දමිළ සන්ධානයේ ණය බේරන්න රට උකස් තියන්න අපි ඉඩ දෙන්නේ නෑ
Posted on January 15th, 2019

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළට නිර්භීතව ඉදිරිපත් වන සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, මාධ්‍ය හා වෘත්තීය සමිති විවිධ උපක්‍රම හරහා නිශ්ශබ්ද කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

දමිළ සන්ධානයට ණය ගෙවන්න රට උකස් තියන්න තමන් ඉඩ නොදෙන බවත් මැතිවරණයක් පවත්වා සුජාත භාවය ලබාගෙන මෙම ව්‍යවස්ථා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ (14දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

ආණ්ඩුවේ ප්‍රමුඛම අරමුණක් විදියට පෙබරවාරි 04ට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවාලු. ඊට පෙර වාර්තා පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වැඩපිළිවෙළට සහමුලින්ම විරුද්ධයි. මේක නැති ප්‍රශ්න ඇති කරන දෙයක්.

සිකුරාදා මේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපයේ මන්ත්‍රිවරු කිව්වා මේ ගැන ඔවුන්ට වැටහීමක් නැති බව. විශේෂයෙන් ඔරුමිත්තනාඩු කියන දේ ගැන පැහැදිලි කරන්න කිව්වා. අපි දන්නේ නැති අධ්‍යයනය කරලා නැති දෙයකට ඡන්දයක් දෙන්න බැරි බව හෘද සාක්‍ෂියක් ඇති මන්ත්‍රිවරුන් කිව්වා.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටත් පටහැනිවයි මේ දෙය කළේ. මේ ලියවිලි හදාරලා එහි හරය අවබෝධ කරගන්න අඩුම තරමේ දින තුනකට කලින්වත් පාර්ලිමේන්තුවට දැනුම්දීමක් කළ යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය මේ ගැන කිව්වත් නොසලකා හැරියා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් පමණක් වුවත් මොකක්ද ඉදිරිපත් කළේ. ඉදිරිපත් කළා කියන්නේ විද්වත් කමිටුවේ වාර්තාවක්. මේ නිසා නීතියට හා සම්ප්‍රදායට පටහැනි දෙයක් සිදුවුණේ. විද්වත් කමිටුවත් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එකඟතාවකින් තොරවයි මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙයට එතරම් උදේ‍යාගයක් නැහැ.

පෙබරවාරි 04ට කලින් මේක පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ගේන බවයි අගමැති කියන්නේ. දමිළ සන්ධානයයි මේ ආණ්ඩුවට ඔක්සිජන් දෙන්නේ. දමිළ සන්ධානය ආණ්ඩුවට සහාය දෙන්නේ නැහැ කිව්වොත්, හෙට උදේ වෙද්දී මේ ආණ්ඩුව කඩා වැටිලා ඉවරයි. අගමැතිතුමා ආරක්‍ෂා කරන්න දමිළ සන්ධානයේ මන්ත්‍රිවරු 14ක් තීරණයක් ගත්තා.

අය-වැය ලේඛනය පරාජය වුණොත් ආණ්ඩුවක් නැහැ. පරාජය වුණොත් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා ලෙස සලකනවා. දෙමළ සන්ධානයේ 14 දෙනා නැතිව අය-වැය සම්මත වෙන්නේ නැහැ. ආණ්ඩුව යැපෙන්නේ දෙමළ සන්ධානය මතයි. මේ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් දෙමළ සන්ධානය එක්ක ඉන්න වෙනවා. ඇත්තටම මේ රට පාලනය කරන්නේ සුමන්තිරන්ද? වික්‍රමසිංහද? එජාපයද? දෙමළ සන්ධානයද? ජනතා මතය උරගා බැලූ පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාසවලින් 71%ක් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණට ලැබුණා. පරාජය වෙන බව දන්න නිසා එජාපය මැතිවරණය තියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කල් දාන්න බැරි එකම මැතිවරණය ජනාධිපතිවරණයයි. මේකත් කල් දාන්න උත්සාහ කරනවා. මින් මත්තට ජනාධිපති පත් කරන්නේ ජනතාව නෙවෙයි පාර්ලිමේන්තුව කියලා යෝජනාවක් ඇවිත්. මෙහි එකම අරමුණ ජනාධිපතිවරණයත් කල් දාන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන: මේ වන විට රට තුළ ආගමික නායකයන්, විද්වතුන් අතර වගේම ජන සමාජය තුළ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහක් ඇතිවෙලා තියෙනවා. මාධ්‍ය ආයතනවලට අපේ ගෞරවය, ස්තූතිය පුද කරනවා, ගේන්න හදන නව ව්‍යවස්ථාව ගැන ඇත්ත ඇති සැටියෙන් රට හමුවේ හෙළි කිරීම සම්බන්ධයෙන්. මේ නිසාම ඉදිරියේදී මාධ්‍ය ඉදිරියට සම්පූර්ණයෙන්ම මුහුණ වහගත්ත අයත් එන්න ඉඩ තියෙනවා.

අපේ පක්‍ෂයේ සභාපති ජී.එල්. පීරිස් ගියා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැදකින්න. උන්වහන්සේ කිව්වේ ජන මතයට පිටුපාමින් නව ව්‍යවස්ථාවක් ගෙනඒම අවනම්බුවක් බවයි. ඒ වගේම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් කිව්වා, රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් නෙවෙයි ඡන්දයක් බව. තෛ්‍රනිකායික අනුනායක හිමියන්ගේ අදහස් මේ විදියටයි. ව්‍යවස්ථාවක් රටට ඕනේද නැද්ද කියන පණිවුඩය එන්න ඕනේ රටේ ජනතාවගෙන් මිස පාර්ලිමේන්තුවේ ඉන්න කිහිප දෙනෙක් අතරින් නෙවෙයි.

සුමන්තිරන් මහත්තයාට දැන් ව්‍යවස්ථා නාට්‍යයේ අලුත් චරිතයක් භාර දීලා. සුමන්තිරන් උතුරට ඇරලා කියනවා සිංහල ජනතාවගේ ආදරය දිනාගන්න ඕනේ කියලා. සුමන්තිරන් මහත්තයෝ සිංහල ජනතාවගේ ආදරය දිනා ගන්න කලින් දෙමළ ජනතාවගේ ආදරය දිනා ගන්න.

ජනාධිපතිවරණයට එද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එජාප විරෝධී කණ්ඩායම එකතු වෙනවා. 58%ක් ජනතාව ඉන්නේ මේ කඳවුරත් එක්ක. එජාපය එක්ක එකතු වෙන්නේ කවුද? වික්‍රමසිංහ මහත්තයාගේ බාල සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ අනුර මල්ලී, දෙමළ සන්ධානය. මේ අලි කොටි නරි ටික එකතු වුණාම 41%යි. ඊළඟ ජනාධිපතිවරණයට කුලුඳුල් ඡන්ද ලක්‍ෂ 14ක් එකතු වෙනවා. මේ ලක්‍ෂ 14 තීරණාත්මක සාධකයක් වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ: අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරේ වැඩ කරන පන්තියේ නැඟීසිටීම වළක්වන්න වෘත්තීය සමිති නායකයෝ දඩයම් කිරීමත් ආණ්ඩුව අරඹලා
ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය අයිතීන් ගැන, නිදහස ගැන කතා කළාට ඒ දේවල් මේ ආණ්ඩුව අහිමි කරලා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති රටේ ප්‍රධාන වෘත්තීය සමිති වෙලා ඉන්නේ.

තෙල් සංස්ථාවේ සේවකයෙක් මියගියා. කෝලාහලය ඇරැඹුව කෙනා ඇප අරන් ගෙදර. බේරගත්ත කෙනා ඇප නැතිව හිරේ. දර්ශනවල කොටසයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මුහුණු පොතේ තියෙන දර්ශන කිසිවක් අරන් නැහැ. ඒවා ගැන අධිකරණය සැලකිල්ලක් දක්වලා නැහැ. මෙහෙම අසාධාරණ නීතියක් රජ කරන රටකයි අපි ඉන්නේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress