ගුරුවරුන්ට එල්ල කළ ම්ලේච්ඡු ප‍්‍රහාරය හෙලාදකිමු
Posted on February 28th, 2019

කේ.ඞී. ලාල්කාන්ත  සභාපති  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

ගුරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට ඉසුරුපාය අසලදී අද දින ම්ලේච්ඡු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප‍්‍රහාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාය ලෙස අප පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
එම ප‍්‍රහාරයෙන් ගුරුවරුන් පිරිසක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ වූ ගුරුවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
තමන්ගේ අයිතීන් වෙනුවෙන් පමණක් නොව අනාගත දරු පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් යහපත් පුරවැසියන් කිරීම අරමුණු කරගත් ඉතා වැදගත් භූමිකාවකට පණ පොවන ගුරුවරු හට පොලීසිය ලවා එල්ල කරන ලද මෙම ප‍්‍රහාරය මගිින් තහවුරු වන්නේ ආණ්ඩුව අයිතීන් ඉල්ලා සටන් කරන ජනතාවට සලකනු ලබන්නේ කෙසේද යන්නයි. සංවිධානය වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය රටේ මූලික නීතියක් පවා තහවුරු කර තිබියදී මේ ආකාරයට පාලකයන් කටයුතු කිරීම නින්දා සහගතය.
වසර ගණනාවක් තිස්සේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය නොකළ බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ තම ගැටලූවලට විසඳුම් ලබන ලෙස බලකරමින් පවත්වන ලද මෙම උද්ඝෝෂණය ගුරුවරුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බව අපි පිළිගනිමු. එම නිසා එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට අත තැබීමට පාලකයකුට ඉඩක් නැති බව අවධාරණය කරන අප මෙම ප‍්‍රහාරය වත්මන් ආණ්ඩුවේ අනාගත ක‍්‍රියාකාරීත්වය පිළිබඳව පණිවුඩයක් ලෙස අප සලකන්නෙමු. එබැවින් මෙම මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත වහාම අකුලාගන්නා ලෙසට ආණ්ඩුවට බලකරන අතර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පොදු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව ගත හැකි ඉහළම ක‍්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි. රනිල් වික‍්‍රමසිංහලාගේ සහ අකිල විරාජ්ලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාව පිළිබඳ රටේ සමස්ත ගුරු පරපුර අවධියෙන් සිටිය යුතු බවද අප මෙහිදී අවධාරණය කරන්නෙමු.
මෙයට, විශ්වාසී

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress