විනිසුරුවරුන්ට නිසි තනතුරු නොලැබෙන්නේ ව්‍යවස්ථා සභාවේ හිතුවක්කාර වැඩ නිසා-ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා
Posted on February 15th, 2019

කුමුදු උපුල් ශාන්ත උපුටාගැණීම  මව්බිම

මෙරට අධිකරණ සේවාවේ නියුතු විනිසුරුවරුන්ට හා විනිසුරුවරියන්ට ඔවුන්ට හිමි විය යුතු තනතුරු නොලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාව හිතුමතේට වැඩ කිරීමට පටන්ගෙන තිබීම නිසා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාව එසේ හිතුමතේට වැඩ කිරීම නිසා ඉහළ අධිකරණවල තනතුරුදැරිය යුතුව සිටින විනිසුරුවරුන් හා විනිසුරුවරියන් බොහෝ පිරිසකට විශ්‍රාම යන තෙක්ම එකම තනතුරුවල රැඳී සිටීමට සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ තනතුරු සඳහා නම් කර යවන විනිසුරුවරුන්ගේ හා විනිසුරුවරියන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් ඇති නමුත් එකී නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද යන්න පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වුවද ඔවුන් එවැනි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද ඒ මහතා පවසයි.

අභියාචනාධිකරණය, ශේ‍ර්ෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් නොමැති අවස්ථාවන්හිදී එම අධිකරණවල වැඩ බැලීම සඳහා වෙනත් සුදුසු විනිසුරුවරුන් හා විනිසුරුවරියන් පත් කරන බවද එවැනි වැඩ බැලීම සඳහා පත් කළ අයකුට එවැනි අධිකරණවල ඉහළ තනතුරක් ලබාදීමට කටයුතු කරන අවස්ථාවන්හිදී ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා පවසයි.

එම විනිසුරුවරුන් වැඩ බැලීමට සුදුසු නම් ඒ අයව එම අධිකරණවල ඉහළ තනතුරකට නම් කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමට හේතුව විශාල ගැටලු සහගත තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් නම් කර යවන ලද විනිසුරුවන්ගේ දූෂණ, වංචා, අක්‍රමිකතා තිබෙනවා නම් ඒ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඒ අයට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් බවත්, එසේ නොකිරීම තුළින්හැඟෙන්නේ එම විනිසුරුවරුන්ට එවැනි චෝදනා නොමැති නිසා බවද පවසන ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ, චෝදනා ඇති විනිසුරුවරුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමටද ඉඩ ලබාදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ට සිදුවන එකී අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිඥ සංගම් රැස්වීමේදීද සාකච්ඡාවට ගැනුණු බවත් විනිසුරු වෘත්තිය වැදගත් මෙන්ම ගරු ගාම්භීර වෘත්තියක් බවත් එවැනි වෘත්තියක නියැළෙන විනිසුරුවරුන්ට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කිරීමට ව්‍යවස්ථාදායක සභාව වගබලා ගත යුතු බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress