කංසා: දුරලමු සැක සංකා (පළමු කොටස)
Posted on February 19th, 2019

තුසිත බාලසූරිය ලේකම් හර්ෂණී මණ්ඩපය

ශාකයක් ලෙස කංසාවල වැදගත්කම සහ මත්වීමට කංසා භාවිතා කිරීම වෙන වෙනම තැබිය වුවත් කංසා නීතිගත කිරීමට එරෙහි තර්ක සියල්ල කංසාවලින් මත්වීමට එරෙහි තර්ක වන නිසා අපට එය නොතකා කංසා නීතිගත කිරීම ගැන කතා කිරීමට නොහැකිය. එහිදී නිතර එල්ලවන චෝදනාව වන්නේ කංසා නීතිගත කිරීමෙන් සමාජය විශාල පරිහානියකට පත්වන බවයි. නමුත් කංසා දුම උගුරක් බීම අපරාධ වරදක් ලෙස හැදින්වීමට කිසිවෙකුත් එකග නොවනු ඇත.

අප කංසා සාමාන්‍යකරණය කළ යුතු බව කියන්නේ බුද්ධිමත් වැඩිහිටියන්ගේ භාවිතයට මිස දරුවන්ගේ විනෝදයට නොවුනත් කංසා නීතිගත කිරීම වෙනුවෙන් වු සංවාදය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද අදාළ වෙයි. කංසා අන්තරාදායක දෙයක් ලෙස මෙරට ජනාධිපතිවරයාගේ සිට පුරවැසියා දක්වා විශ්වාස කරන නිසා කංසාවලින් සමාජයට හා පුද්ගලයාට සිදුවන්නේ කවරක් දැයි වටහා ගැනීම වටී. ඒවා හුදු සිතුවිලි නොව පර්යේෂණ මගින් ඔප්පු කළ කරුණු ය.

සන්සුන් මනස

සමාජ අර්බුද හා ගැටුම් බහුතරයක් හටගන්නේ නොසන්සුන්කම නිසාවෙනි. මනස සන්සුන් වීමෙන් ගැටුම් අවම වෙයි. එය කම්මැලිකම නොවේ. කංසා නිසා ඇතිවන සන්සුන්කම අලස හා මන්දගාමී බවක් ලෙස හදුන්වන අවස්ථා ඇතත් කංසා පුද්ගලයකු අඩපන නොකරයි. නමුත් කංසා භාවිතයෙන් පසු රිය ධාවන හැකියාව වර්ධනය වන බවට පෙර පැවති මතය අද විශ්ලේෂකයන් අනුමත නොකරයි. අධික අවධානයකින් රිය ධාවනය හැමවිටම අනතුරු වළක්වන්නේ නැත.

ආහාර රුචිය

කංසාවලින් ලබන ආනන්දය වැඩි කර ගැනීමට පැනි රස කෑම වර්ග ආහාරයට ගැනීම කංසාලෝලීන්ගේ පුරුද්දකි. නමුත් එය වෙනත් ලෙඩ රෝග රැසකට පාර කැපීමක් විය හැකිය. කංසා නිසා සිදුවු බව කියන එකම මරණය ලෙස වාර්තා වන්නේ කංසා භාවිතා කිරීමෙන් පසුව ඇති වු අධික කුසගින්නට ආමාශය පුපුරා යන තෙක් ආහාර ගත් පුද්ගලයකු ගැන ය. සෑම දෙයකම යහපත සහ අයහපත අඩු වැඩි වශයෙන් පවතින නිසා සියල්ල සීමා සහිතව පරිභෝජනය කිරීම ඇගට ගුණය.

සැප නින්ද 

ආහාර ගත් පසු නින්දට යාම මිනිසාට මෙන්ම සියලු සතුන්ට පොදු චර්යාවකි. නිරෝගී දිවියකට සෑම අයෙක්ටම දිනකට පැය කිහිපයක නින්දක් උවමනාය. එය ගැඹුරු නින්දක් බවට පත් කිරීමට කංසා උපකාරී වන්නේ ය. මොළයේ වර්ධනයටද නින්ද අවශ්‍ය ය. විවිධ මානසික ආතතීන් නිසා නින්ද නොයන අයට කංසා සහනය ගෙනෙයි. කංසාවල ඇති වේදනානාශක ගුණය ශාරීරික පීඩාවන් සමනය කරන හෙයින් විවිධ අස්ථි වේදනාවෙන් පෙලෙන වියපත් වැඩිහිටියන්ට එය ඔසුවකි.

අමතක කිරීම

කංසා භාවිතය දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට වන මතයෙහි පදනම කංසාවලින් මතකයට කරන බලපෑමයි. එය වැඩෙන දරුවන්ගේ මානසික වර්ධනයට බාධාවක් වුවත් අමතක වීම වැඩිහිටියන්ගේ මනසට සහනයක් බව විශ්ලේෂක මතයයි. අතීත මතකයන්ගෙන් පීඩා විදින වැඩිහිටියන්ට අමතක කිරීමට පහසු කර වීම කංසාවල කාර්යයකි. එය මත්පැන්වලින් සිදුවන ක්‍රියාවලියෙන් වෙනස් වන්නේ මත්පැන් මෙන් කංසාවලට ශාරීරිකව ඇබ්බැහි නොවන හෙයිනි.

කංසා භාවිතයෙන් මිනිසාගේ ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම ඉහත කරුණු හතරෙන් පැහැදිලි කිරීමට හැකිය. කංසා මනස සන්සුන් කරන්නේ ය, ආහාර රුචිය වඩවන්නේ ය, නින්ද සැපවත් කරන්නේ ය, අමතක කිරීම පහසු කරන්නේ ය. ඉහත කරුණු තනිව පුද්ගලයාටත් සහ පොදුවේ සමස්ථ සමාජයටත් ඇති කරන බලපෑම වටහා ගැනීමෙන් කංසා පිළිබඳ වන දුර්මත රැසක් මැකී යයි. දිවියේ එක්වරක් හෝ කංසා පානය කර තිබීම එම වටහා ගැනීම තවත් පහසු කරන්නේ ය.

 

තුසිත බාලසූරිය

ලේකම්

හර්ෂණී මණ්ඩපය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress