මීගහතැන්න නගරයෙහි පෙර තිබූ බස් මගී ආවරණ යලි ඉදි කර දෙන මෙන් මගීන් මැසිවිලි නගති.
Posted on January 8th, 2019

පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය

කළුතර දිස්ත්‍රික්කයේ  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහතැන්න නගරය වළල්ලාවිට, පැලවත්ත සහ මතුගම දක්වා විහිදෙන ප්‍රධාන මාර්ගයන් තුනක් එකිනෙක සම්බන්ධ වන අධික ජනාකීර්ණ නගරයකි. මීගහතැන්න මධ්‍ය මහා විද්‍යාලය, පොලිස් ස්ථානය, මහජන පොළ, පිරිවෙන, රෝහල, බැංකු ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මීගහතැන්න නගරය ආශ්‍රිතව පවතින අතර මේ නිසා අවට ප්‍රදේශවල විශාල ජනතාවක් තම අවශ්‍යතා සඳහා දිනපතා මීගහතැන්න නගරයට ඇදී ඒම සිදුකරයි. මෙම නගරය දකුණු පළාත සහ බස්නාහිර පළාත සම්බන්ධ කරන ප්‍රධාන මධ්‍යස්ථානයද වන අතර මීගහතැන්න නගරයෙන් වළල්ලාවිට මාර්ගය ඔස්සේ ඇල්පිටිය හෝ පිටිගල හරහා අම්බලන්ගොඩ, ගාල්ල, මාතර වැනි ප්‍රදේශයන් වෙතත් ඉත්තෑපාන, ලෙව්වන්දූව හරහා අධිවේගී මාර්ගය වෙතත් පිවිසීම සිදුකල හැකිය. පැලවත්ත මාර්ගය ඔස්සේ නෙළුව, දෙනියාය, උඩුගම, මොරවක, බදුරලිය වැනි ප්‍රදේශ වෙත ගමන් කල හැකි අතර මතුගම මාර්ගය ඔස්සේ මතුගම, අගලවත්ත, හොරණ,අළුත්ගම නගර හරහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පිවිසිය හැකිය. මේ නිසා මීගහතැන්න නගරය හරහා මාර්ග අංක 428, 435,42, 399, 174,  138, 410,  99/5,  210/2, 18 ඔස්සේ වළල්ලාවිට, අවිත්තාව, ගුලවිට, මතුගම, අළුත්ගම, කොළඹ, මහරගම, බදුල්ල, නුවරඑළිය, ඇඹිලිපිටිය, පැලවත්ත, පහලහෙවෙස්ස, නෙළුව, තවලම, මොරවක, දෙනියාය, බෙලිඅත්තකුඹුර, උඩුගම, මාපලගම, ඇල්පිටිය, පිටිගල, නැදුන්වත්ත වැනි ගමනාන්ත කරා බස් රථ විශාල ප්‍රමානයක්ද දිනපතා ධාවනය වේ. මෙම බස්රථ දිවයිනේ ප්‍රධාන නගර හරහා ධාවනය වන බැවින් මේවා මගින් ගමන් පහසුව සලසා ගැනීම විශාල මගී  පිරිසක්ද දිනපතා මීගහතැන්න නගරයට එක්රැස් වේ.

එසේ නමුත් මෙම මගීන් සඳහා බස් මගී ආවරණ (Bus Halt) නොමැති වීම ප්‍රබල අඩුපාඩුවක් වී ඇත. මීට වසර කීපයකට පෙර මෙම මීගහතැන්න නගරය කේන්ද්‍ර කොට ගනිමින් බස් මගී ආවරණ 4 ක් පැවතියද මාර්ග පද්ධතිය අළුත්වැඩියා කිරීම සඳහා ඒවා කඩා ඉවත් කල නමුත් මාර්ග අළුත් වැඩියා කොට කලක් ගත වුවද තවමත් එම මගී ආවරණ ඉදිකර නොමැත. මේ නිසා නගරයට පැමිනෙන දහස් සංඛ්‍යාත පිරිසකට මහත් පීඩාවන්ට ලක්වීමට සිදුව තිබේ. මීගහතැන්න නගරය ආශ්‍රිත ප්‍රදේශය වසරේ බොහෝ කාලයක් අධික වර්ෂාවක් ලැබෙන ප්‍රදේශයක් වන අතර දිවා කාලයේදී දැඩි අවුරශ්මියක්ද පවතින ප්‍රදේශයකි. මේනිසා නගරයට පැමිනෙන ජනතාවට දැඩි හිරු රැසින් සහ වර්ෂාවෙන් පීඩා විඳීමට සිදුව තිබේ. බස් රථ පැමිනෙන තුරු වාඩීවී සිටිමට සෙවනක් හෝ වෙනත් සුදුසු ස්ථානයක්ද මීගහතැන්න නගරයේ නොමැති අතර බඩු මලු ඔසවාගෙන මහාමාර්ගය දෙපසට වී  බස්රථ පැමිනෙන තුරු බලා සිටීමට සිදුවී ඇත. මෙය ඉතා අනතුරු දායක ක්‍රියාවකි. ප්‍රථිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගීන් හට විවිධ අපහසුතා විඳිමින් කඩපිල් වල හෝ පාර දෙපස බිම වාඩිවී සිටිමට සිදුව ඇත.

මීගහතැන්න මං සංදියේ පෙර තිබූ බස් රථ මගී ආවරණ (Bus Halt) යලි ඉදිකිරීමට හෝ මීගහතැන්න නගරයට බස් නැවතුම්පොළක් (Bus Stand) ඉදිකරීම මේ වන විට විශාල අව්‍යතාවයක් වී ඇති අතර එබැවින් මෙම ගැටළුව පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබා දෙන මෙන් අදාල බලදාරීන්ගෙන්  ඉල්ලා සිටි.

 

පේශල පසන් කරුණාරත්න

සභාපති

සමනල යෞවන සමාජය

නාවලකන්ද, මීගහතැන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress