රන්වන් ලිය අතින් ඝාතනය වූ කසුප් රජුගේ නිල් උපුලිය ගැබිනියක්
Posted on January 5th, 2019

අද සීගිරියේ ඇති බොහෝ චිත‍්‍ර මැකී ගොසිනි. ඒ නිසාම ඒ යුගය ගැන එතරම් පැහැදිලි රූපයක් මවාගත නොහැකිය. එහෙත් චිත‍්‍ර මැකී ගිය ද එක්තරා වාසනාවකට සීගිරි ගී තවමත් කැටපත් පවුරේ ඇත. යම් යම් ලේඛකයෝ වරින් වර තම තම නැණ පමණින් ඒවා විග‍්‍රහ කරති. මේ ගී විග‍්‍රහයන් අඩංගු පොත් දෙකක් හා මෝහන ප‍්‍රතිගමනයක් ගැන මගේ අවධානය යොමු කරද්දී මහා අභිරහසක් යටපත් වී ඇති සෙයක් පෙනේ.

පළමුව විමල් ඒ. සෙනෙවිරත්න මහතාගේ ‘‘සීගිරි රූපිකාවෝ කාශ්‍යප දියණියෝම වෙති”, යන කුඩා පොත ගැන අවධානය යොමු කරමු.

71 කවිය. ‘‘සරසවි බැලූ පන්සිළු අඟනො බැලූ” – අදහස – සරසවි (ශ‍්‍රියා කාන්තාව) වැනි සීගිරි අගන බැලීමි. පන්සිළු මෙන් වාදනයෙහි යෙදී සිටින අඟනන් බැලීමි.

sigiri

මෙහි අඟනො යන බහු අර්ථ පදය නිසා කීපදෙනෙක් වාදනයෙහි යෙදී සිටි බව කියවුණත් ඔවුන් රන්වන් ලියන් ද නිල්වන් ලියන් දැයි සඳහන් නොවීම පාඩුවක් බව කතුවරයා කියයි. 42 පිට.

එහි 23 වෙනි පිටුවේ මෙසේ ඇත. ‘‘එක් රන්වන් ලියක් කැඩුණු වීණාවක් අතැතිව සිටි බව හා තවත් ලියක් මිණි පහනක් ගෙන සිටි බව (සී.ගී.146) එසේම කතුවරයා අසන්නේ මල් නෙළීම සඳහා මිණි පහනක් අවශ්‍ය නොවන බවයි. එසේම කැඩුණු වීණාවක් ද අවශ්‍ය නොවන බවයි.

කතුවරයා ඒ නිසාම නව මතයක් ඉදිරිපත් කරයි. එනම් මේ දෙදෙනාම කසුප් රජුගේ දියණියන් වන බවත් දෙදෙනාම රජුට කලින් මිය යන්නට ඇතැයි ද දුකට පත්වූ රජු දියණියන් කැමතිම භාණ්ඩ සමගම ඔවුනගේ චිත‍්‍රයන් අන්දවා ඒ දෙස බලා සිටින්නට ඇති බවයි.

එහෙත් එය පිළිගත හැකි මතයක් සේ මට නොපෙනේ. රජ දියණියකගේ ප‍්‍රියතම භාණ්ඩය කැඩුණු වීණාවක් විය හැකිද? එය කැඩුණේ කෙසේද? කැඩෙන්නට පෙර ඇය එය අත දරා සිටි සැටි සිහිකිරීමට කසුප් රජු වඩාත් සතුටු නොවන්නේද? ඇත්තටම ඇය කුඩා දැරියක් වූවානම් සමහරවිට කැඩුණු වීණාව ඇයගේ ප‍්‍රියතම භාණ්ඩය ලෙස ළඟින් ම තියාගත්තා යැයි අපට උපකල්පනය කිරීමට තිබුණි.

sigiri1එහෙත් කැඩුණු වීණාවක් අතින් ගෙන සිටියේ කුඩා දැරියක් නොව වැඩුණු ගැහැනියකි. සුජිත් අක්කරවත්තයන්ගේ ‘සිවගිරියෙන් සීගිරියට’ යන ග‍්‍රන්ථය කියවා ගෙන යද්දී 72 වෙනි පිටුවේ ඇති සීගිරි කවියෙන් එය පැහැදිලිවේ.

‘ගත රිසි කොට් වෙණ ළඟ කොට් නිරිද් ඉසිරා මෙළෙ යි ඇනැ කඩ නො කළ වෙණ රන්වන්’

ඉහත සඳහන් කවියේ අර්ථය මෙසේය. ‘‘රන්වන් (තැනැත්තිය) ගායනා කිරීමේ රිසියෙන් වීණාව උරහිසට ළං කර වයමින් (සිටියාය) රජතුමා නමැති හිමියා මළ බැව් (අසා) ( ඕ තොමෝ) වීණාවෙන් ගසා, එය කැබලි නොකළාද?”

මේ ගීය හා එහි අරුත් ගෙන බලද්දී එම ගී රචකයාට සිතී ඇත්තේ රජු මළ පසු ඇඳි චිත‍්‍රයක් සේ ය. එහෙත් අප දන්නා පරිදි රජු මළේ මුගලන් හා සටනට ගොස් ය. රජු මළ පසු, මෙහි චිත‍්‍ර අඳින්නෙක් සිටිය නොහැකි බව එම රචකයාට අවබෝධ නොවන්නට ඇත. එහෙත් මෙම ගීයෙන් අනිවාර්යයෙන්ම එක් දෙයක් ගම්‍ය වේ. එනම් කැඩුණු වීණාව අතින් ගත් ලිය සිටියේ සොවින් බවයි.

සෙනෙවිරත්න මහතාගේ පොතේ ඇති තවත් ගීයකින් ද ඒ බව සනාථ වේ.

‘‘තනරන්මලී වෙණ අතිනි ගත් හො රන්වන්ලි නිරිඳුමෙළෙන්එකල්නොමෙබෙ(ණෙයි) – අන් තන හය් යාවත්”

අදහස – රන්මලකින් (හෝ රන් මාලයකින්) පියයුරු (සදා) වීණාව අතින් ගත් ඒ රන්වන් ලිය, නිරිඳු මළහෙයින්, අන්කිසිවකු හා නොබෙණෙයි.

එම ගීය ලියූ කවියාගේ අදහස සැමියා මළ බව අසා රන්වන් ලිය කිසිවකු හා කතා නොකරන බවයි. එහෙත් නැවතත් යුද්ධෙට ගොස් කාශ්‍යප රජු මියගියාට පස්සේ ……

ඇත්තටම මේ රන්වන් ලිය ගැන ඇතැම් ගී රචකයන්ට පහන් හැඟුමක් නොතිබුණු බවද පෙනේ.

‘‘පිරිමි බැණලත් දික්නෙත් තමහට රවල (බැලූ) දික්නෙත්

ගල කළ (ළ) තිරි බැ(ව්) බෙයන්දහි – රන් (වනු)න් (ද)න්නෙ(ය්)” 193 ගීය.

අදහස – පිරිමින් (විසින්) බැණවූ කල්හි දිගැසිය ඔවුන්ට රවා බැලූවාය. (එහෙයින්) පව් බෙයදෙහි සිටි රන් වනුන් ගලින් කළ සිත් ඇති ස්ත‍්‍රීන් බව දත යුතුයි.

බිජෙර් වතුලියෙහි අග්බෝ නැමැත්තා ‘රන්වන් බට් තන’ ගැන කතා කරයි. (සී.ගී. 71) එයින් අදහස් කර ඇත්තේ වැටුණු හෙවත් ලිහිල් වූ මදක් වැහැරුණු ගතියක් පෙන්වූ පයෝධර රන්වන් ලියට තිබූ බව සෙනෙවිරත්න මහතා පවසයි. (පිටු 38)

පැරදී පලා යමින් සිටි කීත් නමැත්තාට අනුව මේ චිත‍්‍රවල සිටින්නේ නොකෙල්ලන්ය. එහි අරුත වනුයේ කෙළි (ලොල්) විය ඉක්මවූ කෙල්ලන් බවය. (පිටු.37)

මේ අතර ලියකට අත්වූ භයානක ඉරණමක් ගැන එක් ගීයක් මෙසේ ඉඟි කරයි. (පිටු 45)

‘‘මද් හා සුරලොයු මො ඔබ තබය් නිරින්ද් – මෙළෙ (නො) වී මේ හෙළින් නො ලී දිව් හී නෙලෙන් වෙළත – මල් පල්ලට”- 73 ගී ය.

අදහස – (මේ කතුන්ට) සුරලොව ද මඳ ය. (එසේ සිතමින්) (මොවුන්) මොබ තබා, නිරිඳ නො මෙළේ ද? (එසේ වුවද සුළං වේගයෙන්) දුවගොස් මේ හෙළින්, (මේ ලිය) වෙලාන්තයෙහි මල් පලූ අතර නො වැටුණිද?

මේ ගීයෙන් පැහැදිලි වන ප‍්‍රබල කරුණක් ඇත. එනම් ගලින් පහළට වැටී සිටින ලියකගේ චිත‍්‍රයක් එතැන ඇඳ තිබූ බවයි. ඇයි එවැනි චිත‍්‍රයක් ඇඳ තිබුණේ?

(මේ පව්වෙන් කිසිවකු බිමට හෙළා නොමැරුවේ යැයි සිතිය හැකිද? මේ අඳින ලද කාන්තාවෝ එසේ මරණ ලද කාන්තාවන්ගේ දැයි මට නිකමට සැක සිතේ. මොවුන් කිසිවකුගේ මුහුණේ සිනහවක් නැත. විජේවීර මරන්නට පෙර ඔහුගේ ඡුායාරූප ගත්තාක් මෙන් මරන්නට පෙර මොවුන් පව්වේ ඇඳ තැබුවා වන්නට නොහැකිද? (සංජීවනී රූපසිංහ – මහා මේඝයක සුළං කෝඩයක සිහිගිරි නැඟීමි- කැඩපත සඟරාව ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශිත)

2012 වසරේ එක් දිනක රන්වන් ලියක සමග මෝහන ප‍්‍රතිගමනයක් නිරීක්‍ෂණය කිරීම පිණිස ලැබූ ආරාධනාවක් අනුව එහි යෑමට පිටත්වුණෙමි. අතරමඟදී නිල්වන් ලියක් ද වාහනයට නංවා ගතිමි. (මා මෙසේ ඒ දෙදෙනා හැඳින් වූයේ ඔවුනගේ සමේ වර්ණය නිසාය.)

මම නිල්වන් ලියව රන්වන් ලියට හඳුන්වා දුනිමි. මගේ පුදුමයට මෙන් දෙදෙනාගේම මුවේ නොපහන් බවක් ඇදී ගියේය. මුළු ගමනේදීම ඔවුන් කතා කළේ වචන දෙක තුනක් පමණි.

sigiri2අප ගියේ මෝහනය කරන මහතා වෙතය. එතුමා මෝහනය කිරීමට තෝරාගත්තේ නිල්වන් ලියයි. එහෙත් පැය දෙකක් පමණ උත්සාහ ගෙනත් ඇයව මෝහනය කිරීමට බැරි විය. අපේ ඉවසීමේ සීමාව ද ඉක්ම ගිය බව පෙනුණ නිසාදෝ ඇයව මෝහනය කිරීමට බැරි මුත් තමා ඇයව හඳුනාගත් බව කී එතුමා මටත් අර රන්වන් ලියටත් පමණක් පෙනෙන සේ ඇයගේ ඒ බවයේ නම සෙල් ලිපි අක්‍ෂරයෙන් පළමුව ලියා දෙවනුව සිංහල බසින් ලිව්වේ ‘පවිත‍්‍රා‘ කියාය. ඊළඟට මෙසේ ද කීවේය. ‘‘මෙහෙම නම ලිව්වාට එදා මේ නම උච්චාරණය කළේ වෙනත් විදියකට.”

එවෙලෙහි එතැනට පැමිණි තරුණයෙක් නිල්වන් ලියට මෙසේ කිව්වේය. ‘‘ඔයාව හොඳට දන්නවා.” එවිට ඇය ‘‘මටත් ඔයාව හොඳට පුරුදුයි.”

තරුණයා නැවත මෙසේ ඇසුවේය. ‘‘ඔයාට හොඳට වීණාව වාදනය කරන්න පුළුවන් නේද?” ‘‘මගේ මාමලා විශාරදයන් වුණත් මට බැරිම ඒ අංශය තමයි.” (මගේ සමීපයට පැමිණි ඔහු, ‘‘එයාට මා කීවේ පාර්වී කියලයි” පැවසුවේ මා විමතියට පත් කරවමිනි)

කිසිම ප‍්‍රගතියක් නොමැතිව අපි ආපසු පැමිණියෙමු.

2017 ත් ලැබුවේය. ස්වර්ණවාහිනියේ ‘‘සීරජ” නමැති ටෙලි නාට්‍ය බලද්දී හිටිහැටියේ මම ආධ්‍යාත්මික දැකීමකට (ස්වයං මෝහනයක් කියා ඇතැම්හු හඳුන්වති) සම වැදුණෙමි. කසුප් රාජ්‍ය සමයට පිවිසුණෙමි.

ඉතා කඩවසම් පැහැපත් (ඇත්තටම ඔහු පැහැපත්ය) කසුප් රජුගේ අග බිසවද පැහැපත් සිරුරක් ඇති පර්සියානු සම්භවයක් ඇති සිටුවර පරම්පරාවෙන් පැවත එන්නියකි. ඇයට වඩා බොහෝ වයසින් බාල යක්‍ෂ ගෝත‍්‍රික නිල් උපුලිය රජුගේ සිත්ගත් බිසවක් වුවාය. දෙදෙනාම වීණා වාදනයේ දක්‍ෂය. දෙදෙනාට ම වීණාව පණ වගේය. අග බිසව රජු හා නිතර කාලය ගත කළේ නිබඳව ඇයගෙන් රටේ ආර්ථිකය හා දේශපාලනය ගැන ලැබුණු උපදෙස් නිසා ය. ඒ ගැන ලා බාල ලිය අග බිසව හා නිතර ඊර්ශ්‍යවෙන් සිටියාය. අග බිසව ද ඇයව නොරිස්සුවාය. එහෙත් මේ ගැටුම රජු නොදැන සිටියේය.

මොවුන් දෙදෙනාම නොරිස්සු, එසේම බිසොවුන් දෙදෙනා අතර ඇති ඝට්ටනය අවබෝධ කරගත්, එයින් තෘප්තියක් ලද කාන්තාවක්ද මෙහි සිටියාය. ඇය ද යක්‍ෂ ගෝති‍්‍රකයකි. චිත‍්‍ර ඇඳීමට ඉතා දක්‍ෂය.

අන්තිමේදී නිල් උපුලී අග බිසවගේ වීණාව කඩා දැම්මාය. අග බිසව ශෝකයටත් ප‍්‍රකෝපයටත් පත්වී මේ ගැන ප‍්‍රශ්න කළද රජුට ඒ බව නොදැන්වුවාය. එහෙත් කැඩුණු වීණාව ගෙන ප‍්‍රශ්න කරන අග බිසව දැකීම අර කාන්තාවට විනෝදයක් විය. ඇය සීරුවෙන් එය මුල්ලක චිත‍්‍රගත කළාය.

මිගාර සෙනෙවි රජුට වඩා පක්‍ෂපාතී වූයේ අග බිසවටයි. හේතුව වෙළෙඳපොළ මෙහෙයවන සිටුවරුන් ඇයගේ නෑයින් නිසාය. නිල් උපුලිය ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇය මිගාරට පැවරුවාය.

ඇත්තටම රජ මාලිගය තිබුණේ භූගතවයි. ගල මුදුන භාවිත කළේ අහසේ අසිරිය විඳින්නටය. හරියට අද දවසේ මහල් නිවාසයක රුෆ් ටොප් එක බඳුය. වරක් ආචාර්ය පණ්ඩුල ඇඳගමයන් මා සමග කීවේ, ප‍්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු තරු නිරීක්‍ෂණය කිරීමට ලොව ඇති හොඳම ස්ථානයක් ලෙස සීගිරිය නම් කළ බවයි. සීගිරි ගල මුදුනේ විශාල මාලිගයක් ඉදිකර තිබුණි. නම් මීට වඩා ශේෂ කොටස් පව්වේ පාමුලින් සොයාගත යුතුව තිබුණි. ගල මුදුනේ ඇති ගල් ආසනයම අව්වට වැස්සට නිරාවරණය වන තැනක ඉදි කරන්නෙකි. ඔය රජුගේ සිංහාසනය නම් නොවේ.

වීණාව වැයීමට අමතරව නිල් උපුලියගේ තවත් විනෝදාංශයක් වූයේ අහසේ තරු රටා බැලීමය. සුපුරුදු පරිදි එදත් ඇය අහසේ තරු බැලූවාය.

පසුවදා උදේ ඇයගේ නිසල සිරුර යටිකුරුව බිම වැතිරී තිබුණි. යටි කය ආශ‍්‍රිතව ලේ ගලාගොස් තිබුණි. එයත් චිත‍්‍රයට නැඟුවේ අර කාන්තාවමද? අධිකරණ වෛද්‍ය නිලධාරිනියට පහසු වීමට ඇඳි එකක්ද?

‘‘නැතැප් එකලූ රුතු ගැලවී හොවින් බිම – නොකෙල්ලන් විසින් කියය් අඩි කැරෙය් කිම” සෙනෙවිරත්න මහතා තම පොතේ 15 වෙනි පිටුවෙන් 251 වෙනි සීගිරි ගීය මෙසේ විග‍්‍රහ කරයි.

ඍතු වීමක් නැති වුවද (එයින් කියවෙන්නේ සිතුවම්ගත රූප නිසා එබඳු සිදුවීමක් නොවන බවයි) වෙන්වී හුදකලාව යටිකුරුව බිම දිගා වී සිටී නම් එහිද දෙපා දක්වාම පූර්ණ කාය රූපය ඇඳ තිබිය යුතුය.

sigiri3ඇත්තෙන්ම සෙනෙවිරත්න මහතාට අවශ්‍ය වූයේ වලාකුළු අතර සිටියා සේ ඇඳ තිබුණ ද මේ අප්සරා චිත‍්‍ර නොවන බව ඔප්පු කිරීමට පමණය. ඒ නිසා මේ ගීයේ ඍතුවීමක් නැති වුවද යන්නට වැඩි අවධානයක් ලැබී නොමැත. නිල් උපුලී යටිකුරුව වැටීමෙන් ඇයගේ බඩ තදින් බිම වැදුණි. එයින් ම

ගබ්සා වී තදින් රුධිරය වහනය වීමෙන් ඇය මිය ගියාය. රජුට ඒත්තු ගියේ පය පැකිලීමෙන් බිම වැටී ඇය මියයන්නට ඇති බවයි.

මම නිල්වන් ලියට දුරකථන ඇමතුමක් දුන්නෙමි. ‘‘ඔයාව ගලෙන් පහළට තල්ලූ කරලයි මරලා තියෙන්නේ.” එවිට ඇය ‘‘ඇත්ත වෙන්න ඕන. මට උස තැනකට නඟින්න බෑ. දැනට අවුරුදු දෙකකට කලින් පිටරටකින් ආපු කණ්ඩායමක් මට මාස 6ක් චර්යාත්මක තෙරපුමක් (behavior therapy) කළා. ඊට පස්සෙයි හොඳ වුණේ.”

වීණාවක් නිසා සියල්ල සිදුවූ නිසා ඇය වීණාවක් අල්ලන්නෙම නැත. හෘදසාක්‍ෂිය නිසාදෝ රන්වන් ලියටත් වීණාවේ අවශ්‍යතාවයක් නොමැත.

සීගිරියේ ඇත්තේ මේ දෙදෙනාගේ චිත‍්‍ර පමණක්මද? දැන් බලමු සංජීවනී රූපසිංහ කැඩපතට ලියූ ලිපියේ කොටසක්.

(බෙල් මහතාට අනුව මේ පිදුරංගල විහාරයට පුද පිණිස පිය නඟන ,බිසෝවරුය. ආනන්ද කුමාරස්වාමි මහතාට අනුව වලාකුළු මත පාවෙන අප්සරාවෝය. විල්සන්ට් ස්මිත් පවසන්නේ පූජාවන් සඳහා යන වරඟානාවන් බවය. හැටල්ට අනුව තුසිතයේ දෙවඟනන්ය. බෙන්ජමින් රෝලන්ඞ් පවසන්නේ පූජාවන් සඳහා මල් ගෙන යන දෙවඟනන් බවයි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් පවසන්නේ කයිලාශයේ විජ්ජු කුමරියන් සහ මේඝ ලතාවන් බවය. මේ මතයට වැඩි ඉඩක් ලැබෙන්නේ ස්වර්ණ පුරයෙන් හමුවූ ‘සිහිගිරි විතර‘ යන පුස්තකයේ ‘‘වේදිකාව ඉහළින් හුණු බදාමයක් ආලේප කර පර්වත පාර්ශ්වයෙහි වලා කුමරියන්ගේ හා විදුලිය කුමරියන්ගේ ස්වරූපයෙන් අප්සරා රූප සිතුවම් කරන ලද්දේය යනුවෙන් සඳහන් වීමෙනි. මාර්ටින් වික‍්‍රමසිංහයන්ට අනුව මේ දිය කෙළියට යන බිසෝවරුන්ය. නන්දදේව විජේසේකරයන්ට අනුව මේ කසුප් නිරිඳාගේ වියෝවෙන් වැළපෙන බිසෝවරුන්ය. රාජා ද සිල්වානනුවන් පවසන්නේ අවලෝකතේෂ්වර බෝධිසත්ත්වයන්ගේ වල්ලභ කාන්තාවන් බවය.)

කැඩුණු වීණාවක් අතින් ගත් රන්වන් ලියගේ බිතුසිතුවමින් මේ සියලූ මතයන් නිෂේධනය නොවන්නේද? අවලෝකෙතේශ්වරී බෝසත්වරියක් ලෙසින් ටිබට් ජාතිකයන් සලකන බව පන්නල විජේබන්ධු මහතා පවසයි.

ස්ත‍්‍රීන් වනාහි නිසර්ගයෙන්ම ප‍්‍රදර්ශනකාමීන්ය. ඒ නිසා නොවේද බුදුන් දවස විශාකා සිටු දේවිය මහා වැස්සේ පවා පෙඟුණ කසී සළුවෙන් යුතුව මහමඟ නාලිය ගමනින් ගියේ? කෙල්ලක් අවධියේ මා කෙතරම් බැණුම් ඇසුවාද අම්මාගෙන්, විශාකා සේ ගමන් නොකරනවාට? සීගිරි ලියන්ද කසී සළුවෙන් කළ හැට්ට හැඳ සිටි බව අද තහවුරු කරගෙන තිබේ. වැස්සට නොතෙමීත් කසී සළුවෙන් එසේ ශරීරය නිරාවරණය වුවා නම්…..?

මේ සියලූම චිත‍්‍ර පාහේ ඒ දෙදෙනාගේ ය. අවුරුදු 18 ක් තිස්සේ ඇඳි ඒවාය. (කසුප් රජු ක‍්‍රි.ව.477-495 දක්වා) අතරින් පතර අනික් අඟනක් සිටිය හැක. තමන්ගේ සිත් තුළ ඇති කහට නොපෙන්වීමට මල් අතට ගත්තාද? කසුප් රජුගේ චිත‍්‍රයක් උයනට අයත් ස්ථානයක ඇති ගල්ගෙයක තිබුණු බවත් තමා එය 1949 දී දුටු බවත් සෙනෙවිරත්න මහතා කියයි. (පි.38) ඇයි රජුගේ එක් චිත‍්‍රයක් පමණක්? මෙය සමහර විට අර කාන්තාව ඇඳි චිත‍්‍රයක්ද? ඒ චිත‍්‍රය ගැනද සීගිරි ගීයක් ඇත.

‘‘නැඟී ඇති බලනට බැලීමි සිහිහිමියන් සිහිගිරි මනදොළ පුරය් ඇති බලන රිසි (නොවෙ) – බෙයන්ද් රන්වන්” – 45 ගී ය.

අදහස – ඇති (දෙය) බලනට සිහිගිරි නැඟ, මන දොළ පුරා, සිංහ ස්වාමියා (සීගිරි ස්වාමියා හෙවත් රජුගේ රූපය) බැලීමි. බෙඳයෙහි (සිටින්නා වූ) රන්වන් (ලිය) බැලීමට රුචියක් (මා කෙරෙහි) ඇති නො වේ.

මෙහි සිංහ ස්වාමියා කීවේ එතුමා අග‍්‍ර බව පෙන්වීමටයි. සමහර විට එකල පිරිමි ප‍්‍රදර්ශනකාමී නොවූ නිසා චිත‍්‍රවලට රජු මුහුණ නොදෙන්නට ඇත. එහෙත් අද නම් පිරිමි ප‍්‍රදර්ශනකාමී බව මුහුණු පොතේ ඇති පැතිකඩ ඡුායාරූපවලින් පැහැදිලි වේ.

අපි හැමවිටම උපමා සඳහා සත්ත්වයන් යොදාගමු. මේ පර්වත රාජයා සිංහයෙක් බඳු තේජවන්ත පෙනුමකින් යුක්තය. ඒ නිසා සිහගිරි වන්නට ඇත. රාවණ රජුගේ මුත්තෙකු වන ශිව රජු මෙහි සිට තරු නිරීක්‍ෂණය කරන්නට ඇත. ඒ නිසා මෙය පළමුව සිවගිරි වූවා වන්නට ඇති. (අක්කරවත්තයන්ට අනුව සිවගිරියෙන් සීගිරියටද?)

ඉන්ද්‍රජාලියකු මවන ලද මහා ගුරුලෙකු විසින් දෙව්ලොව තිබූ මේ ආලකමන්දාව පැහැරගෙන ආවේ තම දෙපා අතර තබාගෙනද? එවැනි විශ්මයාන්විත අදහසක් දීමට ද මෙහි ගුරුළු පාද ඇත්තේ?

තිලකා රන්දෙනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress