විපක්‍ෂ නායකතුමාගේ තෛපොංගල් පණිවුඩය
Posted on January 14th, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක

අද දින තෛපොංගල් සමරන දමිළ ජනතාවට මම සාමය, සතුට පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ජනයාගේ අස්වනු නෙලන අවස්ථාව සමරනු ලබන මෙම මහෝත්සවය, ගොවියන්ට පමණක් නොව අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. මෙම උත්සවයෙන් ලබාදෙන පණිවුඩය ලෝ වාසී සියලු දෙනාටම ඉතාම වැදගත්ය.

ජාති, ආගම් භේද පසෙකලා, තෛපොංගල් උත්සවය අපි අපේ ඥාතී-හිත මිත්‍රාදීන් සමඟ, සාමයෙන් සහ ස්නේහයෙන් යුතුව සමරමු.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර, අපගේ මුතුන් මිත්තන්ට අනුව, තෛයි මාසයේ උදාව නව ගමනක ආරම්භය සටහන් කරයි.

මෙම උත්සවය තුළින් දමිළ ජනතාව, එළෙඹෙන වසර දුක් කම්කටොලු වලින් මිදුනු යහපත් සෞඛ්‍ය සහ සමෘද්ධිය උදා කරන මෙන් ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරති. මෙම තෛපොංගල් දිනයේදී, පසුගිය වසරේ අප, විශේෂයෙන් උතුරු – නැගෙනහිර ජනතාව, මුහුණපෑ ස්වාභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලින් ප්‍රකෘති ස්වභාවයට ජන ජීවිතය පත් කිරීමට එකට එකතු වී කටයුතු කරමු.

මගේ දීර්ඝ දේශපාලන ගමනේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස, ඇමතිවරයෙක් ලෙස, අගමැතිවරයෙක් ලෙස, ජනාධිපතිවරයෙක් ලෙස මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස, මා සැම විටම රටේ ප්‍රගතිය වෙනුවෙන් ජාති, ආගම් භේද වලින් තොරව කටයුතු කර ඇත්තෙමු.

තවද, රටේ විපක්‍ෂ නායක ලෙස, රට තුළ එක්සත් සහ සාමකාමී ජීවිතයක් අප සියලු දෙනාටම ගත කිරීමට ඉවහල් වන, අප සියලු දෙනාටම එකඝ විය හැකි දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි

මහින්ද රාජපක්‍ෂ

විපක්‍ෂ නායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress