මන්නාරමේ පරණ කනත්තක් සමූහ මිනීවළක් කළ සොහොන් පල්ලන්ගේ කුමන්ත්‍රණය
Posted on March 2nd, 2019

පුබුදු වික්‍රමතිලක උපුටාගැණීම  මව්බිම

ජිනීවා සමුවට ගෙන යන අලුත්ම මාතෘකාව වී ඇත්තේ මන්නාරම සමූහ මිනීවළය. කනත්තක් වූ මෙයට සමූහ මිනීවළ යැයි අර්ථකථනය දුන්නේත් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නඟන්නට වෙර දරන බටහිර බලවේගමය.

මන්නාරම මිනීවළෙන් හමුවන අස්ථි කොටස් සමූහ ඝාතනයට ලක්කරන ලද දමිළ සිවිල් ජනතාවගේ හෝ හිටපු කොටි සාමාජිකයන්ගේ බවට සමාජගත කිරීමට ඔවුන්ගේ අභිමතයය. ජිනීවාහිදී පෙබරවාරි 25දා සිට ඇරඹුණු හතළිස් වන මානව හිමිකම් සැසියේදී ජාත්‍යන්තරයේ අවධානය දිනාගැනීමද ඔවුන්ගේ අරමුණ විය.

කල්තියාම සූදානම් වූ එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය හා විදේශීය ස්වේච්ඡා සංවිධාන එයට අවශ්‍ය භූමිකාව වටපිටාව සකස් කරන්නට වූයේය. මෙරට ක්‍රියාත්මක ඩොලර් කුට්ටිවලට විකිණෙන සිවිල් සංවිධානත්, කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලන නියෝජිතයෝත් ඊට දායක වූහ. යුද සමයේ පටන් කොටින්ට ආවැඩූ ආගමික පූජකවරුද මන්නාරම මිනීවළ හරහා ගොඩඑන්නට උත්සාහ ගත්හ.

විෂයගත භූමි ප්‍රදේශය සුසාන භූමියක් බවට සනාථ කළ හැකි සාධක මතුවෙමින් තිබියදී මෙය සමූහ මිනීවළක් යැයි ඒත්තු ගන්වන්නට බටහිර බලවේගවලටද අවශ්‍ය වූයේය. ඒ ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් යුද අපරාධකරුවන් බවට හංවඩු ගසන්නට මෙය මාතෘකාවක් වී ඇති බැවින්ය.

කැණීම් කටයුතු කරන භූමියේ ඉතිහාසය සොයා බැලීමේදී මෙහි 1944 සිට 1970 වසර දක්වා පොදු සුසාන භූමියක් ලෙස පැවැති බවට අනාවරණය වෙයි.

මෙකී ආන්දෝලනාත්මක මිනීවළ ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට හැකිවන්නේ අහඹු සිදුවීමකින් පසුව වීම විශේෂත්වයකි. මන්නාරම සතොස වෙළෙඳ සංකීර්ණය ඉදිකරන ස්ථානයේ තිබී මිනිස් අස්ථි කැබලි මුලින් හමුවන්නේ පසුගිය වසරේ මාර්තු 25 දාය. මෙම භූමියේ ඉතිහාසය සොයා යන විට මෙය 1970 වසරේ සිට ධීවරයන්ගේ හා ගැල්කරුවන්ගේ විවේක ගන්නා ස්ථානයකි. 1971දී මෙහි මාර්කටින් ඩිපාර්ට්මන්ට් නමින් වෙළෙඳ සලක් ආරම්භ කර ඇත. මේ සමඟ ප්‍රදේශය ක්‍රමයෙන් ජනාකීර්ණ නගරයක් බවට පරිවර්තනය වන්නේය. පෙරියකරම් නමින් අද හඳුන්වන මෙම වෙළෙඳසල වියළි සලාක හා එළවළු වෙළෙඳ සලකින් ආරම්භ වූවකි.එම වෙළෙඳසලත් සමඟ ඇතිවූ දියුණුවෙන් 1985 වනවිට මන්නාරමේ වෙළෙඳසල් ඉදිකිරීමට ජනතාව කටයුතු කළහ.

එම වෙළෙඳසල් ඉදිකරන අවස්ථාවේදීත් මෙම භූමියෙන් අස්ථි කොටස් හමුවී ඇති අතර ඒවා නැවත වළදමා වෙළෙඳසල් ඉදි කළ බවට මන්නාරම් වැසියන් සාක්ෂි දරන්නේය. මාර්කටින් ඩිපාර්ට්මන්ට් නමැති වෙළෙඳසල 1990දී වසා දැමීමෙන් පසුව 1991දී මන්නාරම මහජන බැංකුව එහි ස්ථාපනය කරන්නේය. ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව මහජන බැංකුව උප්පුකුලම් ප්‍රදේශයට ගෙන යෑමත් සමඟ එහි සතොස වෙළෙඳ සංකීර්ණය විවෘත වූ බව මන්නාරමේ ඉතිහාසය සොයා ගිය අපට එහි වැසියෝ පැවසූහ.

එහි වූ පැරණි ගොඩනැඟිල්ල එතැනින් ඉවත් කර නව වෙළෙඳ සංකීර්ණයක් ගොඩනඟන්නේ මධ්‍යම ඉන්ජිනේරු සේවා පෞද්ගලික සමාගම යොදවාය. මෙම ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපද්දී ඉවත ලන පස් මිලදී ගන්නේ මන්නාරම එමිල්නගර්හි දෙවැනි පටුමඟේ පදිංචි ජෝෂප් ආනන්දනායගම් විසින්ය.

එම පස් ගොඩේ මිනී අස්ථි කොටස් හමුවීමත් සමඟ මන්නාරම පොලිසියට පළමු පැමිණිල්ල ලෙස ලැබෙන්නේ ඉකුත් වසරේ මාර්තු 26 දාය. මන්නාරම පොලිසිය හා වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂක අංශය (ඉර්ණීඛ්ර්ණී) පැමිණ පරීක්ෂණ කටයුතු ඇරඹුවේ එම පැමිණිල්ල ප්‍රකාරවය.

පසුදිනම මන්නාරම මහෙස්ත්‍රාත් කේ. ඇලෙක්ස් රාජා මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරි සෆාන් විසින් මේ සම්බන්ධව වූ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පස් සියල්ල පිරිසුදු කරන ලෙස නියෝග කරන්නේය.
එම පරීක්ෂණවලදී මිනිස් දත් කොටස් කිහිපයක් සොයාගත් පසු ඒ පිළිබඳව සම්පූර්ණ වාර්වක් ලබාදෙන්නැයි මන්නාරම මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරන්නේය. මහෙස්ත්‍රාත් නියෝග මත හමුවූ අස්ථි කොටස් අධිකරණ වෛද්‍යවරයා භාරයේ මන්නාරම් රෝහලේ තැන්පත් කරන්නේය.

මන්නාරම පොලිස් අපරාධ අංශය අප්‍රේල් 03දා මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම භූමියේ සුසාන භූමියක් පැවති බව අනාවරණය කරමින් වාර්තාවක් සැපයූ පසු සොයාගත් අස්ථි කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබාගන්නට නියෝග ලැබුණේය.

මෙම ස්ථානයේ කැණීම් කටයුතු සඳහා කමිටුවක් පත් කරන්නේ මන්නාරම මහෙස්ත්‍රාත්වරයාය. මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව යන මහත්වරුන් කැණීම් කටයතු සඳහා එන්නේ මෙම කමිටුවේ සාමාජිකයන් ලෙසය. මැයි 16 සිට ඇරඹි භූමියේ කැණීම්වලින් දින 144ක කැණීම් කටයුතුවලදී සම්පූර්ණ අස්ථි 315ක් සොයා ගැනුණේය. ඉන් අස්ථි කොටස් 297ක් මන්නාරම අධිකරණය වෙත භාරදුන්නේය. ඉන් අස්ථි කොටස් 26ක් ළමුන්ගේ එවා බව තහවුරු විය.

මේ සමඟින් මෙම කනත්ත සමූහ මිනීවළක් බවට පත්වී ජාත්‍යන්තරය දක්වා රැගෙන යෑමට බටහිර බලවේග ක්‍රියාත්මක වූයේය.

දෙමළ මාධ්‍ය හා ජාත්‍යන්තර මාධ්‍ය මෙය සමූහ මිනීවළක්, සමූහ ඝාතනයක් බවට ඉස්මතු කරන්ට පෙලඹුණේය. යුද හමුදා සාමාජිකයන් මීට වගකිවයුතු බවට හුවා දක්වා මෙය යුද අපරාධයක් බවට ප්‍රචාරය කිරීම මෙහි අරමුණය. බටහිර රටවල සිටින කොටි හිතවාදීන්ට හා ඔවුන් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන පුන පුනා කියන්නට වූයේ මෙය සමූහ ඝාතනයක් බවටය.

නිසි කාලනිර්ණයක් සිදුකිරීමකින් තොරව යම් තීරණයකට එළැඹීම කළ නොහැකි බව මෙහි කැණීම් කටයුතු කළ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතය විය. මෙම භූමිය සුසාන භූමියක් පැවැති බවට එම කැණීම්වලදී තහවුරු කෙරිණි. අස්ථි කොටස් හමුවීමේදී එක් කොටසක ක්‍රමානුකූල අස්ථි කොටස් පවතින බවත්, තවත් කොටසක අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයේ පවතින බවත් මහාචාර්ය රාජ් සෝමදේවයන් අනාවරණය කළේය. මෙම සිරුරුවලට කිසිදු වෙඩි තැබීමක් කර නොමැති බවද එම කැණීම්වලදී අනාවරණය කළ විශේෂ කාරණාවක් විය.

මේ සියලු කාරණා මැද සොයාගත් අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීමේ කාබන් පරීක්‍ෂාව සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත යවන්නට කටයුතු කරන්නේ මෙම වසරේ ජනවාරි 25 දාය. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, මන්නාරම අතුරුදන්වූවන්ගේ සංගමයේ සාමාජිකයන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්, රජයේ නීතිඥවරුන් ඉදිරියේ මෙකී කාබන් පරීක්‍ෂාව සඳහා අස්ථි කොටස් ගොඩගැනීම සිදුවිය.
එම කාබන් පරීක්‍ෂණ වාර්තාව මේ වන විට මන්නාරම අධිකරණය වෙත ලැබී තිබෙන්නේය. එය මීළඟ නඩුවාරයේදී ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.

කාබන් පරීක්‍ෂණ වාර්තාව කුමක් වුවත් මෙය සමූහ ඝාතනයක් බවට ඒත්තු ගන්වා රජයේ හමුදාව මත පැටවීමේ වෑයම අත්හැරුණේ නැත.

මන්නාරම මහෙස්ත්‍රාත්වරයා මෙම භූමිය වෙත ඇතුළුවීම, ඡායාරූප ගැනීම හා දර්ශන පටිගත කිරීම තහනම් කරන්නේ පසුගිය වසරේ අගෝස්තු 07 වැනිදාය.

කොටි සංවිධානය වෙනුවෙන් හඬ නඟන දෙමළ සන්ධාන මන්ත්‍රිවරුන් අතරේ සිටින උතුරු පළාත් සභා මන්ත්‍රි නීතිඥ බාලසුබ්‍රමනියම් ඩෙනිස්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රි නීතිඥ පිරෙවුම් සිරෙයිවා යන අය විසින් මන්නාරම මහෙස්ත්‍රාත්වරයාට මෝසමක් ඉදිරිපත් කරන්නේ මෙම නියෝගයෙන් පසුය. මාධ්‍යවේදීන් පස්දෙනකු සමඟ මෝසම ඉදිරිපත් කර එහි ඇතුළුවීමේ නියෝගය ඉවත් කර දෙන ලෙස ඉල්ලන්නේ එහිදීය. රාජකාරියට බාධාවක් නොවන ලෙස පොලිසියේ අවසරය ඇතිව එහි ඡායාරූප ගැනීම හා වීඩියෝගත කිරීමට අවසර ලැබෙන්නේ එම මෝසමෙන්ය.

තානාපති අංශ ඍජුවම මැදිහත්වන්නට ගත්තේත් මේ සමඟය. සැප්තැම්බර් 09දා කැනේඩියානු මහ කොමාරිස් ඩේවිඩ් මැක්නම් මෙහි නිරීක්‍ෂණය සඳහා ආවේය.
උතුරු පළාත් සභා මන්ත්‍රි සිරෙයිවා, නෙදර්ලන්ත මහාචාර්යවරයකු වන රාපයා පන්නසාමි සමඟ එහි එන්නේ ඊට දින නවයකට පසුය.

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සෙන් රූයි හා ඔහුගේ පරිවර්තක ප්‍රැන්සිස් කෘෘස් ඔක්තෝබර් 03දා එහි එන්නේ ඇමෙරිකාවත් මන්නාරම මිනීවළට ඇස යොමු කළ වග කියන්නටය.

ඉන්දියාවේ තමිල්නාඩුවේ වූ පීටල්ස් වොච් නම් සිවිල් සංවිධානයට අයත් නියෝජිතයන් හත්දෙනකු ඔක්තෝබර් 11දා මෙම භූමියට ඇතුළු වන්නේද තොරතුරු සොයන්නටය.

මෙරට ජර්මානු තානාපති ජෝන් රොඩ් චැනල් ෆෝ නාළිකාවේ ජොනතන් මිලර් ඇතුළු විදෙස් මාධ්‍යවේදීන් තිදෙනකු සමඟ නොවැම්බර් 27දා එහි ඇතුළු වන්නේ තානාපති බලතල අනුවය. රටට එරෙහිව යුද අපරාධ ගොතන්නට මුල්වූ චැනල් ෆෝ නාළිකාවේ මාධ්‍යවේදීන්ට නිදහසේ සැරිසරන්නට හැකි වන්නේද තානාපතිවරයා සමඟ එහි යෑමට ඉඩකඩ ලද නිසාය.

දිගින් දිගටම රටේ අභ්‍යන්තර කටයුතුවලට තානාපතිවරුන්ගේ බලපෑම් එල්ල වෙද්දී බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ලේකම් රැවල් ග්‍රීන්, බි්‍රතාන්‍ය මානව හිමිකම් නියෝජිත ගේ‍ර්ට් කෘෘස්, ආගමික කටයුතු නිලධාරි මොහමඩ් සියාම් ඇතුළු දූත පිරිසක් එහි යන්නේ මාධ්‍යවේදීන් තිදෙනකුද කැටුවය. එම විදෙස් බලවතුන් තම බලය කෙතරම්ද කිවතොත් කැණීම් කටයුතු සිදුවන භූමියට බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කටයුතු සඳහා යොදා සිටි ඉන්ජිනේරු බළකා සෙබළුන්ව, පොලිසිය ලවා අධිකරණ නියෝගයකින් ඉවත් කරවන්නේය.

මෙම වසර උදාවූ පසුවත් මෙරට කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ජෝස් මේරි මහත්මිය එහි පැමිණ තිබුණාය. ජනවාරි 30දා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් වන ජෝන් පීටර් හා ජෝන් හරිනා එහි පැමිණ නිරීක්‍ෂණ කටයුතු කර තිබුණේය.

මේ ආකාරයට තානාපති අංශ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුවම මැදිහත් වන්නේ යහපාලන රජයට පින්සිදු වන්නටය. පසුගිය රාජ්‍ය සමයේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මෙතරම් අත පොවන්නට යුද සමයේදීවත් තානාපතිවරුන්ට ඉඩ ලැබුණේ නැත. තානාපතිවරුන් රටේ නීතියට බලපෑම් කරද්දී ඇමෙරිකාවේ ගෝතමාලාවේ සිට පැමිණි විදේශිකයන් තිදෙනකු ඩී.එන්.ඒ. තාක්‍ෂණය ගැන දේශන පවත්වමින් යන වගද හෙළි වූයේය. මෙකී විදේශිකයන් තිදෙනා අතුරුදන් වූවන්ගේ සංවිධාන සමඟ උතුරු නැඟෙනහිර වැසියන් හමුවන අතරේ ඔවුන්ගේ රුධිර හා ඛේට සාම්පල එකතු කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති වගද තහවුරු වූයේය.
ජාත්‍යන්තර වශයෙන් මන්නාරම මිනීවළ යුද අපරාධ සිදුවූ තැනක් බවට හුවා දක්වන්නට විදෙස් බලවේග ගෙනයන මෙහෙයුම අතරේ පූජකවරුන් හා සිවිල් වැසියන් විරෝධතා පවත්වන්නට පසුබිමේ සිටියේත් ජාත්‍යන්තර බලවේගය.

රසඔමාලෙයි හා ජෙයබාලන් නමැති පියවරුන් අතුරුදන් වූ පවුල්වල අය ඉදිරියට දමාගෙන විරෝධතාවන් අරඹන්නේ තවත් මතවාදයක් සමාජගත කරමින්ය. උතුරු නැඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක අතුරුදන් වූවන් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලට යුරෝපා රටවලින් අරමුදල් ගලා එද්දී ඔවුන් ක්‍රියාත්මක වූයේ මන්නාරම මිනීවළ තමන්ට මුදල් උපයාගත හැකි තෝතැන්නක් බව තේරුම් ගෙනය.

විදෙස් රටවලින් ලැබෙන ඩොලර් මිටිවලට යටවූ රාජ්‍ය නොවන සංවිධාන හා උතුරේ දේශපාලන පක්‍ෂවල පටු අරමුණ ඉටුකර ගැනීම සඳහා මන්නාරම මිනීවළෙන් ගොඩයන්නට උත්සාහ ගනිමින් සිටින්නේය. උතුරු නැඟෙනහිර අතුරුදන් වූවන්ගේ අස්ථි කොටස් මන්නාරමේ මිනීවළෙන් මතුවන බවට ඒත්තු ගන්වා රටට එරෙහිව යුද අපරාධ නඟන්නට සියලු බලවේග ඒකරාශි කරමින් ඇත.

එවන් කුමන්ත්‍රණ සිදුවෙද්දී සත්‍ය කුමක් දැයි ලෝකයාට පෙන්වා දීමට අදටත් කිසිදු සැලකිය යුතු වැඩපිළිවෙළක් රජයේ පාර්ශ්වයෙන් සිදු නොවීම කනගාටුවට කරුණකි.

පුබුදු වික්‍රමතිලක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress