මන්ත්‍රිවරුන් බිලී බාගන්න විශාල මුදලක් දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපතිනියට දීලා
Posted on January 9th, 2019

හර්ෂනී අර්සකුලරත්න උපුටාගැණීම  මව්බිම

බෙදුම්වාදයට අවශ්‍ය ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටේ ඓතිහාසික ගමන එතැනින් එහාට ලියැවෙනුයේ අපේ පෑනෙන් නොව බෙදුම්වාදීන්ගේ සහ විදේශ බලවේගවල පෑනෙන්, ඔවුන්ගේ අභිමතාර්ථයන්ට අනුව බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

එම ව්‍යවස්ථා පෙරළිය නතර කර දැමීමට නම් මන්ත්‍රිවරු 113ක් වත් නොමැතිව මන්ත්‍රිවරු හිඟා කකා ඇවිදින ආණ්ඩුවට 2/3ක බලය අහිමි කළ යුතුව පවතින බවද ඔහු පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (8දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

‘දෙමළ ඩයස් පෝරාව විශාල මුදලක් හිටපු ජනාධිපතිවරියක් හරහා ලබාදීලා තිබෙන බවත්, ශ්‍රී ලනිප මන්ත්‍රිවරු සැලකිය යුතු ප්‍රමාණයක් බිලී බාගන්න උත්සාහ කරනවා කියලත් දැනගන්නට තිබෙනවා.
ඒ නිසා මේ වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයටත් ඉතාමත් වැදගත් ඓතිහාසික වගකීමක් පැවැරිලා තියෙනවා. මේ දෙදෙනාගේ සමඟිය මතයි මේ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අවශ්‍ය 2/3 බලය අහිමි කළ හැක්කේ.

ඔවුන් හැකි ඉක්මනින් නව සන්ධානයක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. ඒ සන්ධානය ගොඩනැඟීම පමා වන මොහොතක් මොහොතක් පාසා සිදුවන්නේ මන්ත්‍රිවරු බිලී බා ගැනීමට බලා සිටින පිරිසට ඒ සඳහා ඉඩප්‍රස්තා නිර්මාණය වීමයි. එය සම්මත කරගැනීමට අනියම් සහයෝගයක් එහිදී සිදුවන්නේ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයකින් රාජ්‍ය මේ විදියට සීසීකඩ බෙදුණොත් මේ රටට අනාගතයක් ඉතිරි වෙන්නෙ නෑ.

සුමන්තිරන් මන්ත්‍රිවරයා කියලා තියෙනවා මේ ව්‍යවස්ථාව ගේන්නෙ අනාගතයේ නැවත වෙනස් කරන්නවත් බැරිවෙන විදියටයි කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හදපු නීතියක් පාර්ලිමේන්තුවට නැවත හකුළා ගන්න බැරි කරනවා. ඒ නීතිය වෙනස් කරනවා නම් සෙනෙට් මන්ත්‍රි මණ්ඩලයට ගෙනියන්න ඕන. ඒක 2/3 සම්මත වෙන්න ඕන. දමිළ මන්ත්‍රි බහුතරයකින් සම්මත වෙන්න ඕන. නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවට තමන් හදපු නීතිය තමන්ට වෙනස් කරන්න බැරිවෙන විදියටයි මේක ගේන්නේ. දැනට ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ තියෙන්නෙ එහෙම.

අනාගතයේදීවත් නිවැරැදි කළ නොහැකි වරදකුයි මේ සිද්ධ කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ නිසා එම වරද වෙන එක වළක්වන්න නම් 2/3ක යන එක නවත්වන්න අවශ්‍යයි.

වෙන කවරදාවත් වඩා රනිල් වික්‍රමසිංහ මහත්මයා පන්සල් ගාණෙ දේවාල ගාණෙ යමින් සිල්වත්තු මෙන් හැසිරෙමින් මේ ලැහැස්ති වෙන්නේ මොකටද කියලා මේ රටේ ජනතාව ඉතා හොඳින් කල්පනාවට ගත යුතුයි.
සිංහල බෞද්ධ ජන සමාජයෙන් නැඟෙන විරෝධය සමනය කර ගැනීමටයි මේ දේවල් කරන්නෙ.

දැනටමත් සුමන්තිරන් මන්ත්‍රිවරයා ඔවුන් පැවැත්වූ රැස්වීම්වලදී ප්‍රකාශයට පත් කරලා තියෙනවා, ගෙන ඒමට නියමිත ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවකට නැති තරමේ බලයක් තමන්ට ලැබෙන බව. ඒ වගේම පළාත් දෙක ඒකාබද්ධ කිරීමෙන් එහි ජනතාවට බලාපොරොත්තු අයිතිය හිමිවන බව පළාත් සභාවකට මැදිහත් වීමට මධ්‍යම රජයට කුමන හෝ බලයක් තිබුණා නම් එය සම්පූර්ණයෙන් නැති කරන බව.

මේ අපි කියන කතා නෙවෙයි. අනුර කුමාර මහත්තයා හැරුණු කොට රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉන්න අනෙක් ප්‍රධාන ගැලවුම්කරුවයි මෙහෙම කියන්නේ.

තනතුරු අහිමි වුණහම දාලා යන්න බැරි රෝග තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරයි කියලා හිතුවට දැන් බලාගෙන යද්දී ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙක් ලෙස කවුරුත් පිළිගන්න සම්පන්දන් මන්ත්‍රිතුමාටත් වැලැඳිලා.
මමයි විපක්ෂ නායක කියලා කියාගෙන විපක්ෂ නායක කමයි කාර්යාලයයි බහිරවයා වගේ බදාගෙන ඉන්නවා කියන්නේ දේශපාලන වශයෙන් විළි ලැජ්ජා නැති වැඩක්.

රනිල් වික්‍රමසිංහගෙ පණ බේරන්න ගිහිල්ලා තනතුර නැති වුණේ සම්පන්දන්ට විතරක් නෙවෙයි අනුර කුමාර දිසානායකටත් ඒකම සිද්ධ වුණා.

හර්ෂනී අර්සකුලරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress