එකක් තියෙනවා. රෝස් නෝනා ඒක අමතක කළා. ඊට පස්සේ අනූ නව ලක්‍ෂ අනූ නව දහස් නවසිය අනූ නවයට ආවට පස්සේ කෝටිය කියලා එකක් තියෙනවා. රෝස් නෝනා ඒකත් අමතක කළා. එහෙම කරලා ඒ මැද්දට මිලියන, බිලියන දැම්මා. මිලියන, බිලියන, ට්‍රිලියන කියන වචන අපිට ආගන්තුක හින්දා පන් බිලියන, දොළොස් බිලියන වගේ ගණන් හිලව් අපිට දිරවාගන්න අමාරුයි.

ඉංග්‍රීසි සංස්කෘතියක ඉපැදිච්ච නෝනා කෙනෙක් සිංහල කියද්දි මෙහෙම වෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්. කොළඹ කියලා කියන්නේ කොහොමත් සිංහල මිනිස්සුන්ගේ නගරයක් නෙවෙයිනේ. මේ නගරයේ අදටත් සිංහල මිනිස්සු ඉන්නේ සීයට විස්සකටත් අඩු ප්‍රමාණයක්. කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවියට ගියත් මේ ගැන දැනගන්න පුළුවන්. හදිසි ඇමැතුම්වලට අදාළ දුරකථන අංක තියෙන සබැඳිය ඒ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන්නේ හදිසි ගණන්” කියලා. සභාව අමතන්න කියන එක සඳහන් කරලා තියෙන්නේ ඇමතුම් සභා” කියලා. ඒ අයට සිංහල වැඩක් නෑ. ඉතින් මේවා ගැන දොස් කියන එකේ තේරුමක් නෑ.

ඒ හින්දා, මේ නෝනාගේ කතාවට හිනාවෙවී ඉන්නේ නැතුව අපිට පුළුවන් සිංහල අපි ගණන් හිලව් කියන විදිහ ගැන හිතලා බලන්න. සිංහල අපි බොහෝ වෙලාවට ගණන් හිලව් කියන්නේ අනිත් භාෂාවල තියෙන විදිහට නෙවෙයි. මේ වැඩේට අපිට ම ආවේනික ක්‍රමයක් තියෙනවා. අපි මුලින් ම ඒ ක්‍රමය ගැන හොයලා බලමු.

මොකක් හරි ඒකකයක් එක්ක ගණනක් කියද්දි අපි මුලින් කියන්නේ ඒකකය. ගණන කියන්නේ ඊට පස්සේ. උදාහරණ කීපයක් කියලා මේක පැහැදිළිකරන්න පුළුවන්.

ඉංග්‍රීසියෙන් ටෙන් රුපීස් කියන එක දෙමළෙන් පත්තු රුපායි කියනවා. ඒක හින්දි භාෂාවෙන් කියන්නේ දාස් රුපියා කියලා. මේක චීන භාෂාවෙන් කියන්න පුළුවන් ෂී ක්වයි ලුපී කියලා. මේ හැම කෙනෙක් ම ගණන කලින් කියනවා. ටෙන්, පත්තු, දාස්, ෂී කියන ගණන් දිහා බලන්න. ඊට පස්සේ තමයි ඒකකය කියන්නේ. රුපීස්, රුපායි, රුපියා, ලුපී කියන ඒකක භාවිතය ගැන බලන්න. ඒත් සිංහල අපි මේ වැඩේ කරන්නේ අග මුල මාරුකරලා. අපි මුලින් කියන්නේ රුපියල් කියන එක. දහයයි කියන එක කියන්නේ පස්සේ.

මේක නැවතත් බලන්න.

ටෙන් රුපීස්

පත්තු රුපායි

දාස් රුපියා

ෂී ක්වයි ලුපී

රුපියල් දහයයි

සල්ල ගණන් විතරක් නෙවෙයි. තව වැඩවල දි අපි මේක කරනවා.

ටූ හවුස්, පයිව් කිලෝ මීටර්, සෙවන් පීපල් කියන ඒවා සිංහලෙන් කියන්නේ ගෙවල් දෙකයි, කිලෝ මීටර් පහයි, මිනිස්සු හතයි කියලා. දෙමළ, හින්දි, චීන භාෂාවල කියන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන් කියන විදිහට ම තමයි. මුලින් ගණන කියනවා. ඒ ගණනින් ගණන් කෙරෙන දේ ඊට පස්සේ කියනවා. ඒත් අපි මුලින් ගණන් කරන දේ කියනවා. ඊට පස්සේ ගණන කියනවා.

මේ අපේ භාෂාවේ අනන්‍යතාව පෙන්නන හරි අපූරු භාවිතයක්.

හැබැයි විශාල සංඛ්‍යා ඉහළට කියාගෙන යද්දි අපිත් මුල් තැන දෙන්නේ ලොකු සංඛ්‍යාවට. ඊට පස්සේ අඩුවෙන ක්‍රමයට අනිත් සංඛ්‍යා කියනවා. අපේ භාෂාවේ විශේෂ වචන යෙදෙන්නේ එකස්ථානය, දසස්ථානය, සියස්ථානය, දහස්ථානය, ලක්‍ෂස්ථානය, කෝටිස්ථානය කියන තැන්වලට. කෝටියෙන් පස්සේ ප්‍රකෝටිය, කෝටිප්‍රකෝටිය, නහුතය, නින්නහතුය වගේ යෙදීම් මහ ගොඩකුත් අපේ භාෂාවේ තියෙනවා.

එකස්ථානයේ යෙදෙන්නේ එක, දෙක, තුන, හතර කියන වචන. දසස්ථානයේ එකොළහ, දොළහ, පහළොව කියන වචන තුන අරුනාම දහ (දා), විසි, තිස්, හතළිස්, පනස් වගේ වචන යෙදෙනවා. එකසිය, දෙසිය, තුන්සිය, හාරසිය වගේ වචන සියස්ථානයේ යෙදෙනවා. එක්දාස් (එක් දහස්), දෙදාස්, තුන්දාස්, හාරදාස්, විදිහට අනූනවදාස් දක්වා දහස්ථානයේ වචන යෙදෙනවා. ඊට පස්සේ යෙදෙන්නේ ලක්‍ෂස්ථානයට අදාළ වචන. එක් ලක්‍ෂ, දෙ ලක්‍ෂ, තුන් ලක්‍ෂ විදිහට අනූනව ලක්‍ෂ දක්වා ඒ වචන යෙදෙනවා. ඊට පස්සේ එන්නේ කෝටිය. එක්කෝටි, දෙකෝටි, තුන්කෝටි කියන විදිහට නවසිය අනූනව කෝටිය දක්වා අවුලක් නැතුව කියන්න අපිට පුළුවන්.

හැබැයි ඊට පස්සේ අවුලක් මතුවෙනවා. මොකද ප්‍රකෝටිය කියන්නේ කෝටියේ ඒවා කෝටියකට. ඉතින් නවසිය අනූ නව කෝටි අනූ නව ලක්‍ෂ අනූ නව දහස් නව සිය අනූ නවයට පස්සේ කියන්නේ මොකක්ද කියලා අපිට හිතන්න වෙනවා. මේ ලේඛකයාට හිතෙන විදිහට එතැනින් ඉස්සරහට එක්දහස් කෝටි, දෙදහස් කෝටි වගේ ඒවා කියන එක එච්චර ගැලපෙන වැඩක් නෙවෙයි. මෙතැනට අලුත් වචනයක් ඕන.

ඉස්සර කාලේ ඉඳලා ම අපි මහා විශාල සංඛ්‍යා ගැන කතා කළා තමයි. සංසාරය ගැන කියද්දි අසංඛ්‍යය වගේ මහා විශාල සංඛ්‍යා ගැනත් කියනවානේ. අහසේ තියෙන තරු ගැන කියද්දිත් මහා ලොකු සංඛ්‍යා කියන්න පුළුවන්. ඒත් මේ ලොකු සංඛ්‍යා හරියට ම – ඒ කියන්නේ අන්තිම ඉලක්කම (එකස්ථානය) දක්වා කියන්න උවමනාවක් නෑ. සාරාසංඛ්‍ය, විසි අසංඛ්‍ය විදිහට කිව්වාම ඇති. ඒත් අයවැයක් ඉදිරිපත් කරද්දි, මුදල් ගනුදෙනු ගැන කතාකරද්දි එහෙම බෑ. ඒවා අන්තිම සතය දක්වා ම කියන්න ඕන.

දැන් කෙරෙන විදිහට මහා විශාල ගණන් හිලව්වලින් මුදල් ගනුදෙනු කියන ක්‍රමයක් අපේ භාවිතයේ තිබුණේ නෑ. අසූ කෙළක් ධනය තියෙන අය ගැන අපේ කතාවල තියෙන බව ඇත්ත. ඒත් ඒවා අන්තිම ඉලක්කම දක්වා ම කියලා නැහැනේ. ඉතින් මේ ලේඛකයා හිතන විදිහට නවසිය අනූ නව කෝටියෙන් පස්සේ බිංදු දහයෙන් පටන් ඇරගෙන කියන්නත් බිංදු දොළහෙන් පටන් ඇරගෙන කියන්නත් අලුත් වචන දෙකක් හදාගන්න එක වටිනවා. මේක අපේ බස් වඩුවෝ කරන්න ඕන වැඩක්.

බිංදු දහයක් තියෙන සංඛ්‍යාවට කියන්නේ මහසය කියලා හිතමු. එහෙම වුනොත් නවසිය අනූ නව කෝටි අනූ නව ලක්‍ෂ අනූ නව දහස් නව සිය අනූ නවයට පස්සේ එන්නේ මහසය. ඊට පස්සේ එක්මහස්, දෙමහස්, තුන්මහස් විදිහට ගණන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට වචනයක් හදාගන්න පුළුවන් නම් රෝස් නෝනා කියපු දොළොස් බිලියන තුන්සිය හතළිස් අට මිලියන නමසිය හැත්තෑ හත් දහසයි” (12,348,977,000) කියන එක අපිට කියන්න පුළුවන් එක් මහස් දෙසිය තිස් හතර කෝටි අසූ නව ලක්‍ෂ හැත්තෑ හත් දාහයි” කියලා.

මෙතැන මහසයක් කියලා කියන්නේ බිලියන දහයකට. ඉතින් බිලියන පනහකට පස් මහසයක් කියලාත්, බිලියන සියයකට දසමහසයක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගණන් කරගෙන, ගණන් කරගෙන ගිහිල්ලා අනූ නව මහස් නවසිය අනූ නව කෝටි අනූ නව ලක්‍ෂ අනූ නව දහස් නව සිය අනූ නවයට ආවට පස්සේ ලැබෙන බිලියන දහස (ඒ කියන්නේ ට්‍රිලියනය) කියන සංඛ්‍යාව කියන්න අපිට තවත් වචනයක් හදාගන්න වෙනවා. ඒ හදාගන්න වචනය මෝතිය නම් මෝති සීයක් කියලා කියන්නේ ප්‍රකෝටියට. ඒ කියන්නේ ට්‍රිලියන සීයකට. ප්‍රකෝටිය කියන එක කටට හුරු හිංගල වචනයක් බවට පත් කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊට පස්සේ නම් ආයෙත් කල්ප ගාණකට අලුතින් වචනයක් හදන්න ඕන වෙන එකක් නෑ.

කොහොම වුනත් කොළඹ මහ නගර සභාවේ සීමාවේ රැඳිලා ඉන්නේ නැතුව මුළු රටට ම බලපාන විදිහට මන්ත්‍රීකම්, ඇමැතිකම් ගන්නත් බලාපොරොත්තු වෙන හින්දා සිංහලෙන් ගණන්කරන්න ඉගෙනගන්න එක රෝස් නෝනාට වටිනවා. අපේ භාෂාවේ ගොන් බානක්, දෙබානක් වගේ වචනත් තියෙනවා. එක හරකෙක්, හරක් දෙන්නෙක් වගේ යෙදීමුත් තියෙනවා. එක හරකෙක් නොකියා හරකෙක් කිව්වත් ඇති. ඒත් ඉස්සරහින් එක කියන වචනය එකතු කළා ම පොඩි ගතියක් තියෙනවා. ඕන නම් එකමත් එක හරකෙක් කියලාත් කියන්න පුළුවන්.

දෙවැදෑරුම්, සිව්වැදෑරුම්, දස වැදෑරුම් වගේ යෙදීමුත් තියෙනවා. දෙජාතියක්, තුන් ජාතියක් වගේ යෙදීමුත් තියෙනවා. ඉතින් අපේ රෝස් නෝනාට පුළුවන් විවේක වෙලාවකට මේවා කියවලා පුරුදුවෙන්න. මේ අභ්‍යාසය පටන්ගන්න තැනකුත් කියලා දෙන්න පුළුවන්. මේක බොහොම බලගතු මන්තරයක්. කාන්තාවන්ට හොඳින් ම ගැලපෙනවා. එක දිගට දහ වතාවක්වත් කියන්න බලන්න.

රතු චීත්ත දෙජාතියයි. රතු චීත්ත දෙජාතියයි. රතු චීත්ත දෙජාතියයි. …”

අත් දුටුවයි! ප්‍රත්‍යක්‍ෂයි!!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

iamwaruna@yahoo.com

2018 දෙසැම්බර් මස 24 වැනි දා

5 Responses to “දෙක ගොන්නු සහ තුන හරක්!”

  1. Geeth Says:

    මරු, කියල වැඩක් නෑ. හරි අහිංසක විහිළුවක්. හැබැයි හරි වටිනවා. අර අන්තිමට තියන අභ්‍යාසය මන් හිතන්නේ හුඟක් අයට අමාරු වේවි. රෝසි සිංහල elocution class යන්ඩ පටන්ගත්තාම, රෝසි ගාවට මෙච්චරකල් සිංග්ලිෂ් කතා කරන්ඩ ඉගෙන ගන්ඩ බලාගෙන singlish elocution class ආපු සිරසේ නිවේදකයෝ වගේ අය මාර අමාරුවක තමයි වැටෙන්නේ.

  2. aloy Says:

    When the whole world except US has gone metric why not we?.

    Express the figure given above as follows:

    “dolos billiana thunsiys hathalis ata miliyana navasiya heththa hath daahai”.

    No confusion. We have retained our sinhala style.

    Anyway, I like Dr. Waruna’s style of writing Sinhala.

  3. aloy Says:

    Sorry,
    “Rupial dolos billiana ……. “

  4. Christie Says:

    Fourth; Sacred Cows!

  5. Ancient Sinhalaya Says:

    She was given the job by traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya
    walking crime bomb (against Sinhalese Buddhists, Buddhism and Sri Lanka only) Batalande wandakaya pol pot
    r@nii-leech wickrama Sinhala killer after she publicly said Buddhism should be banned in Sri Lanka. That qualified
    this woman with no brain to become the mayor of Colombo. As soon as this moron became the mayor, the first
    job was to remove the 150-year old Buddha statue from the town hall. Buddhist bashing, Buddism bashing Sri
    Lanka of course these people get the priority under the die hard catholic token Buddhist Batalande Wandakaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress