ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිවම බැරිද?
Posted on January 22nd, 2019

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  විසින් ලබා දීමට නියමිතව තිබූ ණය පසුගිය කාලයේ රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ඒ නිසා මේ වසරේ රජය විසින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 5,900ක ණය ගෙවීම ගැටලුවක් වී ඇති බවත් පසුගිය සතියේ පැවැති ආර්ථික විශේෂඥයන්ගේ සමුළුවකදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා තිබිණි.

ඔහුගේ ප්‍රකාශය අසා සිටින සාමාන්‍ය ජනතාවට සිතෙන්නේ රටේ ණය ගෙවීමට ඇති එකම ක්‍රමවේදය ජාත්‍යන්තර අරමුදලින් තව තවත් ණය ගෙන පරණ ණය ගෙවීම බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල දින 51කට අගමැතිකම දැරීම නිසා මෙසේ ජාත්‍යන්තර අරමුදලින් යහපාලනය රජය ගැනීමට තිබුණු අලුත් ණය මාස කිහිපයකින් ප්‍රමාද වී ඇති බවත්ය.

යහපාලන රජයේ හා එහි ආර්ථික විශේෂඥයන්ගේ දුබල මානසිකත්වයට මීට වඩා හොඳ උදාහරණයක් නැත. මහ බැංකු අධිපතිවරයකුගෙන් ආර්ථික විශේෂඥයන්ගේ සමුළුවකදී බලාපොරොත්තු වන්නේ ණය ගෙවීමට ණය ගැනීම ගැන කතා කිරීම නොව අලුතින් ණය නොවී පරණ ණය ගෙවන්නට වත්මන් හා පසුගිය රජයන් විසින් කළ යුතුව තිබුණු එහෙත් නොකළ දේ පහදා දීමය. අවම වශයෙන් අනාගතයේදීවත් කළ යුතු දේ පහදා දීමය.


ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිතයක් තිබෙනවා නම් ණය ගෙවීම සඳහා අලුතින් ණය ගන්නට සිදු වන්නේ නැත. ඒ නිසා මහ බැංකු අධිපතිවරයා මුලින්ම පැහැදිලි කළ යුත්තේ ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිත මේ වන විට 2014 ජනවාරි මාසයේ තිබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 8,300ට වඩා බෙහෙවින් පහළට පැමිණ ඇත්තේ මන්ද කියායි.

පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2018 ඔක්තෝබර්වල මහ බැංකුව සතුව විදේශ සංචිත ඩොලර් මිලියන 7,900ක් තිබුණු බවත් 2018 නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දින 51ක කෙටි පාලන කාලය තුළ මේ සංචිත අඩු වී ඇති බවත්ය.

මෙය හුදෙක්ම ජනතාව නොමඟ යැවීම සඳහා කළ ප්‍රකාශයකි.

2015 ජනවාරිවල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්වන විටත් රජය සතු විදේශ සංචිත ඩොලර් මිලියන 8,300ක් තිබිණි. ඒ 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට එන විට තිබුණු ඩොලර් මිලියන 2,300ක විදේශ සංචිත වසර 9ක් තුළ ඩොලර් මිලියන 6,000කින් වැඩි වීමකි. 2005 – 2014 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි වසර 9න් 4 1/2ම මේ රටේ යුද්ධයක් තිබිණි. එසේ තිබියදීත් වසරකට ඩොලර් මිලියන 667ක් පමණ සාමාන්‍ය අගයකින් සංචිත වැඩි වී තිබිණි.

මේ අවම වේගයෙන් ගියත් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික කළමනාකරණය අතට නොගත්තා නම් අද වන විට විදේශ සංචිතව අවම වශයෙන් ඩොලර් මිලියන 11,000ක්වත් විය යුතුය.

මීට අමතරව යහපාලන රජය පත් වූවට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විශාල වශයෙන් අඩු වීම නිසා රාජපක්‍ෂ මහතාගේ අවසාන රාජ්‍ය පාලන වසරේ තෙල් වෙනුවෙන් වැය කළ මුදලට වඩා ඉතා අඩු මිලකට තෙල් මිලදී ගැනීමට රජයට අවස්ථාව ලැබිණි. මේ නිසා පසුගිය වසර 4 තුළ රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000කට වඩා ඉතිරි විය.

පසුගිය වසර 4 තුළ රජය විවිධ ආකාරවලින් ලබාගත් ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 20,000ට වඩා වැඩි බව පසුගියදා හිටපු මහ බැංකු අධිපති නිවාර්ඩ් කබ්රාල් මහතා රූපවාහිනි සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය.
එසේ නම් වත්මන් මහ බැංකු අධිපතිතුමා ආර්ථික විශේෂඥයන්ගේ සමුළුවේදී පැහැදිලි කළ යුතුව තිබුණේ යහපාලන රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා 2014 අවසන් වන විට තිබුණු ඩොලර් මිලියන 8,300 වසර 4ක් තුළ ඉහළ යනවා පහළට ආවේ කෙසේද කියායි. එසේ නොකොට මහින්ද රාජපක්‍ෂ දින 51කට අගමැති වීම නිසා ජාත්‍යන්තර අරමුදල අමනාප වූවා යැයි නෝක්කාඩු කීම එතුමාට තරම් නොවේ.

නිදහසින් පසු බලයට පත්වූ රජයක්ම බොහෝමයක් විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තීන් අසාර්ථක වී කාලයත් සමඟ මහජනතාව විසින් එම රජයන් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමට මූලික හේතුවක් වූයේ එම රජයන් යටතේ ආර්ථිකයන් හැසිර වූ අය මහ පොළොවේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් වීමය. ඔවුන් බොහෝ විට උත්සාහ කළේ බටහිර හෝ අපරදිග ආර්ථික න්‍යායන් ලංකාවට හඳුන්වා දීමටයි. ඔවුන් බොහෝදෙනකු උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව කියන ආකාරයට ආර්ථිකය හසුරුවන්නටය. නමුත් ලෝකයේ එක තැනක සාර්ථක වන ආර්ථික න්‍යායක් තවත් තැනක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට බැරි බව වටහා ගැනීමට මේ අය අසමත් වූහ. එක රටකට තවත් රටක් සමාන කළ නොහැකිය. සෑම රටකටම එයටම ආවේණික ගැටලු තිබේ.

ඒවායේ ජීවත් වන ජනතාවගේ සංස්කෘතීන්, ජීවන රටාවන්, හැසිරීම් රටාවන්, විශ්වාසයන් එකිනෙකට වෙනස්ය. අනෙකුත් රටවල් සූරාකා අන් රටවල ධනයෙන් පොහොසත් වූ යුරෝපීය රටවල් හැරුණු විට අද ලෝකයේ දියුණු යැයි සැලකිය හැකි සෑම රටක්ම සංවර්ධනය සඳහා තමුන්ටම ආවේණික ක්‍රමවේදයක් භාවිත කොට ඇත්තේ මේ නිසාය. රටක ආර්ථිකය ඇත්තේ ජනතාව අතරයි. කම්හලේ, ගොවිපළේ, කාර්යාලයේ, පාසලේ, රෝහලේ වැඩ කරන ජනතාව අමතක කොට දළ ජාතික නිෂ්පාදනය ඒක පුද්ගල ආදායම වැනි ආර්ථික දර්ශක ගැන තර්ක කිරීමෙන් පලක් නැත. ඒ ගැන කතා කිරීමෙන්ද පලක් නැත. අද මේ රටට අවශ්‍යව ඇත්තේ මහපොළොවේ පයගසා කරන ආර්ථික කළමනාකරණයක් මිස ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාටත් පොදුවේ උගන්නන ආර්ථික කළමනාකරණය නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තමුන් සම්බන්ධ වූ සෑම දියුණු වෙමින් පවතින රටකටම දෙන සුපුරුදු උපදෙස් මාලාවක් ඇත.

රජයේ ආදායම වැඩිකරගෙන වියදම අඩු කරගෙන
අය – වැය පරතරය අඩු කරගන්න.

ඒ සඳහා ජනතාවට සහන දීම නවත්වන්න.

බදු වැඩි කරන්න.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න.

පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමන්න. නැත්නම් විකුණන්න.

විනිමය අනුපාතය පාවෙන්න අරින්න.

ආර්ථිකය විවෘත කරන්න.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දියුණු වෙමින් පවතින රටවල් ණය ගැනීමට පුරුදු කරයි. එම ණයවලින් කොන්දේසි මාලාවකට යටත් වී එදාවේල කළමනාකරණය විනා අන් කිසිදු දීර්ඝකාලීන යහපත් ප්‍රතිඵලයක් අපේක්‍ෂා නොකරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ගත් රටවලට පණවන කොන්දේසි ඉටු කරන්න අවධානය යොමු කරන විට ණය ගත්ත හේතුවත් පවා අමතක වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළන දැලේ පැටලීමේ නිසැක ප්‍රතිඵල මොනවාද?

දුප්පත්කම වැඩිවීම, විරැකියාව වැඩිවීම, දේශීය ව්‍යාපාර දුර්වල වීම, පෞද්ගලික අංශයේ ඒකාධිකාර බිහිවී මහජනතාව සූරා කනු ලැබීම, රට විශාල වශයෙන් ණය වීම, ගත් ණය ගෙවා ගත නොහැකිව රට අසරණ වීම.
1945 ආරම්භ කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් ගෙන පමණක් දියුණු රටක් බවට පත්වූ කිසිම රටක් ලෝකයේ නැත. ඒත් ලංකාවේ මීට පෙර සිටි සමහරක් රජයන් හා විශේෂයෙන්ම වත්මන් රජය උපදෙස් ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්. වත්මන මහ බැංකු අධිපතිවරයා වැලපෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් තාවකාලිකව අමනාප වී ඇතැයි කියාය. මෙවැනි දුර්වල මානසිකත්වයක් තුළ ආණ්ඩුවට ආර්ථික වශයෙන් නම් ඉදිරි ගමනක් නැති බව පැහැදිලිය.

මෙහි වරද නිලධාරීන්ගේ නොවේ. නිලධාරීන්ට උපදෙස් දෙන රාජ්‍ය නායකයන්ගේය. අවාසනාවකට අද රටට නිසි ආර්ථික දැක්මක් ඇති නායකයෙක් නැත. රජයේ චින්තනය හසුරවන්නේ මෑත කාලීනව ආර්ථික සාර්ථකත්වයක් ලැබූ බොහෝ රටවල රාජ්‍ය නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද යල් පැනගිය ආර්ථික ක්‍රමවේදයක් තවමත් කරපින්නාගෙන යන මහපොළොවේ ආර්ථික යථාර්ථය නොහඳුනන රනිල් වික්‍රමසිංහ මහතාය.

මහතීර් මොහොමඩ් මැලේසියාවේත්, ජෙනරාල් පාර්ක් චුන් හී කොරියාවේත්, ලී කුවාන් යූ සිංගප්පූරුවේත් ඩෙන් සියා ඕ පිං චීනයේත් යොදා ගත්තේ තමුන්ටම ආවේණික විසඳුම් මිස පිටතින් ආනයන කළ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාදුන් විසඳුම් නොවේ. ඒ නිසා අනාගතයේ මේ රටට ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අයත් එසේ ස්වාධීනව සිතන්නට හැකියාවක් ඇති අය විය යුතුයි. යහපාලන අව කළමනාකරණය නිසා වසර ගණනාවකින් ආපස්සට ගිය රටට දැන් අවශ්‍ය වී ඇත්තේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මකි.

අනාගතයේ නායකත්වය බලාපොරොත්තු වන්නන් තම දැක්ම නොබියව රටට කිව යුතුය. ඒ සමඟම කාලානුරූපීව වෙනස් විය හැකි මූලික ඉලක්කයන් කිහිපයක් හා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් තුළ ඒ ඉලක්ක ඉටු කර ගැනීම සඳහා හොඳින් සිතාමතා සකස් කරගත් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. ජනතාව බලාපොරොත්තුව සිටින්නේ නිවැරැදි දැක්මක්, පැහැදිලි ඉලක්ක හා බුද්ධිමත් සැලසුම් ඇති අතීතයේද තම හැකියාවන් පෙන්වා ඇති නායකයෙකි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress