අද ඇති එකම සටන විදේශීකරණයෙන් රට බේරා ගැනීමයි
Posted on February 1st, 2019

හර්ෂනී අර්සකුලරත්න උපුටාගැණීම  මව්බිම

පන්ති සටන්, පරිසර සටන්, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටන් ඇතුළු නානා විධ සටන් කොයි කවුරුත් ඉදිරියට ගෙනාවද මේ අවස්ථාවේ රට ඉදිරියේ පවතින්නේ විදේශීයකරණයට එරෙහි වී රට බේරා ගැනීමේ සටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රිවරයා මේ බව කීවේ පසුගියදා (30දා) ජාතික නිදහස් පෙරමුණ කොළඹ පදනම් ආයතනයේ සංවිධාන කොට තිබූ ‘කිරුළ නොරටුන්ට අවුල මෙරටුන්ට’ මැයෙන් පැවැති ජාතික කතිකාව අමතමිනි.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

මාතෘභූමිය සිතනවාටත් වඩා තීරණාත්මක කාලවකවානුවක් පසුකරමිනුයි සිටින්නේ. ඔබත් මමත් අප සැම සිටින්නේ මාතෘ භූමිය තියුණු අභියෝග සමුදායකට මුහුණ දෙමින් සිටින සමයකයි.
2019 වසර මේ මාතෘ භූමිය වෙළා ගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදයෙන් රට බේරා ගෙන මේ වසර වෙද්දී දස වසරක් සම්පූර්ණ වෙනවා.

එදා කිරිබත් කාපු අපි නැවත දස වසරක් ආපස්සට හැරිලා කල්පනා කරලා බැලුවහම ඇවිල්ලා තියෙන්නෙ කොතැනටද? ගෙනයමින් තිබෙන්නේ කොතැනටද? ගෙන යා යුතුව තිබෙන්නේ කොතැනටද කියන ස්වරූප 3ට පිළිතුරු සෙවිය යුතු කාලයක් මේ පසුවෙන්නේ.

රට බේරා ගැනීමේ සටන තමන් ඉදිරියේ තිබේ නම් වෙන වෙන සටන් නෙවෙයි රට වෙනුවෙන් එන අභියෝගයයි පැරදවිය යුත්තේ. ජාතික රාජ්‍ය වෙනුවෙන් ඒ තීරණය ගත යුත්තේ.
මේ වන විට අප ඉදිරියේ ප්‍රධාන උපද්‍රව 7ක් පවතිනවා. මේක සප්ත මහා උපද්‍රව ලෙස හැඳින්විය හැකියි. අතිවිශාල ණය උගුලකට මෙරට හසුවෙමින් රට ඉදිරියේ පවතින ආර්ථික උපද්‍රව්‍ය ඉන් එකක්. පැරැණි ආණ්ඩු ණය ගත්තාය කියලා ඔවුන්ට අවලාද නඟන ආණ්ඩුව කෙටි කාලයක් ඇතුළත ඒ ගත්ත වගේ 50%ක ප්‍රමාණයක ණය ගනිමින් ජනතාව එදා වේල පමණක් කරගෙන යන තැනට රට වට්ටල තියෙනවා. රුපියල කඩා වැටීම ඇතුළු බොහෝ ආර්ථික ව්‍යසනයන් සිදුවෙමින් පවතිනවා.

රටේ මහ ඉහළින් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළොත් නාවික හමුදාවට පසුගියදා මහ ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය බෙදමින් යුද ජයග්‍රහණයේ ඒ දස වසර ප්‍රීතියෙන් සමරමින් ඉන්නවා. පළාත් සභා ඡන්දය ගැන අහද්දී ප්‍රජාතන්ත්‍රවාදී කතාවලින් කන් අඩි පැළෙනවා. ‘කොමිසමේ සභාපතිට යන්න කියන්න. ආණ්ඩුව අපේ අපිට ඕන විදියටයි ඡන්දෙ තියන්නේ’ අන්න අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. පසුගිය දවස්වල සටන් කරලා දිනාගත්ත ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ. අනුර කුමාරගෙ ප්‍රජාතන්ත්‍රවාදය. බටහිර නඩවල ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ.

මේ සියල්ල අතරේ දූෂණයත් අන් කවරදාටවත් වඩා ඉහළින්ම සිදුවෙනවා. මහ බැංකු බැඳුම්කර වාර්තාවේ ගිලපු ගාණ හදාගන්න පුළුවන් කෙනෙක් තාමත් මේ රටේ නැහැ. පයිතගරස් ආවත් ඒ ගාණ හදාගන්න පුළුවන් වේවිද දන්නෙ නැහැ. ඒනිසා ආසන්න අගය කිව්වත් සමස්ත අලාභය කියාගන්න අද බැරිවෙලා ඉන්නේ.

වත්මන් ආණ්ඩුව බලයට ඒමත් සමඟ ඒ බෙදුම්වාදී මතවාදය බලවත් වීම ඇරැඹෙනවා.

අපි ජවිපෙ ඉඳිද්දී චන්ද්‍රිකාගෙ මතවාදයට විරුද්ධව සටන් කළා. මතවාදය හැදුවා. ඒ කාලේ එන්.ජී.ඕ. අපිට ජාතිවාදීන් කිව්වා. පැකේජයට එහා ගිය එකක් දැන් රනිල් අරන් එනවා. දැන් ඉන්න ජේ.වී.පී. එක අර එන්.ජී.ඕ. නඩයක් එක්ක අපට ජාතිවාදීන් කියනවා. ඒගොල්ලො ජාත්‍යන්තරවාදියො වෙලා එකපාරට. අපි නම් එදා වගේමයි අදත්. වෙනස් වෙලා නෑ.

සුමන්තිරන්, සම්පන්දන් කියද්දී ඒ ව්‍යවස්ථාවෙ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා, ඔව් මේක ෆෙඩරල් කියලා. ජවිපෙ කියනවා අපි ෆෙඩරල් බිල්ලෙක් මවනවා කියලා. කවුද එතකොට බෙදුම්වාදයට මුට්ටිය අල්ලන්නෙ. අන්තිමට මේකෙන් වුණේ වික්‍රමබාහුගෙ ජොබ් එක නැති වුණු එක. ඒ මිනිහා ඔය ඩොලර් කීයක් හරි හොයාගත්තා දමිළ බෙදුම්වාදයට පක්ෂපාතීව මොනව හරි කියලා. දැන් ඒක හොයා ගන්නෙත් අනෙක් කට්ටිය.

දැන් ව්‍යවස්ථාදායක මෙහෙයුම් මණ්ඩලේ වාර්තාව ආවා. වික්‍රමසිංහ මහත්තයා කියනවා සැකිල්ලක්වත් නැහැ කියලා. සුමන්තිරන් කියනවා ඒක සැකිල්ලක්. සම්පන්දන් කියනවා යෝජනාවලියක්. අනුර කුමාර දිසානායක තෙමේ කියනවා මුකුත් නැහැ කියලා. මුකුත් නැත්නම් සුමන්තිරන්ට රෑට කොට්ටෙ යට තියාගෙන ඉඹ ඉඹ ඉන්න රෑට බල බල ඉන්න මේක සුළඟේ පාවෙන පෙම් කුසුමක්ද?

මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න රනිල් මහත්තයා 2/3 හදාගන්න දතකට පූට්ටු කරගෙන දත කනවා. මෛත්‍රි ජනාධිපතිට එක එක පැතිවලින් අලුත් කසාද පණිවුඩ එවනවා. දික්කසාද වුණාට කමක් නෑ. ආයෙත් බඳිමු ඕක මොකක්ද කියලත් අහනවා.

ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇවිළීම කොයිපැත්තෙන් ආවත් වළක්වා ලියයුතුමයි. වනාතවිල්ලුවෙන්, ගෙවල් ඇතුළෙන් අවි ආයුධ අහුවෙද්දී කවුද මේකට විරුද්ව කට ඇරලා කතා කරන්නේ. කොටි පින්තූර අරගෙන සමාජ මාධ්‍යවල දාන තැනට වැටිලා තියෙන්නේ. පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවත්වනවා. දමිළ ඊළාම් ලාංඡනය තමන්ගේ නිවාසයේ අලංකාරයට යොදාගෙන කොටින්ගේ වීර සාහිත්‍යයත් දකුණු ඉන්දියාවෙන් මුද්‍රණය කරලා එවනවා. ගෝලීය වශයෙන් දමිළ ඩයස්පෝරාව මේවා ප්‍රවර්ධනය කරනවා. මේ අන්තරායන් මේ විදියට අපි ඉදිරියේ මතු වෙලා තිබෙනවා.

මේ රටේ රාජ්‍ය දේපළ, ආර්ථික මර්මස්ථාන, මුළු මහත් රාජ්‍ය විදේශීයකරණය කිරීමේ මෙහෙයුම දියත් වෙලා තිබෙනවා.

මේ පොළොවේ පැළපදියම් වෙන විදේශීය බලවතුන්ට මේ රට තවදුරටත් අස්ථාවර කරන්න මෙතැන අයි.එස්.අයි.එස්. ඉන්න ඕනෑ වෙනවා. මෙතැන එල්ටීටීඊ ඉන්න ඕනෑ වෙනවා. මෙතැන තව අන්තවාදී කල්ලි ඕනෑ වෙනවා. මේ එකිනෙකා මරාගන්න ඕනෑ වෙනවා. එහෙම මරාගද්දී බටහිර බලවතුන් තමන්ගේ දෙපය මේ මහපොළොවේ හරි හැටි තියාගෙන එහි සම්පත් ගිලගෙන ඔවුන් ස්ථාවරවෙද්දී සමාජ අස්ථාවර බවක් ඇති වීම නවත්වන්න බැහැ. ඒ සියල්ල වූ විට මේක අසමත් රාජ්‍යයක් බවට පත්වෙනවා. දැන් මේ වෙමින් පවතින්නේ ඒක.

අක්කර 33,000 ඇතුළෙ වෙනමම ආයෝජන කලාපයක් හදන්න සැලැසුම් කරලා තියෙන්නේ.

එහි තියෙනවා ඉන්දීය සාගරයේ නාවික කටයුතුවලට හා සබ්මැරීන් සඳහා සේවා සපයන ඒකකයක්. ඒ අක්කර 33,000 ඇතුළෙ ආයෝජනය කළ හැක්කේ ඇමෙරිකානු, ඉන්දියානු හා ජපන් සමාගම් පමණයි. ඒ දැවැන්ත ව්‍යපෘති ඇතුළෙ ඔවුන්ගේ මිලිටරිමය වුවමනාවක් සිදු නෙවෙයි කියලා කියන්න පුළුවන් කාටද?

ඇමෙරිකාවේ සහස්‍ර අභියෝග ජයගැනීමට සැලසුම් හදන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මෙරටට යෝජනා එවනවා. එහි ප්‍රධානියා තමයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්න්තුමේන්තුවේ ලේකම්.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගමේ ලංකාවේ කාර්යාලය කොහෙද තියෙන්නෙ. වෙන කොහේවත් නෙවෙයි අරලියගහ මන්දිරය ඇතුළෙයි. මේකට අනුයුක්තව වැඩ කරනවා දේශීය නිලධාරීන් කිහිපදෙනෙක්.

මේකෙ තව යෝජනාවක් තියෙනවා. ත්‍රිකුණාමල වරාය හා කොළඹ වරාය යා කොට විශේෂ ආර්ථික පටියක් ඉදිකිරීම. රට මැදින් දිස්ත්‍රික්ක 7ක් අතරින් එය දිවෙන්නේ. දළ වශයෙන් එහි දිග කිලෝමීටර් 200යි. අක්කර කොපමණ අඩු වෙයිද කියලා ගණන් හදන්න බැහැ.

රටේ දිස්ත්‍රික් 7ක් හරහා හැදෙන මෙහි ඇමෙරිකානු නීතිය බලපැවැත්වුණොත් මෙයින් වෙන්නේ රට භෞතිකව දෙකඩ කිරීමක් නෙවෙයිද?

අගමැති රනිල්ගෙ පට්ටම නැතිවෙද්දී යුරෝපා තානාපතිවරුන්ට නින්ද ගියෙ නැත්තෙ ඇයි කියලා දැන් තේරෙනවා නේද?

මේ පැවැසුව සැලැසුම් එකකට එකක් සම්බන්ධයි. අනතුරුව ඇමෙරිකානු උපාය මාර්ගයට අනුව සියල්ල සිදුවෙන්න ගන්නවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress