රේගු අර්බුදයට හේතු වූ ගම්මිරිස් ජාවාරම
Posted on February 6th, 2019

මාධ්‍ය නිවේදනය – ලසන්ත වික්‍රමසිංහ ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ලාංකීය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකිය. එසේම දකුණු ආසියා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ 8% ක  සහනදායී ආනයනික බද්දක් ඇතිව ගම්මිරිස් ඉන්දියාවට අපනයන කළ හැකිය. වෙළඳ ගිවිසුම්වලට පිටින් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස් සඳහා බද්ද 70% ක් වැනි ඉහළ අගයක් ගනියි.

වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර, ඒවා ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට ව්‍යාජ සහතිකයක් ලබාගෙන, ශ්‍රී ලංකාව විසින් එළඹ ඇති වෙළඳ ගිවිසුම් යටතේ බදු සහන ඇතිව ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු කලක පටන් නිරත වේ. මේ ජාවාරම ඉතා දැඩිව ක්‍රියාත්මක වූ 2018 වසරේ මාස 8 ක් තුළ ගම්මිරිස් බහාලුම් 134 ක ටොන් 2800 ක ප්‍රමාණයක් වියට්නාමයෙන් ගෙන්වා, ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස බදු සහන සහිතව ව්‍යාජ ලෙස ඉන්දියාව ඇතුළු රටවලට අපනයනය කර තිබේ.

මේ ජාවාරම නිසා ලංකාවේ දේශීය ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1800 සිට රුපියල් 600 දක්වා පහත වැටීමෙන් දේශීය ගම්මිරිස් වගා කරුවන් දැඩි ආර්ථික අපහසුතාවයකට ලක්වී තිබේ. මෙමගින් ලංකාවට අහිමි වූ ආදායම රුපියල් මිලියන 1800කට ආසන්නය. ලාංකීය ගම්ම්රිස් ගොවියාට ලැබිය යුතු සම්පූර්ණ වාසියද මේ ජාවාරම්කරුවන් විසින් සොරා ගෙන ඇත. එසේම මේ ජාවාරම නිසා ඉන්දියානු ගම්මිරිස් වගාකරුවන්ද අපහසුතාවයට පත්වී ඇති අතර, මේ ජාවාරමෙන් ඉන්දියානු ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ආනයනික ගම්මිරිස් සඳහා අවම මිලක් පැනවීමට පවා ඉන්දියානු රජය  ක්‍රියාකර ඇත. මේ ජාවාරම නිසා ඉන්දියානු රජය ශ්‍රී ලංකා ගම්මිරිස් ආනයනය සිමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹීමට ඉඩ ඇති අතර තත්වයෙන් බාල ගම්මිරිස් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස හැඳින්වීම නිසා එය ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට ඇති ප්‍රතිරූපයටද හානි සුදු වේ.

මෙම ගම්මිරිස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට සහතික කරනු ලබන්නේ අමාත්‍ය රිෂාද් බදියුදීන් යටතේම පැවති වාණිජ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු විසිනි. මෑතකදී සිදුකළ නව කැබිනට් මණ්ඩල ගැසට් කිරීමේදී එම දෙපාර්තුමේන්තුව, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති අතර, දේශපාලන රැකවරණ ඇතිව මේ ව්‍යාජ සහතික ලබාදෙන නිලධාරියා තවදුරටත් ව්‍යාජ සහතික නිකුත් කිරීම සිදු කරමින් සිටියි. එසේම දේශපාලන රැකවරණ ඇති එක් රේගු නිලධාරියකුද, බහුතරයක් රේගු නිලධාරීන්ගේ විරෝධය නොතකා, මෙම ජාවාරම් සඳහා පහසුකම් සපයමින් සිටියි.

මේ හොරකමට උදවු කරනවුන් ආරක්ෂා කරමින්, හොරකමට එරෙහිවන නිලධාරීන්ට දඬුවම් කරමින්, ඔවුන් මාරු කර යවා සිය කොල්ලකාරී ක්‍රමය දිගටම පවත්වාගෙන යාම දූෂිත අමාත්‍යවරුන්ගේ අරමුණ බව පැහැඳිලිය. නමුත් වෘත්තිකයන් ලෙස සහ පොදු ජනතාව ලෙස අපට මේ සම්බන්ධයෙන් මුනිවත රැකිය නොහැකිය. රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරියගේ ස්ථාන මාරුව අත්හිටුවීම තාවකාලික ජයග්‍රහනයක් පමණි. මෙරට සුවහසක් පොදු ජනතාවට සාධාරණයක් ඉටුවන්නේ, මේ දූෂිතයන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬවම් ලබා දීමෙන් පමණි.

ලසන්ත වික්‍රමසිංහ (0716369828)

ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress