විජේවීර ඝාතනයෙන් පස්සෙ පළමු දේශපාලන සාකච්ඡාවට සෝමවංශ නාවෙ ඇයි?
Posted on January 26th, 2019

 ධර්මන් වික්‍රමරත්න උපුටාගැණීම  මව්බි

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 උලපනේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුදින අලුයම කොළඹදී ඝාතනයට පත්විය. විජේවීර අත්අඩංගුවට පත්වන විටද ජවිපෙ අභියෝග ගණනාවකට මුහුණ දී තිබිණි. උතුරේ බෙදුම්වාදී කැරලිකරුවන්ට පවා ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු මර්දනයක් ආරක්ෂක අංශ විසින් ජවිපෙ කැරලිකරුවන්ට එරෙහිව මුදාහැර තිබිණි.

ආණ්ඩුවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පමණක් නොව එමඟින් මෙහෙයවනු ලැබූ අතුරු හමුදා කණ්ඩායම් 13 වන කළු බළල්ලු, ප්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගොනුස්සා, නි, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි මඟින් ජවිපෙ කැරලිකරුවන් පමණක් නොව එහි හිතවතුන් සහ එයට උදවු කළ අයද, කැරලිකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඥාතීන් දහස් ගණනක්ද ඉවක් බවක් නොමැතිව 1989 අගෝස්තුවෙන් පසු ඝාතනය කරන ලදී. එමෙන්ම ඔසී අබේගුණසේකරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛ ඇතැම් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව පවත්වාගෙන ගිය ප්‍රා සංවිධානයද කැරලිකරුවන්ට එරෙහිව ඝාතන කණ්ඩායම්වලට එක්ව තිබිණි.

මේ අනුව ජවිපෙට එරෙහිව සියලු සතුරු බලවේග 1989 ආරම්භයේ සිට එක් කඳවුරකට එක්ව තිබිණි. එයට විෂය මූල තත්ත්වයන් නිර්මාණය කරන ලදදේද ජවිපෙ විසිනි.

කැරැල්ලට එරෙහිව 1987 රජය වෙනුවෙන් නායකත්වය ගනු ලැබුවේ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිය. දෙවැනුව 1988දී එහි නායකත්වය ගනු ලැබුවේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්නය. අවසානයේ කැරැල්ල මර්දනය කළ 1989 ජනාධිපති ප්‍රේමදාසගේ රජය වෙනුවෙන් එහි නායකත්වය ගනු ලැබුවේ නිවාස සහ ඉදිකිරීම් ඇමැති සිරිසේන කුරේය. කැරැලිකරුවන්ට එරෙහිව සිදුකරනු ලබන ආරක්ෂක හමුදා සම්බන්ධී

ඒ යටතේ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙවත් ඔප්ස් කම්බයින් 1989 අගෝස්තු 4 පිහිටු වූ අතර එයට ජවිපෙ ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක 19 ආවරණය කිරීම සඳහා කණ්ඩායම් 100ක් අනුයුක්ත කෙරිණි. එම 20ක පමණ සෑම කණ්ඩායමකට යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරීන් සහ සෙබළුන් අනුයුක්ත කර තිබිණි. මෙම විශේෂ කණ්ඩායම්වල නායකයන් අතර උසස්වීම් සහ වරප්‍රසාද සඳහා කැරැලිකරුවන් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, ප්‍රශ්න කිරීම, තොරතුරු ලබා ගැනීම සඳහා වධ දීම, ඇතැමුන් ‘ඉවත් කිරීම’ සිදුවූයේ තරගයට මෙනි. ඔප්ස් කම්බයින්හි අණදෙන නිලධාරියා වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සිරිල් රණතුංගය. එහි නායකයා හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්නය. අණදෙන නිලධාරියා වූ කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක විය. එහි දෙවැනියා වූ කර්නල් ලක්ෂ්මන් අල්ගම යටතේ තොරතුරු විමර්ශන ඒකකය පැවැතිණි.

ඔප්ස් කම්බයින් පිහිටා තිබුණේ තර්ස්ටන් විදුහල ඉදිරිපිට තට්ටු 2ක ගොඩනැඟිල්ලකය. එහි ප්‍රධානියකු වූයේ බි්‍රගේඩියර් වජිර විජේරත්නය. යුද හමුදා පොලිසියේ මේජර් කුලසිරි උඩුගම්පලද එහි විය. කොළඹ සරසවි නීති පීඨයේ සහ මත්තේගොඩ කඳවුරේ නායකයන් වූයේ ලුතිනන්වරුන් වූ තුවාන් නිසාම් මුතාලිෆ්, සොයිසා, ඒ.එෆ්. ලෆීර්, මංජුල මනතුංග, නිහාල් සිරිශාන්ත සහ කපිතාන් පෙරේරා ඇතුළු පිරිසකි.

ජාවත්තේ සළුසල ඉදිරිපිට විදේශ රැකියා කාර්යාංශයේ ගොඩනැඟිල්ලක පිහිටි කණ්ඩායමක ප්‍රධානීන් වූයේ පාබළ හමුදාවේ කපිතාන් චන්ද්‍රසිරි, කපිතාන් සිරිවර්ධන සහ ලුතිනන් ප්‍රනාන්දුය. හමුදාපති නිවෙස අසල පිහිටි බුඩි හවුස්හි පිහිටි කණ්ඩායමේ ප්‍රධානීන් වූයේ පාබළ හමුදාවේ කාලතුවක්කු හමුදාවේ මේජර් වී.ආර්. සිල්වා, මේජර් බාලසූරිය, කපිතාන් රන්ඔළුව, ලුතිනන් කොස්තා සහ ලුතිනන් ප්‍රියන්ත රණසිංහය. තිඹිරිගස්යාය යටෝරා කඳවුරේ ප්‍රධානීන් වූයේ කාලතුවක්කු හමුදාවේ කපිතාන් කොඩිතුවක්කු සහ ලුතිනන් බස්නායකය. හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩා මණ්ඩපයේ සිටි කණ්ඩායමේ ප්‍රධානීන් වූයේ සේවා බළකායේ ලුතිනන් ඕවිටපාන සහ මාණ්ඩලික සැරයන් රත්නසූරියය. කොළඹ ප්‍රදේශයේ පමණක් තවත් මෙහෙයුම් මධ්‍යස්ථාන වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගණය, මරදානේ ටි්‍රපොලි, මෝදර, වැල්ලම්පිටියේ සේදවත්ත පාසල ඇතුළු ස්ථාන කිහිපයක පැවැතිණි.

ආරක්ෂක අංශවල අතිශය දරුණු මර්දනය නිසා විනයක් සහිත අත්දැකීම් ඇති සංවිධාන ව්‍යුහයක් තුළ ගොඩනැඟුණු ජවිපෙ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් 1989 මුල්භාගය වනවිට ඝාතනයට ලක්විය. එම හිඩැස පිරවීමට ජවිපෙට බොහෝ දුරට සිදුවූයේ අත්දැකීම් විරල, පුද්ගල ඝාතනවලට සහ මංකොල්ලවලට එක්වූ විනයකට හුරු නොවූ 1986 ඉන්දු _ ලංකා ගිවිසුමින් පසු අලුතින් බඳවාගත් අය ගෙනි. ඔවුහු බොහෝ දෙනෙක් පාසල් වියේ සිටි දේශපාලන දැනුමෙන් නොමේරූ පුද්ගලයන් වීම, කැරැල්ලේ ආශ්වාදයෙන් මත් වී එයට එක්වූ අය වීම සහ ග්‍රාමීය ප්‍රදේශවල නොහික්මුණු පිරිස් ලෙස ජනයා සැලකූ පුද්ගලයන් විය. ජවිපෙ 2 වැනි කැරැල්ලේ අවසාන කාලයේ භාවිත වුණු බොහෝ ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජනයාගෙන් කැරැලිකරුවන් වෙන්කර ගැනීමට ආරක්ෂක අංශවලට පහසු විය. අවසාන කාලයේ කැරැල්ල සමාජයේ පුළුල් සහභාගිත්වයකින් තොරව හුදකලා කැරලි ගැසීමක් බවට පත්ව තිබිණි.

ඒ වනවිට ජවිපෙ දේශපාලන මණ්ඩලය අතරද යම් යම් මතභේද ඇතිව තිබිණි. විජේවීර ඇතුළු එහි සුළුතරයකගේ මතය වූයේ සතුරාට මුහුණදීම සඳහා විසිර ගොස් හෝ පසුබැස නැවත සංවිධානය වෙමින් අරගල කිරීමය. එහෙත් උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු, ඩී.එම්. ආනන්ද, ලලිත් විජේරත්න, එච්.බී.හේරත් වැනි අයගේ අදහස වූයේ ආරක්ෂක අංශවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ආරක්ෂක අංශවලට මුහුණදීමේ ක්‍රමවේදයක් සකසා ගැනීමය. රට තුළ තිබෙන වාතාවරණය අනුව බහුතර තීරණයට එකඟවීම හැර වෙනත් විකල්පයක් රෝහණ විජේවීර ප්‍රමුඛ සුළුතර කණ්ඩායමට නොවීය.

මේ හේතුව නිසා ජවිපෙ නායකත්වය පමණක් හෝ ආරක්ෂා කර මර්දනයට මුහුණදීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීමටද ක්ෂණිකව නොහැකි විය. අර්බුදයේ ස්වභාවය විසින් නව සංවිධාන යාන්ත්‍රණයක් ජවිපෙට අවශ්‍ය වුවද 1989 ඔක්තෝබර් 28 රත්නපුරයේදී ඩී.එම්. ආනන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙසතියක් ඇතුළත හෝ වෙනස් ආරක්ෂක ක්‍රමවේදයක් වෙත හුවමාරුවීමට ජවිපෙ නායකත්වය අසමත් වූයේ එබැවිනි.

මර්දනකාරී තත්ත්වය තුළ ජවිපෙ 2 වැනි කැරැල්ල 1989 සැප්තැම්බර් අවසානයේදී යුදමය වශයෙන් විශාල පරාජයකට පත්වෙමින් තිබුණු අතර කැරැලිකරුවන් තුළද මානසික කඩා වැටීම්, භීතිය, අපේක්ෂා භංගත්වය, අවිශ්වාසය සහ සැකය මෝදුවෙමින් පැවැතිණි. විජේවීර ඝාතනය පිළිබඳ ජවිපෙ විසින් නිල ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේද සතියකට පසු 1989 නොවැම්බර් 20 වැනිදාය. ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටියදී විජේවීර කළ ප්‍රකාශය තුළින් ඔහු දුන් පණිවුඩය වූයේ ‘සියල්ල වෙනස් කරන්න’ යන්නය. විජේවීරගේ ප්‍රකාශයේ හරය උකහාගෙන ජවිපෙ නව නායකත්වය උපාය උපක්‍රමයන් තෝරා ගත්තේ නම් පසුව මිය ගිය දහස් ගණනක් ජීවතුන් අතර සිටින්නට බොහෝ ඉඩ තිබිණි.

ජවිපෙ නායකත්වයට පත් වූ සමන් පියසිරි ප්‍රනාන්දු විසින් 1989 නොවැම්බර් 28 වැනිදා 11 දෙනකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පත් කරනු ලැබීය. රත්නපුර _ හිදැල්ලන පණුකෑරපිටියේ දෙදිනක් පැවැති එම දේශපාලන මණ්ඩල රැස්වීමට ලලිත් විජේරත්න සහභාගි වූ අතර ඒ වනවිට ඝාතනයට පත් නොවී සැඟව සිටි ශාන්ත බණ්ඩාර සහ සෝමවංශ අමරසිංහගේද ලිඛිත අනුමැතිය එයට ලැබිණි. එම රැස්වීමේදී දිස්ත්‍රික්ක 19කට නව දේශපාලන ලේකම්වරුන් සහ සන්නද්ධ ලේකම්වරුන්ද, පළාත් මට්ටමින් දේශපාලන සහ යුද නායකයන්ද පත් කරනු ලැබීය. එහෙත් මධ්‍යම කාරක සභිකයන් පත්කර ගැනීම රට තුළ පැවැති සුවිශේෂී තත්ත්වය හේතුකොටගෙන මසක් ඇතුළත සිදුකිරීමට සැමගේ එකඟත්වය පළවිය.

කලින් 1986 සිට 1989 නොවැම්බර් දක්වා ජවිපෙ වැඩ කළ දිස්ත්‍රික්ක 19 බෙදා තිබුණේ කලාප 5කටය. විජේවීර ඝාතනයෙන් පසු නව දේශපාලන මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 19 බෙදන ලද්දේ කලාප 4කටය. සෝමවංශ 1990 මාර්තු 17 රටින් පිටවීමට ප්‍රථම සමන්ගේ නායකත්වයෙන් පැවැති දේශපාලන මණ්ඩල රැස්වීම් දෙකටම සහභාගි නොවීය. එහෙත් සමන් පියසිරිගේ නායකත්වය පිළිගනිමින් ලිඛිත අනුමැතිය එවා තිබිණි. ශාන්ත බණ්ඩාර 1989 නොවැම්බර් 28 පැවැති ප්‍රථම සාකච්ඡාවට සහභාගි නොවූවද නායකත්වයට සියලු සුදුසුකම් ශාන්තට තිබුණද ජවිපෙ නායකත්වය සමන් පියසිරිට භාරදීමට අනුමැතිය පළ කළේය. ශාන්ත 1989 දෙසැම්බර් 07 දේශපාලන මණ්ඩලයේ දෙවැනි රැස්වීමට සහභාගි විය.

නව දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූ ජවිපෙ පෙරමුණු සංවිධාන භාරව කටයුතු කළ ආනන්ද ඉඩමේගම තරුණ, කාන්තා, භික්ෂු කලාප රැස්වීම් 2ක් කැඳවීමට සමත් වූ අතර මාතලේ දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවකට යෑමේදී කොටුවිය. එමෙන්ම උපාලි ජයවීරද උෟව කලාපයේ කලාප මට්ටමින් රැස්වීම් 3ක් කැඳවීමට සමත් විය. ඒවා සිදුවූයේ දුෂ්කර තත්ත්වයන් යටතේ සති 6ක් තුළය. ජවිපෙ දේශපාලන මණ්ඩලය ප්‍රථම වරට 1989 නොවැම්බර් 28 රත්නපුර _ හිදැල්ලන පණුකෑරපිටියේදී පැවැති අතර කලාප දේශපාලන සහ සන්නද්ධ ලේකම්වරුන්ද දිසා ලේකම්වරුන් සහ සන්නද්ධ ලේකම්වරුන්ද එහිදී පත්විය.

ජවිපෙ දේශපාලන මණ්ඩලය දෙවැනි වරට 1989 දෙසැම්බර් 07 රත්නපුර පණුකෑරපිටියේදී රැස් වූ අතර සෝමවංශ අමරසිංහ හැර සියල්ලෝම එයට එක්වූහ. එහිදී 1989 දෙසැම්බර් 13 රට පුරා ප්‍රහාරයක් සැලසුම් කෙරිණි. ජවිපෙ තෙවැනි දේශපාලන මණ්ඩල රැස්වීම 1990 ජනවාරි 5 හෝමාගමදී පැවැත්වීමට කටයුතු සූදානම් කළද ඒ වනවිට සෝමවංශ අමරසිංහ හැර සියල්ලෝම අත්අඩංගුවට ගෙන හෝ ඝාතනයට ලක්ව තිබිණි. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011 5234384 ලබාගත හැකිය.)කරණය සහ උපදෙස් ලබාදීම 1987 සිට 1989 දක්වා සිදුවූයේ එලෙසිනි. ඊශ්‍රායලයේ මොසාඩ් සහ බි්‍රතාන්‍යයේ එම්.අයි. 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්හි උපදේශකයන් කිහිපදෙනකුගේ සහායද කැරැල්ල මර්දනය කිරීම සඳහා 1989 මැද භාගයේ සිට ආණ්ඩුවේ දේශපාලන නායකත්වයට ලැබිණි.

ධර්මන් වික්‍රමරත්න

One Response to “විජේවීර ඝාතනයෙන් පස්සෙ පළමු දේශපාලන සාකච්ඡාවට සෝමවංශ නාවෙ ඇයි?”

  1. Christie Says:

    Jeppos the Sinhala terrorist arm of the Indian Empire. They killed Sinhalese and got Sinhalese killed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress