ඉන්දියන් ටෙලි නාටක සමහ පේවී පෙන්නාවි කුසුමාසන දේවී
Posted on December 28th, 2018

මතුගම සෙනෙවිරුවන්

         මෙරට රූපවාහිනී නාලිකා මගින් ඓතිහාසික කතා ඇතුලත් ටෙලි නාටක පෙන්වීමට උනන්දු වී තව වැඩි කලක් ගතව නොමැත. උතුරේ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව ඇතිවූ ජාතික අභිමානන ප්‍රවණතාවය මීට හේතු විය. මෙම ඓතිහාසික කතා පුවත් පිළිබඳව ඉල්ලුමක් ඇති නිසා නිෂ්පාදකයන් ගේ නැඹුරුතාවයක් ඇති වන්නට ඇත. කෙසේ වුවත් මේ උනන්දුව සමග මෙරට ඉතිහාසය සමග බද්ධ වූ විශේෂිත කතා මාලා කීපයක් පසුගිය කාලයේ දී නිෂ්පාදනය වූ බව දැක ගන්නට හැකිය.මෙහි නවතම කෘතිය කුසුමාසන දේවීයයි. දාසය වන සියවසේ කෝට්ටේ සීතාවක සහ සෙංකඩගල මහනුවර අතර දෝලනය වූ බල අරගලය මෙයට පසුබිම් වෙයි.

    ටෙලි නාටකයට හෝ සිනමාවට ඓතිහාසික කතා පුවත් භාවිතා කරලීම අලුත් දෙයක් නොවේ. සිංහල සිනමාවේ ප්‍රකට ප්‍රබන්ධ පුවතක් වූ  ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සංදේශය එකල අතිශයින් ජනප්‍රිය විය. කඩුල්ල බෝගල සවුන්දිරිස් වැනි ඓතිහාසික ටෙලි නාටක ද්වීත්වය දහනව වන සියවස පසුබිම් කරගත් කතා පුවත් රැගෙන පැමිණි කලාත්මක ගණයේ නාටක දෙකක් විය.මෙවැනි නාට්‍යකරණයකදී මුළු ඓතිහාසික කතාවම නොකියා යම් යම් සංසිද්ධි පසුබිම් කරගෙන ප්‍රබන්ධ කරණයට පිවිසීම බහුලව යෙදේ. ප්‍රේමකතා වීර කතා මේවාට ඇතුලත් වන්නේ එලෙසය. එහෙත් සම්පූර්ණ ඓතිහාසික පුවතම දිග හරිමින් යම් නිර්මාණයක් කිරීමේදී මෙයට වඩා ඉතා පරිස්සමින් නාටක කරණයට ප්‍රවිශ්ට විය යුතුය. එයට හේතුව මහාවංශය චූල වංශය ඇතුළු වංශ කතා ප්‍රවෘත්තින් තුළ ඉතා විස්තරාත්මකව එවැනි කතා අනතර්ගතව තිබීමයි. කුසුමසාන දේවියට පසුබිම් වන කෝට්ටේ යුගය ඉතිහාස මූලාශ්‍ර බලහු යුගයකි. එක් අතකින් රාජාවලිය අලකේශවර යුද්ධය  රාජසිංහ රාජ්‍ය කාලය සීතාවක හටන රජ්ජුරු බණ්ඩාර අස්තාන ගේ ජන්ම පත්‍රය වැනි පුස්කොළයෙන් ලියැවුණු ග්‍රන්ථයන්ද ක්වේරෝස්  වැලන්ටයින් බල්දෙයස් වැනි පුරාවෘත්ත රචකයන් ගේ තොරතුරු ඇතුලත් ග්‍රන්ථයන්ද මේ විස්තර සැපයීමට සූදානම්ව සිටී. මේවා පරිස්සමින් පරිහරණය කරන තිර රචකයෙකු ඉතිහසයට පටහැනි නොවන ආකාරයට ඒවායින් පුවත් තොරා බේරා ගැනීමට දක්ෂ වෙයි. එසේ නැතහොත් එහෙන් මෙහෙන් පුවත් තෝරා ගෙන සම්පූර්ණ ඉතිහාස පුවතම විකෘති කිරීම සිදු කෙරේ. මේ දෙවනි තත්ත්වය ඉතා හානිදායක වෙයි. අනුරාධපුර යුගය වැනි මූලාශ්‍ර බහුල නොවන  යුගයකට අදාල කතා පුවත් මැවීමට අතිරේක ප්‍රබන්ධ වැඩි පුර ප්‍රමාණයක් යොදා ගත හැකි නමුත් නිශ්චිතව සටහන්ව ඇති  චරිත ඇතුලත් ඉතිහාසයක් යලි ප්‍රති නිර්මාණයේදී එහි සීමාවන් හඳුනාගැනීමට සිදු වේ.

    පසුගිය කාලයේ දී රූපවාහිනී තිරයේ ප්‍රදර්ශනය වූ හඬ කවන ලද කොරියානු ටෙලි නාටක පෙළ අතර වන සුජාත දියණි අභීත දියණී ඉසිවර වෙදැදුරු යහපත් මහරජ සිහිනකුමරා සිරිමැටි සිත්තරාවි වැනි නාටකයන්ද ප්‍රදර්ශනය නොවූ සයිම්ඩාන්  වැනි ඓතිහාසික ටෙලි නාටකයන් දෙස විමර්ශණ ශීලි ව බලන කල්හි කොරියානු ඉතිහාසයේ විවිධ යුග සහ ජනතා ක්‍රියාකාරකම් කෙතරම් හොඳින් අධ්‍යනය කර ඇත්දැයි සිතා ගත හැකියි. එහි චරිත හොබවන ඓතිහාසික පුද්ගලයන් ගේ චරිත වලට හානි නොවන පරිදි පෞරුෂය ට හානි නොවන පරිදි  ඒවා නිර්මාණය කර තිබීම විශේෂයක් විය. මේ අධ්‍යනයන් සඳහා දැඩි වෙහෙසක්ද නිෂ්පාදනයේ දී අධික පිරිවැයක් ද යොදන්නට සිදු වීම ස්වභාවිකය. නමුත් එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ රටේ ජනතාවගේ ඉතිහාසය පිළිබද අභිමානයක් ජනිත වීමයි. ඓතිහාසිකව අපගේ මහාවංශ රචානා කරුවන්ද කර ඇත්තේ එයයි. ලෝකයේ ඉතිහාස කරුවන් විවිධ රාජ්‍ය වල රාජාවලිය ගැන පමණක් තොරතුරු දක්වන විට දී මහාවංශ රචක මහානාම හිමියන් සිංහල සමාජයට මග පෙන්වූ  බෞද්ධ පසුබිමට වැදගත් තැනක් දෙමින් කතා පුවත් විකාශනය කරයි. අපගේ වංශ කතාවන්හි වෙනස එයයි.

       කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා නාටකය මූලික වශයෙන් ඇගේ චරිතය පමණක්  විචිත්‍රවත් කරන්නක් නොවේ. සමකාලීනව දේශපාලනය තුළ සිටින ප්‍රකට චරිත වන ධර්මපාල රජු කරලියද්දේ බණ්ඩාර වීරසුන්දර බණ්ඩාර යමසිංහ බණ්ඩාර සීතාවක රාජසිංහ සහ කොනප්පු බණ්ඩාර දෙනවක මායාදුන්නේ සහ ඌවේ වීදිය බණ්ඩාර යන චරිත වටා දෝලනය වෙමින් ගොතන්නකි. එවිට මෙම ඓතිහාසික චරිත වලට යම් සාධාරණයක් ඉටු කරලීමට අධ්‍යක්ෂක වරයාට සහ තිර රචක වරයාට සිදු වෙයි. නමුත් මේ නාටකය තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය ව නැත. උදාහරණයක් ගතහොත් දෝන කතිරිනා චරිතය ඇගේ හැසිරීම් වයස ඇඳුම් පැළඳුම් හ ඇගේ පරපුර පිළිබඳව කෙරෙන විග්‍රහයේදී නාටක කරුවන් සම්පූර්ණ යෙන්ම නොමග ගොස් තිබෙන  බව පෙනේ. කුසුමාසන දේවිය කීරවැල්ලේ කුමරියක් නොවේ. ඇගේ මව වූ ගලගම අදසින් සූර්වංශික දාපුළුසෙන් පරපුරට අයත්ය. කරලියද්දේ රජු සවුළු ලේනව පරපුරට අයත්ය. නමුත් කරලියද්දේ රජු ගේ මව අයත් වන්නේ කීරවැල්ලේ පරපුරටයි(දෙවන ජයවීර ගේ බිසව ). එවිට කුසුමාසාන දේවියට රජකම උරුම වන්නේ ලේනව පරපුරෙන් ලැබුණ රජකීය උරුමයෙනි. කොනප්පු බණ්ඩාරයන් ට ඇයව විවාහ කරගන්නට සිදු වන්නේ මේ රාජකීය උරුමය තහවුරු කරගන්නටයි.නාටකයේ දී මේ ඉතිහාස පුවත විකෘති කර තිබේ. එසේම දෙනවක මායාදුන්නේ චරිතය ගෙන බලමු. ඔහු ඉතිහාසයේ ප්‍රකට චරිතයක් නොවේ. නමුත් රාජකීය උරුමය ඇති සිංහල කුමාරවරු අතර අවසාන පුරුකක් ලෙසට ඉතිහාසය විසින් අපට දක්වා ඇත. එය සිදු වන්නේ කරලියදදේ රජු ගේ බිසව වූ ගලගම අදසින් කුමරිය ගේ සොයුරු ගලගම කුමරු නොහොත් යකරජු  දෙනවක මායාදුනේ ගේ පියා වීම නිසයි.යකරජු වනාහි මන්නාරම පාලනය කළ සේතුපාල බණ්ඩාරයන් ගේ පුත්‍රයාය. ඒ අරුතින් දෙනවක කුමරු කුසුමාසන කුමරිය ගේ ඇවැස්ස මස්සිනාය. ඔහුට රාජකීය උරුමය අළුතින් තහවුරු කරලීමට අවශ්‍යතාවයක් නැත. විමලධර්ම සූරිය රජු ඔහුගේ අවසාන කාලයේ දී දෙනවක කුමරුට  ප්‍රධාන සෙනවිරත් ධූරයද ලබා දී ඇත.  විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසුව ඔහු දෝනකතිරිනා ගේ දුවණියන් දෙදෙන සමග එක් වී නව රජ පරපුරක් තැනීමට වෑයම් කරයි. නමුත් පරංගීන් සහ සෙනරත් විසින් ඇති කළ ප්‍රතිවිප්ලවය නිසා (කුන්ස්තන්තීනු හටන ) දෙනවක මායාදුන්නේ කුමරු චෝල දේශයට පලා ගිය  බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම පුවතේ අනෙක් චරිතය වන ඌවේ වීදිය බණ්ඩාර යනු දෙවන ජයවීර රජුගේ  සම්පාල බිසව ගේ මුණුපුරෙකි.සෙනරත් විසින් ඔහුව කිරිච්චියකින් ඇණ මරා දමන්නේ ඔහුටද රාජකීය උරුමයක් තිබෙන බැවිනි.

      නටකයේ අනෙක් වැරැද්ද නම් සීතාවක රාජසිහයන් දෙමළ පුද්ගලයෙකු ලෙසට ඉස්මතු කිරීමට උත්සාහ දැරීමයි. අප දන්නා පරිදි හයවන විජයබාහු රජුගේ පුත් මායාදුන්නේ රාජසිංහ හෙවත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර ගේ ගේ පියා වෙයි. නමුත් අප්‍රකට පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වන පරිදි එය එසේ නොවේ.භාතිරාජ වන්නියාර් නම් රදළවරයා මේ කුමරු ගේ පියා බව එහි සඳහනකි. එහෙත් මේ පුවත  ශාස්ත්‍රීයව තහවුරු කොට නොමැත. කතරගම දෙවියන් ගෙන් ලද වරයක් නිසා මේ කුමරු බිහි වූ බව ඉතිහාසය පවසන්නේ පරංගීන්ට විරුද්ධව නිසැකවම නැගී සිටිය හැකි වීරවරයා ඔහු බැවිනි. පසු කාලයේදී ඔහු ශිව ආගම ගත්තද භික්ෂූන්ට මරණය අත් කර දුන්නද ඔහු තුළ බුර බුරා නැගුණේ රට නිදහස් කර ගැනීමේ චේතනාවයි. එම නිසා මේ නාටකය තුළ ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බව කණාගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.මේ තත්ත්වය එසේ නමුත් පරංගින් ඇසුරේ ප්‍රාණ ඇප කරුවෙකු මෙන් සිටි වස පානය කිරීම නිසා ගොත බවට පත්ව සිටි ධර්මපාල ට අනවශ්‍ය ආකාරයේ චරිත නිරූපණයක් දී තිබීම පුදුමයට කරුණකි. ඉතිහාස අධ්‍යනයේ දී නාටක කරුවන් කිසිම සැලකිල්ලක් දක්වා නොමැති බව මේ අනුව පෙනී යයි. ඓතිහාසික චරිත අතපත ගෑමෙන් ඉතිහාසයට විශාල හානියක් කර තිබෙන ආකාරය පැහැදිලි වේ.එසේම මේ නාටකයේ චරිත කිසිවක් මහලු වියට පත් නොවේ. කොනප්පු බණ්ඩාර රජ බවට පත් වන කාලයේ ඔහු වයස්ගතය. නමුත් ටෙලි නාටකයේ දී ඔහු නව යොවුන් තරුණයෙකි.  දෝනකතිරිනා කුමරිය මන්නාරමෙන් උඩරට යළි රැගෙන එන විට ඇයගේ වයස යන්තන් අවුරුදු දහහතරක් පමණි. ඇගේ ඇදුම් පැලදුම් සියල්ල එකල ප්‍රභු කාන්තාවන් ඇඳි පරංගි ඇඳුමට යම් සමාන කමක් දැක්වුවද බල්දෙයස් පූජක තැනගේ ග්‍රන්ථය අනුව එය එසේම නොවේ.සැබවින්ම වර්තමානයේ රූපවාහිනී නාලික තුළ විකාශනය වන ඉන්දියන් ටෙලි නාටකද මෙසේමය. නළු නිළියන් කිසාදා වයසට යන්නේ නැත.  චරිත පාවෙන්නට හරිමින් නිරූපණයන් නැතිව ඉදිරිපත් කෙරේ. එලෙසම මෙම ටෙලි නාටකයන් තුළටද මේ සෝමාරි නිරූපණයන් රිංගවා තිබේ. එයට හේතුව ප්‍රේක්ෂකයන් දිගටම රඳවා තබා  ගැනීම විය හැකිය තරුණ පෙනුමෙන් පමණක් චරිත දැක්වීම ඊට හේතුවක් විය හැකිය. එහෙත් සිංහල ප්‍රේක්ෂකයන් කවදත් බොරු මවා පෑම් වලට වඩා යථාර්ථය අගයන්නන්ය.මෙම නාටකය පිළිබඳ මෙම විවේචනය හුදෙක් සදය විවේචනයකි. අද කාලයේ මෙවැනි කතාකෘති නිපදවීමට යන අධි මුදල් කන්දරාව සහ කැපවීම ගැන බලන කල්හි. මේවාට රජයෙන් පවා යම් දිරීදීමක් සිදු විය යුතුය.ඓතිහාසික කතා එතරම්ම ජාතියේ ඉදිරි ගමනට ප්‍ර යෝජනවත්ය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress