අහෝසි කළයුත්තේ අගමැති ධූරයයි!
Posted on January 7th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අවුරුදු හතළිකහට ආසන්න කාලයක් තිස්සේ අපි කියන සිංදුවක් තියෙනවා. ඒ තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු” කියන එක. 1978 හඳුන්වා දීපු දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි විධායක ජනාධිපති ධූරය ඇති කළේ. ඒක ඇති කරපු අය මුල් කාලේ ඒ ගැන මහා උජාරුවෙන් කතා කළා. තව කට්ටියක් එකට විරුද්ධ වුනා. දැන් වැඩේ කණපිට හැරිලා. විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන්න මුල්වෙච්ච සමහර අය දැන් දඟලන්නේ ඒක නැති කරලා දාන්න. ඒ කාලේ ඒකට විරුද්ධ වෙච්ච අය දැන් ඒක ආරක්‍ෂා කරගන්න මහන්සි වෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ අවස්ථාවාදයක් හින්දා කියලා හිතන එක වැරැදි. අපේ සමාජ බලවේග කඳවුරු බැඳගෙන ඉන්න විදිහට තමයි මේක වෙන්නේ. ජාතික අදහස් නියෝජනය කරන බලවේගයට අපේ සමාජයේ විශාල පිරිසක් ඇතුළත්. ඒ අය බෙදිලා, වෙන්වෙලා, කා කොටාගන්න එක වෙනම කතාවක්. ඒ තරම් පිරිස් බලයක් ලිබරල් අදහස් තියෙන අයට නෑ. හැබැයි ලිබරල් අදහස් තියෙන අය තමයි අපේ රටේ සෑහෙන ආයතන ප්‍රමාණයක බලය අල්ලගෙන ඉන්නේ. එක පැත්තකින් ඒ අයට ඉංග්‍රීසි පුළුවන්. ඉහළට ඉගෙනගත්තා කියලාත් කියනවා. ඒ අය කැමැති මේ ලෝකයේ බටහිර බල කඳවුරත් එක්ක හාදකම් පවත්වන්න.

ඔය අතර ලිබරල් මූලධර්මවාදීන් පිරිසකුත් ඉන්නවා. ඒ අය ඔක්කොම ගත්තාම දෙදාහක්වත් ඉන්නවා කියලා කියන්න බෑ. හැබැයි තමන් හදාගෙන ඉන්න රාජ්‍ය නොවන සංවිධාන වගේ ආයතන සිවිල් සංවිධාන කියලා හඳුන්වාගනිමින්, සමහර මාධ්‍ය ආයතනවල බලයත් අල්ලාගෙන, මෑතක දී ඒ අය වෙනුවෙන් ම හදලා දීපු ස්වාධීන කොමිසන් සභා වගේ ආයතනවල බලයත් අල්ලාගෙන වැඩ පෙන්නන්න පුළුවන්කමක් ඒ අයට ලැබිලා තියෙනවා. ඒත් තමන්ට ප්‍රමාණවත් තරමින් පිරිස් බලයක් නැති හින්දා සුළු ජාතික පක්‍ෂත් නම්මවාගෙන, බිඳ වැටිච්ච සහ බිඳවැටෙමින් තියෙන වමේ පක්‍ෂත් අල්ලාගෙන ව්‍යවස්ථා විප්ලවයක් හරහා තමන්ගේ බලය ආරක්‍ෂා කරගැනීමේ ව්‍යායාමයක ඒ අය යෙදිලා ඉන්නවා.

එක්සත් ජාතික පක්‍ෂය කියලා කියන්නේ පරගැති, විජාතික අදහස් තියෙන බල කඳවුරක් නෙවෙයි. ඒ පක්‍ෂයේ ඉන්නෙත් අපේ ම යාළු මිත්‍රයෝ, නෑදෑ හිතවත්තු. කාලයක් පුරාවට මේ රටේ තිබුණු ප්‍රධාන ම දේශපාලන කඳවුර ඒක තමයි. ඒත් 1993 න් විතර පස්සේ ඒ පක්‍ෂය ලිබරල් මූලධර්මවාදී අදහස් තියෙන කණ්ඩායමක ග්‍රහණයට නතුවුනා. ඉතින් එදා ඉඳලා මේ වෙන කල් ම ඒ පක්‍ෂයට රටේ බහුතර පිරිස් බලයක් දිනාගන්න බැරිවෙලා තියෙනවා. පක්‍ෂයේ බලය අල්ලාගන්න ජාතික අදහස් තියෙන අය පොරකෑවත් ඒ අයට ඒක කරගන්න බැරිවෙලා තියෙනවා. ඉතින් අද වෙද්දි රටේ බහුතර පිරිස් බලයක සහාය නො ලබන ඒ පක්‍ෂයේ නායකත්වය උත්සාහ කරන්නේ ජනතාවගේ බහුතරයේ බලයෙන් තෝරාගන්නා විධායක ජනාධිපති ක්‍රමය නැති කරලා දාන්න.

ජාතික අදහස් නියෝජනය කරන පක්‍ෂවල ඉන්නේ එක්තරා ආකාරයක බයියෝ ටිකක්. අධ්‍යාපන ක්‍රමයත්, සමාජ ක්‍රමයත් සෑහෙන දුරකට බිඳවැටිලා තියෙන හින්දා ඒ පක්‍ෂ නියෝජනය කරන මැද පෙළේ නායක කාරකාදීන් කරන කියන දේවල් ගැන ඒ අයටවත් අවබෝධයක් නෑ. මේක එක්සත් ජාතික පක්‍ෂයටත් අදාළ කාරණයක්. බාහු බලය පෙන්නන එක, පිහි උළුක් කරන එක, මිරිස් කුඩුවලින් ගහගන්න එක තේරම් කරගන්න පුළුවන් මේ දේ අවබෝධ කරගත්තොත් විතරයි. මේ මිනිස්සු ඔක්කොම අවුලක ජීවත්වෙන්නේ.

දූෂණය කියන්නේ එක පාර්ශ්වයකට විතරක් අදාළ කාරණයක් නොවන බව මහ බැංකු කෝලලය හරහා අපි දැනගත්තා. වැඩේ තියෙන්නේ මැණික් හොරුන්ට වඩා අලි හොරුන්ව රටට පේනවා. බොහෝ වෙලාවට අලියකුගේ මිලට වඩා වටින මැණික් තියෙනවා. ඉතින් ස්මාර්ට් හොරු යටි මඩි ගහගන්නේ මැණික්. ඒ වගේ අය අහුවෙන්නේ බොහොම කලාතුරකින්. ඒ හින්දා ජාතික අදහස් තියෙන අය හොරු, ලිබරල් අදහස් තියෙන අය මහත්තුරු වගේ බොළඳ අදහස් ඇති කරගන්න උවමනා නෑ. ඒ හපන්කම් ගැන සැළකුවා ම කවුරුත් එකයි.

දැන් අපි ජනාධිපති ධූරය ගැන තියෙන අවුල ගැන අවධානය යොමුකරමු. අපේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, විධායක බලයත් බොහොම පැහැදිළිව වෙන්කරලා දක්වලා තියෙනවා. ඒත් පස්සේ පස්සේ මේ දෙක එකට කවලම්කරනවා. රටේ ම ජනතාව තනි ඡන්ද කොට්ඨාශයක් විදිහට කටයුතු කරලා තමන්ගේ විධායක බලය නියෝජනය කරවන්න ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත්තාට ඒ බලය එ තැනින් පහළට නියෝජනය කරවන්න උවමනා ඇමැති මණ්ඩලය තෝරාගන්න වෙලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයෙන්.

අද අපේ තියෙන දේශපාලන අවුල්වලට මූල්වෙච්ච ප්‍රධාන ම හේතුවක් විදිහට මේ ලේඛකයා දකින්නේ මේ අච්චාරුව. ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරන කටයුත්තට විතරක් සීමා නොවී විධායක බලයේ නියෝජනත්වයත් අපේක්‍ෂා කරන හින්දා මේ ආයතන දෙක විසින් කළ යුතු රාජකාරි පිළිබඳව හිතාගන්නත් බැරි තත්ත්වයකට අද අපි පත්වෙලා ඉන්නවා.

මේ ලේඛකයා විශ්වාසකරන විදිහට ව්‍යවස්ථාදායකය නීති සම්පාදන වැඩවලට විතරක් සීමා කළ යුතුයි. ඒ වෙනුවෙන් ඡන්දය දීලා ජනතාව තෝරාපත් කරගන්න නියෝජිතයන්ට ඇමැතිකම් ලබාදිය යුතු නෑ. ඇමෙරිකානු ජනපද සංගමයේ සෙනෙට් සභාවටත් කොංග්‍රසයටත් විධායක බලයක් නෑ. නීති රීති සම්පාදන කටයුතුවලට අමතරව විධායක බලය හොඳින් ක්‍රියාත්මක කරන්න උවමනා නාස් ලණු මෙහෙයවන එක විතරයි ඒ මණ්ඩලවලින් කරන්නේ. ඒ රටේ අගමැති කෙනෙක් නැති බව අපි හැමෝ ම දන්නවා. විධායක බලය නියෝජනය කරවන්න ඒ අය යොදාගන්නේ වෙනත් ක්‍රමවේදයක්.

අපිට ඒ අයගෙනුත් යමක් ඉගෙනගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරලා විධායක සහ ව්‍යවස්ථාදායක බලය වෙන්කරන ක්‍රමයක් අපි හොයාගන්න ඕන. ඒ හින්දා දැන් අපි කරන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ජනතාවගේ විධායක බලයත් පාර්ලිමේන්තුවට පවරන ක්‍රම හොයන වැඩේ නම් නෙවෙයි. අපි අද කරන්න ඕන මේ ආයතන දෙක වෙන වෙන ම ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් උඩ ස්ථාපිත කරවන්න උවමනා විධික්‍රමයක් හඳුනාගන්න එක. ඒ සඳහා යොදාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන අදහසක් මේ ලිපියෙන් කියන්නම්.

ජනාධිපතිවරණය අවසන් වූ වහා ම විධායක සභාවක් තොරාගැනීමේ ඡන්දයක් තියන්න බැරිකමක් නෑ. ජනාධිපතිවරයා සමඟ ම උප ජනාධිපතිවරයකුත් තෝරා පත් කරගන්න පුළුවන්. ඊට අමතරව රටේ ඇති කරන නව ආයතන ව්‍යුවහයක් හරහා අමාත්‍ය මණ්ඩලය තෝරාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන්නත් පුළුවන්. මේ සඳහා හඳුන්වාදිය යුත්තේ මොන විදිහේ ආයතනික ව්‍යුවහයක් ද?

අමාත්‍යංශ ගණන ව්‍යවස්ථාවෙන් ම තහවුරු කරගන්න එක තමයි ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මූලික ම කටයුත්ත. මේ කියන්නේ ඇමැතිවරු ගණන තැන නෙවෙයි. අමාත්‍යාංශ ගණන ගැන. නිසි විදිහට වර්ගකරලා නිශ්චිත නම් තියෙන අමාත්‍යාංශ තිහක විතර ප්‍රමාණයක් ඇති කරගන්න බැරිකමක් නෑ. මේ විදිහට නියම කරගත්ත අමාත්‍යාංශ ලැයිස්තුව උප ලේඛනයක් විදිහට ව්‍යවස්ථාවට ම ඇතුළත් කරන්න පුළුවන්.

ඊ ළඟට කරන්න ඕන ඒ අමාත්‍යාංශවල පාලනයට උදව් කරගන්න පුළුවන් වෙන විදිහේ ආයතනික සහ වෘත්තීය සභා නිල වශයෙන් ස්ථාපිතකිරීම. උදාහරණයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට සළකා බලන්න පුළුවන්. ඒ අමාත්‍යාංශය යටතේ තියෙන සෑම ආයතනයක් වෙනුවෙන් ම ආයතනික සභාවක් පිහිටුවන්න පුළුවන්. රෝහල් මට්ටමින්, වෙනත් ආයතන මට්ටමින් රාජ්‍ය – පුද්ගලික භේදයක් නැතිව ආයතනික සභා ඇතිකරන්න පුළුවන්. මේවා ඒ ආයතනවල පාලක සභා විය යුතු නෑ. ඒවා හුදෙක් ම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තෝරාගත්ත ආයතනික නියෝජිතයන්ගෙන් සමන්විත සභා සමූහයක් වෙන එක ප්‍රමාණවත්. ඊට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කටයුතුවල නිරතවෙන වෘත්තිකයන්ටත් තම වෘත්තිය පදනම් කරගෙන වෘත්තීය සභා ඇති කරගන්න පුළුවන්. වෛද්‍යවරුන්ට පුළුවන් තමන්ගේ නිල සභාවක් පිහිටුවාගන්න. හෙදියන්ට පුළුවන් ඒ අයගේ නිල සභාවක් පිහිටුවාගන්න.

දැන් මේ විදිහට සෑම අමාත්‍යාංශයක් සඳහා ම ආයතනික සභා සහ වෘත්තීය සභා පිහිටුවාගත්තාට පස්සේ ඒ අයට පුළුවන් ඇමැතිවරු තෝරාගන්න වැඩේට දායක වෙන්න. ජනාධිපතිවරයාට පුළුවන් ඒ අමාත්‍යාංශය වෙනුවෙන් නම් කරපු පස් දෙනකුගේ ලැයිස්තුවක් අදාළ අමාත්‍යාංශ සභාව වෙත ඉදිරිපත් කරලා ඒ අයගේ ඡන්දයෙන් ඇමැති ධූරය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පුද්ගලයන් දෙන්නෙක් තෝරාපත් කරගන්න. ඒ විදිහට ඉදිරිපත් කරන නම් පහට කාන්තා සහ තරුණ නියෝජනත්වයක් අනිවාර්යය කරන්නත් පුළුවන්.

මේ විදිහේ ක්‍රමයක දී තමන්ගේ හිතුමතේට ඇමැතිවරු පත්කරන්න පුළුවන්කමක් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නෑ. මේ විදිහට පත්කරගන්න අය බොහෝ දුරට අදාළ අමාත්‍යාංශයේ විෂයය හා බැඳිච්ච අය වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ආණ්ඩුවක් (ඒ කියන්නේ විධායක බලය නියෝජනය කරන ආයතනයක්) තෝරා පත් කරගත්තට පස්සේ ආණ්ඩු කරන වගකීමෙන් ව්‍යවස්ථාදායකය නිදහස් කරන්න පුළුවන්. රට කරවන්න නීති අණ පනත් (අයවැය වගේ මුදල් පනත් ද ඇතුළත්ව) සම්මත කරවලා දෙන වැඩේ විතරක් ඒ අයට කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරනවා නම් අගමැති ධූරයක් මොකට ද? පගාවට ඇමැතිකම් දෙන ක්‍රමයක් මොකට ද?

ඊ ළඟට අපි හිතන්න ඕන ව්‍යවස්ථාදායකය පත් කරගන්න ක්‍රමය ගැන. නීති සම්පාදනය සඳහා පත් කරගන්න ව්‍යවස්ථාදායකය අවුරුදු පහක් වගේ දීර්ඝ කාලයක් පවත්වා ගෙන යන්න උවමනා නෑ. ප්‍රාදේශීය බල ප්‍රදේශ සඳහා තෝරා පත් කරගන්නා නියෝජිත සභා (උදාහරණයක් විදිහට කියනවා නම් ප්‍රාදේශීය සභා), ආයතනික සහ වෘත්තීය සභා කියන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනයක් විදිහට ව්‍යවස්ථාදායකය පිහිටුවා ගත්තා ම ඇති. ඊට අමතරව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල වගේ ආගමික ආයතනවලටත් ව්‍යවස්ථාදායකයේ නියෝජනයක් ලබාදෙන්න පුළුවන්.

මේ විදිහේ නියෝජිත ආයතන ජනතා‍වගෙන් ඈත්වෙච්ච ඒවා නෙවෙයි. ඉතින් ඒ ආයතනවලින් තෝරලා ව්‍යවස්ථාදායකයට එවන අය ජනතාවගේ මතය වඩාත් හොඳින් නියෝජනය කරන අය විදිහට හඳුනාගන්න පුළුවන්. මේ විදිහට පත් කරගන්න ව්‍යවස්ථාදායකයේ නියෝජිත ප්‍රමාණය 225 කට සීමා කළයුතු නෑ. ඒ ගණන හාර පන්සීයක් වුනත් කමක් නෑ. උදේ – හවස නීති වෙනස් කරන්නේ නැති රටකට ව්‍යවස්ථාදායකය නිතර ම රැස්කරන්න උවමනාවක් ඇතිවෙන්නෙත් නෑ.

ඉතින් මේ විදිහේ විසඳුමකින් අපේ මේ දේශපාල අවුල් විසඳගන්න බැරි ද? එහෙම නැතුව ආයෙත් විධායක බලය ව්‍යවස්ථාදායකට පැවරුවොත් අපිට අත්වෙන සුගතිය මොකක් ද? මේ ගැන තවදුරටත් කතා කරලා අපිට ගැලපෙන පාලන ක්‍රමයක් අපි ම ගොඩ නඟාගනිමු!

2019 ජනවාරි මස 7 වැනි දා

3 Responses to “අහෝසි කළයුත්තේ අගමැති ධූරයයි!”

  1. Christie Says:

    There are two groups of people in our country.
    The Indian Colonial Parasites who came under the cover of the British fire power.
    All the others are Sinhalese Budhists, Muslims and Christians.
    The problems are caused by Indian Colonial Parasites as they do in other Indian Colonies including Fiji in the Pacific.
    The problem we have is these Indian Parasites. We Sinhalese have to unite and stand up to the Indian Union and Indian colonists

    The constitutions you are talking about are ones imposed by Indian influence from 1972 onwards.

  2. Randeniyage Says:

    No not enough ! අහෝසි කළයුත්තේ Palaath Sabha yi.

  3. aloy Says:

    Yes, if the PM as at now can say one thing in parliament (like saying he will take responsibility for CB governor AM) and do another and also can change the constitution of the country even without a simple majority, then that PM’s post should go.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress