සිංහරාජෙ වනසන්න උඩගෙඩි දෙන දේශපාලන නරුමයො කවුද?
Posted on January 27th, 2019

කතාව හා පින්තූර ප්‍රභාත් අත්තනායක

නිරන්තර තෙත් සදාහරිත වන පියසකට තනිව පැවතිය හැකි නොවේ. එයට තදාසන්න සොබාවික පරිසර පද්ධතියේද, ලියන මගේද, කියවන ඔබගේද සහාය අවැසිමය. ඒ සහාය පිළිබඳ ගැටලුකාරී අවස්ථා එමට වුවත් ඒවා සියල්ලම නිදැල්ලේ යෑමට ඉඩදී සිංහරාජය යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් බවට පත් කරන ලද්දේ සිංහරාජයට අනන්‍ය වූ ගති සොබාවය ලෝකයට අතිශයින්ම වැදගත් වන නිසාය. සිංහරාජයේ ඇති ජෛව විවිධත්වය පුදුම උපදවනසුලුය. මිල කළ නොහැකිය.

සිංහරාජය පවතින්නේ අවශේෂ වනාන්තර සහ ඒවා අවට ඇති රක්ෂිත වනාන්තර පද්ධතිය නිසාවෙනි. එම අවශේෂ පරිසර පද්ධතිය සිංහරාජයේ මවුපියෝ වැන්න. ඔවුන්ගෙන් තොරව තම පැවැත්ම සහතික කර ගැනීමට සිංහරාජ දියණියට නොහැකිය. අඳබාල පාරිසරික එන්ජීඕ නඩ සිංහරාජය තම පැවැත්ම සඳහා කෙළි බඩුවක් කරගෙන සිටියද සැබෑවටම හානිය සිදුවන්නේ සිංහරාජයට නොව ඇය පෝෂණය කරනා මවුපියන් වැනි වනාන්තර පද්ධතියට බව ඔවුන් දනිතත් එය නොදන්නා ලෙස හැසිරෙන්නේ එකී අවශේෂ කාරණා ඔවුන්ගේ බඩගෝස්තරය සඳහා නොසෑහෙන නිසා විය හැකිය.

මේ වන විටත් සිංහරාජයේ තනි නොතනියට ඇති අවශේෂ වනාන්තර සියල්ල පාහේ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව පවතී. ඒ දේශපාලන ගඩස්තරයන්ගේ සහායෙනි. එම වනාන්තර අතුරුදන් කරදීම එක දවසකින් දෙකකින් සිදුවන්නක් නොවේ. එය දිගු දුර ඇදෙන ව්‍යාපෘතියකි. ඉඩම් නිරවුල් කර පිඹුරුපත්ද සකසා සහ එම ඉඩම් කීප දෙනකු අතර හුවමාරුව මඟින් එම ඉඩම්වලට නීත්‍යනුකූලභාවය ලබා ගැනීම මෙම සට කපට ව්‍යාපෘතිවල එක් අංගයකි. එවිට රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුව ඇති විනාශය පිළිබඳ වගවීම පමණක් ඉල්ලා සිටින විට පුරාජේරු සහිතව, ලිඛිතව අදාළ ඉඩම් මෙවන් හේතු මඟින් පෞද්ගලික අංශයට ලබා දුන් බව කියන ඔවුන්ට අත පිහදමා ගත හැකිය. නමුත් එම අත පිහදා ගැනීම පිටුපස ඇත්තේ තම දෙඅතින් සිංහරාජ ලෝක උරුමයේ මරණ දැන්වීම ඇලවීම බව ඔවුන් නොදැන සිටිනවාද?

නොදැන සිටිනවා කියා පාඨක ඔබ පිළිගනු ලබනවාද?
ආසන්නතම උදාහරණයට යොමුවීම වැදගත්. සිංහරාජයට තදාසන්න කුඩුනිරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තර ඉඩමක ගස් 581,167ක් සෙන්ටිමීටර් 1.5ක දිගින් සහ තවත් සෙන්ටිමීටර් 1.5ක් වන ලෙස අෑගුල් කර එම අෑගුල අතරට රසායනික ද්‍රව්‍ය දමා කෘත්‍රිම ලෙස මරා දැමීමය.

එහි දැව පරිමාව 57.11.67 ථ3 මූල්‍ය වටිනාකම රුපියල් 9,58,925.60කි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එල්.එස්. හතුරුසිංහ සහ පී.ජී. චන්ද්‍රසිරි යන රස පරීක්ෂක නිලධාරීන්ගේ නිගමනය වන්නේ මෙම ගස් මෙලෙස කෘත්‍රිමව මරා දැමීම සඳහා ලෝහමය ආසනික් සහ පළිබෝධ නාශක යොදාගෙන තිබෙන බවය. පළිබෝධ නාශකවල සංයුතිය අතරට කාබනික පොස්පේට්, කාබනේට් සංයෝග, කාබනික ක්ලෝරයිඩ්, පැරැක්වාඩ් සහ ග්ලයිෆෝසෙට් අඩංගුය. ප්‍රිය පාඨකය, ඔබ ඇසූ පිරූ තැන් ඇති අයෙක් නම් මෙම සංහාරය සඳහා භාවිත කර ඇත්තේ මිනිසුන් අතකින් භාවිත නොකළ යුතු අන්දමේ රසායනික සංයෝග බව හඳුනාගනු ඇත. ගස් කඳ සිදුරු කර හාරා ගන්නා ලද අෑගුල තුළට මෙම රසායනික සංයෝග ඇතුළත් කිරීම මඟින් සතියක කාලයක් තුළ සම්පූර්ණ ගසක කොළ හැලී ගස වියළී යන්නට ගෙන ඇති බවද ගස් තුළට ඇතුළත් කරන රසායනික ද්‍රව්‍ය නිසා සොබාවික දිය පහරක සිටි මත්ස්‍ය විශේෂ කීපයක් මැරී ගොස් සිටි බවද රස පරීක්ෂකයන් සිය නිගමන මඟින් පෙන්වා දී තිබේ. සදාහරිත බව නිසා පරිසරයේ ඇති වැඩි ජල වාෂ්ප ප්‍රමාණය හේතු කරගෙන රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වීම මඟින් ඉදිරියේදී පූර්ණය කළ නොහැකි ගැටලු මෙම සිදුවීම නිසා ඇතිවීමට ඇති ඉඩකඩ පිළිබඳවද එම රස පරීක්ෂක වාර්තා මඟින් ඉඟි ලබාදී තිබේ. මෙලෙස වන සංහාරයක් කර ගස් මරා දමා ඇත්තේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ කුරුඳුගල් ‍ෙදාර පිහිටි අක්කර 42ක ඉඩමක පිහිට ගස්කොළන්ය.

මේ පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් රූබන් වික්‍රමාරච්චි මහතාට ජනාධිපතිවරයාගෙන් ලැබුණු සෘජු උපදෙස් මත ජේ‍යෂ්ඨ පරීක්ෂණ නිලධාරි ඕ.පී. කරුණාදාස මහතා සහ පරීක්ෂණ නිලධාරීන් වන ඩබ්ලිව්.එල්.අයි. බොතේජු, ඊ.ජී. සුනිල් යන නිලධාරීන් පුළුල් කරුණු සොයාබැලීමක් සිදුකර ඇති අතර ඒ ඔස්සේ මතුවූ කරුණු කාරණාවල මූලික හරය වන්නේ මෙය එක් හුදෙකලා සිදුවීමක් නොවන බවත් වඩා වැදගත් කරුණ වන්නේ සිංහරාජය ආසන්නයේ ආරක්ෂිත විශේෂ වනාන්තර හෙළිපෙහෙළි කර නීත්‍යනුකූල ඉඩම් හිමිකම් පත් සකසා ඒවා නැවත සින්නක්කරමය විකුණුමක් මඟින් ආවර්ණ බලපත්‍ර ක්‍රමයට පවරා දී ජවාරම සිදුවන බවයි. ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ සහාය ලැබී නැතැයි කීම මුසාවකි. ඔවුනොවුන් තම තමන්ගේ විෂය පථයට මුවාවෙමින් ඒ තුළ සිට කළු පැහැය සුදු කර පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ නොසණ්ඩාල අයුරිනි. අප විස්තර සවිස්තර කර ගනිමු.

කලවාන පොලිස් වසමේ කුඩුමේරිය ග්‍රාමයේ පිහිටි කුරුඳුගල්‍ෙදාර නමින් හඳුන්වන අක්කර 42ක් පමණ වන ඉඩම සිංහරාජයට ආසන්න ඉඩමක් බැවින් එහි සිංහරාජයේ වැවෙන සිංහරාජයට ආවේණික වූ ගස්කොළන්ද පිරී තිබේ. එම ගස් සිදුරු කර එම ගස් කොළන් විනාශයට පත් වෙන බවට එම ප්‍රදේශයේ සමනල ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික පොල්ගහගේ චානක සමන් කුමාර විසින් 2018.09.29 වැනි දින පී.අයි.ඩී. ඡේද 270/180 යටතේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කරන කලවාන පොලිසිය සිය නිරීක්ෂණ සටහන් කරගන්නා අතර මෙම ඉඩමේ හිමිකරුවන් වශයෙන් හඳුනාගත් පුද්ගලයන් සොයා ප්‍රකාශ සටහන් කිරීමද සිදු කරයි. ඒ අනුව සුහද මාවත, හෝකන්දර, හොරණ පදිංචි අලගියාවඩු චතුර බුද්ධික කරුණාතුංග යන අය කැඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා අතර ඔහු සඳහන් කරන්නේ එම භූමියේ අක්කර 5ක හිමිකරු තමන් බවත් එම ඉඩමේ ඇති ගස් කොළන්වලට හානියක් සිදුවී ඇතත් එම හානිය සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවය. ඊට අමතරව අංක 43, රඹුක්කන, බණ්ඩාරගම ලිපිනයේ පදිංචි පතිරගේ ප්‍රියලාල් පෙරේරා පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කරන්නේ තමන් චතුර බුද්ධික යන අයගේ ඉඩම සහ තවත් 7 දෙනකුට අයත් ඉඩම් අක්කර 35ක කොටසක් වගා කිරීම සඳහා භාරදී තිබූ බවත් මාසයකට පමණ ඉහතදී පුවක්පිටිය, ඇස්වත්ත දකුණ, අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි එම්.පී. ලක්මාල් සමීර යන අයට මෙම ඉඩම් වගාව සඳහා සුදුසු මට්ටමකට පත් කිරීමට රුපියල් ලක්ෂ 5ක මුදලක පොරොන්දුව පිට තමන් විසින් ලබාදුන් බවය. ඉන්පසු එම්.පී.

ලක්මාල් සමීර එම ඉඩම සඳහා කුමක් සිදුකළාද යන්න තමන් නොදන්නා බවත් ඔහු සඳහන් කර සිටී. ඒ අනුව ලක්මාල් සමීර කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමට කටයුතු කර ඇති පොලිසිය එයට අමතරව මෙම හානි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට උද්භිද උද්‍යාන පාලකතුමා, උද්භිද උද්‍යානය, පේරාදෙණිය, අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය වන අඩවි කාර්යාලය කලවාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි – කලවාන, ප්‍රාදේශීය ලේකම්තුමිය – කලවාන වෙත වාර්තා යොමු කර තිබේ. සිය නිරීක්ෂණ මඟින් කලවාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉඩම තුළ සිතාමතා විශාල ප්‍රමාණයේ ගණනය නොහැකි මට්ටමක පවතින වන සංහාරයක් සිදු කර ඇති බවය.

කලවාන ප්‍රාදේශීය ලේකම්වරියද මෙම සිදුවීමට අදාළ ඉඩම පිළිබඳ 2017.04.02 රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කරන අතර එහිදී මෙම සිදුවීමට අදාළ ඉඩම වන්නේ සිංහරාජයට මායිම්ව 198 ඩී, කුඩුමිරිය වසමට අයත් අ:ග:සි: 948 ගගලගමුව සිතියමට අනුව ලොට් අංක 922, 924, 925, 937, 938, 939 යන ඉඩම්ය. මෙම ඉඩමේ කොටසත් 2006.03.02 දින නිකුත් කර ඇති ඉඩම් නිරවුල් කිරීමේ ගැසට් නිවේදනයට අනුව පෞද්ගලික ඉඩමක් ලෙස සඳහන් කර තිබුණත් එම ඉඩම් නිරවුල් කිරීමේ ගැසට් නිවේදනයේ සිංහරාජ අධි රක්ෂිතයට මායිම්ව ඇති මෙම ඉඩම මුල් කරගෙන එවැන්නක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ ගැටලු පවතී. නීතියට මුවා වෙමින් සියල්ල සිදුකළ හැකි පරිසරයක් සකසා ගැනීම සඳහා දිගු කාලීන ව්‍යාපෘති සිදුකිරීම මෙකල දක්නට ලැබෙන ප්‍රබල දසුනක් වන වගද අප මෙහිදී මතකයේ තබා ගත යුත්තකි.

මෙහි ලොට් අංක 922 ඉඩම අක්කර 19කි. ලොට් අංක 924 ඉඩම අක්කර 5 පර්චස් 25කි. ලොට් අංක 925 ඉඩම අක්කර 7 පර්චස් 17කි. ලොට් අංක 937 ඉඩම අක්කර 7 පර්චස් 20කි. ලොට් අංක 938 ඉඩම අක්කර 8 පර්චස් 3කි. ලොට් අංක 939 ඉඩම අක්කර 19 රූට් 3යි පර්චස් 37කි. ඉන්පසුව සිදුව ඇත්තේ මෙම ඉඩම් කොටස්වලින් ලබාගත් කොටස් සහිත ඉඩම් ඔප්පු අංක 970 යටතේ තිබූ ඔප්පු අංක 971 යටතේ නැවත සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනයට විකුණා එය නැවතත් 2017.04.11 දින එම ආයතනය විසින් ඔප්පු අංක 1026,1027,1028,1029,1030,1031 සහ 1032 යටතේ කොටස් කර විකුණා දැමීමය. පසුව ලොට් අංක 922ට අදාළව පවතින ඉඩමේ අක්කර 2ක් පමණ ප්‍රමාණයේ සාමාන්‍ය ගස් ගලවා භූමිය සම්පූර්ණයෙන් එළිපෙහෙළි කර ඇති අතර ලොට් අංක 1184 දරන අක්කර 27 රූඩ් 10 පර්චස් 2ක් සහිත ඉඩම මීට ආසන්නයේ ඇති ඉඩමද එළිපෙහෙළි කර තිබේ. ලොට් අංක 185 අක්කර 394 රූඩ් 1 පර්චස් 11ක් වන යක්ගහකන්ද රක්ෂිතය ආසන්නයේ මෙම ඉඩම් සියල්ලම පිහිටා ඇති අතර මෙම ඉඩම් සියල්ල තවදුරටත් රක්ෂිතය කැලෑ ලක්ෂණ සහිත ඉඩම් බව වාර්තා කරන්නේ කලවාන ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ජී.ඩී.ඒ. උදයකුමාරිය. ඇයගෙන් මෙම ඉඩම් වගාව සඳහා ලබාදෙන්න යැයි අදාළ ඉඩම් වසම භාර ග්‍රාම නිලධාරි තැන ඉල්ලා සිටි බව ප්‍රාදේශීය ලේකම්වරිය පිළිගනී. ඒ සමඟම ඇය කියා සිටින්නේ මෙම ඉඩම ආසන්නයේ නිරන්තර තෙත් සදාහරිත වනාන්තරයක ලක්ෂණ කුළුගන්වනු ලබන සොබාවික දියපහරක්ද ඇති බවයි.

කලවාන ප්‍රාදේශීය ලේකම්වරියට අනුව එය දියපහරක් වුවද සිංහරාජයට තදාසන්න ගම්මුන්ට අනුව එය පරම්පරා කීපයක් තිස්සේ තමුන් ප්‍රයෝජනයට ගත් බෙලිඅත්ත ‍ෙදාළය. සිංහරාජයේ නිරන්තර තෙත් සදාහරිත බව රැකගැනීම සඳහා අතිශයින්ම උපකාරී වන ජල පෝෂකයකි. බෙලිඅත්ත ‍ෙදාළ. අනාදිමත් කාලයක සිට සිංහරාජය අවට ජීවත් වන ගම්මුන් මෙම ‍ෙදාළට තදාසන්නව ඇති ඉඩම් හොරපැකටිහේන, හොරකැටියහේන, දෙහිගහහේන යන නම්වලින් හඳුන්වා ඇත්තේ ඒ නිසාය. පසුකාලීනව විවිධ දේශපාලන බඩගැස්තරයන් මෙම ඉඩම සඳහා ඉඩම් ඔප්පු ලබාදී මෙම භූමිය සඳහා හිමිකම් ප්‍රකාශනද සාදාගෙන ඇති බව හොඳින් නිරීක්ෂණය වේ.

2017 වර්ෂයේ එය සිදුවන අතර 2017.03.14 දින බලයලත් මිනින්දෝරු ආර්.ඩී. අබේකෝන් විසින් අංක 33/88 දරන අනු රේඛනයකින් ඉහත විකුණුම්කර ඔප්පුවලට අදාළව මැනුම් කර පිළියෙල කර ඇති අතර එම අනු රේඛනයන්ට අංක 1 සිට 8 දක්වා කැබලි අංක සඳහා හෙක්ටයාර් 17.0304ක්; තේරුම්ගත හැකි සිංහලෙන් පවසා සිටියොත් සිංහරාජ ජල පෝෂකයෙන් අක්කර 42 පර්චස් 1330ක් වපසරියක් සහිත ඉඩමක් සඳහා ඉහත අනුරේඛනයන් පිළියෙල කර දී තිබේ. මෙය පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රූබන් වික්‍රමආරච්චි මහතා කලවාන පොලිසියෙන් ලිඛිත විමසුමක් සිදුකරන විටදී පොලිසිය අදාළ ඉඩම් හිමිකරුවන්ගේ සටහන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලබයි. කරුණු කාරණා පිළිබඳ ලිඛිත අදහස් එලෙස වුවද දීර්ඝ කාලීන කුමන්ත්‍රණ මඟින් තමන් සිදුකළ අයහපත පිළිබඳ ඔවුනොවුන්ගේ හෘද සාක්ෂිය දිනකදී විමසා සිටිනු ඇත. මෙහිදී වඩාත් වැදගත් කාරණය වන්නේ මෙම ඉඩම් සඳහා 2017.03.14 අනුරේඛන පිළියෙල කළද එම ඉඩම් ප්‍රසිද්ධ නොතාරිස් එස්.කේ.එස්.අයි. හේරත් විසින් 2014.04.11 ලියා සහතික කරන අංක 1026, 1027, 1028, 1029, 1030, 1031 හා 1032 දරන විකුණුම් කර ඔප්පු ප්‍රකාර පිළිවෙළින් ඒ.සී.බී. කරුණාතුංග, කේ.ඒ.ජේ. කස්තුරි ආරච්චි, ඩී.එල්.අයි. උදයංග, පීි.එන්. ‍ෙදාඩංගොඩ, ජේ.කේ. ඕපල්ගේ, ඩී.එන්.පී. අමරසිංහ සහ ඒ.ඩී.පී.ටී. සමරසිංහ, කේ.ඒ.ආර්. ධර්මරත්න යන පුද්ගලයන් සඳහා පෙර සඳහන් කළ ඉඩමේ නීත්‍යනුකූල හිමිකරුවන් බව ප්‍රකාශයට පත් කර එකී විකුණුම්කර ඔප්පුවල පිටපත්ද ලබාදී තිබේ. පසුව සිදුව ඇත්තේ එම නීත්‍යනුකූල හිමිකරුවන් කොළඹ ප්‍රසිද්ධ නොතාරිස් පී.එම්. එරංගා ගජනායක මහත්මිය විසින් ලියා සහතික කරන ලද අංක 1322, 1323, 1324, 1325, 1326, 1327 සහ 1328 දරන විශේෂ ඇටෝනි බලපත්‍ර ප්‍රකාරව එකී ඉඩම සම්බන්ධ කටයුතු කිරීමේ ඇටෝනි බලය පවරා දීමය.

නිර්ලජ්ජිත ලෙස සිංහරාජය හප කර දැමීම, ක්‍රියාවේ යෙදවෙන්නෙකි. එය කොන්දේසි විරහිතව පිළිගත යුතුය. ජනාධිපතිවරයා රටේ පාරිසරික ඇමැතිවරයාය; විෂය සඳහා වගකිවයුත්තාය. ජනතා පරමාධිපත්‍ය අතින් බැලූ කල ජනාධිපතිවරයාට ඉහළින් කිසිවෙක් නැත. නමුත් එකී පරමාධිපත්‍ය රැකීම ඒ වෙනුවෙන් වගකීමට දිවුරුම් දුන් නිලධාරීන් තමන්ගේ අත පල්ලේ රූරා යන්න දී ඇති රඟ මෙම සිදුවීම මඟින් තේරුම් බේරුම් කරගත හැකි වේ.

නිලධාරීන් මෙන් ගස්වලට වගවගන්තිවලට මුවා වී නූතන වන්නට නොහැකිය. එම නිසාම ගස් සදාතනිකය. අප සොබාදහම සමඟ පෑහිය යුතුමය. ඒ; සොබාදහම සඳහා වින කටින්නන් මට්ටු කිරීමත් හරිහරියට සිදු කරමිනි. සොබාදහම සමඟ මිතුරු වීමේ ඇති එක් වැදගත් වාසියක් වන්නේ සොබාදහම සැමදා පරිපූර්ණ මානසික සුවය ලබාදෙන මුත් ඒ වෙනුවෙන් පෙරළා කිසිවක් ඉල්ලා නොසිටීමය.
මතක තබා ගන්න: සොබාදහම සිංහරාජයම නොවෙතත්, නැවතත් එයම වන බව.

කතාව හා පින්තූර
ප්‍රභාත් අත්තනායක

4 Responses to “සිංහරාජෙ වනසන්න උඩගෙඩි දෙන දේශපාලන නරුමයො කවුද?”

  1. jay-ran Says:

    ANEY BUDHU HAAMUDURUWANEY!!! MOKADA MAY,!SINHALA!!BAUDHDHAYANGE-SIRI LANKAAWATA WENNAY????????????BUDHDHA DHARMAYE AANUBHAWEYENG SAHA!!!
    THRIVIDHA RATHNAYE AASHEERVAADHAYENG!!!!
    SAHA SATHWAYE AANUBHAAVAYENG saha “ATHI GARU CATHOLIKA PIYATHUMANG WANA!!!!
    “ATHIGARU! MALCOMN RAAJAGURU, PIYATHUMANGE AASHEERWADHAYENG SAHA!!!!!,
    SATHTYAYE AANUBHAWAYENG!
    APEY SIRI LANKAAWE KARANA VINAASHAKAAREENTA, NIYAMA!
    DHANDUWAMA LEBEWAA!!!

  2. Randeniyage Says:

    When we have mad , greedy liars as env ministers, this cannot be avoided.

  3. Randeniyage Says:

    You need not read more. Just go to Lankaweb home page and scroll down to “Focus” and in mid area you can see previous attempts to destroy Sinharaja too ! It was a Lankaweb reader who stopped that with great efforts. This will continue until proper law and order is established.

  4. Hiranthe Says:

    Jay-ran,

    I have to tell the same thing!

    “Wetath Niyarath Goyam kaa num. Kaata Kiyamdo”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress