ජාතික පාණ්ඩුවකට හේතුවන ජාතික ආණ්ඩු යෝජනාව
Posted on February 14th, 2019

මතුගම සෙනෙවිරුවන්

             වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පැරණී එක්සත් ජාතික පක්ෂය විසින් බිහිකල ආණ්ඩුවක් මෙන් ශක්තිමත් නොවේ. ඊට ප්‍රධානතම හේතුව වසර ගණනාවක් තිස්සේ එහි නායකයාව සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා වීමයි. පැරණි එක්සත් ජාතික පක්ෂ නායකයන් වූ ඩී.එස් සේනානායක ඩඩ්ලි සේනානායක ජෝන් කොතලාවල වැන්නවුන්ට යම් විදේශ ගැති බවක්   තිබුණු බව සැබෑවකි.නමුත් ඔවුහු දේශීය අභිමානය අවශ්‍ය තන්හිදී රැක ගනිමින් බිම්මට්ටමේ ජනතාව සුඛිත මුදිත කිරීමට කැප වූවන් විය. විශේෂයෙන් ගොවි ජනපද ව්‍යාපාරය ඇති කොට රට සහලින් ස්වයං පෝෂිත කරලීමේ කාර්යයට උරදුන් ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සාදාදරණීය නායකයා විය. ඔහුගේ පෞරුෂය සහ ගැමියන් වෙත තිබූ ලෙන්ගතුකම සම කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා ගේ ක්‍රයාකාරිත්වයට පමණකි.නමුත් වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය බිම් මට්ටමේ පමණක් නොව නාගරික සාමාන්‍ය ජන කොටස් අතරන් පවා ප්‍රතික්ෂේප වී ඇත්තේ  සංකර චින්තනය සහ විදේශ ගැතිභාවය . මෙහි ප්‍රතිඵලය නම් පක්ෂය සහ ආණ්ඩුව ගෙන යෑම පිණිස බෙදුම්වාදීන් වන දෙමළ ජාතික සන්ධානයට සහ අන්තවාදී ආලාපාලුවන් වන මුස්ලිම් පක්ෂ සමග සන්ධාන ගත වීමට සිදු වීමයි. විශේෂයෙන්ම මතියපරනන් ඒබ්‍රහම් සුමන්තිරන් අද එ.ජා.ප.ය හසුරුවන සුක්කානම බවට පත් වී තිබේ.සීතාවක යුගයේ සිටි අරිට්ටකී වෙණ්ඩු පෙරුමාල් ගේ චරිතය මෙයට අසමාන නොවේ.

        දකුණු ඉන්දීය මිෂානාරීන් විසින් මෙහෙයවූ මැක්ලියොඩ් රෝහලේ උපත ලැබූ  සුමන්තිරන් යාපනයේ වෙස්ලියන් මෙතොදිස්ත සභාවේ නිර්මාණයකි. යාපන දිස්ත්‍රික්කයේ මුල්ම මිෂනාරි කණ්ඩායම වූ වෙස්ලියන් මෙතාදිස්ත මිෂනාරීන් 1814 දී එහි පැමිණ පාසල් සහ රෝහල් පිහිටුවමින් යාපනයේ ආගන්තුක විදේශිකයන් වූ මලබාර් ජනයා ආගමට හරවා ගත්හ. ඔවුන් වෙනුවෙන් වෙස්ලියන් ඉංග්‍රීසි විදුහල සහ හාර්ට්ලි විදුහල ආරම්භ කරමින් තමුන් ගේ මිෂනාරි  ව්‍යාපාරයට බැටළුවන් පුරුදු පුහුණ කළහ.කරවෙඩ්ඩි වල විසූ සුමන්තිරන් ගේ පවුලේ මුල් පුද්ගලයන් ගුරුවරු වන්නේ එනිසාවෙනි. කෙසේ වෙතත් 1819 දී ගාල්ලේ පැවති වෙස්ලියන් මිෂනාරි රැස්වීමකදී ගත් තීරණයක් වූයේ උතුරු පළාත දෙමළ ප්‍ර දේශයක් ලෙසට නම් කළ යුතු බවයි.1766 දක්වාම උඩරට රාජධානියට අයත් ව තිබූ යාපනය මලබාර් ජනයාගෙන් පිරීයත්ම ඒ පිරිස ක්‍රිස්තියානු කර ගැනීම ඔවුන් ගේ අරමුණ වන්නට ඇත.ඓතිහාසික දෙමළ නිජභූමි මිථ්‍යාව බිහිවන්නේ මේ වෙන් කිරීම නිසයි. වෙස්ලියන් මිෂනාරීන් ගෙන් පුහුණුව ලැබූ සුමන්තිරන් මෙන්ම දකුණේ සිටින රනිල් වික්‍රමසිංහ පවා ඓතිහාසික දෙමළ ප්‍රදේශ නම් මිථ්‍යාව පිළිගනී.එම ප්‍රදේශ වෙන් කර දීම එද මිෂනාරීන් ගේ බලාපොරොත්තුව වූවා සේම මන්ත්‍රී සුමන්තිරන් ගේද බලාපොරෙත්තුව එයම වෙයි. ඔහු එයින් නොනැවතී සිංහල ජනයාගේ බෞද්ධ උරුමකම් හා සමතත්වයක් ඉල්ලා සිටී. මේ බලාපොරොතුත් ගොනුවන්නේ දෙමළ ජනතාවගේ විශෙෂයෙන් හින්දු ජනතාව ගේ සුභ සිද්දිය ගෙන දීමට නොවේ. උතුර තවදරුටත් මිෂනාරීගේ ග්‍රහණයට ගැනීමටයි. පසුගියදා නයාරු ගුරුකන්ද විහාරයට කඩා පිනූ රවිහරන් සමග සිටි පාදිලිවරුන් ගේ අරමුණද එයම වේ.

        2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ දා සිටම උත්සාහ කළ ප්‍රධාන කාරණයක් නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කර ගැනීමයි.ජිනීවා 30/1 යෝජනාවට සම අනුග්‍රහ දැක්වීමෙන්ම එය කරන බවට පොරොන්දුවක් දී ඇත.පසුගය් වසරේ ඔක්තෝබර මාසයේ දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අත්හිටුවා සන්ධාන ආණ්ඩුවක් බිහිකළද විදේශ තානාපතිවරුන් ගේ සහ දේශීය නියෝජතයන්ගේ මැදිහත් වීම මත එය අසාර්ථක විය.එයින් සිදු වුණු එකම යහපත දහනව වන සංශෝධනයෙන් හොරට සම්මත කළ ජාතික ආණ්ඩු සංකල්පය බිඳ වැටීමයි. අමාත්‍ය මණ්ඩලය තිහකට සීමා වීමයි.අපි දන්නා පරිදි මේ රටේ ජීවත් වන බහුතරය සිංහල බෞද්ධයන් වේ. මේ පිරිස දෙට බෙදී ප්‍රධන පක්ෂ දෙකකට වී කුලල් කා ගැනීම නිසා සෑම ආණ්ඩුවකටම බහුතරය සාදා ගැනීමට සුළු පක්ෂ සරණ යෑමට සිදු වේ. එවැනි අවස්ථාවක සභාග ආණුඩු සාදා ආණුඩුව රැක ගැනීම දිගින් දිගටම සිදු වී තිබේ. නමුත් දැන් සිදු වන්නේ එය නොවේ. නොයෙකුත් සුළු පක්ෂ මන්ත්‍රී වරුන් සනසා ඇමතිකම් ලබා දී ආණ්ඩුවේ රඳවා තබා ගැනීමට විශාල කැබිනට්ටුවක් සමග ආණ්ඩු ගොඩ නැගීමයි. විශෙෂයෙන්ම අන්තවාදී මුස්ලිම් පක්ෂ වතු දෙමළ පක්ෂ ඉතිහාසයේ දගින් දිගටම මේ තත්ත්වය දඩමීමා කරගනිමින් කේවල් කරමින් කප්පම් වශයෙන් රජයේ ආයතන විශාල සංඛ්‍යාවක් සමග ඇමති ධූර ලබා ගත්හ.උඩරට වතුකරය කොට්ඨාශ වලට කඩා ජාතිවාදී සීමා නිර්ණ බිහිකර ගත්හ. වර්තමාන ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ද එවැන්නෙකි. මේ ඇමති ධූර ලබා ගැනීමට අමතරව හොර ජාවාරම් වල යෙදෙමින් ජාතික ධනය සූර කෑමද නිතරම දක්නට ලැබෙනබව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.ඒ මගින් දේශීය නිෂ්පාදනයන්ට ජාතික ආරථකයට වැදී ඇති පහර සුළු පටු නොවේ.

      පසුගය 07 වන දා නැවත ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන එන්නට නියමිතව තිබුණි. ඒ දැනට තිබෙන ඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වූ නිසාවෙනි. ඒ කුමක් නසාවත් නොව නව ආණ්ඩ්‍රුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම ප්‍රධාන කොට ගත් විදෙශිකයන් ලෝක බැංකුව අනුමත යම් යම් පණත් සමම්ත කර ගැනීම ආදී න්‍යාය පත්‍ර ඔහු සතුව ඇති බැවිනි.2002 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි සුලු කාලය තුළ දී  ලෝක බැංකුවෙන් ගත් ණය සඳහා එවැනි අහිතකර කොන්දෙසි රාශියක් ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබුණි. ඒකාලයේ තිලක් කරණාරත්න චම්පික රණවක වැනි මන්ත්‍රීවරු මේවා දැඩි ලෙසට විවේචනයකල බව අපට මතක්ය. නමුත් අද චම්පික අමාත්‍යවරයා ජාතික ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියි.එයට හේතුව යම් හෙයකින් ආණ්ඩුව බහුතරයක් නොමැතිව කඩා වැටුණහොත් ඔහුගේ ඉදිරි ජනාධිපති සිහිනය බොඳ වීමට පත් ව යෑමයි. එසේම අස්ගිරි මහා විහාර කාරක සභාවෙන් ශාසන මාමක සම්මානය ලද ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරායට අනුව රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් ඇති කළ යුතු වේ.හරක් පට්ටිය වැඩි වීමෙන් වන්නේ ගොම ප්‍රමාණය වැඩිවීමයි. ගොම නම් මේ රටේ හොඳ පොහොරකි. එහෙත් පාර්ලිමේන්තුවේ වැසිකිලි කැසිකිලි පුරවන ඇමතිවරුන්ගේ මල අපද්‍රව්‍ය වලින් රටට කිසි වැඩක් නොවේ.ජාතික ආණ්ඩු හදන්නේ රට කැබලි වලට කැඩීමට සහ රටේ සම්පත් ඉඩම් විකිණිමට නොවේදැයි මේ ශාසනමාමකයාගෙන් දැන් ඇසිය යුතුව තිබේ.

       රටේ මුදල් කාබාසිනියා කරමින් ඇමති මණ්ඩලය වැඩි කිරීම ට ජනාධිපතවරයා ගේ යම් විරෝධයක් තිබුණද අද ඔහු තීරණයක් ගත නොහැකි දුබලයෙක් තත්ත්වයට පත්ව තිබේ. පසුගියදා ඔහු ප්‍රසිද්ධ කාථාවකදී කියා සිටියේ ජාතික ලේඛනාගාරයේ තිබෙන සංස්කෘතික දේපළ විදේශිකයන්ට විකිණීමේ ජාවාරමක් තිබෙන බවයි.ඔහු ගේ මූලිකත්වයෙන් තිබූ සංස්කෘතික අමාත්‍යංශ  රැස්වීමකදී ඒ පිළීබඳ සියළුම වාර්තා එවකට සිටි අමාත්‍යංශ ලේකම් වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.එහෙත් මේ දූෂණය පිළිබඳ ජනාධිපතිවරයාගේ දුක් ගැනවිල්ල කියන්නේ අපටය.අදාල දූෂිතයන් ඉවත් කර නව පුද්ගලයෙක් පත් කිරීමට හෝ අදාල දූෂිතයන්ට දඬුවම් දීමට පියවර ගැනීමට පවා ඔහුට හැකියාවක් නැත.එවැනි තත්ත්වයක් යටතේ ජාතික ආණ්ඩු යෝජනාව ශක්තිමත් වුවහොත් පාර්ලිමේන්තු කාරයන්ගේ මනදොළ පිරනෙවා ඇත. විශාල වශයෙන් මුදල් හුවමාරු වෙමින් මන්ත්‍රී වරුන් බිලී බා ගැනීමද රටට අහිතකර පණත් සහ ව්‍යවස්ථා සම්මත කර ගැනිමද සිදු වනු ඇත. මේ පියවරයන් මගින් ජාතික පාණ්ඩුවක් නොහොත් අස්ථාවර ආණුඩුවක් මෙන්ම අස්ථාවර රටක් නිර්මණයවීම වැළ්කිවිය නොහැකිය .ජාති ආණ්ඩු සිහිනයෙන් ඔද වැඩී තම පක්ෂය රැක ගැනීමට වෙර දරන පක්ෂ වහලුන් තමන් ගේ පක්ෂය පමණක් නොව රට ගැනද සිතන්නේ නම් රටද ස්ථාවර කොට ගෙන පක්ෂයද ස්ථාවර කර ගැන්මට හැකිවනවා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress