රාජ්‍ය නායකත්වය දළදා වහන්සේ සහ බුද්ධ ශාසනය
Posted on February 27th, 2019

මතුගම සෙනෙවිරුවන්

             මෙරට දැනට ඉතිරිව පවතින පැරණිතම වංශ කතාව දීප වංශයයි.එයට අමතරව මහාවංශය ථූප වංශය ආදී වංශ කතා මෙන්ම රජාවලිය පූජාවලිය දළදා පූජවලිය රාජාවලිය ආදී ඉතිහාසයට සම්බන්ධ කතා ප්‍රවෘත්ති රාශියක් අප සතුව ඇත්තේය.මහාවංශයට ලියූ මහාවංශ ටීකාව රාජ රත්නාකරය එළු දළදා වංශය දළදා සිරිත ආදී විස්තරාත්මක ග්‍රන්ථ සමූහයකින් නිර්මිත සිංහල බෞද්ධ ඉතිහාසයට රජෙක් නුවූ කාලයක් නැත තරම්ය. ලංකාවේ රාජ නාමාවලිය විස්තර කරමින් රචනා කරන ලද රාජාවලිය මගින් කියැවෙන්නේ ලංකාවේ රාජ වංශය ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගෙන් අවසන් වන බවයි.එහෙත් ඉන් පසුව එංගලන්තයේ පස් වන ජෝර්ජ් රජු ලංකාවේ ද රජු බවට පත් වෙයි.එංගලන්ත කිරීටයෙන් රට නිදහස් වූ පසු ලංකාවට අහිමි වූ සිංහල රාජාවලිය යලි ඇරඹෙන්නට අවශ්‍යව තිබුණි. එහෙත් එය සිදු නුවුණි. ඒ වෙනුවට එංගලන්ත රැජිනට වග කිව හැකි දේශීය අගමැති වරයෙකු රටේ පාලකයා වශයෙන් පත් විය.

        1815 වර්ෂයේ දී උඩරට නිළමේ වරු සහ එංගලන්ත ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ගිවිසුමෙන් සංකේතවත් වූයේ බ්‍රිතාන්‍ය රජු ලංකාවේ රජු වශයෙන් පිළිගන්නා බවද ඔහු වෙනුවෙන් ලංකාව පාලනය කරලීමට දේශීය ප්‍රභූ පැලැන්තියෙන් පුද්ගලයෙකු පත් විය යුතු බවත්ය. නිසැකවම ඒ තනතුර බලාපොරොත්තු වූයේ ඇහැලේපොල අදිකාරම් තුමාය. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉක්මන් කමත් ලංකාවේ රදළවරුන්ගේ අසමගියත් නිසා දෙපිරිස අතර වූ අසහනය වර්ධනය වී මහා අරලයක් බවට පත් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඇහැලේපොල අදිකාරම් තුමා මුරිසියට පිටිවහල් කර ඉංග්‍රිසි ආණ්ඩුකාර වරයෙකු රටේ පාලකයා බවට පත් වීමයි. වර්ෂ 133 කට පසුව ලංකාවේ ප්‍රභූ පැලැන්තිය ඉල්ලූ ස්වදේශ පාලනය ඔවුන්ට ලැබුණි.නමුත් ඔවුහු සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුමින් සැරසුණ ප්‍රභූ වරු නුවූහ. ටයි කෝට් ටොප් හැටි පැළඳි ඉංග්‍රීසි ආණ්ඩුවට සුවච වූ රදළ පැලැන්තියක් වූහ.මේ නිසා 1815 දී අපට අහිමි වූ රාජ්‍ය නායකත්වය ඉන් නොලැබුණි. ලංකාවට නොගැලපෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂ ක්‍රමයත් නිසා රටේ ප්‍රධාන බහුතරය දෙකට බෙදුණි. රටේ නායකත්වයට එන අගමැති වරයා එක් මැතිවරණ කොට්ඨාශයක් නියෝජනය කරන පක්ෂ නායකයෙකු බවට පත් විය. එම තත්ත්වය මත ඔහු පෙර රජවරුන් මෙන් බුද්ධ ශාසනයේ ආරක්ෂකයා නොවීය. භික්ෂූන් වහන්සේලා පිරිසක්  අගමැති ඩී.එස්. සේනානනායක මහතා හමු වූ අවස්ථාවේ ඔහු පවසන ලද්දේ දැන් පුරා විද්‍යාව මගින් අපි කරන්නේ බුද්ධ ශාසනයට අයත් දේ සුරැකීම  නොවේ දැයි ඇසීය. මොකද ඔය තරම් හදිසි යයි ඔහු අසන්නට පෙළ ඹුණේ තමාට ඉහළින් ධවල අධිරාජිනියක් සිටින නිසාය.

     1948 අපට නාමික නිදහසක් ලැබුණේ මේ කරුණු නිසාවෙනි.නමුත් එහි සැබෑ තත්ත්වය වටහා නොගත් දේශීය බලවේග 1952 දී බණ්ඩාරනායක මහතා වටා ගොනු වී නව දේශපාලන බලයක් නිර්මාණය කරලන්නට උත්සුක වූයේ නිදහස අපේක්ෂාවෙනි. සිංහලය ට රාජය භාෂා තත්ත්වය ලබා ගැනීම අධ්‍යාපනය නිදහස් කිරීම පුද්ගලික අංශයේ ඒකාධිකාරය බිඳ හෙලමින් සමූපාකාරය ශක්තිමත් කරලීම වතු ජනසතු කිරීම ආදී අරමුණු එවකට විය. මෙම අරමුණු යම් තරමකින් ඉටු කරගන්නට හැකිවුවද පාර්ලිමේන්තුවකට වග කියන අග්‍රාමාත්‍ය වරයෙකුට එම සීමාවෙන් පිට පැනිය නොහැකි විය. හැටේ දශකයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මූලිකත්වයෙන් තබන ලද ප්‍රගතිශීලී පියවරයන් සියල්ල එකල ඇයට තිබූ විදේශ සවි ශක්තියෙන් කළ කී දෑ විය. නමුත් සෝවියට් සංගමය දුර්වල වූ විට ඇයගේ බලයත් ක්‍රමානුකූල ලෙසට අව පාතයට ලක් විය.මේ නිසා රටේ සාමය නැති කිරීමට විදේශීය බලවේග විසින් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිපලය වූයේ උතුරේ දෙමළ ජාතිවාදය නව වටයකින් ආරම්භ වීමයි. හැත්තෑව දශකයේ මැතිණිය ගේ බලය දුර්වල කොට ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූ පසුව ඔහුටද කොටි ත්‍රස්තවාදයට මුහුණ දෙන්නට සිදු විය.මේ පීඩනයට සෘජුවම මුහුණ දීමට නම් රටේ විධායකයක් පැවතිය යුතු බවට ජේආර්. විශ්වාසය පළ කලේය. එක් මැතිවරණ කොට්ඨාශයකින් ජයග්‍රහණය කරන පුද්ගලයෙකු රටේ නායකත්වයට පත් වීමට වඩා මුලු රටම එක මැතිවරණ කොට්ඨෘශයක් ලෙසට ගෙන විධාකයක් පත් කර ගැනීමෙන් රට ශක්තිමත් වන බවට ඔහු අවංකවම කල්පනා කරන්නට ඇත. මේ වෑයම මත ඔහුගේ පෞද්ගලික අභිප්‍රායන් තිබුණද පෙර කී අරමුණු මගින් ඔහු මෙහෙයවූ බව කල්පනා කළ හැකිය.නමුත් ඔහුට වැරදුන තැන නම් විධායක බලය සහිතව ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් මත රට මෙහෙයවීමට වෑයම් කරලීමයි.දේශීය බලවේග ඔහුගෙන් ඈත් වූයේ එබැවිනි.

             කෙසේ වෙතත් මෙරට රාජ්‍ය පාලනය සමග බුද්ධ ශාසනය බැඳී පවතී. විශේෂයෙන්ම රාජ්‍යත්වයට පත් වන්නා දළදා වහන්සේ සමග අවියෝජනීය සම්බන්ධයක් පවත්වාගෙන යා යුතු වෙයි.දළදා භාරකරු වූ කීරවැල්ල පරපුරේ ඇත්තන් අනුමත ඔවුන්ගේ පරපුරේ කුමරියක් අග බිසව බවට පත් විය යුතුය. මේ චාරිත්‍රය විමලධර්මසූරිය රජු දක්වාම අඛණ්ඩව පැවතුණි. නමුත් සෙනරත් රජු ගේ කාලයේ දී දෙනවක මායාදුන්නේ රජු හා ඇති වූ හබය නිසා බොහෝ රාජකීයන් නිලතල හැරදා වන වැදුණි.එමි නිසා සෙනරත් ගේ පුත් දෙවනි රාජසිංහ විසින් කීලරවැල්ලේ ඥාතීන් සතුව තිබූ දළදා භාරකාරත්වය කීරවැල්ල පරපුරට නෑකම් ඇති භික්ෂූන් වහන්සේලාට පවරා දුනි. වසර දහස් ගණනක් තිස්සේ කිත්සිරිමෙවන් රජ දවස සිට පැවති සම්ප්‍රදායක් මෙලෙස අවසන් විය. එහි ප්‍රතිඵලය වූයේ ඉන්පසු පැමිණි රජවරු මදුරාපුරයෙන් රාජ කන්‍යාවන් ගෙන ඒමට පෙළඹීමයි.එම නිසා රාජකීයත්වයක් නොමැති වඩුග නායක් පෙළතකට රටේ රජකම හිමි විය. මේ බල අරගලයේ අවසාන ප්‍රතිඵලය වූයේ 1815 වර්ෂයේ දී  රට ඉංග්‍රීසීන් සතු වීමයි.

     රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ලන්දේසි ආණ්ඩුකාරවරයා විමසූ කල්හි එවක සිටි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය. ’

                 මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන බවන බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජ අභිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු කියයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය. නමුත් වර්තමාන නියෝජිත ප්‍රජාතන්තුවාදයේ පදනම මත පිහිටවූ විධායක ජනාධිපති තනතුර ඒකාධිපති තනතුරක් ලෙසට කලක් මතවාදයකට ලක් විය.ඒ නිසා එය අහෝසි කරලන්නට ජන මතයක්ද ඇති විය. එහෙත් කොටි සමග පැවති මහා සටනේ දී එම තනතුරේ ආනුභාවයෙන් රටේ සාමය ඇති කරලන්නට සමත් වූ බව කවුරුත් දනී. පෙර පැවති රජ තනතුරම නොවුණද රටේ නායකයෙකු සිටින බව දැනෙන්නේ ජනපති වරයෙකු එම ධූරය හොබවන විටයි.එකම අඩුව නම් වත්මන් ජනපති වරයා සෘජුවම බුද්ධ ශාසනයේ ආරක්ෂකයා දළදා වහන්සේට වග කියන පුද්ගලයා වශයෙන් පෙනී නොසිටීමයි.වර්තමානයේ නැවතත් මෙම තනතුර අහෝසී කරලීමට මතවාදයක් ඇති වෙමින් පවතී. පළාත් සභා අහෝසි කළහොත් එම තනතුර අහෝසි විය යුතු බවද ඇතැමුන් ගේ මතයයි. එහෙත් පාර්ලිමේන්තුවට වග කියන අගමැති වරයෙකුට ජනතාව ගේ චන්ද කොට්ඨාශයකින් තේරී පත්වන අගමැති වරයෙකුට දළදා වහන්සේට හෝ බුද්ධශාසනයට වග කිව නොහැකිය. එය 1948 වර්ෂයේ සිටම අප අත් දැක ඇත්තෙමු. හම නිසා කුමන හේතුවක් මත වුවද ජනපති තනතුර අහෝසි නොකළ යුතුය. නමුත් එම තනතුර දශරාජ ධර්මයෙන් පාලනය වන දළදා වහන්සේට වග කියන තනතුරක් බවට පත් කරලීමට අපට හැකියාවක් ඇත. ඒ සඳහා අවවාද අනුශාසනා කරලීමට මහා විහාරය ඇතුළු භික්ෂූන් වහන්සේලාට අවස්ථාව තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress