තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු
Posted on February 16th, 2019

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ උපුටාගැණීම  මව්බිම

මේ දිනවල රටේ හැම පැත්තකින්ම ඇසෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව වූ කතා පුවත්ය. අසුවන මත්ද්‍රව්‍ය මීට පෙර අසුවූයේ ග්‍රෑම් ගණනින් වුවත් දැන් දැන් අසුවන්නේ මහ පරිමාණයේ කිලෝ ගණනිනි. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම හා පානය කිරීම දැන් වැටෙන්නේ අපරාධ ගණයටය. රටේ ක්‍රියාත්මක දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධ, අපරාධ හා බල අපරාධ වශයෙන් වර්ග දෙකකට බෙදනු ලබයි.

මත්ද්‍රව්‍ය පිළිබඳව වූ සිද්ධීන් ඇතුළත් වන්නේ බල අපරාධ ගණයටය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ වැරැදිවලට හසුවන පුද්ගලයෝ නඩු අසා එල්ලා මැරීමට තීන්දුවක් ගෙන ඇත්තේ මේ මත්ද්‍රව්‍ය ක්‍රියාවන් බල අපරාධයන් ලෙස සලකන නිසාවෙනි.
අපේ රටේ අපරාධ විද්‍යාවේ තැනින් තැන කොට ඇති විවිධ විග්‍රහයන් දෙස බලන විට එක් තැනක සඳහන් වන්නේ ඕනෑම අපරාධයක් සඳහා මුල මැද අග යන ස්ථාන තුනේම හෝ ඉන් අවම වශයෙන් එක් ස්ථානයකවත් කාන්තාවක් සිටින බවයි.

නමුත් මේ කියමන් දැන් කාලානුරූපව වෙනස් කිරීමට සිදුව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ මුල මැද අග යන ස්ථාන තුනේම හෝ අවම වශයෙන් එක් ස්ථානයක හෝ දේශපාලනඥයකු සිටින්නේ යැයි යනුවෙන් එම කියමන් වෙනස් විය යුතුය.

මේ කියමන උතුරටත් දකුණටත් දෙකටම පොදුය. උතුරේ මහ පරිමාණයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට උතුරු නැඟෙනහිර පළාත්වල දේශපාලනඥයන් හවුල් බව නොබියව ප්‍රකාශ කළේ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන් මහත්මියයි.

මන්නාරම අඩම්පන් මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ගිය අවස්ථාවේදී එතුමිය මහජනතාව අමතා කළ එම කතාව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට ඇයට මුලින්ම දෙහි කපන්නට පටන් ගත්තේ දේශපාලනඥයෝය.

මේ දේශපාලනඥයන්ගේ අණට කීකරු වන පොලිසිය මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා අඩුවෙන් සිදුකරන බැවින් උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා ජයටම සිදුවන බවද අමාත්‍යවරිය කියා සිටියාය. මේ කියමන් දෙකම නිසා දේශපාලනඥයන් හා පොලිසිය යන දෙකොට්ඨාසයම ඇයට විරෝධය
පළ කොට සිටියහ.

නමුත් විජයකලා මහේශ්වරන් අමාත්‍යවරියගේ කතාව හමාර වී පැය හතළිස් අටක් ගත වීමට නොහැකි විය.

යාපනයේ තෙන්මරච්චි පළාතෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හැත්තෑ හතක් අසුවිය. යාපනය පොලිසියට අනුයුක්තව කටයුතු කරන විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ මේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් දෙදෙනකුද සමඟිනි.

පොලිසිය මේ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනාම උතුරේ ක්‍රියාකාරී දේශපාලනඥයන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනකු බවයි.
යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ පදිංචි තංගරාසා නිෂාන් (25) හා ගුණසේකරන් රාගු (32) යන මෙම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශයන් අනුව හෙළිවී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙම සැකකරුවන් දෙදෙනාගේම පියවරුන් දෙදෙනා උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ දෙකකින් යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රිවරු ලෙස තේරී පත් වූ දෙදෙනකු බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා කේරළ ගංජා තොගය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔවුන්ව නිදහස් කරවා ගැනීමට එම පක්ෂ දෙකේ නායකයන් ලවා පොලිසියට විශාල බලපෑමක් සිදුකොට තිබේ.

නමුත් පොලිසිය වහාම ඔවුන්ව චාවාකච්චේරි මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට තිබේ.

එක් අයකු ඊ.පී.ඩී.පී. පක්ෂයද, අනෙක් අය දෙමළ ජනතා ජාතික පෙරමුණද නියෝජනය කරයි. කෙසේ වෙතත් උතුරේ ජනමාධ්‍ය මේ දිනවල එම පක්ෂවල එක් එක් නායකයන්ගේ පෙර වැරදි පවා පතුරු ගසන්නට පටන්ගෙන තිබේ. මේ නිසා උතුරේ එක්තරා ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු උතුරේ ජනමාධ්‍ය විසින් මේ දිනවල දැඩි විවේචනයට ලක්කොට තිබෙනු දැකිය හැකිය.

මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ දිගින් දිගටම සිදුවෙමින් පවතී. ඒ අනුව ඉදිරි කාලයේදී තවත් උතුරේ දේශපාලනඥයන් කිහිපදෙනකුගේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ එළියට පැමිණෙනු ඇතැයි ආරක්ෂක අංශ කියා සිටියි.

මේ අතරවාරයේ උතුරේ ආරක්ෂක අංශ උතුරට විවිධ මත්ද්‍රව්‍ය පැමිණෙන ආකාරයද විස්තර කොට තිබිණි.

උතුරට වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය රැගෙන එනු ලබන්නේ ඉන්දියාවෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය තොග උතුරට ප්‍රවාහනය කිරීම සිදුකරනු ලබන්නේ ධීවරයන් විසිනි. නාවික හමුදාව ධීවරයන් මත්ද්‍රව්‍ය රැගෙන එන්නේද යන්න ඇතැම් අවස්ථාවලදී බෝට්ටුවලට පැන පරීක්ෂා කරනු ලැබුවත් උතුරේ ආරක්ෂක අංශ කියා සිටින්නේ ධීවරයෝ ඉතා සූක්ෂ්ම අන්දමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවයි.

“නාවික හමුදාවට මේ මත්ද්‍රව්‍ය අසුවීම වළක්වා ගැනීම සඳහා ධීවරයන් කරන්නේ මේ මත්ද්‍රව්‍ය වතුර කාන්දු නොවෙන විදියට හොඳට පොලිතින්වලින් ඔතා ඊට කම්බියක් ගැට ගැසීමයි. එක් කෙළවරක් මත්ද්‍රව්‍ය පාර්සලයේත් අනෙක් කෙළවර බෝට්ටුවේත් ගැට ගසන්නේ තරමක් දුරක් ඇතිවන ආකාරයටයි.

බෝට්ටුව ඉදිරියට යනවිට තරමක් අෑතින් මුහුද යටින් තමයි ඒ පාර්සලය ඇදීගෙන එන්නේ. රාත්‍රි කාලයට මේක කරන නිසා හොයා ගන්න අමාරුයි. නාවික හමුදාව පරීක්ෂා කළත් අහුවෙන්නේ නෑ. මේ වගේ ගොඩක් සූක්ෂ්ම ක්‍රමවලින් තමයි ඉන්දියාවේ ධීවරයෝ උතුරට මත්ද්‍රව්‍ය අරගෙන එන්නේ.

එහෙම අරගෙන එන මත්ද්‍රව්‍ය ඉන්දියාවේ ධීවරයෝ ලංකාවේ ධීවරයන්ගේ බෝට්ටුවලට මාරු කරනවා. ඒ මාරු කරගෙන අරන් එනකොට තමයි ගොඩක් වෙලාවට නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වෙන්නේ” උතුරේ ආරක්ෂක අංශ විසින් ඉන්දියාවේ ධීවරයන් ඉතා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය රැගෙන එනු ලබන ක්‍රම සහ විධිවලින් එකක් දෙකක් පමණක් මේ වනවිට සොයාගෙන ඇතිවාට කිසිදු සැකයක් නොමැත. ඒ ක්‍රමය ආරක්ෂක
අංශවලට හසුවන විට ඔවුන් තවත් ක්‍රමයක් සොයා ගනියි.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුකර ගැනීමට නොහැකි වන තවත් ප්‍රබල දේශපාලන සම්බන්ධකමක් පිළිබඳවද උතුරේ ආරක්ෂක අංශ කරුණු හෙළිකරයි.

ඉන්දියාවේ දේශපාලනඥයන්ගෙන් විශාල පිරිසක් ඔවුන්ගේ අමතර ව්‍යාපාරයක් ලෙස කරගෙන යනු ලබන්නේ ට්‍රෝලර් යාත්‍රා මිලට ගෙන බදු ක්‍රමයක් යටතේ ධීවරයන්ව කුලියට යොදවා ධීවර කර්මාන්තයෙන් මුදල් ඉපැයීමයි. ඔවුන් කෝටිපතියන් බවට පත්වීමට මෙම ධීවර කර්මාන්තය ඉවහල් වී තිබේ.

මේ අන්දමට උතුරේ දේශපාලනඥයෝද අමතර රැකියාවක් ලෙස ට්‍රෝලර් යාත්‍රා ධීවර කර්මාන්තයේ යොදවා තිබේ. මේ කර්මාන්තය හරහා ගොඩනැඟී ඇති සබඳකම් මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා පහසුවෙන් කරගෙන යෑමට ඔවුන්ට ශක්තියක් වී තිබේ.

මත්ද්‍රව්‍ය යම් හෙයකින් ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වුවහොත් මත්ද්‍රව්‍ය සමඟ හසුවන්නේ එම ජාවාරමේ සිටින දේශපාලනඥයන් නොව කුලියට ධීවර කර්මාන්තයේ නිරත පිරිසයි.

මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉතා විශාල ලෙස මුදල් උපයන දේශපාලනඥයෝ කොටු නොවෙති.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය ඊළඟට මතු කළ ප්‍රශ්නය වූයේ පොලිසිය මේ උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම නිට්ටාවටම අවසන් කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගයන් ප්‍රමාණවත් නොවන බවයි.

මේ කතාව පැතිර යන අතරතුර උතුරේ පොලිස් ලොක්කා වූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. ඒ පෙත්සමද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දැක්වූයේ යැයි යන චෝදනාව මතයි.

උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ටී. තවරාසා මහතා විසින් උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ආණ්ඩුකාරවරයාට හා පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

හිටපු විපක්ෂ නායකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ කිලිනොච්චියේ පාසල් සිසුවකුට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ සිදුවීමක් මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පහරදී තිබියදී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොපැවැත්වීමට එරෙහිවය.

ජනාධිපතිවරයාගේ අදහසක් අනුව පසුගිය දිනවල ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වූ ජාතික පාසල් සතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේදී කිලිනොච්චියේ එක් පාසල් සිසුවකු තමන්ගේ නිවෙසට ආසන්න නිවෙසක මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පොලිසියට පවසා ඇත.

එම තොරතුරු ඔස්සේ පොලිසිය ගොස් අදාළ සැකකරුගේ නිවෙස වටලා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳව උරණ වූ ව්‍යාපාරිකයා සිසුවාගේ අතපය කැඩෙනතුරු පහරදී තිබේ.

හිටපු විපක්ෂ නායකවරයා පෙත්සම මඟින් කියා සිටින්නේ පොලිසියේ වරද මත සිසුවා බරපතළ ප්‍රහාරයකට ලක්වූ බවයි.

එමෙන්ම මේ පිළිබඳව ජනමාධ්‍යයට අදහස් දැක්වූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ආරක්ෂා කරමින් පවසා ඇත්තේ පාසල් සිසුවා තුවාල ලබා ඇත්තේ පාපැදි අනතුරකින් බව යැයිද පෙත්සමේ සඳහන් වෙයි.

ඉතාම සැලසුම් සහගත අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බේරා ගැනීමට පාසල් සිසුවා බිල්ලට දුන් උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයා ඔහුගේ පෙත්සම මඟින් ඉල්ලා ඇත.

මේ පෙත්සම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ පහර කෑමකට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටින සිසුවාට පොලිස් ආරක්ෂාව සපයා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ ආදී වශයෙන් බලන විට උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම දේශපාලනඥයන් විසින් කරගෙන යනු ලබන්නේ ඔවුන්ගේ දේශපාලන හයියට තවත් හයියවල් කිහිපයක්ද එකතු කරගනිමින් බව ඉතාම පැහැදිලිය.

 

One Response to “තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු”

  1. Randeniyage Says:

    Lets go to the beginning.
    AFGHANISTAN
    Without kudu business Muslim community of Sri Lanka wouldn’t be the same as they are now.
    Then the Sinhalese and Tamils joined them to become rich.

    Not only in the North but also in Colombo, Negambo it is the politicians who are directly involved in this business.
    Remember a Chief Minister of a Sinhala area got caught with මත්ද්‍රව්‍ය in his car.
    Remember a container containing KUDu was aksed to be released by the Prime Minister’s office of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress