පොලිසියට පාතාලය සමතලා කරන්න පුලුවන් -නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
Posted on March 2nd, 2019

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

1) ඔබ ගැන පුද්ගලික තොරතුරු ටිකක් කියනවද ?

මම ඉපදුනේ 1961 අප්‍රේල් මාසේ 28 මීගමුව රජයේ රෝහලේදී, උපන් ගම කැපුම්ගොඩ, පමුණුගම, පියා පොලිස් නිළධාරියෙක්, මව පාසල් ගුරුවරියක්. පවුලේ මා ඇතුළු එක් සාමාජිකාවක් පමණයි. ඇය මාගේ බාල නංගි. මූලික අධ්‍යාපනය හැදෑරුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. අ.පො.ස. (උ.පෙළ) හැදෑරුවේ කඳාන මැසනඩ් විද්‍යාලයේ.  පාසල් සමයේ අතිරේක කටයුතු හැටියට කලා සංගමයේ සාමාජිකයෙක් විදියට හිටියා. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ හා කඳාන මැසනඩ් විද්‍යාලයේ පාපන්දු ක්‍රිඩා කලා.

2) පොලිස් සේවයට බැඳෙන්න හිතුනේ ඇයි

බොහෝ දුරට පියා පොලිස් නිළධාරියෙක් පොලීසියට මුල ඉදලම කැමැත්තක් තිබුනා. පියාගෙන් එච්චර අනුබලයක් නොලැබුනත් මව හුඟක් කැමැත්තෙන් සිටියා පොලීසියට බැදෙනවට.

3) මෙතුවක් කල් පොලිස් සේවයේ ලද අත්දැකීම් මොනවාද ?

දැනට මගේ සේවා කාලය අවුරුදු 37 ක්. මේ අවුරුදු 37 ඇතුලත අත්දැකීම් රාශීයක් ලැබුනා. විශේෂයෙන්ම පොලිස් නිළධාරියෙකුට පුළුවන් මිනිස්සුන්ගේ හදවත ඇතුලට කිදා බහින්න. අනික දවසින් දවස අපිට ගැටෙන්න සිද්ධ වෙන්නේ විවිධ මාතෘකා, විවිධ චරිත එක්ක. හරිම විවිධත්වයක් තියෙනවා. මේ විවිධත්වයත් එක්ක අත්දැකීම් රාශීයක් ලබන්න පොලිස් නිළධාරීන්ට පුළුවන්. සහකම්පනය තමයි සාර්ථක පොලිස් නිළධාරින් සතු විය යුතු හොදම ගුණාංගය.

4) පොලිසිය ගැන මිනිසුන් ගේ විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ ඇයි ?

මේක ගැන මම 100‍% ක් එකඟ නැහැ. තවමත් බහුතරයක් මිනස්සු තුල පොලීසිය කෙරෙහි යම් තරමක විශ්වාසයක් තියෙනවා. මේක පළුදුවෙන ප්‍රධානම හේතුව හැටියට මම දකින්නේ පොලීසිය දේශපාලනීකරණය වීමයි. නමුත් 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන තුලින් බොහෝ දුරට දැන් පොලීසිය නිර්දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඒ ගැන පොලිස් නිළධාරීයෙක් හැටියට මම සතුටු වෙනවා. හේතුව පරණ ක්‍රමය යටතේ මටත් හැම රජයක් යටතේම වින්දිතයෙක් වුනු කෙනෙක්.

5) පොලිස් සේවය වෘත්තීය මට්ටමින් ඉහල නැංවීමට කල යුත්තේ මොනවාද ?

පොලිස් සේවය වෘත්තීය මට්ටම ඉහල නැංවීමට කල යුතු ප්‍රධානම කාරණය තමයි ඉහළම අධ්‍යාපන සුදුසුකම් තියෙන අය පොලිස් සේවයට බදවා ගැනීම. පුහුණුව තුලින් ආකල්පමය වෙනස්කමක් ඔවුන් තුල ඇති කිරීම. පොලිස් සේවය වඩාත් මහජන මිත්‍රශීලි සේවාවක් බවට පත් කිරීම, පොලිසීයේ රාජකාරී සදහා දියුණු රටවල භාවිතා කරන උපකරණ එකතු කිරීම, ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් වැඩි දියුණු කිරීම.

6) පොලිසියට කෙරෙන දේශපාලන බලපෑම් ඉවත් කර ගත හැක්කේ කොහොමද ?

ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ශක්තිමත් කිරීම, සිවිල් සමාජය බලවත් කිරීම, ජනමාධ්‍ය විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ශක්තිමත් කිරීම , සාධාරණ රාජකාරී ඉටුකල පොලිස් නිළධාරීයෙක් අපහසුතාවයට පත් වූ විට ඔහු වෙනුවෙන් එකවන්ව නැගිටිමේ ක්‍රමවේදයක් සිවිල් සමාජය තුල ස්ථාපිත කිරීම.

7) ලංකාවේ පාතාලය බලවත්ද ?

ලංකාවේ පාතාලයක් නැහැ. ඇත්තේ එතරම් දුරට සංවිධානය නොවූ අපරාධ කල්ලි කිහිපයක් පමණයි. ජනමාධය තමයි අපරාධකරුවන් සහ ඔවුන්ගේ ක්‍රියා හුවා දක්වන්නේ. 1996 කොළඹ කේන්ද්‍ර කර ගත් අපරාධ කල්ලි 18 ක් ගැන මුලින්ම හෙළදරවු කරේ මම. හැබැයි එම කල්ලි 18 ගැන කිසිම හෝඩුවාවක් දැනට නැහැ. ඔවුන්ගෙන් බහුතරයක් පරලොව ගිහින්. මෙම කල්ලි කලින් කලට නැගී එනවා. එහෙම නැතුව මරීයෝ පූසෝ” කිව්වා වගේ සංවිධානාත්මක පාතාල කල්ලි ලංකාවේ නැහැ. මොවුන් තුන්වන පන්තියේ අපරාධකරුවන්. මෑත කාලයේ බිහිසුනු අපරාධ කල්ලි අතර තරමක් සංවිධානාත්මකව සිටියේ මදූෂ්” විතරයි. ඒත් දැන් ඔහුත් නීතීයට කොටුවෙලා. නීතීය හැම විටම බලවත්.


8)
පාතාලය මර්ධනය කරන්න පොලිසිය අසමත් ඇයි?

පාතාලය මර්ධනය කරන්න පොලීසිය අසමත් නැහැ. කලින් කලට මේ කල්ලි මතු වෙනවා. චීනා, මරුසිරා, විතාරන්දෙනියේ උක්කුවා, පොඩි විජේ, අග්ගොන චන්දරේ, අම්පාරේ සුද්දා, සොත්ති උපාලි, කලු අජිත්, ඕල්කට් ඊට පස්සේ සමයං, අංගොඩ ලොක්කා, දැන් මදූෂ්. මේ ගැන ටිකක් කල්පනා කෙරොත් දැන් මේ අය ඉන්නේ කොහෙද?. බහුතරයක් අඩි 06 ක් පොළොව යට. කිහිප දෙනෙක් හිර ගෙවල් වල ඉතින් මේකේන්ම තේරෙනවා පාතාලය මර්ධනය කරන්න ශ්‍රී ලංකා පොලීසිය සමත්ද අසමත්ද යන වග.

9) කුඩු උවදුර සහ පොලිසිය අතර තිබෙන නෑකම බිඳ දමන්නේ කොහොමද ?

කුඩු උවදුර හා පොලීසිය අතර ප්‍රභල සම්බන්ධතාවයක් නැහැ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වලින් 95% ක්ම අත්අඩංගුවට ගන්නේ පොලීසියෙන්. පොලීසියේ සාමාජික සාමාජිකාවන් 90,000 ක් ඉන්නවා. මේ අතරින් දශම ගානක් තමයි දූසිත නිලධාරීන් ඉන්නේ. මෙවැනි අය ඕනෑම ආයතනයක ඉන්න පුළුවන්. එවැනි අයගේ අනුග්‍රහය මුල්‍යමය වාසි තකා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබෙන්න පුළුවන්. එහෙත්, මත්ද්‍රව්‍ය වැටලීම් සහ ශ්‍රී ලංකා පොලීසිය කවදත් නොතිබුන තරමේ උනන්දුවක්, උත්සහායක් වැටලීම් සදහා ක්‍රියාත්මක කරනවා.

10) ඔබ විසින් ලියන පොත ගැන යමක් කියන්න පුලුවන්ද ?  

පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්න තව වසර 02 යි මාස 02 ක් තියෙනවා. 2021 අප්‍රේල් මාසේ 27 වෙනිදා මම විශ්‍රාම ගන්නවා. එදාට එළි දක්වන්න මගේ අවසාන පොත සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ නම Police and Politic”. ඒක ගොඩක් ආන්දෝලානාත්මක කතාබහක් වේවි කියලා මම විශ්වාස කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress