උඩුවේ හිමි නි‍ෙදාස් කොට නිදහස්
Posted on March 2nd, 2019

කේ.එස්. උදයකුමාර් උපුටාගැණීම  මව්බිම

බලපත්‍රයක් නොමැතිව ඇතකු සන්තකයේ තබාගත් බවට එල්ල කරන ලද චෝදනා ප්‍රමාණවත් ලෙස ඔප්පු කිරීමට නීතිපතිවරයා අසමත් වී ඇති හෙයින් එම චෝදනාවට ලක්ව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් විනිසුරු සම්පත් විජයරත්න මහතා නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විජයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීම නිසා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ පොදු දේපළක් ලෙස නම්කර ඇති අලියකු සොර බඩුවක් ලෙස දනිමින්ම සන්තකයේ තබාගැනීම යන චෝදනා විත්තිකාර ධම්මාලෝක හිමියන්ට එරෙහිව එල්ල කර තිබුණත් ඒවා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

මෙම අලියා විත්තිකාර ස්වාමීන් වහන්සේ භාරයේ තිබූ බවට තහවුරු කෙරෙන සාක්ෂි කිහිපයක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබුණද එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීමට තරම් ඒවා ප්‍රමාණවත් නොවන බව විනිසුරු විජයරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.

ප්‍රශ්නගත අලියාගේ බලපත්‍රයක් තිබෙන බවටත් එය ඉදිරිපත් කරන බවටත් දුරකථනය ඔස්සේ විත්තිකාර උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කළේ යැයි මෙම නඩුවේ පළමුවැනි සාක්ෂිකරු ලෙස නම්කර තිබූ එවකට වනජීවී නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබිණි. විනිසුරුවරයා සිය තීන්දුව ඔස්සේ ප්‍රකාශ කළේ පළමුවැනි සාක්ෂිකාර ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද සාක්ෂියද පිළිගත නොහැකි බවයි.

සමස්තයක් වශයෙන් ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකාර ධම්මාලෝක හිමියන් නි‍ෙදාස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුව තුළින් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර අවසන් වීමෙන් පසුව අධිකරණය ඇමැතූ ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම තීන්දුවට එරෙහිව පැමිණිල්ල අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැන්වීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥ බණ්ඩාර මහතා මෙම නඩුවට පාදක වී සිටින අලියා දැනට උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින අතර එම අලියා වනජීවී අධ්‍යක්ෂවරයා වෙත භාරදෙන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලීය. ඒ අනුව අදාළ අලියා වනජීවී අධ්‍යක්ෂවරයා වෙත භාරදෙන ලෙසද අධිකරණය නියෝග කළේය.

2015 වසරේ ජනවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුළපන, ඇලන්මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකාර උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් සමිත කල්හාර, රොෂාන් අබේරත්න යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා පෙනී සිටියේය.

ඡායාරූප – උදේශ් රණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress