කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැව්වේ දුටුගැමුණු කුමරු නොවේ. මහානාම හිමි යි – ආචාර්ය රාජ් සෝමදේව
Posted on January 21st, 2019
ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසින් රචිත ‘‘මහ රජ ගැමුණු ජයමග ඔස්සේ’’ කෘතිය පසුගිය 10 වන දින කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජන ගත කෙරිණ. මැටරඹ හේමරතන නාහිමිපාණන් මෙම උත්සවයේ මුලසුන හෙබවූ අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි සහ මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරු දෙසුම් පැවැත් වුහ.

ආචාර්ය රාජ් සෝමදේව යනු කවදත් සම්මත ඉතිහාසය අභියෝගයට ලක් කරන විද්වතෙකි; පුරා විදු පර්යේෂකයෙකි. එදින ද ඔහු පැවැත්වූ දේශනයේ ඇතැම් කොටස් සම්මත ඉතිහාසය, එසේත් නැත්නම් විවිධ වංශකතාවල අඩංගු ඉතිහාස කරුණු යම් අභියෝගයකට ලක් කළේ ය.

මතු දැක්වෙන්නේ ඒ මහතා විසින් කරන ලද දේශනය ඇසුරින් සැකසූ ලිපියකි.

මෙය අපි බොහෝ දෙනා විසින් වඩාත් හඳුනන ඓතිහාසික චරිතයක් වන දුටුගැමුණු රජතුමාගේ සංග්‍රාමික ගමන් මග ඔස්සේ කළ ගවේෂණාත්මක චාරිකාවක තොරතුරු ඇතුළත් කෘතියකි. මෙම කෘතිය මගින් මීට වසර දහස් ගණනකට ඉහත සිදු වූ එක් ප්‍රධාන ඓතිහාසික සිද්ධියක් ස්ව අත්දැකීමක් ලෙස විඳගැනීමට පාඨකයාට පුළුල් අවස්ථාවක් ලබාදෙබ බව නිසැක ය. මෙවැනි කෘතියක් සම්පාදනය කිරීම වෙනුවෙන් එහි කර්තෘවරයාට අප සියලු දෙනා විසින් කෘතඥ විය යුත්තේ ඒ නිසා යැයි මම විශ්වාස කරමි.

ඉතිහාසය යනු ඇතැම් විට අප ජීවත්වන වර්තමානයටත් වඩා අපිට සමීප බවක් දනවන්නකි. ඇතැම් ඓතිහාසික චරිත අපගේ අසල්වැසියාටත් වඩා හොඳින් හඳුනමි. එවැනි ඓතිහාසික චරිත අතළොස්සක් අතරින් දුටුගැමුණු රජුගේ චරිතය සුවිශේෂිත ය. මේ සුවිශේෂී බව කියාපාන්නේ අවම වශයෙන් අවුරුදු 1500 ක් පමණ පැරණි ලිඛිත ඓතිහාසික සම්ප්‍රදාය තුළ එම ඓතිහාසික චරිතය අනෙක් චරිතවලට වඩා කිහිප ආකාරයකින් වර්තමානය මගින් එය භාවිතයට ගෙන ඇති හෙයිනි.

ඉතිහාසය නම් වූ නිම්වළලුවලින් දුරස්තව පවතින: කලාව, සාහිත්‍යය, දේශපාලනය ආදී ක්ෂේත්‍රවල මෑත කාලයේ දී දුටුගැමුණු චරිතය ඇගයීමට ලක්වීම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි හොඳම නිදසුන යැයි මම විශ්වාස කරමි. ‘‘මහරජ ගැමුණු ජයමග ඔස්සේ’’ නම් වූ මෙම කෘතිය ද ඒ ඓතිහාසික චරිතය වර්තමාන සමාජය අවශෝෂණය කරගෙන ඇති තවත් මානයක් අප වෙත විදහා දක්වන්නකි. මෙම කෘතිය ප්‍රවේශමින් කියවන විට පෙනෙන්නේ වංශකතාවලින් දැනටමත් ප්‍රතිශ්ඨාපනය කර ඇති වෘත්තාන්තයක් කතුවරයා විසින් ගුරු කොට ගනිමින් ඒ වෘත්තාන්තයේ යථාර්තය ප්‍රායෝගික ලෝකය තුළ සොයාගැනීමට වෑයම් කිරීමට වෙර දරන බවයි. අතීතය අධ්‍යනය කිරීමේ විධික්‍රමයක් ලෙස නම් මෙය මා දකින්නේ අතිශය අවදානම් සහගත කටයුත්තක් බව යි.

සාහිත්‍යමය යථාර්ථයත්, අනුභවික යථාර්ථයත් අතර සංවිද්ධතා මෙන් ම විසංවාද ද හටගනී. ඕනෑම සාහිත්‍යය කෘතියක් ස්වකරණවාචී යැයි පිළිගනු ලබනවා. එය තුළ රචකයාගේ අභිප්‍රේථාර්ථ පමණක් නොව එවැනි චරිතයක් ගොඩනැගීම සඳහා මුදුන්පත්ව පැවති සමාජ, ආර්ථික සංකල්පාවලීන් ගෙන් ද අත්මිදීමට කුමන තරාතිරමක රචකයකු වුව ද අපොහොසත් වෙයි. අප සිතන පතන සියලු දෑ අප ජීවත්වන වර්තමානය මගින් ප්‍රාණය සපයනු ලබන දේ ය. එහෙයින් එවැනි උල්පතකින් පැනනගින, මිනිසුන් විසින් කරනු ලබන නිර්මාණ සියල්ලක් ම පුද්ගල ආත්මීය ආදේශවලින් සමන්විත ය.

දුටුගැමුණු නම් වූ ඓතිහාසික චරිතය මැනවින් සජීවිකරණයට ලක් කර තිබෙන මහාවංශයට වුව ද මේ සිද්ධාන්තය එක සේ සාධාරණ ය. ක්‍රි:ව: පස්වන සියවසේදි මහානාම හිමියන් විසින් දුටුගැමුණු රජතුමා පිළිබඳ එතෙක් පැවති ඓතිහාසික මතකය වර්ණවත් වූ වෘත්තාන්තයක් බවට පරිවර්තනය කොට පරිපූර්ණත්වයට පත්කළේ ය. මෙහි දී අප විසින් තරයේ මතකයට නගා ගතයුත්තේ මහාවංශ කතු හිමි විසින් අලිඛිත මූලාශ්‍ර ඔස්සේ තමන්ට අසන්නට ලැබුණු කරුණු සිය අභිමතය පරිදි සංග්‍රහ කරන ලද බවයි.

කරුණු වනාහී නිගමනවලින් ස්වාධීන වූ ඒවා බව සාමාන්‍ය පිළිගැනීම ය. එහෙත් මහාවංශය මගින් කිසියම් කරුණු සමුදායක් උපස්ථිතික නිගමනයකට ලඝු කරන ආකාරය දුටුගැමුණු රජුගේ චරිතය එහි නිරූපණය වී තිබෙන ස්වරූපය විසංයෝජනය කිරීමෙන් තේරුම් ගත හැකි බව මගේ විශ්වාසය යි. මේ උපස්ථිතික නිගමනයට අනුබලය සපයන්නේ මහාවංශය ආරම්භ වූ කාලයේ ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු සමාජ ආර්ථික යථාර්ථය බව තේරුම් ගැනීමට ඉවහල් වන පුරාවිද්‍යාත්මක සාක්ෂි ගණනාවක් දැනට ලැබෙමින් තිබේ.

අන්තර්ජාතික වෙළෙඳාම තරගකාරී වීමත්, එවක රටේ වයඹ දිග වෙරළේ පිහිටි දකුණු ආසියාවේ වැදගත් ම අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මාතොට වරායේ බලය අල්ලා ගැනීමට දකුණු ඉන්දීය පාලකයන් දැරු නිරන්තර උත්සාහයනුත් ඇතුළත් අනේකප්‍රකාර ගම්‍යතාවයන් අතර මැද ජාතික රාජ්‍යයක් ලෙස නැගී එන අභිමතයට ස්වීය අනන්‍යතාවය පිළිබඳ සංවේ දී වාස්තවික සමාජ මනසක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන සාධනීය පිළිවෙතක් පිළිබඳ උපස්ථිතිය මහාවංශය ගොඩනැගීම තුළ පැහැදිලිව ම පෙනේ.

රටේ සමාජ දේශපාලනික සහ ආර්ථික ස්ථාවරයට නිරන්තරයෙන් බලපැමක් ඇති කළ දකුණු ඉන්දියානු වාසි සියල්ල ම පොදුවේ අනෙකා ලෙස දැක්වෙයි. එම න්‍යාය පත්‍රයේ වැදගත් වූත් එමෙන් ම ප්‍රමුඛතාවයට පත්කිරිමට අභිප්‍රේථ වූත් තේමා ය. එවැනි ගමනාන්තයක් වෙත හිස් නමා කන් සලා සියල්ල අසා සිටින්නට හුරුපුරුදු සමාජයක් නාභිගතකිරීමට වඩාත් සුදුසු චරිතය සහ ඒ වටා දැවටී ඇති සිද්ධි මහාවංශ කතුවරයා විසින් තර්කානුකූලව තෝරාගෙන තිබෙනවා. ඒ දුටුගැමුණු රජුගේ චරිතය යි.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාර්තාගත පැරණිතම දකුණු ඉන්දියානු චරිතය වන එළාර ඉතිහාසය මත පතිත පළමු දකුණු ඉන්දිය සෙවණැල්ල සේ සලකා ඒ සෙවණැල්ලේ අඳුර දුරු කිරීම ජාතික වගකීමක් සේ හුවා දැක්වීමෙන් දුටුගැමුණු රජුගේ විශිෂ්ටත්වය පිළිබඳ හැඟීම වැටහීමට සුදුසු ම කෙතක් එහි කතුවරයා විසින් නිර්මාණය කර තිබෙනවා. මිට වසර 1500 කට පමණ පෙර මහාවංශය රචනා කිරීම ආරම්භ කළ දික්සග සෙනවියා පිළිගෙන ඇති මහානාම හිමියන් තුළ පහළ වූ ඒ උපස්ථිතිය ම දුටුගැමුණු රජතුමා පිළිබඳ වර්තමාන කථිකාව තුළ දෝංකාර නංවන අයුරු උපාලිගේ කෘතිය ආරම්භයේ දී ම මම දුටුවෙමි. ඔහුගේ කෘතියේ ‘‘සියල්ලට ම පෙර කියවීම’’ නමැති පරිච්ඡේදයේ දෙවැනි ඡේදයේ ඇති කොටසක් මෙසේ උපුටා දක්වමි.
‘‘අපේ සටන් බිම බොහොම දරුණුයි. මානුෂීය මෙහෙයුම හරිහැටි ක්‍රියාත්මක නැතත් අපේ රණවිරුවන්ගේ ආත්මවිශ්වාසය, චිත්ත ධෛර්යය නංවන්න මේ කෘතිය යම් සවියක් වෙන්න පුළුවන්. දුටුගැමුණු මහරජු ගේ ජය මාවත ගැන ලියන්න තීම් එකක් සුදානම් කරන්න එතුමා කීවා’’

මේ ප්‍රකාශය මගින් ධ්වනිත වන අදහස ඇත්ත වශයෙන් ම විසිවැනි සියවසේ මෙරට පැවති ජාතික නිදහස් අරගල සමයේ වඩාත් ම උත්කර්ශවත් ලෙස අපේ සමාජය තුළ භාවිතයට පැමිණියක් බව මගේ විශ්වාසය යි. වර්තමානයේ අප දන්නා සමාජයේ වාස්තවික ව්‍යාකූලතා අපගේ ග්‍රහණයෙන් මිදී පහළට රූටා ගොස් තවදුරටත් සමාජ අර්බුදයක් බවට පත්වන විට ඒවා එක්තැන් කොට ගොනු කරගැනීමට ඓතිහාසික සිද්ධි හා ඒවාට සම්බන්ධ චරිත ඉස්මතුකොට දැක්වීම යනු කිසියම් සමාජයක් විසින් අතීතය වර්තමානය මත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ස්වරූපය යි.

මගේ කල්පනාව අනුව නම් දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ චරිතය වටා වංශකතාකරුවන් විසින් පෙළගස්වා තිබෙන සිද්ධි දාමය පෙළගස්වනු වෙනුවට, පුනරුච්ඡාරණය කරනු වෙනුවට ඒ දෙස් විමසිලිමත්ව ඒ චරිතය සහ සිද්ධි මගින් අධ්‍යහාරව අප වෙත සන්නිවේදනය කරන සමාජ දේශපාලනික යථාර්ථය මැනවින් ග්‍රහණය කර ගැනිමට දැන් සුදුසු කාලය පැමිණ ඇති බව යි. ඇත්තෙන් ම මේ රටේ දේශපාලන බලයේ විකාශනය අධ්‍යනය කරන්නෙකුට දුටුගැමුණු කතා ප්‍රවෘත්තියෙන් ලබාගත හැකි ආදර්ශය අතිමහත් ය. ඒ පිළිබඳ සංවාදය ආරම්භ කළ යුත්තේ එතුමාගේ පියා වූ කාවන්තිස්ස රජුගෙනි. ශ්‍රි ලංකාවේ වයඹදිග වෙරළේ පිහිටි එවක ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර වරායක් ලෙස ක්‍රියාත්මක කොට ඇති මාතොට හි බලය තහවුරු කරගැනීමෙන් රටට ඇතිවන ආර්ථික වාසිය පුරෝකථනය කළ එතුමා ඒ වන විටත් එම වරායේ ආධිපත්‍ය දරමින් අනුරාධපුරයේ වාසය කළ එළාර රජුගෙන් එය මුදවාගැනීම කල්යල් බලා සැලසුම් කළ ආකාරයේ උපායමාර්ගික ආදර්ශය නිසිපරිදි අපගේ අවධානයට යොමු නොවුණි.

කාවන්තිස්ස රජතුමා විසින් අනාගත සංග්‍රාමික ප්‍රවේශයක් සඳහා සිය හුද හමුදාව ගොඩනගන ආකාරය පිළිබඳ සහස්ථවත්තුකරණය සහ පාලි රසවාහිනියේ සඳහන් වන තොරතුරු ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. යුද හමුදාවේ ඉහළ තනතුරු සඳහා අඩුම තරමින් කහවනු දාහක වාර්ෂික ආදායමක් ලබන පවුල්වලින් තරුණයන් හමුදාවට බඳවා ගතයුතු බව එ’රජු විසින් නියම කරන ලදී. 1970 දශකය වනතුරු ම මේ රටේ ත්‍රිවිධ හමුදාවන්ට බඳවාගැනීමේ දී ද ආධුනිකයන්ගේ පවුල් පසුබිම පිළිබඳ සූක්ෂම අවධානයක් යොමු කළ ආකාරය අපට අමතක නැත. හමුදාවක තිබිය යුතු විනය අඛණ්ඩව පවත්වාගැනීමට එවැනි ප්‍රවේශයක වැදගත්කම පසුගිය කාලයේ සමහර අවස්ථාවල අප විසින් අත්දකින ලදී. එවැනි දුරදක්නා නුවණකින් ක්‍රියා කළ කාවන්තිස්ස රජතුමාට ස්ත්‍රී ආභරණ යවන ලද්දේ දුටුගැමුණු කුමරුන් නොව මහාවංශය රචනා කළ කතු හිමියන් විසිනි. ඇත්තෙන් ම කාවන්තිස්ස රජුට එවැනි ඓතිහාසික අසාධාරණයක් සිදුවූයේ කුමන ගම්‍යතාවක් පදනම් කරගෙන ද යන්න අප කල්පනා කළ යුතු ය.

තමා විසින් නායකත්වය ලබා දිමට නියමිත සංග්‍රාමිය උපාය මාර්ගයට එලඹීම සදහා දුටුගැමුණු කුමරු ක්‍රියාකරණ ආකාරය ඒ ආකාරයට ම සැලසුම්සහගත ප්‍රජාතන්ත්‍රවාදි ස්වරුපයක් පිළිබිඹු කරන බව මගේ අදහස යි. ඒ වන විටත් ප්‍රාදේශීය ප්‍රභූන් අත පැවති දේශපාලන බලය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව වටහාගත් දුටුගැමුණු කුමරු එය ක්‍රියාත්මක කළේ ය. වේළුසුමන, නන්දිමිත්‍ර ආදී ප්‍රාදේශීය ප්‍රභූන් කේන්ද්‍රීය පාලන ව්‍යුහයකට අවශෝෂණය කිරීම එහි දී අනුගමනය කළ ක්‍රමය යි. එම ක්‍රියාවලියට නිදසුන් සපයන සාක්ෂි දුටුගැමුණු රජුගේ පාලන සමය තුළ රචනා කරන ලද සෙල්ලිපිවල අන්තර්ගතව ඇත. ඇතැම් සෙල්ලිපිවල වේළුසුමන පෙනී සිටින්නේ පරුමක වේළුසුමන යන නමිනි. එහි තේරුම ප්‍රධාන වේළුසුමන යන්නය. නන්දිමිත්‍ර පිළිබඳව වුව ද කිව යුතතේ එලෙස ම ය. නමුත් ඇතැම් සෙල්ලිපිවල මේ දෙදෙනා ම හැඳින්විමට ‘‘ක්ෂණපති’’ හෙවත් ‘‘සේනාපති’’ යන තනතුරු නාමය ද යොදා ඇත. ‘‘පරුමක ක්ෂණපති වෙළුසුමන’’ යනුවෙන් ලියා ඇති සෙල්ලිපි කිහිපයක් සිතුල්පව්වේ දක්නට ඇත.

මේ ප්‍රාදේශීය ප්‍රභූ රාජ්‍ය යාන්ත්‍රණයට අවශෝෂණය කොට ඔවුන් සංග්‍රාමික ව්‍යෘතියේ ජෙනරාල්වරුන් ලෙස සලකා ඔවුන්ට වගකීම් පවරන ආකාරය ඇත්තෙන් ම ප්‍රාදේශීයව පැවති බල න්‍යෂ්ටියේ කේන්ද්‍ර වෙත ගොනු කොට එම ව්‍යුහය වඩාත් සවිගැන්වීම සඳහා අනුගමනය කළ සාධනිය වූත් අතිශය උපායමාර්ගික වූත් දේශපාලන වැඩපිළිවෙළක් ලෙස පෙනේ. සිය සංග්‍රාමික දේශපාලන ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු කෙන්ද්‍රිය පාලන ව්‍යුහයට අවශෝෂණය කළ මේ ප්‍රාදේශීය ප්‍රභූන් රාජ්‍ය යාන්ත්‍රණයේ විවිධ මට්ටම්වල තනතුරු හොබවන තොරතුරු සෙල්ලිපිවල අන්තර්ගතව ඇත.

දුටුගැමුණු රජුගේ චරිතය විසංයෝජනීයව හදාරණ කෙනකු ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය නම් වංශකතා සහ ජනප්‍රවාද මගින් ඒ චරිතය වටා දවටා තිබෙන: අත්භූත, නාටකීය, වෘත්තාන්තමය දුහුවිලි මගින් අප සිත් තුළ උපදවා තිබෙන මායාවෙන් එම චරිතය මුදවා ගැනීම ය. මහාවංශය මගින් ර්ච්ඡේද දහයක් පමණ වෙන් කරමින් ඓතිහාසික උත්කෘශ්ටතාවයට නංවා ඉතිහාසයේ අසමසම චරිතය බවට ඔපමට්ටම් කළ දුටුගැමුණු රජුගේ බිසව ගැන වචනයකුඳු සටහන් නොකිරීමට මේ වංශකතාකරුවෝ ප්‍රවේශම් වූයේ ඇයි?

කොස්සවකන්ද සෙල්ලිපියේ සඳහන් වන පරිදි එතුමාගේ රමණීය බිරිඳ ලෙස විස්තර කර තිබෙන කතී නම් තැනැත්තිය කවුද? ඇයට ඉතිහාසයේ කිසිඳු ස්ථානයක් හිමි නොවූයේ කුමක් නිසා ද? දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු ඉතිහාසයෙන් පිටමං කිරිමට වංශකතාකරුවන් කල්පනා කළේ ඇයි. ඔහු සරණපාවාගත් අශෝකමාලා පහත් කුලයක කාන්තාවක් යැයිසිතුණ නිසාත්, අශෝක මාලාගේ මව කාවන්තිස්ස රජුගේ මාලිගයේ මුළුතැන්ගෙයි ආහාර පිසීමට දායක වු බවත් ඇගේ ආහාර පිසීමේ දක්ෂතාව නිසා ඇයට ‘‘මධුර හස්ත රසායනි’’ යන අන්වර්ථ නාමයක් මාලිගයේ පටබැඳී තිබු බවටත් දක්වන රසවාහිනි විස්තරයත්, මහාවංශ කතුවරයා පවසන ඇගේ පහත්කුළ ප්‍රභවය පිළිබඳවත් අදහස් අතර පවතින විසංවාදය කුමක් ද? දුටුගැමුණු රජුගේ සංග්‍රාමික ව්‍යාපාරය සැලසුම් කිරීමේ දී ඊට මහත් දායකත්වයක් සැපයූ කාවන්තිස්ස රජු වෘත්තාන්තයෙන් ඉවත් කොට ඒ වෙනුවට විහාර මහා දේවිය කරළියට ගන්නට වංශකතාකරු කල්පනා කර තිබෙන්නේ ඇයි?

දුටුගැමුණු රජතුමා පිළිබඳ ඓතිහාසික වංශ කතා මගින් ඉදිරිපත් කරන විස්තර තුළ වැඩිපුර ප්‍රශ්න කිරීම් ගණනාවකට ලක් කළ යුතු මෙවැනි අඳුරු අවස්ථාවන් කිහිපයක් ම තිබෙන බව දක්නට ඇත. පුරාණ රුහුණු පළාතට අයත් කුඹුක්කන්ඔයට යාබද ප්‍රදේශයේ එකල පිහිටා තිබූ එක් පරිපාලන බලප්‍රෙද්ශයක් තුළ වාසය කළ කතරගම පරපුරේ ධර්මරාජගේ මිනිබිරියක් වූ විහාර මහා දේවි කුමරිය කාවන්තිස්ස රජු සමග වැලි කෙළියේ පටන් දැන හැඳුනුම්කම් පවත්වන බවට දක්වා ඇති අදහස වෙත මෙහි දී අවධානය යොමු කළ යුතු ය. විහාර මහා දේවියගේ සැබෑ නම වන ශර්වරී යන්නෙහි අර්ථය රාත්‍රිය යන්න වන අතර විවාහයෙන් පසු තිස්ස කුමරු තමුන්ගේ නමට කාකවණ්න යන කොටස ඈඳාගැනීමත් අතර මතුපිටින් අපිට නොපෙනෙන යම් ගම්‍යතාවක් ඇත. මේ සියල්ල විමසිල්ලෙන් ප්‍රශ්න කළ යුතු ස්ථාන ලෙස මම සලකමි.

ඓතිහාසික විස්තර මගින් පැහැදිලි ලෙස විස්තර කර නොමැති ක්‍රි: පූ: හයවන සියවසට පෙර මෙරට පැවති සමාජය සහ සංස්කෘතිය පිළිබඳව සොයා බැලීම මැතක දී අප විසින් ආරම්භ කළ පුරා විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති තුළින් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව අනාගතයේ දී අපේ රටේ ඉතිහාසයේ මුල්කාල පරිච්ඡේදය සකස් වීම පැහැදිලි කෙරෙන නව සංකල්පීය ආකෘතියකට ප්‍රවේශ වීමට අපට හැකියාවක් ලැබෙනු ඇතැයි යන්න විශ්වාස කළ හැකි ය.

වංශකතාවලින් කිසිවක් නොකියන ලද මෙරට විසූ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය පමණක් නොව ඔවුන් රටේ ප්‍රධාන ඉතිහාස ධාරාවට ඇතුල් වන ආකාරය දැන් දැන් පෙනෙන්නට පටන්ගෙන ඇත. මේ රටේ ඉතිහාසයේ ආරම්භක අවධියේ දේශපාලන කටයුතුවලට සහභාගී වූ චරිතවල සැබෑ අනන්‍යතාව කුමක් ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට ද එම පර්යේෂණ තොරතුරුවලින් ලැබෙන්නේ මහත් ආලෝකයකි. ඒ පිළිබඳ සියල්ල පැහැදිලි කිරිමට මෙය අවස්ථාවක් නොවන අතර දුටුගැමුණු රජතුමා පිළිබඳ ලියවුණු කෘතියක් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳව සඳහන් කළ යුතු යැයි මම අදහස් කළෙමි.

එම කරුණු කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ‘‘මහ රජ ගැමුණු ජය මග ඔස්සේ’’ කෘතියේ රචක උපාලි සමරසිංහ ගැමුණු රජතුමා කෙරෙහි අප තුළ තිබෙන ඓතිහාසික සංජානනය උද්දීප්ත කිරීමට මහත් වෙහෙසක් දරා ඇති බවයි. සාහිත්‍යයකරුවකු ලෙස ඔහු, ඔහුගේ සීමාවන් තුළ සිය කාර්යය සිත්ගන්නා අන්දමින් ඉදිරිපත් කර තිබෙන ආකාරය මෙම කෘතිය කියවන කවුරුන් තුළත් වැටහීමක් ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරමි.

4 Responses to “කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැව්වේ දුටුගැමුණු කුමරු නොවේ. මහානාම හිමි යි – ආචාර්ය රාජ් සෝමදේව”

  1. NeelaMahaYoda Says:

    කාවන්තිස්‌ස රජු දුටුගැමුණු කුමරුට
    එළාර සමඟ යුද්ධයට යැමට අවසර නුදුන්නේ ඇයි ?

    මාගම රාජධානිය ඇරැඹෙනුයේ අනුරාධපුර සිට රුහුණට පලාගිය මහානාග යුව රජුගෙනි. මහානාගට පසු මාගම රජ වූයේ ගෝඨාභය රජුය. මේ පරපුරේ කාවන්තිස්‌ස රජු මාගම රජ කරන විට ලංකාවේ රජරට පාලකයා වූයේ එළාරයි. එළාරගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු පූර්ව 205 – 161 අතර විය. එළාර ධර්මිෂ්ඨව අනුරාධපුර පාලනය කළ බව කියන මහාවංශය ඔහුගේ ධාර්මික බව – අපක්‌ෂපාත බව දැක්‌වීමට ජනකතා කීපයක්‌ ද ඉදිරිපත් කරයි. ඔහු උතුරු ඉන්දියාවේ උජු ගෝත්‍රික රජකු බව “සිංහලයේ මහාරාජ වංශය – 1” ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. “අනුරපුර නටබුන්” ග්‍රන්ථයේදී කඹුරුපිටියේ වනරතන හිමි දක්‌වන පරිදි එළාරගේ මධ්‍යස්‌ථ බව ප්‍රධාන හේතුව ඔහු ජෛන භක්‌තියකු වීමයි. එළාර හා සමකාලීනව මාගම රජ කළ කාවන්තිස්‌ස රජුගේ රාජ්‍ය කාලය වංශකතා අනුව දක්‌වා නැත. මහාවංශය කියනුයේ ඔහු අවුරුදු 64 ක්‌ රජකළ බවයි. තරුණ ගැමුණු කුමරු එළාර හා සටනට යැමට පියරජුගෙන් තුන්වරක්‌ අවසර ඉල්ලුවත් කාවන්තිස්‌ස රජු එම අවසරය නොදෙයි. ඉන් කිපුණු ගැමුණු කුමරු පියරජුට ස්‌ත්‍රී පළඳනා යවයි. පිය රජු කුමරු ඇල්ලීමට සොයද්දී ඔහු කඳුරටට පලා එයි. පියරජුට කිපුණු බැවින් කුමරුට “දුටුගැමුණු” යන නම ලැබුණු බව “මහාවංශය” 24 පරිච්ඡේදයේ 6-7 ගාථා කියයි. එහෙත් ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය පළමු වෙළුම – පළමු කාණ්‌ඩයේ මහාචාර්ය දක්‌වන පරිදි දුටුගැමුණු යනු ධ්‍රැෂ්ට – නිර්භීත – බිය සැක නැති – යන අර්ථය මේ නමේ ගැබ් වී ඇත.

    තරුණ ගැමුණු කුමරුට එළාර හා සටනට යැමට පියරජු අවසර නුදුන්නේ ගැමුණු කුමරුගේ හදිසි ප්‍රහාරයකින් මාගම රාජ්‍යය පැරදුණහොත් දීර්ඝ කාලයකට මාගම රාජ්‍යයේ එළාරට විරුද්ධව යුද සැලසුම් බිඳවැටිය හැකි බැවිනි. දීර්ඝ කාලීන මාගම යුද සැලසුම් තරුණ ගැමුණු කුමරුගේ හදිසි ආක්‍රමණයකින් බිඳවැටීමට ඇති ඉඩ ගැන දුරදක්‌නා නුවණක්‌ තිබූ කාවන්තිස්‌ස රජුට අවබෝධ විය. එළාරට විරුද්ධව මාගම පරපුරේ රජ පෙළපත පරම්පරා දෙක තුනක්‌ සකස්‌ කළ දීර්ඝකාලීන යුද සැලසුම් විය. ඒ යුද සැලසුම් මොනවාදැයි කෙටියෙන් පහත දැක්‌වෙයි.

    මාගම පරපුරේ එදා තරගකාරී රාජ්‍යයක්‌ වූයේ කතරගම දසබෑ රජ පරපුරයි. මාගම ගෝඨාභය රජු මාගම හා තරගකාරී කතරගම දසබෑ රජවරුන් මරා ඒ පව් ගෙවීමට මහවැලි ගඟෙන් එගොඩ මෙගොඩ විහාර පන්සීයක්‌ කරවා “ගෝඨාභය” නම් හිමිනමකට පිදූ බව “ධාතුවංශය” කියයි. බෝවත්තේගල ලෙන්ලිපිවල දසබෑ රජ පරපුර ගැන කියෑවෙයි. මේ අනුව මාගම ව්‍යාප්තියේ පළමු පියවර ගෝඨාභය රජු අරඹා ඇත.

    එදා මාගම හා තරගකාරී තවත් රාජ්‍යයක්‌ වූයේ කැලණිය හා ගිරිනුවරයි. මේ රාජ්‍ය දෙක විවාහ ගනුදෙනු මඟින් ජයගැනීමට කාවන්තිස්‌ස රජු කටයුතු කළේය. “ධාතුවංශය” පරිදි කැලණියේ ශිව රජුගේ බෑණා වූ ගිරිනුවර ගිරිඅභය රජුට කාවන්තිස්‌ස රජු තම සොහොයුරිය වූ සෝමාදේවි විවාහ කර දුන්නේය. ඒ මඟින් කැලණිය හා ගිරිනුවර කාවන්තිස්‌ස රජුට නතු විය.

    එදා මාගම හා තරගකාරීව සිටි කැලණියේ කැලණි රජ පරපුර ජයගැනීමට කාවන්තිස්‌ස රජු විවාහ ගනුදෙනුවක්‌ යොදාගත්තේ ය. රුහුණු රට හැඩඔය අසල කැලණි රජ පරපුර ආරම්භ කළේ අනුරාධපුර රජ කළ මුටසිව රජුගේ පුතෙකි. මේ රජුට

    “ආර්ය උත්තිය” නමින් සහෝදරයකු විය. කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවිය කාවන්තිස්‌ස රජු පාවා ගැනීමෙන් කැලණිය මාගමට පක්‌ෂපාතී විය. කාවන්තිස්‌ස – විහාරදේවි විවාහය දේශපාලනමය විවාහයකි. “සීහළ වත්ථුව” පරිදි මේ දෙදෙනා එකට වැඩී තරුණ කල විවාහ පත් විය. ගොඩබිම සිටි සතුරන් නිසා කැලණිතිස්‌ස රජු තම දූ වූ විහාරදේවිය මුහුදින් මාගමට යෑවීම වංශකතා ඇය මුහුදට බිලිදීමක්‌ ලෙස දක්‌වයි. “පාලි රසවාහිනී” කාකවණ්‌නතිස්‌ස වස්‌තුව අනුව කාවන්තිස්‌සට විහාරදේවිය පාවා දෙන විට ඇගේ වයස අවුරුදු දොළහකි.

    මාගම රාජ්‍යයේ තවත් කුඩා තරගකාරී රාජ්‍ය කීපයක්‌ එදා විය. සේරුනුවර – ගිරිනුවර – ලෝණ නුවර ඒවාය. ධාතුවංශය – ලලාට ධාතු වංශය – සියම් රටේ ලියෑවුණු “ජිනකාලමාලි” ග්‍රන්ථ අනුව කාවන්තිස්‌ස රජු සේරුවිල දාගැබ කරවීමේ ආගමික මුහුණුවර මඟින් මේ කුඩා රාජ්‍යය තමාට නතුකර ගත් බව පෙනෙයි. සේරුවිල දාගැබ උත්සවයට සේරුනුවර ශිව රජු – ගිරිනුවර ගිරිඅභය රජු – කැලණියේ ශිව රජු – ලෝණනුවර මහානාග රජු ආ බව ධාතුවංශය ලලාට ධාතුවංශය – ජිනකාලමාලි විස්‌තර කරයි. ඒ මඟින් මාගම රාජ්‍යය එළාරගේ රාජ්‍ය මායිම දක්‌වා සේරුවිල දක්‌වා ව්‍යාප්ත වූ බව “නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය” ග්‍රන්ථයේ මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමි දක්‌වයි.

    කැලණි රජ පරපුරේ කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවි විවාහකර ගැනීම මාගම රජ පරපුර ලැබූ විශාලම රාජ්‍ය ව්‍යාප්තියයි. එහෙත් විහාරදේවියගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකට බව “කාවන්තිස්‌ස රජතුමා හා විහාරදේවිය” ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. කොටා දැමූ හෙළ ලෙන් ලිපි දහහතරක “අභිසවෙර” නමින් දැක්‌වෙනුයේ විහාරදේවියයි. ඇගේ සහෝදරයකු වූ චුල්ල පිණ්‌ඩතිස්‌ස ථෙරනම ගැන ජිනකාලමාලි ග්‍රන්ථය කියයි.

    කාවන්තිස්‌ස රජු හා එළාර අතර මායිමේ මහවැලි ගඟේ කසාතොට එදා ඉතා වැදගත් විය. කසාතොට රැකවලට කාවන්තිස්‌ස රජු තමාගේ වෙනත් බිසවකගේ පුතකුවූ දීඝාභය කුමරු යෙදවූ බව මහාවංශය හා සහස්‍රවත්ථුප්‍රකරණය කියයි. පාලි රසවාහිනී සුරනිමල වස්‌තුව අනුව මේ දීඝාභය කුමරු කසාතොට යොදුන් හයක්‌ අවටින් හමුදාව බඳවාගත් බව කියයි. එහෙත් පසුකල මේ දීඝාභය එළාර පිලට එකතුව සිටි බව වංශකතා කියයි. ඔහු තමාට නම්මා ගැනීම එළාරගේ දක්‌ෂකමක්‌ විය.

    මහාවංශය – සහස්‌සවත්ථු – පාලි රසවාහිනී – පරිදි කාවන්තිස්‌ස රජුට යෝධයෝ දහදෙනෙක්‌ වූහ. මහාවංශය – නොසඳහන් දාඨාසේන මහානෙල යෝධයන් ගැන පාලි රසවාහිනියේ එයි. ජනප්‍රවාදවල ඔහුට සිටි බුලතා යෝධයා ගැන එයි. බුලතාගේ බිරිඳ ද යෝධ කාන්තාවකි. දසමහා යෝධයන් යටතේ කාවන්තිස්‌ස රජු යුද හමුදාව 1110 රැස්‌ කළ බව මහාවංශය – සහස්‌වත්ථු – පාලි රස වාහිනි කියයි (එළාරට විසිමහා යෝධයන් විය.)

    එළාර හා සටනට රුහුණු රට කාවන්තිස්‌ස රජු ආයුධ නිෂ්පාදනය කළ අතර ඒවා කාවන්තිස්‌ස රජුගේ පෞද්ගලික නිරීක්‌ෂණයට පාත්‍ර වූ බව පාලි රසවාහිනියේ නන්දිමිත්‍ර – සුරනිමල – දාඨාසේන – කතාවස්‌තුවල කියෑවෙයි. කාවන්තිස්‌ස රජු මෙසේ එළාර සමඟ යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වන අතරතුර තම බාල පුත් සද්ධාතිස්‌ස කුමරු දීඝවාපී ප්‍රදේශය රැකීමට හා එහි ගොවිතැන් දියුණු කොට යුද්ධය සඳහා ආහාර රැස්‌කිරීමට දීඝවාපියට යෑවූ බව මහාවංශය හා පාලි රසවාහිනී කියයි. මේ අතරතුර කාවන්තිස්‌ස රජු ආරක්‌ෂාව සඳහා තරුණ ගැමුණු කුමරු “දාවා” නම් හිතවත් සෙනෙවියා පිය තනතුරේ තබා ගැමුණු කුමරු ආරක්‌ෂාව සඳහා ගිරිරට ගිරිඅභය රජු වෙත යවා ඇත. ඒ ගැමුණු කුමරුට ආරක්‌ෂාව සඳහා ගත් පියවරක්‌ බව පෙනෙයි. කුඩුම්බිගල ලෙන් ලිපියක මේ දාවා ඇමැතිගේ නම සෙන්පති “ජුව” ලෙස සඳහන් වන බව මහාචාර්ය පරණවිතානගේ “ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි” ඉංග්‍රීසි ග්‍රන්ථයේ අංක 500 දරන ලෙන් ලිපියෙන් සඳහන් වෙයි. මේ පිළිබඳ සටහනක්‌ එල්ලාවල මේධානන්ද හිමිගේ “දුටුගැමුණු මහ රජතුමා” නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය” ග්‍රන්ථවල එයි.

    කලක්‌ යන විට ගිරිඅභය රජු හා ගැමුණු කුමරු අතර කුල ගැටුමක්‌ ඇරැඹුණු බව “ධාතුවංශය” කියයි. මෙය රජ පවුල් පිළිබඳ ගැටුමක්‌ විය. මේ ගැටුමට පසු ගිරිනුවර ගිරිඅභය රජු තම බිසව වූ සෝමාදේවිය සමඟ ගිරිරට අත්හැර සේරුනුවර ශිව රජු වෙත යයි. ධාතුවංශය විස්‌තර කරන තොරතුරු අනුව සෝමනුවර වෙරුගල් උතුරේ පිහිටා ඇති බව “දුටුගැමුණු මහ රජතුමා” ග්‍රන්ථය පෙන්වා දෙයි. ධාතුවංශය අනුව සේරුවිල දාගැබ කරවීමට පෙර කාවන්තිස්‌ස රජු ගැමුණු කුමරු ආපසු මාගමට කැඳවා අවශ්‍ය උපදෙස්‌ ලබාදී තිස්‌ස කුමරු – විහාරදේවිය සමඟ සේරුනුවර දාගැබ කරවීමට ගිය බව කියෑවෙයි.

    මේ අනුව ගිරිරට සිට ආපසු මාගමට ගැමුණු කුමරු දාවා ඇමැති සමඟ කැඳවා මාගම රාජ්‍යය භාරදී කාවන්තිස්‌ස රජු සේරුනුවර දාගැබ කරවීමට ගිය බව ධාතුවංශය කීම වැදගත් සටහනකි.

    කාවන්තිස්‌ස රජුගෙන් එළාර හා සටනට තුන්වරක්‌ අවසර ඉල්ලා පිය රජු අවසර නුදුන් විට කුමරු කඳුරටට පලායන්නේ මින් පසුවයි. පාලිරසවාහිනී කියනුයේ තරුණ ගැමුණු කුමරු මායා රට කොත්මලේට පලා ගිය බවයි. සියම් රට “ජිනකාලමාලී” ග්‍රන්ථය අනුව පියා හා ගැටී ගැමුණු කුමරු කඳුරටට පලා යන විට ඔහුගේ වයස අවුරුදු දහසයක්‌ විය. කුමරු අවුරුදු දොළහක්‌ “ගුත්තා” නමින් කොත්මලේ සැඟවී සිටි බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. ඒ කොත්මලේ කොටඟේපිටිය ගමේ “ඌරු පැළැස්‌ස” හෙවත් වීසුරු ගෙදරයි. “දුටුගැමුණු මහ රජතුමා” ග්‍රන්ථයේ එල්ලාවල මේධානන්ද හිමි කියනුයේ දාවා ඇමැති යටතේ කුමරු ගිරිරටට යෑවීම මෙන් තරුණ කුමරු කොත්මලේට පලා යැම ගැමුණු කුමරුගේ ආරක්‌ෂාවට පිය රජු ගත් පියවරක්‌ බවයි. එහෙත් කාවන්තිස්‌ස රජු මියයන විට කුමරු සිටියේ කඳුරට කොත්මලේය. පිය රජු මළ පසු කුමරු කොත්මලේ සිට මාගමට පැමිණි බව පාලි රසවාහිනී වස්‌තුව කියයි. පාලි සහස්‌සවත්ථුවේ “දුට්‌ඨ ගාමිණී” කතාවේ දුටුගැමුණු කුමරු ථෙරපුත්තාභය යෝධයා සමඟ මහා මලය රට පාලත්ථ සතුරා පරදවා උයනක්‌ හා රජමැඳුරක්‌ කළ බව කියයි. මෙය කොත්මලේට පලා යැමට පෙර සිදුවූවක්‌ ද නැත්නම් පසුව සිදුවූවක්‌ දැයි පැහැදිලි මදිය.

    එස්‌. කේ. ජයවර්ධන

  2. NeelaMahaYoda Says:

    ථුපවංසය යෙහි සඳහන් අන්දම;

    …….නැවත කුමාරයන්ට බත් කවන මඟුලෙහි එසේ ම පන්සියයක් දෙනා වහන්සේ පවරා වළඳවා වැළඳූ අන්තයෙහි රන් තලිය ගෙන හැර දෙමහල්ලෝ ම පන්සියයක් දෙනා වහන්සේ ගෙන් පන්සියයක් බත් ආලොප ගෙන දරුවන් දෙන්නා ගෙන තබා බතට හිඳුවා මෙසේ කිවු ය. “දරුවෙනි, තෙපි දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පින් කරවු නම්, මේ බත තොපගේ කුසහෙ යෙහෙන් දිරාව” යි කියා දුන්නු ය. කුමාරවරු දෙබෑයෝ ඒ බත අමාවක් මෙන් කැවු ය.

    උන් දෙබෑයන් (දස) දොළොස් හැවිරිදි වූ කල දරු දෙන්නා විමසනු පිණිස පෙරසේ ම වහන්දෑ වරුන් වළඳවා වැළඳූ අන්‍තයෙහි වැළඳු බත් තලියෙහි ලා ගෙන දෙබෑයන් හිඳුවාලා තලියේ බත් තුන් කොටසක් කොට ඒ කාවන්තිස්ස රජ්ජුරුවෝ දෙබෑයන්ට මෙසේ කිවු ය. “තෙපි දෙබෑයෝ ම ‘අපගේ කුල දෙවතා වූ සංඝයා වහන්සේට විමතියක් නො කරම්හ” යි කියා මේ බත් තුන් කොටසින් එක් කොටසක් කව” යි කිවු ය. එවේලෙහි එබස් ඇසූ දෙබෑයෝ, “අපි දෙන්න ම නිරන්තරයෙන් ම සංඝයා වහන්සේට, පියාණන් වහන්ස, නුඹ වහන්සේ කී සැටියේ ම කරම්හ” යි කියා පළමු කොටස කැවු ය.

    නැවත රජ්ජුරුවෝ කියන්නෝ, “අපි දෙබෑයෝ ඔවුනොවුන්ට විපක්ප නොවම්හ යි කියා දෙවෙනි කොටස කව” යි කිවු ය. ඒ කොටසත් එසේ ම කියා අමාවක් මෙන් කෑවු ය. තුන් වන කොටස, “දෙමළුන් හා සටන් නො කරම්හ යි කියා දිවුට කව” යි කිවු ය.

    මෙසේ රජුජුරුවන් කී කල්හි තිස්ස කුමාරයෝ තමන් අතින් ගත් බත් පිඬ පිට හෙළාපියා පලා ගියෝ ය. ගැමුණු කුමාරයෝ ද එසේම තමන් ගත් බත් පිඩ තලියේ හෙළාපියා තමන් වැදහෝනා තැනට ගොස් යානට පැන නැඟි අත පය හකුළුවා ගෙන වැද හොත්තෝ ය.

    එවේලෙහි එලෙස හොත් පුතණුවන් දැක විහාරමහා දේවි ශෝකයෙන් කම්පා ව මියුඩුරු සුසුම් ලා මෙසේ කියන්නාහ. “ඇයි, පුතණ්ඩ, ගැමුණු කුමාරයෙනි! මේ යහන සුව සේ අතපය දික් කොට වැද නො හෙව කුමක් පිණිස අතපය වක් කොට ගෙන බැණ නො නැඟී වැද හෝනාවු ද පුතණ්ඩැ” යි කිවු ය. එබස් ඇසූ ගැමුණු කුමාරයෝ, “කුමක් කියන සේක් ද මෑණියන් වහන්ස! ගඟින් එතෙර දෙමළුන් වුව, මෑතින් ගොළු මුහුද වුව; කෙසේ ද මා අතපය දික් කොට සුවසේ වැද හෝනේ?, යයි කිවු ය.
    එබස් අසා ගැමුණු කුමාරයන්ගේ අභිප්‍රාය දත් මවුපියෝ මුයෙන් නො බිණු ය. ගැමුණු කුමාර තෙම ක්‍රමයෙන් වැඩෙන්නේ සොළොස් හැවිරිදි වි ය. ඒ කුමර මහ පිනැතියේ මහත් යසසට පැමිණියේ ය. ධෛර්යෙන් ද තෙජසින් ද බල පරාක්‍රමයෙන් ද යුක්ත ය. හස්ති ශිල්ප අශ්ව ශිල්ප රථ ශිල්ප ඛඬ්ග ශිල්ප ධනු ශිල්පයෙහි දක්ෂ ය. ඒ මහා බල ඇති ගැමුණු කුමාර තෙමේ මාගම විසී ය.

    ඉක්බිති කාවන්තිස් රජ්ජුරුවෝ පුතණුවන් ගැමුණු කුමාරයන්ට සේනාවක් දී ඇති කරන පිණිස නන්දිමිත්‍ර යෝධයන් ඇතුළු ව දස දෙනකු දුන්හ.

    ගැමුණු කුමාරයෝ තමන්ගේ අනන්ත වූ පාබළ සේනාව දැක, “මේ සේනාව හැර ගෙන දෙමළුන් හා සටන් කළ මැනවැ” යි සිතා පියාණන් වහන්සේට, “දෙමළුන් හා සටන් කරනු කැමැත්තෙමි” යි කියා යවූ ය.

    රජ්ජුරුවෝ, “පුතණුවන් සටනේ නැසී යෙති” යි යන ශොකයෙන් පුතු රකිනා පිණිස, “ගඟින් මෑත අපට පමණ. සටනින් කාය්ය්ශොක නැතැ” යි වැලකූ ය.

    ගැමුණු කුමාරයෝ ද සටනේ කළ ලොභයෙන් තුන් වාරයක් පියාණන්ට කියා යවා තුන් වාරයෙහි ම නො ගිවිස්නා හෙයින් සතරවෙනි වාරයෙහිදි, “මාගේ පියාණන් වහන්සේ, පිරිමියෙක් වූ නම්, මෙසේ කියා මා නො වලකන සේක; ගැහැනියක සෙයින් වේද එසේ කියන්නේ? අදවක් පටන් එකාවැල දහන්හූ කටිසූත්රව රුවන්තෝඩු යන පිරිමි ආභරණ නො පලඳිනේ ය. පාමුදු පාඩගම් රුවන් තනපට පමුතිලිඞගම් පට්ටකාර මේ ආදී ගෑනු පලඳනා ම පලඳින්නේ ය” යි පියාණන්ට කියා යවූහ.

    ඒ දැක කාවන්තිස්ස රජ්ජුරුවෝ ගැමුණු කුමාරයන්ට කිපි, “රන් හැකිලි ගස්වා මසා මුත් මාගේ පුතණුවන් රැක ගත නො හැක්කැ” යි කිපුණාහ.

    එබස් ඇසූ ගැමුණු කුමාරයෝ පියාණන්ට කිපි නො කියා ම මායා රට කොත්මලේ ගිලිමලයට පලා ගොස් හිඳිනාහ. පියාණන්ට නො කියා කිපී ගෙන දුෂ්ටව ගිය හෙයින් දුට්ඨගාමිණි ය යි මේ නමින් ප්රණසිද්ධ විය.

  3. Dilrook Says:

    Pending a Sinhala response let me reply in English.

    Challenging history with facts is a good way to explore it. However, it must be backed by facts and use events that are consistent with other facts stated in history.

    Gamini Abhaya (Dutugemunu) is a household name because he was a determined and ruthless warrior. He had a bad temper. He disregarded anything and discounted anything that stood in his way. He showed no respect to his father, brother or even monks and other religions this nation had at the time when those were seen as obstacles. There are plenty of examples. None of these dents the great achievements of the king who protected Buddhism in its infancy stage. Such protection against a vicious Hindu invader required ruthless tactics. Anything less would have failed.

    1. When the two princes were young, King Kawantissa fed them sweetened rice taking vows from each of them not to fight Elara. While Saddhatissa obeyed, prince Gamunu spitted it out in anger. Another vow was not to fight each other. Although he accepted it, it was not kept by both.

    2. A battle broke out between the two princes in the east. In that Prince Gamunu and team annihilated Prince Saddhatissa’s crowd. The final bloody battle took place at a Buddhist temple premises. Gemunu pursued Saddhatissa with a blood dripping sword into a Buddhist statue house within the temple. However, the chief monk closed its doors and sat down meditating at its entrance stopping Gemunu. He and his team waited there for days to kill Saddhatissa.

    3. Prince Gemunu held alcohol drinking contests and fight-to-death contests among his army leaders. This is not a regular in Lanka history.

    4. When he was not sufficiently supported by Buddhist monks (due to various acts of violence and disrespecting elders) he turned to pre-Buddhist gods of Sri Lanka. They are Sinhala ancestors immortalized as gods. He begged God Kataragama to help him vanquish not only Elara but all South Indian invaders. His despise against them was heard by his mother when he was very young trying to sleep with his feet tucked in close as if Tamils have invaded his bed and he cannot claim fully what is his. After winning the war he constructed Kataragama Temple and assigned salterns and paddy fields nearby for the upkeep of the Temple. Even today Kataragama is the most venerated shrine in Sri Lanka in terms of numbers. People of all faiths venerate the Temple.

    5. His treatment of Saliya and Asokamala also extends his unwavering beliefs and his dislike for a compromise.

    6. After negotiations he replaced an ancient local shrine with Ruwan Weli Seya named after the goddess whose shrine was there. According to beliefs a curse fell upon him and soon suffered fatal health complications from which he died unable to complete the great temple.

    The point I make is Gamini Abhaya was who he was – a ruthless, uncompromising and determined character who always stood for what he thought was right. There is no need to romanticize him. If not for this nature, we could have perished. Violence must be met with violence. Otherwise the natural process of natural selection will leave us behind in the sands of history and move on. Thankfully it didn’t happen in 161BC. Buddhism in its infancy stages was powerfully protected by a ruthless king so that the people could peacefully follow their religion. He may have sacrificed his chances to become ‘Sovan’, etc. but he achieved much more for a helpless nation. May there be more like him!

  4. Christie Says:

    Tis is not the time for intellectual or academic arguments or fights.

    Todays events and circumstances are much different and the environment is too.

    There was no India then and o Indian Empire and Indian Parasites all over the globe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress