විදෙස් සේනා මදිවට දළඹු සේනාත් ඇවිත්
Posted on January 15th, 2019

මතුගම සෙනෙවිරුවන්

           කුසගිනි නොසිඳෙන ආක්‍රමණශීලී දළඹූවෙක් අප්‍රිකාවේ සිට ඉන්දියාවට ඇවිත් යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තා කරනු ලබන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීය .රජරට ප්‍රදේශ වල විශාල වශයෙන් කෙරෙන බඩ ඉරිඟු වාගවේ මේ කීටයා දක්නට සිටීමෙන් පසු ඒ ගැන සොයා බැලූ ඔවුන් ගේ දෙකොන රත් වූයේ මේ කීටයා වීසා නොලබාම ලංකාවට ඇවිත් තිබෙන්නේ දකුණු ඉන්දියාව හරහා බැවිනි. පසුගිය කාලයේ දී වගක් විභාගයක් නොමැතිව ලංකාවට බීජ ගෙන්වන්නට පෞද්ගලික අංශයට භාර කල අතර බඩ ඉරිඟු මිරිස් එළවුළු ඇට පළතුරු පැළ මෙන්ම විසිතුරු පළ වර්ගයන්ද විශාල වශයෙන් ලංකාවට ආනයනය කළහ.කාලයක් එළවුළු ඇට වල සිට වී පළතුරු ආදී භෝග වගාවන්හි බීජ හා රෝපණ ද්‍රව්‍ය සකස් කිරීමේ මූලිකයා වූයේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුවයි.හරිත විප්ලවයේ පසු ක්‍රියාකාරකම් හේතුවෙන් ලංකාව පුරාම බීජ ගොවිපළ වල් පර්යේෂණ ආයතන සහ කෘෂිකර්ම පුහුණු ගොවිපළවල් විවෘත කරගන්නට රජයට හැකි විය. බිත්තර වී නිෂ්පාදනය ගුණාත්මකව කිරීමට රජයට තිබූ පහසුකම් ඉතා ඉහළ මට්ටමේ විය. අසූව දශකයෙන් පසුව රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත රජයේ ආයතන බොහොමයක් පුද්ගලීකරණය කරන ලදී. ලංකාවේ ගොවීන්ට මහඟු සම්පතක බඳු වූ බීජ ගොවිපළවල් රාශියක්ද මේ කාලයේ පුද්ගලික අංශයට විකිණීමෙන් රජය එදිනෙදා වියදම් ආවරණය කරගන්නට ඇත. එසේම මේවා විකිණීමට දායක වූ දේශපාලනඥයන්ට සහ නිළධාරීන්ට ලැබුණු කොමිස් මුදල් ගැන සැබෑ තක්සේරුවක් කෙරී ඇත්දැයි නිශ්චිත නැත.

          2002 වර්ෂයේ රීගේනීන් ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භයත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වල කොන්දේසි මත ජල සැපයුම් පෞද්ගලීකරණය බීජ වෙළෙදාම පෞද්ගලීකරණය වේගවත් විය. මෙරට ප්‍රමුඛ පෙලේ බහුජාතික සමාගමක් විසින් කරන ලද නිරන්තර බල කිරීම නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ නිෂ්පාදනයෙන් සහ අලෙවියෙන් සෑහෙන දුරට ඉවත් විය. එතනින් පසු පළමු පරම්පරාවේ බීජ නොහොත් හයිබ්‍රඩ් බීජ සඳහා ගොවි ජනතාවගෙන් ලැබුණ ඉල්ලුම ඉතා වේගවත් විය. විදේශීය බඩ ඉරිඟු මැලේසියන් එළවුළු සහ පළතුරු වගාව සහා ආනයනය කරන ලද ඇට වර්ග රාශියක් විය. මේවා අනයනය කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැකිය. ඒ නිසා විශාල බහුජාතික සමාගම් වලට අමතරව කුඩා තුඩා සමාගම්ද බීජ ගෙන්වමින් සිය ලාභය තර කර ගන්නට උපරිම උත්සාහ දැරූහ. වියට්නාමය ඇමරිකාව මැලේසියාව ඉන්දියාව ආදී රටවල නිෂ්පාදනය කරන බීජ මෙලෙස ලංකාවට සැපත් වන්නට වූයේ කිසිවකුගේ වත් පරීක්ෂාවෙන් තොරවයි. ඇතැම් විට සූට් කේසයක දමා ගෙන පැමිණෙන බීජ වර්ග ද විය. මෙම බීජ සහ රෝපණ වර්ග නිරොධායනය කිරීමට හෝ ප්‍රමිති ගත කිරීමට ශක්තිමත් වැඩ පිළිවෙලක් තව වෙනතුරු කෘෂීකර්ම දෙපාර්තමේන්තුව සතුව නොමැත.දැන් දළඹු සේනාවන් මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගොවිපළවල්ද ආක්‍රමණය කරන්නට පටන් ගැනීමෙන් පසු මේ බලධාරීන් ට ඇහැරී ඇති වගක් පෙනෙන්ට ඇත.

          සේනා දළඹුවා යන නාමය (Fall armyworm) නම් ඉංග්‍රීසී නාමයට දුන් සිංහල නමයි. මේ සතා ගේ හිසේ ඉංග්‍රීසි වයි අකුරක හැඩයක් ඇත. සිරුර පුරා ඉදිමුණු බිබිල මෙන් ගැටිති දක්නට ඇත.වගාවන් කාගෙන කාගෙන යෑමට තරම් කුසගින්නක් මේ දළඹුවාට තිබීම නිසා කීට හමුදාවක් ලෙසට හැඳින්වෙන්නට ඇත. මේ සතා (Spodoptera frugiperda ) නම් සලබයාගේ කීට අවස්ථාවයි.උතුරු සහ දකුණු ඇමරිකාව නිජබිම් ලෙසට උපක් මේ දළඹු විශේෂය මුල්වර්ට ඒ රටවල වාර්තා වන්නේ 1964 වසරේ දීය.පසුව බහුජාතික සමාගම් වල කෘෂි අධිරාජ්‍යවාදය නිසා අප්‍රිකාවේ බොහෝ රටවලට පැතිරුණි. අප්‍රකානු රටවල් 44 ක් පමණ මේ දළඹුවා පැතිර යමින් තිබෙන බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තා කර තිබේ.විශේෂයෙන්ම බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව පැතිරෙන්නේ මෙම දළඹුවාට ප්‍රමාණවත් තරම් ආහාර එම වගාවන්හි තිබන බැවිනි. ඊට අමතරව උක් වගාව වී වගාව එළවුළු බෝග ඇතුළ පළල් පත්‍ර තිබෙන වගාවන්ට මේ සතා හානිකරන්නේ ඉතා වේගයෙනි. විදෙස් රටවල වසන්ත කාලය තූළ වැඩෙන මේ සතා ගම්හානයේ දී ඉගිල යේ. ශිත කාලයේ දී ආරක්ෂා වෙමින් ඊළඟ වසන්ත කාලයේ ද පැතිරෙන්නට පටන් ගනී. නමුත් අප්‍රිකාව ඉන්දියාව වැනි ඝර්ම කලාපීය රටක දී උන්ගේ ජීවන චක්‍රය වෙනස්කමකට භාජනය වී ඇතිවාට නිසැකය. ඊට හේතුව පරිසරයට අනුවර්තය වීමට තිබෙන හැකියාවයි.සලබයා විසින් වරකට බිත්තර 1500 ක් පමණ හෙලන අතර දින අනූවක කාලයක් තුළ කීට අවස්ථාවේ සිට සලබයා දක්වා වර්ධනය වන බව සොයා ගෙන තිබේ. කීට අවස්ථාවෙන් පසු මේ සතා තමන්ගේ ගොදුරු සොයා කි.මී. 300ක පමණ ඈත පෙදෙස වලටද පියාසර කරන  බව සොයාගෙන තිබේ. එමි නිසා ඇමරිකාවේ ප්‍රාන්ත කීපයකම මේ සතා ගේ හානිය දක්නට තිබේ යැයි වාර්තා වී ඇත.

       අප්‍රිකානු රටවල මේ සතා පළමු වරට වාර්තා වන්නේ 2016 වසරේ දීය. පසුව ඉන්දියාවේ එය වාර්තා වන්නට පටන් ගත්තේ 2018 වසරේ මැයි මසදීය. 2019 වසරේ දී ලංකාවේ වගා කරන බඩ ඉරිඟු ප්‍ර භේද වල මේ සතා දකින්නට ලැබෙමින් ඇත. රජරට පෙදෙස් වල පමණක් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බස්නාහිර පළාත් ගොවිපළක් වන බෝඹුවල සේවා සංස්කරණ ආයතනය තුළටත් මේ සතා ඇතුළු වී තිබෙන්නේ ආනයනික බීජ හරහා බව නිසැකය. ඒ නිසා මේ දළඹු සේනා උවදුර ගැන සුළුවෙන් තැකිය නොහැතිය. වරින් වර ලංකාවේ වගාවන්ට මෙවැනි විදෙස් සතුන් ගේ ආක්‍රමණ සිදු වී තිබෙන බව මෙහිදී මතක් කළ යුතුය. පොල් වගාවට හානි කළ රතු කුරුමිණියා එක් සතෙකි. ජෛව පාලන ක්‍රමයක් මගින් මේ සතා මර්දනය කිරීමට සමත් විය. මෑත කාලයේ දකුණු පළාතෙන් වාර්තා වූ පොල් කොළ මැලවීමේ රෝගය නිසා දකුණු මුහුදු බඩ තීරයේ පොල් වතු හානියට පත් විය එම උවදුරද පැතිර පැමිණියේ ඉන්දියාවේ කේරළය හරහාය. මේ සතා මර්දනය කරගැනීමට වඩා පහසු උපක්‍රම තිබියදී විශාල පොල් වතු සංඛ්‍යාවක් මුලුමනින්ම කපා දැමීමට පොල් පර්යේෂණ ආයතන උපදෙස් දීමෙන් රට තුළ විශාල පොල් හිඟයක්ද මතුව ආයේය.

       වී වගාවට සාමාන්‍යයෙන් ඇති වන කොපු පණු හානිය පුරුක් පණ හානිය වාර්තා වන්නේ දේශගුණික විපර්යාසයන්ද සමගයි.එසේම පැල මැක්කා වැනි හානි වාර්තා වන්නේ කන්නයට වගා නොකරන කුඹුරු වාගවන් වෙතිනි. මේවා මර්දනය කිරීමට කෘෂී විශේෂඥයන් අධික විස සහිත කෘෂිරසායන නිර්දෙශ කරන නමුත් පාරම්පරික ගොවීහු ලිපේ අළු සහ දහයියා අළු භාවිතා කරමින් මේ පණු උවදුරු මර්දනය කිරීමට දැන සිටියහ. මෙම සේනා දළඹුවා නම් ඊනියා විදෙස් සත්ව සේනාව මර්දනය කරගැනීමට නම් විශේෂ ජෛවපාලන උප්‍රෛමයක් සොයා ගැනීමට උනන්දු විය යුතුය.ලංකාවේ නව නිපැයුම් කරුවන් බොහෝ වෙති. කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත්ව මෙම නව නිපැයුම් කරුවන්ට ආරාධනා කොට සේනා දළඹුවා මර්දනයට යම් පාලන ක්‍රමයක් සොයා ගන්නට පෙළඹීක් කළහොත් නිසැකවට ඔවුන් එය සොයා ගන්නවා ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ අවසාන අවදියේ තිබූ අධික ශීත කාල ගුණයක් සෙනසුරු මාරුවත් නිසා ඇති වූ දෙශගුණ විපරීතය මේ පැතිරීමට තවත් කාරණයක් බව අප මතක තබා ගත යුතුය.මේ නිසා මහ කන්නයේ කුඹුරු වල පණූ හානිය අධීක විය. කෙසේ වෙතත් දෙකොන රත්වී සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මතක් කළ යුත්තේ දැන්වත් ආනයනික බීජ සඳහා තහංචි පැනවිය යුතු බවයි අධික ලාභයට කොමිස් කුට්ටි වල ට වහ වැටී දෙශීය කෘෂිකර්ම විනාශ කරලීමට කිසිවකුටත් ඉඩ නොතැබිය යුතුය.එසේම නැවතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන ගොවිපළවල් භාවිතා කරමින් බීජ නිෂ්පාදනය සිදු කරලීමට උනන්දු කරලිය යුතුය.විදෙස් සේනා දළඹු සේනා මෙන්ම ඊනියා සමාගම් සේනා ද රටේ ස්වාධීනත්වය ට හැනි කරන බව අප දැන්වත් තේරුම් ගත යුතුය.

 

4 Responses to “විදෙස් සේනා මදිවට දළඹු සේනාත් ඇවිත්”

  1. aloy Says:

    If this has been prevalent in other countries how have they tackled it?. Why not educate our people on what they have done instead of re-inventing the wheel?.

  2. Christie Says:

    Tank you a lot for the info.

    http://agrihomegh.com/control-fall-armyworm/

    We could have been ready for the invasion a lot earlier.

  3. Christie Says:

    http://agrihomegh.com/control-fall-armyworm/

    Thanks a lot Mathu.

    We should have been ready a lot earlier.

  4. aloy Says:

    Thanks Christie for this link.
    Perhaps those involved in the battle against the menace will have a look. Perhaps the best is a biological one as it will not affect other species that support the farmers. My thinking is that eruptions like this will have a natural death soon to have a balance in nature.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress