මුස්ලිම් ප්‍රජාව ගෝඨාභය ආදරයෙන් වැලඳගනී
Posted on March 5th, 2019

ගම්පොළ – මාධව බණ්ඩාර, මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

ඉදිරියේදී සෑම පුරවැසියකුටම ගෞරවනීය ලෙස ජීවත්වීමේ වාතාවරණයක් සකස් කර දෙන බවත් නිසි ආර්ථික ප්‍රතිපත්ති මඟින් රට ඉදිරියට රැගෙන ගොස් මේ රටේ සෑම ජන කොටසකගේම දුප්පත්කම ඉවත් කොට නීතිය, සාමය හා විනය ඇති සමාජයක ජීවත්වීමේ පසුබිම සකස් කර දෙන බවත් \’එළිය\’ සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

උඩුනුවර ඇතුළු අවට ප්‍රදේශ තුළ ජීවත් වන මුස්ලිම් ජනයා ආමන්ත්‍රණය කිරීමේ අරමුණු ඇතිව මුස්ලිම්වරු විසින් ගෙලිඔය එළමල්දෙණිය ප්‍රදේශයේදී මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.

රටක විනයක් නොමැති නම් ඒ රටේ ජාතීන් අතර, භාෂා අතර, ආගම් අතර පමණක් නොවේ දේශපාලනය, ආර්ථික හා සංස්කෘතිය ඇතුළු සියලු අංශ කඩා වැටී සමාජය පිරිහීම කරා ඇදී යනවා. අද ඇති වී තිබෙන්නේත් එවැනි තත්ත්වයක්.

රටක සාමය හා නීතිය තිබිය යුතුයි. මේ රටේ සුළු ජාතීන් ලෙස හඳුන්වන දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීන් උත්සාහ කරන්නේ නීතිය, සාමය හා විනය ක්‍රියාත්මක වන සමාජයක ජීවත් වීමටයි.

අද මේ සමාජයේ සෑම අංශයකම අසන්නට තිබෙන්නේ මේ රටේ විනයක් නෑ කියන කාරණයයි.
එද අපි මේ රටට විනයක් ගේනකොට ත්‍රස්තවාදය නැති කරලා සාමය ගේනකොට මේ රටේ පාතාලය නැති කරලා සාමකාමී බව ඇති කරන කොට විවිධ අය අපට අභූත චෝදනා එල්ල කරමින් දෝෂාරෝපණය කළා.
ඇත්ත වශයෙන්ම මා සතුව එකම සුදු වෑන් එකක්වත් නෑ.

නමුත් සුදු වෑන්වලින් මිනිස්සු උස්සන සංකල්පය මේ රටට හඳුන්වා දීපු 87,88,89 කාලය අද කාටත් අමතක වෙලා තියෙනවා.
අපේ කාලය තුළ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නට බුද්ධි අංශ මඟින් යම් යම් ක්‍රමවේද යොදා ගන්නට ඇති. ඒවා ලෝකයම අනුගමනය කරන ක්‍රමවේද. ඒ අය කිසිම ආකාරයකින් දේශපාලන පළිගැනීම් කළේ නෑ. අහිංසක මිනිසුන්ට හිරිහැර කළෙත් නෑ. නිර්දෝෂී පුද්ගලයන්ගෙන් පළිගත්තෙත් නෑ. මේ රටේ ජනතාවට සාමයෙන් ඉන්න දෙන්නයි ඔවුන් කටයුතු කළේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් මැඬලන්නට, බස්වල දුම්රියවල නිරායුධ මිනිසුන් මැරෙන එක වළක්වන්නට, ආර්ථික මර්මස්ථාන බේරා ගන්න, පූජනීය ස්ථාන විනාශ කරන එක නවත්වන්නට බුද්ධි අංශ විශාල සේවයක් කළා.

ආඩම්බරයි කියන්න, අපේ බුද්ධි අංශවල වැඩි හරියක් හිටියේ මුස්ලිම් නිලධාරීන්. පසුගිය රජයේ වැරැදි වැඩපිළිවෙළ නිසා ඒ බුද්ධි නිලධාරීන් විශාල ප්‍රමාණය මරුමුවට පත් වුණා.

ඒ බුද්ධි නිලධාරීන් කළ සේවය නිසා තමයි ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකි වුණේ. මේ ආකාරයට යුද්ධය අවසන් කොට රට බේරා ගැනීමට කැප වීම් කළ නිලධාරීන්ට විරුද්ධවයි අද මේ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ.
ඒ නිලධාරීන් මේ කැපවීම කළේ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාවකට නොවේ. ඒ කැපවීම කළේ රට වෙනුවෙන්. ඒ වගේම මම යම්කිසි නායකත්වයක් දුන්නා නම් යම්කිසි වැඩසටහනක් ගෙන ගියා නම් ඒ කිසිවක් මගේ පෞද්ගලික අවශ්‍යතාවකට නොවේ. ආරක්ෂක ලේකම් කෙනෙක් ලෙසත් මේ රටේ රට වැසියෙක් ලෙසත් මට කරන්න තිබුණු වගකීම තමයි මම ඉෂ්ට කළේ.

ඒ වගකීම නිසි ලෙස ඉෂ්ට කළ නිසා මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ යන සෑම ජන කොටසකටම යහපතක් වුණා.

එදා අපේ රටේ විරුද්ධ පක්ෂ පමණක් නොවේ විදේශ බලවේගවලින් පවා විශාල බොරු ප්‍රචාර ගෙන ගියා. එදා ඒ අය බැලුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් කරන්නේ කොහොමද කියන කරුණ.
මේ හේතුව මත ඔවුන් මේ රටේ මුස්ලිම් ජනයා හා දමිළ ජනයා සාර්ථකව මුළා කළා. නමුත් අද මේ අය දන්නවා මොකක්ද ඇත්ත කතාව කියලා.

එදා අලුත්ගම සිද්ධ වුණු කාරණයේදී කොහොමද අපි ඉක්මනට ක්‍රියා කළේ කියන කාරණයත් අද දිගන සිදුවීමේදී මේ රජය කොහොමද ක්‍රියා කළ ආකාරයෙන් අද මේ අය හොඳින් දන්නවා.

එම නිසා මම ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට නොරැවටී මේ රට වැටී ඇති තැනින් ඉදිරියට ගෙන අපි සියල්ලම එකා වගේ වැඩ කරමු කියලා.

ඉදිරියේදී අපේ ප්‍රතිපත්තිය වන්නේ මේ රටේ සියලුම ජන කොටස්වලට මේ රටේ එක හා සමානව ජීවත් වීමේ වාතාවරණයක් සකස් කර දීමයි.

අපි ජාතිවාදීන් නොවේ. නමුත් සියලු දෙනා තුළ රට වෙනුවෙන් ජාතිකත්වයක් තිබෙන්නට ඕනේ. රටට ආදරයක් තියෙන්නට ඕනෑ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ගෙන ගියේ කිසිම ජන වර්ගයකට විරුද්ධ සටනක් නොවේ. එතුමා සිදු කළේ වසර ගණනක් මේ රටේ සියලුම ජන වර්ගවලට බලපෑ ඒ ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනයි. අපි ජාතිවාදීන් ලෙසත් අපි මුස්ලිම් ජනයාට විරුද්ධ අය ලෙසත් විරුද්ධවාදීන් පෙන්වල දුන්නා. නමුත් අපේ ආණ්ඩුව ඒ කාලය තුළදී ක්‍රියා කළේ මේ රටේ සිටින සියලුම ජන කොටස්වලට යහපත් වන ආකාරයට.

මේ වැඩසටහන සංවිධානය කරන්නට මුල් වුණු පාරිස් මැතිතුමා කීවා එදා කොළඹ නාගරික නිවාස බෙදාදීමේදී එතුමා සහභාගි වුණු වැඩසටහනකදී මේ නිවාස ලැබී තිබුණේ 90%ක්ම මුස්ලිම් අයට කියලා. එදා මහින්ද මහත්තයා නාගරික සංවර්ධන අමාත්‍යවරයා හැටියට සිටියදී එහි ලේකම් වූ මට උපදෙස් දුන්නා කොළඹ නගරයේ තිබෙන පැල්පත් වෙනුවට හොඳ නිවාස ලබා දෙන්න කියලා.

ඒ අනුව මම සිංහල, දෙමළ, මුස්ලිම් භේද නොමැතිව ඒ ජන සංයුතීන් සිටි ආකාරයටම කිසිදු වෙනසකින් තොරව නිවාස ලබා දුන්නා.

ඒ වගේම මම තට්ටු නිවාස හදන අවස්ථාවේදී මුස්ලිම් ජනතාව අතර ගෙනගිය මතය තමයි කොළඹින් මේ මුස්ලිම් ජනතාව ඉවත් කරලා එළවලා දාලා නැඟෙනහිරට යවලා මේ නිවාස හදලා සිංහල ජනතාව පදිංචි කරන්න යනවා කියලා කියන එක. සමහර මුස්ලිම් ජනතාව මේක විශ්වාස කළා. ඒ සමඟ තමයි මුස්ලිම් ජනතාව අතර මේ විසබීජය පැතිර ගියේ. අපට නිදහස ලැබිලා අවුරුදු 71ක් ගත වෙලත් අපි කතා කරනවා දෙමළ ජනයාගේ ප්‍රශ්නය. මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය.

නමුත් අදටත් මේ ගැටලු තියෙන්නේ දේශපාලනඥයන් ඡන්දය පදනම් කරගෙන පමණක් මේ ගැටලු කතා කරන නිසයි.

ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය තියෙන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙවෙයි. මේ අයට අද ජීවත් වෙන්න පරිසරයක් තියෙනවාද? හරිහමන් ආදායමක් තියෙනවාද? තමන්ගේ දරුවට හොඳ පාසලක් තියෙනවාද? තමන්ට සුදුසු රැකියාවක් ලබා ගන්න පුළුවන්ද? හොඳ නිවෙසක් හා ජීවත් වෙන්න යහපත් පරිසරයක් තියෙනවාද යනාදියයි.

නමුත් මේ ප්‍රශ්න තියෙද්දී අපේ නායකයන් දෙමළ අයට පෙන්නලා දෙන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ සිංහල අය නිසා බවයි.

නමුත් මේ ගැටලු රට වැසියන් ලෙස සැමටම පොදුයි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ මේ ගැටලුවලට විසඳුම් ලෙස දකුණ, නැඟෙනහිර, උතුර ඇතුළු රටම සංවර්ධනය කිරීමයි.

අපි මේ රටේ සියලුම ජන කොටස්වලට ජීවත් වීමේ නිදහස ලබා දිය යුතුයි. අද මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ජන වර්ග අතර ඇති දුප්පත්කම නිසයි. මුදල් තියෙනවා නම් සිංහලද මුස්ලිම්ද දෙමළද කියන එක ගැටලුවක් වෙන්නේ නෑ. ඔවුන්ට පුළුවන් හොඳ ජීවිතයක් ගෙනියන්න. හොඳ ව්‍යාපාරයක් කරන්න. තමන්ගේ දරුවට හොඳට උගන්වන්න. ඒ දරුවන් පිටරටකට යවන්න. එහෙම නැත්නම් ගැටලු ගොඩයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

වසර දෙදහස් ගණනකට පෙර මේ රටේ ව්‍යාපාරවල යෙදුණු මුස්ලිම් ජනතාවට අද ඒ කටයුත්ත කරගන්න විදියක් නෑ. ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා. සමස්තයක් ලෙස රටේම ව්‍යාපාර කඩා වැටිලා. පොලිය වැඩියි. ආදායම අඩුයි. මේවා තමයි රට පුරාම ඇහෙන්නේ.

එදා ඩොලර් දාහක ආයෝජනයක් කළොත් පොලිය ගෙවන්න වුණේ ලක්ෂයයි. නමුත් අද එක් ලක්ෂ අසූදාහක් ගෙවන්න ඕනෑ.

ඒ වගේම අද රුපියල් විසි දහසක ආදායමක් ලැබුණොත් පොලී ගෙවන්න ඕනේ අට දහසක්. එදා ගෙවන්න වුණේ 2500යි. ඉතින් ව්‍යාපාර කඩා වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි.
නායකත්වය කියන්නේ ජනතාව ඉදිරියට ඇවිත් තමන්ගේ දුක කියන එක හෝ තමන්ගේ ප්‍රශ්න කියන එකම නෙවෙයි. නායකත්වය කියන්නේ ප්‍රශ්නවලට විසඳුම් හොයලා ඒවා නිරාකරණය කරලා රට ඉදිරියට ගෙන යන එකටයි. නමුත් අද අපට එහෙම දෙයක් පේන්නෙ නැහැ.

අද මුළු ලෝකේම අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සියලුම අංශවලින් කඩා වැටෙන රටක් ලෙසයි.

රටේ සියලු අංශවල බිඳවැටීම්
වැළැක්විය හැකි පාලකයකු
අවශ්‍යව තිබෙනවා – මහාචාර්ය
රිස්වි ෂෙරිෆ්

මේ වන විට රටේ දේශපාලන තත්ත්වය හා ආර්ථික තත්ත්වය පහළට ගමන් කරමින් පවතිනවා. එවැනි වාතාවරණයක් යටතේ රටේ ජීවත් වන සියලුම ජාතීන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. විශේෂයෙන් මෙම ආර්ථික තත්ත්වයේ පසුබෑම ව්‍යාපාර නිසා ජීවිකාව ගෙනයන මුස්ලිම් ජනයාට එය දැඩිව බලපානවා.

මේ ආකාරයට රටේ සියලු අංශවල බිඳවැටීම වළක්වන්න නම් රටේ පාලනයට හොඳ අයකුගේ අවශ්‍යතාව පැනනැඟී තිබෙනවා. මේ රටේ ජනාධිපතිවරු රැසක් වැඩ කරලා තිබෙනවා. මුස්ලිම්වරු ඒ සෑම කෙනෙක් දෙසම අවධානයෙන් බලාගෙන හිටියා. පසුගිය දිනක නන්දදාස කෝදාගොඩ මහතාගේ අනුස්මරණ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. ඒ සඳහා මමත් සහභාගි වුණා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශනයට මමත් සවන් දුන්නා. එයා විශේෂ මනුස්සයෙක් කියලා තේරුණා. ඔහුට විශේෂ කුසලතා මෙන්ම විශේෂ දැක්මකුත් ඇතිව කතා කරන බව තේරුණා. අද රටට අවශ්‍ය ඒ දැක්මයි. කොළඹ නගරය සඳහා හිටපු පාලකයන් විවිධ වැඩසටහන් සිදු කළා. නමුත් ගෝඨාභය මහත්තය ඉදිරිපත් කළ සැලැස්ම හා වැඩපිළිවෙළ ඉතා විශේෂ වෙනවා.

මුස්ලිම්වරුන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීමට නම් යහපත් ආර්ථික දැක්මක් තිබිය යුතුයි. එයත් මේ වැඩසටහන සමඟ ඉදිරිපත් වෙනවා.
එදා පරාක්‍රමබාහු රාජ සභාවේ මුස්ලිම්වරු අමාත්‍ය තනතුරු දැරුවා වගේම විහාරස්ථාන සමඟත් ඉතා සමීපව කටයුතු කළා. ඒ ආකාරයට සිංහල ජනතාව සමඟ කටයුතු කළ මුස්ලිම් ජනතාව අද යම් යම් අයගේ රැවටීම් බස්වලට හසු වී තිබෙනවා. එය වහාම නිවැරැදි විය යුතු කාලය එළැඹ තිබෙනවා.

ගෝඨාභය කියන්නේ
රටට, මුස්ලිම් ජනතාවට
ආදරය කරන
ආදරණීය මනුස්සයෙක් – – අල්හාජ් ඒ.එල්.එම්. ෆාරීස්

අද පළමුවැනි වතාවට මේ වගේ රැස්වීමක මම කතා කරන්නේ අපේ ඊළඟ ජනාධිපතිවරයා ඉස්සරහා තියාගෙන. ඒක මට ලොකු ආඩම්බරයක්. මම මුස්ලිම් ජාතිකයෙක්. ගොඩක් අය හිතනවා ඇති ගෝඨාභය රාජපක්ෂ එක්ක මට මේ තරම් යාළුකමක් ඇයි කියලා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිම දෙයක් දීලා නෑ. එතුමා කිසි දෙයක් ගන්න කෙනෙකුත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ගාව දෙන්න දෙයක් නෑ. එතුමා ගාව තියෙන්නේ මේ රට ගැන තිබෙන අසීමිත ආදරය විතරයි. ඒ වගේම මේ රට අපට බේරලා දුන්නා. ඒ රට බේරලා දුන්නට පස්සේ ඔබතුමා මට මුකුත් පෞද්ගලිකව දෙන්න ඕන නැහැ. මට රටක් බේරලා දුන්නා.
මම වගේම අපේ මුස්ලිම් කට්ටිය ගොඩක් අය බිස්නස් කරනවා. දැන් එයාලට බිස්නස් කරන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙන්නේ රට බේරලා දුන්න නිසයි.

පළමුවැනි වතාවට මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයව බලන්න ගියා. ඉ.ඕ. ඇමැතිතුමා තමයි මාව එක්කරගෙන ගියේ. එන්න ෆාරීස් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හම්බෙන්න යමු කියලා කිව්වා. මම කමිස කිහිපයක් මාරු කළා. ඊට පස්සේ සුදු කමිසයක් ඇඳගෙන ගියා. ආරක්ෂක ලේකම් කියන්නේ හරි භයානක පුද්ගලයෙක් කියලයි මම හිතුවේ. ඹ්ඊඊඡ් යුද්දේ ඉවර කළාම මම හිතාගෙන හිටියේ හරි භයානක කෙනෙක් කියලා. දැක්කාම මට මොනවා වෙයිද දන්නෑ කියලා හිතුණා. එච්චර බයෙන් මේ ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බවෙන්න ගියේ බිල්ඩින් එකක් හදාගන්න උදව්වක් ගන්න. එතුමා ඒ වෙලාවෙම දුරකථනය අරගෙන සභාපතිතුමාට කතාකරලා කිව්වා මේක කරලා දෙන්න කියලා. එහෙම නැඟිටලා ඇවිත් මට තට්ටු කරලා ඇහුවා ඔයා තට්ටු කීයද්ද හදන්නේ කියලා. මම කිව්වා තට්ටු 12ක් කියලා. ඊළඟ බිල්ඩින් එක ඔයා තට්ටු 100ක් හදන්න ඕන. මම ඔයත් එක්ක ඉන්නවා කියලා වචනයක් කිව්වා. ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පුදුම චරිතයක් කියලා. හරිම ආදරණීයයි. රටට ආදරෙයි. මට ආදරෙයි. අපේ මුස්ලිම් ජනතාවට ආදරෙයි. ඒ හින්දා මම සර් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා. ඉන් පස්සේ ඔබතුමා යන යන තැන මම හොර රහසේ යනවා. සමහර අවස්ථාවල ඔබතුමා දන්නෙත් නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධය ඉවර කරලා රට දියුණු කරන්න පටන් ගත්තා. නමුත් ඒ තිබුණු ආර්ථික දියුණුව 3% දක්වා අඩුවෙලා තියෙනවා. අපේ මුස්ලිම් ජනතාව 95% – 98% ව්‍යාපාර කරන අය. ඒ අයගේ ව්‍යාපාර නැති වෙමින් යනවා. අපේ ව්‍යාපාර ටික අපිට ආරක්ෂා කර ගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මෙතැන ඉන්න මුස්ලිම් ජනතාව හැමෝම ඇවිත් ඉන්නෙ ඔබතුමා බලන්න. මෙච්චර විශාල මුස්ලිම් ජනතාවක් අද ඇවිත් ඉන්නවා නම් ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ එක්ක අපි ඉන්නවා කියන එකයි.

අපිට රටක් ඕන. අපේ රට ඔබතුමා බේරලා දුන්නා. දැන් ඔබතුමාගේ දෙවැනි මෙහෙයුමයි මේ. අපිට අවශ්‍ය හොඳ නායකත්වයක්. ඒ නායකත්වය ඔබතුමාගෙන් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා විනය ගරුක නායකයෙක්. කවදාවත් හොරකම් කරන්නෙ නෑ කියලා අපි දන්නවා. ඒ වගේ නායකයෙක් අපිට ඕන. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා රට හදයි කියලා. රට හදනකොට වැඩියෙන්ම ලාභ වෙන්නෙ මුස්ලිම් අයටයි. අපි දන්නවා ඔබතුමා කොච්චර ආදරෙයිද කියලා මුස්ලිම් ජනතාවට. මම ඔබට පවසනවා ගෝඨාභය රාජපක්ෂට බයවෙන්න එපා කියලා.

අල්ලා දෙවියන්ගේ නාමයෙන් ගෝඨාභය මැතිතුමාට රටටත් ජනතාවටත් සදාකාලික යහපතක්
උදා කළ හැකි බව විශ්වාසයි – දේශබන්දු මොහොමඩ් මජීඩ්

2020දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඉහළ ජනතා ප්‍රසාදයකින් ජය ගන්නා අපේක්ෂකයා ලෙස අප රටේ අති බහුතරයකගේ අපේක්ෂාවට පාත්‍ර වී සිටින ඔබතුමන් හට පළමුවෙන් මාගේ සුභාසිංශන එක් කරන්න කැමැතියි.

1977 සිට 2005 දක්වා ගතවූ වසර 28ක කාලය තුළ අපගේ ජීවිතය වඩා සක්‍රිය බලවත්ම කාලය වෙමින් තිබුණා. මේ වකවානුවේ පැවැති දේශපාලනය විසින් අපගේ කාර්ය සාධකයන්ගේ යම් සැලකිය යුතු ප්‍රතිශතයක් රටට අහිමි කළ බව දැඩි සිත් වේදනාවෙන් සඳහන් කළ යුතුයි. නිදහසින් පසු දේශපාලන නායකයන්ගෙන් සිදුවූ අතපසුවීම්, අත්වැරදීම් මේ අරාජිකත්වයට හේතු වන්නට ඇතැයි මේ වනවිට සමාජගත වී තියෙනවා.

වගකිවයුතු දේශපාලන නායකයකුගේ සුළු අත්වැරැදීමකින් රටේ පරපුරක් බිඳවීමට හේතුවක් වන බව අද සාක්ෂි දරනවා. 2004 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමඟ එතුමන්ගේ නායකත්වය නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අපට සුපුරුදු තව එක් දේශපාලන සිද්ධියක් පමණක් විය. එයට හේතුව මෙයට පෙර පත්වූ ජනාධිපතිවරුන්ගෙන් දැඩි බලාපොරොත්තු තැබූ දෙදෙනකුම අපගේ බලාපොරොත්තු සුන් කිරීමයි. 2004 න් පසු නව ආණ්ඩුවේ ඇරඹුමත් සමඟ නැවතත් සුපුරුදු පරිදි සටන් විරාමයකි. කැඩි කැඩී ගිය සාම කතා පෙර පරිදිය. නැවතත් සුපුරුදු පරිදි සටන් විරාමයකි. සටන් විරාමය උල්ලංඝනය විය. සුපුරුදු පරිදි නැවත යුද ගිනි ඇවිළිණි. නමුත් මෙවර සුපුරුදු දෙයක් සිදුවිය. අපි තිගැස්සී හිස ඔසවා බැලීමු.

සටන් විරාමයට මුවා වී මැටි බිත්තියට හේත්තු කරන්න එපා. මම ආපහු ගහනවා ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අමතා කළ එම ප්‍රකාශය අපට සුපුරුදු දෙයක් විය. මෙය ජාතියක් වශයෙන් මෙතෙක් ආ ගමනේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයකි. අප රට කර වූ ජනාධිපතිවරයෙක් ත්‍රස්තවාදයට එරෙහිව මෙවැනි නිර්භීත සෘජු අභියෝගාත්මක නිල යුද ප්‍රකාශයක් කළේය.

එය සිදු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒත් සමඟ ජීවිතය පිළිබඳ අපගේ තිබූ බලාපොරොත්තුව ඉහළ නැංවිණි. එළැඹෙන සෑම දිනයකම ජයග්‍රහණයේ දිනයක් විය. වසර 30ක් වියැති ත්‍රස්ත රකුසා මරා දමන ලදී. සාමය උදා විය. එම ජයග්‍රහණය අප රටේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එඩිතර නිර්භීත නායකත්වය හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුපිරි කළමනාකාරිත්වය අභීත කාර්යක්ෂමතාව බුද්ධිය හේතුකොට අප රටේ ජනතාවගේ අති උත්කර්ෂයෙන් පිළිගන්නවා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ ආණ්ඩුවට කෘතගුණ සැලකීමක් ලෙස ජනතාව 2010 ජනාධිපතිවරණය ඉතා පැහැදිලිව අති බහුතරයකින් රාජපක්ෂ පාලනයට ලබාදුන්නා. ඉන් පසු ආරක්ෂක ලේකම්වරයා හැටියට ඔබතුමාට විශාල ඉල්ලුමක් රට තුළ ඇති වුණා.

බොහෝ අමාත්‍යාංශවල සේවය කළ රාජ්‍ය සේවකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා තම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරනු ප්‍රසිද්ධියේ අයැද සිටියහ. නීතිය, යුක්තිය, විනය, සුපිරි කළමනාකාරිත්වය යන කරුණු පාලනයට නතු වනවාට සියල්ලෝ කැමැති බව ඉන් පැහැදිලි වුණා.

එසේ නම් ඔබතුමාට සහජයෙන් සතු මේ සුපිරි හැකියාවන් හෙට දවසේ කටයුතු සඳහා ඔබට මහෝපකාරී වන්නා සේම එම හැකියාවන් ඔබ සතුව නොපැකිළිව පවතිනතාක් ජනතාව ඔබ වටා රොක් වනු ඇත. වසර 2009දී ඔබ කැපවීමෙන් දිනා දුන් නිදහසින් අපගේ අනාගතය සරසන්නට අපි මුලපිරුවට ගෙවී ගිය සෑම වසරක් පාසාම රටේ හීින වූ සමහර සිදුවීම් හේතු වූ අපේ බලාපොරොත්තු නැවතත් අවිනිශ්චිත බවෙන් අඳුරින් වැඩී වැසී ගියා. මධ්‍යම රජයෙන්ම බල සටනක් දී සිදු වූ සිදුවීම් ප්‍රාදේශීය නායකයන්ගේ සමහර අත්තනෝමතික කටයුතු රට තුළ යම් නොසන්සුන් වාතාවරණයක් ඇති කිරීමට අවස්ථාව ලැබෙන තෙක් බලාසිටි විදේශීය කුමන්ත්‍රණකාරී බලවේග ලද අවස්ථාවෙන් උපරිම ක්‍රියාත්මක වුණා.

2015දී නව ආණ්ඩුවක් බිහි වීමත් නව ආණ්ඩුව බිහි වී මාස 3 යනකොට අපට ඉඟුරු දී මිරිස් ගත්තා යන්න අවබෝධ විය. ඒ මුළාවට හේතුව අපට විකල්පයක් තෝරා ගැනීමේ අවස්ථාවක් නොමැති කමයි.
අප රටේ දේශපාලනය ක්‍රමයෙන් උත්සන්න වෙමින්, වර්ධනය වෙමින් යම් ජාතියකට ආගමකට කොටු කරගෙන දේශපාලන මතවාදයක් ජයග්‍රහණය කරවීමට උත්සාහ කරන විට විනය ගරුක, යුක්ති ගරුක සෑම ජන කොටසකටම බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනැඟිය හැකි ඕනෑම පුද්ගලයකුට රට භාරදීමයි. එවැනි අයකු ඉන්නවා. ඔහු එය ඔප්පු කර තිබෙනවා.

අපගේ ලොකු විශ්වාසයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි මේ ගරු සභාවෙදි ඔබතුමාට මේ පවසා සිටින්නේ මේ රටටත් ජනතාවටත් සදාකාලික යහපතක් ඔබට උදාකළ හැකි බවට අචල විශ්වාසයක් අපට තිබෙන බවයි. එම විශ්වාසය සපල වේවා යැයි අපි අල්ලා දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ඉල්ලා සිටිනවා.

අප බහුතරය සුළු හා මධ්‍යම ව්‍යාපාර හා ව්‍යවසාය හිමි ජන කොටසක්. මේ වනවිට අප රටේ විශාල ආර්ථික කඩා වැටීමක් සිදුවී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ව්‍යවසාකයන් ප්‍රවර්ධනය සඳහා වන අදහස් හා යෝජනා පිළිබඳ අප තුළ සතුටක් ඇත. ඔබ ඉල්ලා සිටින ඕනෑම මොහොතක එය අපට ලබාදිය හැකිය.

අප රටේ අධ්‍යාපනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය වඩා විධිමත් කිරීම, අප රටේ ශ්‍රම සම්පත වඩා විධිමත් ලෙස ජාතික නිෂ්පාදනයට යොදවා ගැනීම යනාදී සංග්‍රාම රාශියක් කිරීම තුළින් අප රට ගොඩනැඟිය හැකිය යන්න අපේ විශ්වාසයයි. ඒ කිසිදු සංග්‍රාමයක් ඔබතුමාට ජයග්‍රහණය කිරීමට සංග්‍රාමයක් නොවන බවද කිව යුතුයි. ඒවා අසීරු වුවද ඔබතුමාට ඒවා සාර්ථකව කළ හැකි බව අපි විශ්වාස කරමු. එළැඹෙන 2020දී අප රටේ කර්මාන්ත හා සෞභාග්‍යයේ නියැමුවන් ලෙස ඔබතුමන් අභිෂේක කිරීමට අල්ලා දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ඉල්ලා සිටිමු.

 

One Response to “මුස්ලිම් ප්‍රජාව ගෝඨාභය ආදරයෙන් වැලඳගනී”

  1. Dilrook Says:

    Misleading heading.

    Such a small number cannot be extrapolated to the general Muslim population. Even in 2015 somewhere between 9% to 17% Muslims voted for Mahinda. That is about 140,000 to 194,000 Muslims voting for Mahinda island-wide. This percentage is not likely to drop or improve. For comparison, the UNP candidate will have 83% to 91% of the Muslim vote.

    Trying to expand the percentage will only result in a drop in Sinhala votes.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress