සිංහරාජ අලි දෙදෙනා නැවතත් උතුරු මායිමට, අලි දෙදෙනාගේ සහ ගම්වාසීන්ගේ ජීවිත රැකීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න.
Posted on January 6th, 2019

පේශල පසන් කරුණාරත්න මාධ්‍ය සම්බන්ධීකාරක වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්ථමාන වැඩිහිටි පරම්පරාව අනුව ඔවුන් කුඩා කායේදී අලින් 17 ක් පමණ සිංහරාජ වනාන්තරයේ ජීවත් වූ බවත් එතරම් අලි ප්‍රමාණයක් සිටියදීත් ඔවුන් මිනිසා සමඟ ගැටීම් වලින් තොරව මනා සහජීවනයකින් යුක්තව ජීවත් වී ඇත.  එසේ සහජීවනයෙන් ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව වර්ථාමනය වන විට  තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමණි. තුන් වැනි අලියාට සිදු වූ දෙය අදටත් අභිරහසකි. ගම්වාසීන්ගෙන් දැන ගැනීමට හැකි වූයේ වෙඩි පහරකට ලක්වූ අලියාගේ ලේ තැවරුණු තැන් කිහිපයක් පමණක් අවසන් වරට දැක ගැනීමට හැකි වූ බවයි.

වර්ථමානයේ වෙසෙන අලි දෙදෙනා තමන්ගේ ආහාර අවශ්‍ය තාවය සපුරා ගැනීම සඳහා  වාර්ෂිකව සිදු කරන්නා වූ  සංක්‍රමණ රටාවේ වසරේ මුල් මාස කිහිපය ගතකරන්නේ සිංහරාජයේ උතුරු මායිම ආශ්‍රිත ප්‍රදේශ වල බවත් අනෙක් කාල වකවානුව තුල වන බිමෙහි අභ්‍යන්තරය දක්වා ගමන් කර අනෙකුත් මායිම් දක්වා ගමන් කරනු ලබයි. එම සංක්‍රමණ රටාව ඔවුන්ගේ පාරම්පරිකව පැවත එන්නා වූ ජානමය සංක්‍රමික රටාවක් බව විද්වතුන්ගේ මතයයි.

එදා විශාල අලි ප්‍රමාණයක් සමඟ සහජීවනයෙන් ජීවත් වූ ජනයාට අද අලි දෙදෙනෙකු සමග සහජීවනයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇත්තේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන දැව හෙලීම, වල්ලපට්ට කැපීම, කසිප්පු පෙරීම, පතල් හැරීම වැනි විවිධ වූ ජාවාරම් වල යෙදෙන්නන්ට මෙම අලි දෙදෙනා බාධාවක් බැවින් ඔවුන් අලි දෙදෙනාට ඇසිඩ් ගැසීම, ඇණ පටි තැබීම, වෙඩි දැමීම වැනි නොයෙක් හිරිහැර නිරන්තරයෙන් සිදු කිරීම නිසා අලි දෙදෙනා ප්‍රචන්ඩ වීම නිසා බව ගම්වාසීන් පවසයි. එම හේතුන් නිසාවෙන් මේ වන විට සිංහරාජයේ අලින් විසින් මිනිස් ජීවිත කිහිපයකටම හානි පමුණුවා ඇත. මේ අලි දෙදෙනා බොහෝ විට ගැටුම් ඇති කර ඇත්තේ පොතුපිටිය සහ රක්වාන අතර ඇති ගම්මාන කිහිපයක ජනතාව සමගින්ය. නමුත් සිංහරාජයේ අලින් බොහෝ විට සිංහරාජය අවට ඇති සියලු ගම්මාන ආශ්‍රිත ප්‍රදේශ කරා ගමන් කලත් එම ගම්මාන වල ජනතාව සමගින් ගැටුම් ඇති වී ඇති බවක් වාර්ථා නොවන තරම්ය. කෙසේ නමුත් අලින්ට සුදුසු වටිනා පරිසර කලාපයක් වන වලන්කන්ද, හඳපාන්ඇල්ල වැනි ප්‍රදේශවලට අලියා ගමන් කිරීම නිසා මෙම ප්‍රදේශවල පිහිටි රජවත්ත, කෝපිකෑල්ල, තේ කොරටුව, මානික්කවත්ත, වැනි ගමානවල අලි දෙදෙනාගේ ක්‍රියා කාරීත්වය වැඩි වී ඇත.

පසු ගිය සමයේ මෙම අලි දෙදෙනා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ගත් උත්සහයෙදී ගම්වාසීන්, පරිසර සංවිධාන, සහ සිංහාරජ අලියාට ඇලුම් කරන පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මත අලි දෙදෙනා සිංහාරාජ වන බිමෙන් විතැන් කිරීමට නොහැකි විය. ඒ හේතුව නිසාවෙන් පසුගිය සමයේ හිටපු වනජීවී ඇමති විසින් මෙම අවසන් වන අලි දෙදෙනා කොටු කර තැබීම සඳහා හෙක්ටයාර 30ක පමණ කුඩා භූමි කොටසක් දොලේකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කිරීම ඇරඹූ අතර එහි භුමියේ පිහිටීම හා ප්‍රමාණය අනුව එය ඉතා අසාර්ථක ක්‍රමයක් බව ප්‍රදේශවාසීන් හා පරිසරවේදීන් විසින් පෙන්වා දෙන ලදී. හෙක්ටයාර 11000 වපසරියක් පුරා වාර්ෂිකව සැරි සරන අලින්ට එම හෙක්ටයාර 30ක භුමි ප්‍රමාණය කෙසේවත් ප්‍රමාණවත් නොවේ. එය අලි දෙදෙනා සිරිකිරීමෙන් තවත් ප්‍රචන්ඩකාරී තත්වයකට ගෙන යාමක් පමණි.

නව වසර උදාවත් සමඟම අලි දෙදෙනා නැවතත් සිංහාරජ උතුරු මායිමට සංක්‍රමණය වී රක්වාන, 4 කනුව ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි විය. පසු ගිය කාලයේ සිදු වූ සිදු වීම් සහ එහිදී මතු වූ විවිධ වූ කරුණු කාරණා සලකා බලද්දී මෙවර පැමිණි අලි දෙදෙනාගේ ජීවිත වලට තර්ජන එල්ල විමට හැකියව ඇත.  විදිමත් ක්‍රම වේදයක් සමඟින් අලි දෙදෙනාට සහ ගම්වාසීන්ට සුවිශේෂි ආරක්ෂාවක් සැලසීම අත්‍යවශ්‍යම කරුණක් වී පවතී. මෙතෙක් අලි දෙදෙනා සමග ඇතිව ඇති ගැටුම් සලකා බලද්දී නොසැලිකිලිමත් බාවය නිසාම සිදු වී ඇති ගැටළු ලෙස හඳුනා ගත හැකි අතර රාත්‍රී කාලයේදී මාර්ග තුළ අඳුරේ ගමන් කිරීම, බීමතින් ගමන් කිරීම, අලින්ට පහර දීම් ආදී කරුණු හේතුවෙන් ගැටුම් ඇති වී ඇත. මෙවර එම ගැටුම් වලක්වා ගැනීම සඳහා සුවිශේෂ වැඩ පිලිවෙලක් සකස් කොට ජීවිත අවධානම තුරන් කිරීම කල යුතුය.

දැනට ප්‍රදේශය පුරා වන අලින් ගැවසෙන බවට අනතුරු ඇඟවීමේ පුවරු සවිකර ඇතත් එය ප්‍රමාණවත් නොවන අතර ,අලි දෙදෙනාට GPS / GSM / රේඩියෝ කරපටි පැළදවීම මගින් සංචරන ප්‍රදේශ අධ්‍යනය, එමගින් අලින් ගැවසෙන ප්‍රදේශ පිළිබද ගම්වාසීන් දැනවත් කිරීම, රාත්‍රී කාලයේ එම ප්‍රදේශයන් හි අතුරු මාර්ග අලෝකමත් කිරීම ,එම ප්‍රදේශය තුල වනජීවී නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මුර සංචාරයේ යෙදීම ආදී ක්‍රියා මාර්ග  සිදු කිරීම මගින් අලි දෙදෙනා සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම අවම කිරීමට හැකියාව ලැබේ. වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිව යුතු ආයතන එක්ව අලි දෙදෙනා සහ ගම් වාසීන් රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා මෙන් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ඉල්ලා සිටී. නැතහොත් තවත් මිනිස් ජීවිතයකට හෝ වැරදි කරුවකු නොවන දැවැන්තයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත.

මේ පිළිබඳ විමසීම සඳහා 0777771348 (ජයන්ත විජේසිංහ, කැඳවුම්කරු, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය)

පේශල පසන් කරුණාරත්න

මාධ්‍ය සම්බන්ධීකාරක

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress