කන ඇතුළේ රාජධානිය
Posted on January 23rd, 2019

පරිවර්තනය කළේ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

චං ත්සුවෝ කියලා කියන්නේ කුං ගුරුතුමා ගේ ගුරුකුලයට අයිති පඬිවරයෙක්. පරිපාලන කටයුතුවලට නිලධාරීන් බඳවාගන්න අධිරාජ්‍යය විභාගයත් ඔහු සමත්වුනා. විභාගයේ ප‍්‍රතිඵල ලබාගත්තට පස්සේ දවසක ඔහු අගනුවරට දකුණින් තිබුණු පළාතක පාරක් දිගේ අශ්වයෙක් පිටින් යමින් හිටියා. එහෙම යන අතරමග දී ඔහු වයස්ගත පුද්ගලයෙක්ව දැක්කා. ඒ පුද්ගලයා හිටියේ සුදු කකුල් තියෙන අළු පාට බූරුවෙක්ගේ පිටේ නැගලා. මුව හමින් හදපු කර මල්ලක් ඒ මහල්ලා එල්ලගෙන හිටියා. ඒ මහල්ලා බොහොම සරල ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. හැබැයි ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයෙන් තෘප්තියට පැමිණිච්ච බවක් තමයි පෙන්නුම් කළේ.

චං පඬිවරයාට ඒ මහල්ලා ගැන ලොකු පැහැදීමක් ඇති වුනා. මහල්ලත් එක්ක කතා කළා නම් හොඳයි කියලා ඔහුට හිතුනා. ඒ හින්දා ඔහු මහල්ලාගෙන් ඇහුවා ”ඔබතුමා කොහේ ඉඳලා ද එන්නේ?” කියලා. චං පඬිවරයා දිහා බලලා හිනාවක් පෑවත් මහල්ලා උත්තරයක් දුන්නේ නෑ. ඒ හින්දා පඬිවරයා තව වතාවක් කලින් ප්‍රශ්නය ම ඇහුවා. ඒක අහපු ගමන් තමන්ට හුඟක් තරහ ගිය බවක් මහල්ලා පෙන්නුවා. ”උඹ මොන තරම් වැඩකට නැති මිනිහෙක් ද? උඹ කොහොම ද මගෙන් ඔය විදිහට ප‍්‍රශ්න අහන්නේ? කාගේ හරි සල්ලි හොරකම් කරගෙන පැනලා යන හොරෙක් කියලා හිතාගෙන ද උඹ ඔහොම මගෙන් අහන්නේ? එහෙම නැතිනම්, උඹේ රාජකාරිය පාරේ යන එවුන්ගෙන් කොහෙද යන්නේ, කොහේ ඉඳල ද එන්නේ කියලා අහන එක ද?” කියලා මහල්ලා තරහෙන් කියාගෙන කියාගෙන ගියා.

”නෑ. නෑ… බැලූ බැල්මට මට හිතෙන්නේ ඔබතුමා බොහොම දැනුම් තේරුම් තියෙන කෙනෙක් කියලා. මම කැමැතියි ඔබතුමාගේ ශිෂ්‍යයෙක් වෙන්න. ඒ හින්දයි මම එහෙම ඇහුවේ. මට සමාවෙන්න” කියලා චං බොහොම බැගෑපත් විදිහට කිව්වා.

”මම හිතන්නේ නෑ උඹට උගන්නන්න තරම් දෙයක් මම දන්නවා කියලා. මම ගොඩක් කල් ජීවත් වෙච්ච නිකම් ම නිකම් නාකි මිනිහෙක් විතරයි. මට හිතන්නේ මගේ වැරහැලි දිහා බලලා, මගේ වැදගම්මකට නැතිකම දැකලා උඹ මට ඔච්චම් කරනවා කියලා.” එහෙම කියපු මහල්ලා බූරුවට කසයෙන් පාරක් ගැහුවා. බූරුවා හැල්මේ දුවන්න පටන්ගත්තා.

චං පඬිවරයත් තමන්ගේ අශ්වයාට කකුලෙන් ඇනලා මහල්ලා පස්සෙන් යන්න පටන්ගත්තා. එදා රෑ ඒ දෙන්න ම එක ම නවාතැනක ලැඟුම්ගත්තා. මහල්ලා ඉක්මනින් ම නිදාගන්න ලෑස්තිවුනා. ඔහු තමන්ගේ මුව හම් කරමල්ල කොට්ටයක් විදිහට ඔලූවට යටින් තියාගත්තා. ඒත් චං පඬිවරයාට හිතුනා දවසේ මහන්සිය යන්නත් එක්ක පොඩි අඩියක් ගැහුවා නම් හොඳයි කියලා. ඔහු ටිකක් චකිතයෙන් වගේ මහල්ලාටත් ආරාධනා කරලා ඇහුවා තමන් එක්ක හවුල් වෙන්න පුළුවන් ද කියලා. ඒ කියන පමාවෙන් මහල්ලා නැගිට්ටා. සද්දෙන් හිනාවුනා. ”ඔන්න ඕක තමයි මම වැඩියෙන් ම කැමැති දේ. මට පුදුමයි. උඹ කොහොම ද ඒක දැනගත්තේ?” කියලා කියාගෙන මහල්ලා චං පඬිවරයා ළඟට කිට්ටුවුනා.

රහමෙර කටගාන්න, කටගාන්න මහල්ලාගේ දරදඬුකමත් ටිකෙන් ටික නැතිවෙලා යන්න පටන්ගත්තා. ඒ වග චං පඬිවරයටත් තේරුණා. ඉතින් අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ඇරගෙන ඔහු මෙහෙම කිව්වා. ”මම තරුණයි. මෝඩයි. ඔබතුමාට පුළුවන් ද මගේ මොළේ ටිකක් පාදන්න? මම කැමැතියි ලෝකෙ ගැන මොනවා හරි ටිකක් දැනගන්න.”

”මම දැකලා තියෙන්නේ ලියං, ඡන්, සුයි, ථං රාජ වංශ බලයට එන එකයි ඒවා පිරිහෙන එකයි විතරයි. ඒ හැම එකක් ම දැන් ඉතිහාස පොත්වලට එකතුවෙලා. මං ගැන විතරක් යමක් කියන්න මට පුළුවන්. ඒ කතාව උඹට වැඩක් වෙයි ද කියලා කියන්න බෑ” කියලා මහල්ලා උත්තර දුන්නා.

***

(පාඨකයන්ගේ දැනුමට සටහනක්: චීනයේ ලියං යුගය තිබුණේ ක්‍රිස්තු වර්ෂ 502 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 557 වෙන කල්. ඊට පස්සේ ආවේ ඡන් යුගය. ඒ, ක්‍රිස්තු වර්ෂ 557 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 589 වෙන කල්. සුයි යුගය පැවැතුනේ ක්‍රිස්තු වර්ෂ 581 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 618 වෙන කල්. ථං යුගය පැවැතුනේ ක්‍රිස්තු වර්ෂ 618 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 907 වෙන කල්. ඒ කියන්නේ, මේ මහල්ලා කියන විදිහට එයා අවුරුදු 400 කට වැඩි කාලයක් තිස්සේ වෙච්ච දේවල් දැකලා තියෙනවා. මේ කතාවට අදාළ හින්දා තව කාරණයක් දෙකක් කියන්න ඕන. එකක් තමයි උතුරු චෝ වංශ පාලන කාලය. ඒ පාලනය තිබුණේ ක්‍රිස්තු වර්ෂ 557 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 581 වෙන කල්. උතුරු චෝ, ලියං, ඡන් කියන පාලන අයිති වුනේ චීනයේ තිබුණු උතුරු සහ දකුණු කියන රාජ්‍ය යුග කාලයට. ඒ, චීන මිනිස්සු වෙන වෙනම පාලන ප්‍රදේශ හදාගෙන කා කොටාගත්ත කාලයක්. සුයි අධිරාජ්‍යය පිහිටුවලා චීනය නැවතත් එක්සේසත් කළා. ථං යුගය කියලා කියන්නේ චීන ඉතිහාසයේ ස්වර්ණමය පාලන කාලය කියලා කියන්න පුළුවන්).

අපි ආයෙත් මහල්ලාට සවන්දෙමු.

***

උතුරු චෝ වංශ පාලනේ තියෙන කාලේ මම ජීවත්වුනේ ඡී කෝරළේ. මගේ නම ශන් ත්සුං. වයස අවුරුදු 18 ක් වෙද්දි මම හමුදාවට බැඳුනා. ලියං වංශයේ යුවාන් අධිරාජ්‍යයා අල්ලගෙන හිටපු චිංචෝ නගරයට අපේ හමුදාව පහරදුන්නා. අපි ඒ නගරය අල්ලගත්තා. ඊට පස්සේ මගේ සෙන්පතිතුමාට පැවරුනේ අපේ ජයග‍්‍රාහී හමුදාව උතුරට මෙහෙයවන වැඩේ.

එදා රෑ මම හීනයක් දැක්කා. නිල් පාට ලෝගු ඇඳගත්ත මිනිස්සු දෙන්නෙක් මට ඇහෙන්න පද තේරවිල්ලක් කිව්වා. ඒ දෙන්නා කිව්වේ මොන හරුපයක් ද කියලා මට තේරුණේ නෑ. මම උදේ පාන්දරින් ම නැගිටලා හීන තෝරන්නෙක් හොයාගෙන ගියා. ඒ මනුස්සයා කියපු විදිහට හුඟක් කල් ජීවත්වෙන්න ඕනකමක් මට තියෙනවා නම් මම ඒ නගරයේ ම නැවතිලා ඉන්න ඕන. ඉක්මනින් මැරෙන්න මොකාද කැමැති? ඉතින් මම ඒ උපදේශය පිළි ඇරගෙන මගේ අණදෙන නිලධාරියාට කන්නලව් කරලා ඒ නගරයේ ම නවතින්න අවසර ඉල්ලුවා. ඉතින් ඒ නගරයේ ම නවතින්න කියලා මගේ අණදෙන නිලධාරියා මට අවසර දුන්නා. එතුමා මාව නගරාරක්ෂක බල ඇණියට අනුයුක්ත කළා.

මම ආයෙත් හීන තෝරන්නා හම්බවෙන්න ගියා. නගරයේ ම ඉන්න අවසර ගත්තා කියලා මම ඒ මනුස්සයාට කිව්වා. ඒත් හුඟක් කල් ජීවත්වෙන්න ඒක උදව් වෙයි කියලා විශ්වාසයක් නම් මට තිබුණේ නෑ.

මම කියපු කතාව අහපු හීන තෝරන්නා මට මගේ කලින් ආත්මේ ගැන විස්තරයක් කියන්න පටන්ගත්තා. මම ඊට කලින් ජීවත්වෙලා ඉඳලා තියෙන්නේ ත්ස-ථුං කෝරළේ. ඒ කාලේ මගේ නම ෂ්‍යුඑ චුන්චෝ.

ඒ දවස්වල මම බෙහෙත් ඖෂධයක් පාවිච්චි කරන්නත් තාඕ සූත‍්‍ර, පොත්පත් කියවන්නත් පුරුදුවෙලා ඉඳලා තියෙනවා. පස්සේ කාලෙක මම හුන්-කිං කියන පර්වතය පාමුල ජීවත්වෙන්න ගිහිල්ලා. ඒක කොක්කු ලගින පර්වතයක්. වසන්ත කාලේ දී මම ඒ පර්වතය පාමුල අතු පැලක් අටවගත්තා. ගේ වටේට මල් වැව්වා. වත්ත වටේට උණ ගස් හිටෙව්වා.

අටවැනි චන්ද්‍ර මාසේ පුර පසලොස්වක දවසේ රෑ මම බෙහෙත් ඖෂධය බීලා එළිමහනේ වැතිරිලා හිටියා. මම හුඟක් සංතෝෂෙන් හිටියේ. ඒක හරි ම සුන්දර රාත‍්‍රියක්. මම සිවුරුහන් බෑවා. හඬ නගා සද්ද කළා. මම මගේ හිතේ තිබුණු දේවල් කියාගෙන යන්න පටන්ගත්තා. ”ගිහි ජීවිතේ අත ඇරියාට පස්සේ මම කොච්චර නම් කැපකිරීම් කරලා තියෙනවා ද? මම උත්තරීතර බලාපොරොත්තු ගොඩාක් තියාගෙන මේ ජීවිතේ පටන්ගත්තේ. ඒත් මාත් එක්ක ගැවසෙන්න පුළුවන් උත්තරීතර කෙනෙක් අද වෙනකල් මං ළඟට ඇවිල්ලා නෑ. ඇයි ඇත්තට ම මෙහෙම වෙන්නේ?” කියලා මම සද්දෙන් ඇහුවා.

ඒ එක්කම එක සැරේ ම මට සද්දයක් ඇහෙන්න පටන්ගත්තා. ඒ මොකක් හරි රථයක් එන සද්දයක්. හැබැයි ඒ සද්දේ ඇහුණේ මගේ කන අස්සෙන්. කිසිම හේතුවක් නැතුව එහෙම සද්දයක් ඇහුනා. ඒත් එක්කම මට නිදිමතකුත් ඇතිවුනා. මම පැදුරේ ඇලවුනා.

මගේ ඔළුව පැදුරේ ගෑවෙන කොට ම සිද්ද වුනේ හරිම පුදුමාකාර දෙයක්. පුංචි කරත්තයක්. ඔව්, අඟල් දෙකක් විතර උස ඇති පුංචි කරත්තයක්, රතුපාට රෝද තියෙන, කළුපාට අඹරාවක් තියෙන, කුරුඳු පොතුවල පාට වස්සෙක් ඇද ගෙන ආපු පුංචි කරත්තයක් මගේ කනින් එළියට ආවා. කියන්නත් පුදුමයි. මගේ කනින් එළියට එන්න කරත්තෙට කිසිම අමාරුවක් තිබුණේ නෑ. ඒක හරිම ලේසියෙන් මගේ කනින් එළියට ආවා. හරියට මහ පාරක යනවා වගේ.

ඒ කරත්තේ උඩ පුංචි මිනිස්සු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඇඳගෙන හිටියේ නිල් පාට ලෝගු දෙකක්. ඔළුවේ කොළ පාට තලප්පාවක් බැඳගෙන හිටියා. ආ … ඔව්. රියැදුරෙකුත් හිටියා. අර දෙන්නා හිටියේ අත් වැටට හේත්තු වෙලා. කරත්තේ කනෙන් එළියට ආවාට පස්සේ ඒක නවත්තන්න කියලා ඒ දෙන්නා රියැදුරාට කිව්වා.

දෙන්නා ම කරත්තෙන් බැස්සා. තමන් දෙව් ලෝ රාජධානියේ නියෝජිතයෝ කියලා ඒ දෙන්නා තමන්ව අඳුන්නලා දුන්නා. ඒ ගොල්ලෝ ඇවිල්ලා හිටියේ මගේ සිවුරුහන් හඬ ඇහිච්ච හින්දා. හඳ එළියේ ඉඳගෙන නගපු හඬ ඒ අය හුඟක් ඉහළින් අගය කළා. ඒ අයට ඕන වුනා මාත් එක්ක කතාකරන්න.

”ඔය දෙන්නා ආවේ මගේ කන ඇතුළේ ඉඳලා. එහෙම නම් කොහොම ද දෙව් ලෝ රාජධානියේ ඉඳලා ආවා කියලා කියන්නේ?” කියලා මම පුදුමයෙන් වගේ ඇහුවා. ඇත්තෙන් ම පුදුම නො වී ඉන්න තරම් හේතුවක් මට තිබුණේ නෑ.

”දෙව් ලෝ රාජධානිය තියෙන්නේ අපේ කනේ. කවුද කිව්වේ ඒක ඔබේ කනේ තියෙනවා කියලා?” ඒ දෙන්නා උත්තර දුන්නා.

”ඔය දෙන්නාගේ උස අඟලක් තරම්වත් නෑ. එහෙව් එකේ ඕගොල්ලන්ගේ කන ඇතුළේ රාජධානියක් තියෙන්න ඉඩක් කොහෙද තියෙන්නේ? හොඳයි අපි කියමු කියපු දේ ඇත්ත කියලා. එහෙම නම් ඒ ලෝකේ මිනිස්සු මැක්කන්ටත් වඩා පුංචි එවුන් වෙන්න ඕන” කියලා මම සරදමට වගේ හිනාවුනා.

”ඇත්තම කියනවා නම් අපේ ලෝක දෙකේ ඔය කියන තරම් වෙනසක් නෑ. ඔබට අපිව විශ්වාස නැතිනම් ඇවිල්ලා බලන්න. ඔබේ ඇස් දෙකෙන් ම බලාගන්න. වාසනාව තියෙනවා නම් ඔබට පුළුවන් අපේ රාජධානියේ සදාකාලිකව ම ඉන්න. එතකොට ඔබට පුළුවන් මේ ඉපදෙන මැරෙන චක‍්‍රයෙන් මිදෙන්න” කියලා එතකොට ඒ දෙන්නා කිව්වා.

ඊට පස්සේ ඒ දෙන්නගෙන් කෙනෙක් තමන්ගේ කන මගේ පැත්තට ඇල කළා. මම එබිලා බැලූවා. මම දැක්කා ගස්. මම දැක්කා මල්. මම දැක්කා ගෙවල්. එකක් දෙකක් නෙවෙයි. මහ ගොඩක්. දඟර ගැහිච්ච ගංගා, මහ විශාල කඳු පංති ඈතට විහිදිලා තිබුණා. මම හුඟක් ළං වෙලා ඒවා දිහා බැලූවා. හුඟාක් ළං වුනා. මට මාව ම පාලනය කරගන්න බැරිවුනා. මම ඒ කන ඇතුළට වැටුණා.

මම හිටියේ මහා නගරයක් මැද්දේ. නගරයේ ප‍්‍රාකාරය හුඟක් උසයි. වීදි පළලයි. ඉද්ද ගැහුවා වගේ කෙළින්. මොන පැත්තට යන්න ද කියලා හිතාගන්න බැරිව ඉන්න කොට අර දෙන්නා මගේ දෙපැත්තෙන් හිටගත්තා. ඒ ගොල්ලො කිව්වා තමන්ගේ රට මගේ රට තරම් ම විශාලයි කියලා. ඒක බොරුවක් නෙවෙයි. මම ඒක මගේ ඇස් දෙකින් ම දැක්කා!

ඒ අයගේ රටට ආපු හින්දා මට මහා ෂුවන්චන් රජතුමාව හම්බවෙන්න වෙනවා කියලා ඒ දෙන්නා මට කිව්වා. ෂුවන්චන් රජතුමා ජීවත්වුනේ රත්තරන් මාළිගාවක. දොරවල්වලටයි ජනෙල්වලටයි දාලා තිබුණේ මුතු වැල්වලින් වියපු තිර. මහා ශාලාවක් මැද්දේ එතුමා වාඩිවෙලා හිටියා. රෝස පාට වළාකුළුවලට උඩින් පායලා තියෙන ඉර හඳ රූපවලින් එතුමාගේ ලෝගුව ගෙත්තම් කරලා සරසලා තිබුණා. පැළඳගෙන හිටපු ඔටුන්න හුඟක් උස එකක්. හරිතමිණිවලින් කරවපු පබලූවලින් ඒක වටේට ම සරසලා තිබුණා. නෑඹුල් පිරිමි ළමයි හතර දෙනෙක් උන්වහන්සේගේ දෙපැත්තෙන් හිටගෙන හිටියා.

මාව එක්කර ගෙන ගිය දෙන්න රජතුමා ඉස්සරහා දණ නමස්කාර කළා. ඇස් බිමට කරගත්තා.

උස හිස්වැස්මක් පැළඳගත්ත, කොළ පාට ලෝගුවක් ඇඳගෙන හිටිය නිලධාරියෙක් ලේඛනයක් අතේ තියාගෙන හිටියා. අර දෙන්න කරපු විදිහට ම මමත් රජතුමාට දණ නමස්කාර කළා ම ඒ නිලධාරියා තමන් අතේ තිබුණු ආඥාව කියවන්න පටන්ගත්තා. ඒ කියපු විදිහට මාව ලේකම් මිටිය භාර මහ ලේකම් විදිහට පත් කරලා!

කහ පාට කබා ඇඳගෙන හිටපු මිනිස්සු හතර දෙනෙක් මාව මගේ කාර්යාලයට එක්කර ගෙන ගියා. ඒත් එතෙන්ට ගිය ගමන් ම මට තේරුණා ඒ ලේකම් මිටි ලියලා තියෙන්නේ මහ අමුතු ම භාෂාවකින් කියලා. ඒ එක අකුරක්වත් මට තේරුණේ නෑ. මම මාසයක් ම එතෙන්ට ආවා ගියා. ඒත් කවුරුවත් මාව හම්බවෙන්න ආවේ නෑ. මට කරන්න වැඩක් තිබුණෙත් නෑ.

හැබැයි මට හිතෙන්නේ මොකක් ද, ඒක හිතුණු ගමන් ම මගේ සේවකයෝ ඒ දේ මගේ ළඟට ම ගෙනැල්ලා දුන්නා. මට ඒ ගැන වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණේ නෑ. මට ඕන හැම දෙයක් ම අඩුවක් නැතුව මට ලැබුණා. මට උවමනා දේ ගැන හිතන එක විතරයි මම කළේ.

දවස ගානේ මෙහෙම නිකම් ඉන්න කොට මට මහා කම්මැලිකමක් දැනුණා. කම්මැලිකම යන්නත් එක්ක නගරයේ තිබුණු උස කුළුණකට නගින්න ඕන කියලා මම තීරණය කළා. ඒකට නගින්න පඩිපෙළකුත් තිබුණා. මම ඒ කුළුණ උඩට ම නැග්ගා. ඒක මහ විශාල නගරයක්. හරිම සජීවියි. මිනිස්සු උද්‍යෝගයෙන් එදිනෙදා වැඩවල නිරතවෙනවා. එක එක විදිහේ රථ වාහන වීදි දිගේ දුවනවා. පොඩි එවුන් සෙල්ලම් කරනවා. හරිම උණුසුම් දර්ශනයක්. මට මගේ ගෙදර මතක්වුනා. ඒ හැඟීම මගේ හිතට කවියක් ගෙන එන්න තරම් ප‍්‍රබල එකක් වුනා.

බිම් තලය හමා එන මදනළ

රැගෙන එයි සුවඳ – වනය හා ශිඛර පිසගෙන

මේ තුඟු කුළුණ මත සිට – නෙත් හෙළන මා හට

හැ‍ඟෙයි – මේ මගේ නිවහන නොවන වග!

කඩදාසියක කුරුටු ගාපු ඒ කවිය පස්සේ වෙලාවක අර දෙන්නට – ඒ කියන්නේ මාව මේ රාජධානියට එක්කර ගෙන ආපු දෙන්නට; මම පෙන්නුවා. ඒක දැක්කම ඒ දෙන්නා කෝපයෙන් උමතු වුනා. ස්වභාවයෙන් ම මගේ හිත අශුද්ධ අශෝභන දේවල්වලින් කෙලෙසිලා කියලා ඒ දෙන්නා මොර දුන්නා. මාව තමන්ගේ රාජධානියට ගෙනාපු එක ඒ අය කරපු වැරැද්දක් කියලාත් ඒ දෙන්නා කිව්වා. මම ලෞකික ආශාවලින් මිදිච්ච මිනිහෙක් කියලා හිතපු එකේ වැරැද්ද ගැන ඒ දෙන්නා කම්පා වුනා. මම තාමත් ලෞකික දේවල් ගැන හිතන පහත් මිනිහෙක්!

ඒ දෙන්නා මාව ඒ අයගේ ලෝකෙන් එලෙව්වා. එතකොට ම, මට තේරුනා මගේ කකුල් දෙක පොළොවේ වදින බවක්. මම ඉක්මනින් හැරිලා බැලූවා. එතකොට තමයි දැක්කේ මම ඒ පුද්ගලයාගේ කනින් එළියට වැටිච්ච බව. මම ආයෙත් මගේ අතු පැළ ඉස්සරහ මිදුලේ ඉන්න බව. මම ආයෙත් බැලූවා. ඒ දෙන්නා අතුරුදහන් වෙලා. යන්න ගිහිල්ලා.

මම ඉක්මනින් ගමට ගිහින් මිනිස්සුන්ට කතා කළා. ඒ අය පුදුමවෙලා වගේ මගේ දිහා බැලූවා. මම ෂුඑ චුන්චෝ කියලා ඒ අයට කිව්වා. ඒ අය කිව්වා මම ගමෙන් යන්න ගිහිල්ලා අවුරුදු හත – අටකටත් වැඩියි කියලා. ඒත් මට නම් හිතුනේ මම ගමෙන් ගිහිල්ලා මාසෙකට දෙකකට වැඩිය නෑ කියලා. මම මගේ ගමට ආගන්තුකයෙක්. මට එතැන තැනක් නෑ. ඉතින් මොහොතකට පස්සේ මම මියගියා. ශන් ත්සුං විදිහට මම ආයෙත් ඉපැදුනා.

ඊට පස්සේ හීන තෝරන්නා තමන් ගැන මාත් එක්ක කිව්වා. එතුමා කියපු විදිහට එයා වෙන කවුරුවත් නෙවෙයි. එතුමා මගේ කනින් ආපු අර දෙන්නගෙන් එක්කෙනෙක්!

මම මගේ කලින් ජීවිතයේ දී තාඕ හොයාගන්න සෑහෙන්න කැපවෙච්ච හින්දා තමයි දෙව් ලෝ රාජධානියට යන්න අවස්ථාවක් මට ලැබිලා තියෙන්නේ. ඒත් ලෞකික ආශාවල්, ලෞකික මුල් මුළුමනින් ම උගුල්ලලා තිබ්බ නැති හින්දා මට අමරණීය වෙන්න බැරිවෙලා. ඒත් මම කරපු කැපකිරීම් හින්දා, දරපු උත්සාහය අසීමිත හින්දා අවුරුදු දාහක කාලයක් සාමයෙන් ජීවත්වෙන වාසනාව මට උරුමවෙලා තියෙනවා කියලා එතුමා මට කිව්වා.

මේ විස්තරේ කියපු හීන තෝරන්නා එයා ගේ කට ඇතුළෙන් අඩියක් විතර දිග සේද පටියක් ඇදලා ගත්තා. ඒකේ මොනවා හරි අකුරු ගොඩක්, රූප ගොඩක් ලියලා තිබ්බා. එයා ඒක මට දුන්නා. ඒක දීලා එයා මට කිව්වා ඒක ගිලින්න කියලා. එතුමා කියපු විදිහට මම ඒක ගිල්ලා. ඊට පස්සේ තමයි එයා තමන් කවුද කියලා මට කිව්වේ.

ඊට පස්සේ ඒ හීන තෝරන්නා අතුරුදහන් වුනා.

එදා ඉඳලා මේ වෙනකොට අවුරුද හාරසීයකටත් වඩා ගතවෙලා. මට කවදාවත් ලෙඩක් හැදිලා නෑ. මම කොච්චර නම් දුර ඇවිදලා තියෙනවා ද. හැම පූජනීය කන්දකට ම මම ගිහිල්ලා තියෙනවා. හුඟක් පුදුම දේවල් මම දැකලා තියෙනවා. ඒ හැම එකක් ගැන ම මම ලියලාත් තියෙනවා. ඒ ලියපු ඒවා තමයි මගේ මේ මල්ලේ තියෙන්නේ.

මහල්ලා මුව හම් මල්ල ඇරියා. ඒකෙන් ඇරගෙන බොහොම තදට ඔතලා තිබ්බ සේද ලූලි දෙකක් චං පඬිවරයාට පෙන්නුවා. ඒවගේ ලියලා තිබ්බ අකුරු හරි ම පුංචියි. කියවන්න අමාරුයි. ඒකෙන් පාඨයක් දෙකක් කියවන්න කියලා පඬිවරයා මහල්ලගෙන් ඉල්ලූවා. මහල්ලා කියවන්න පටන්ගත්තා. හරි පුදුමාකාර විස්තර!

***

ඒ විස්තර අහපු චං පඬිතුමා බොහොම සතුටින් නින්දට ගියා. පහුවදා උදේ පාන්දරින් ම එතුමා නැගිට්ටා. ඒත් ඒ වෙනකොට මහල්ලා යන්න ගිහින්!

එයින් දවස් කීපයකට පස්සේ භෂ්ම නිම්නයේ දී කෙනෙක්ට මහල්ලා හම්බවෙලා තියෙනවා. චං පඬිවරයා මතක් කරපු බවකුත් මහල්ලා ඒ පුද්ගලයාට කියලා තියෙනවා. ඒ ආරංචිය ලැබිච්ච ගමන් ම තමන්ගේ අශ්වයා පිටට නැග්ග චං පඬිවරයා භෂ්ම නිම්නය පැත්තට පිම්මේ යන්න පටන්ගත්තා. එතුමා මොහොතක්වත් පමා වුනේ නෑ. ඒත්, ඔහුට මහල්ලා ව හම්බවුනේ නෑ.

පරිවර්තනය කළේ

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(මේ කතාව උපුටාගත්තේ ”ථැයි පිං යුගයේ වාර්තාවලින් උපුටාගත් කතා සංග‍්‍රහය” කියන චීන පොතෙන්. ථැයි පිං කියලා කියන්නේ උතුරු සුං අධිරාජ්‍ය යුගයට අයිති කාලයක්. හරියටම කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 976 ඉඳලා 984 දක්වා වූ කාලය. ඒ වාර්තාවල මේ විදිහේ කතා හත්දාහක් විතර ඇතුළත් වෙලා තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඉදිරියේ දී ඒ පොතින් උපුටාගත්ත තවත් කතාවක් දෙකක් කියන්න උත්සාහ කරන්නම්)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress