කාන්තා දින පණිවිඩය 
Posted on March 7th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  කාන්තා සංවිධානය

ශ්‍රී ලාංකීය ජන සමාජය සදාචාර සම්පන්න ලෙස ගොඩනගීමේ වගකීම උර දරා සිටින ශ්‍රී ලාංකික කාන්තාව සැබැවින්ම සුරක්ෂිතද, සැබැවින් ඇයගේ සමාජ වගකීම ඉටු කිරීමට හැකිවන පරිසරයක් ඇය වටා ගොඩ නැගී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

බිළිදියක , දියණියක, බිරිදක, මිත්තණියක වශයෙන් මෙන්ම මිතුරියක වශයෙන් ජිවිතයේ වගකීම් රැසක් ඉටුකරනා කාන්තාවගේ සුරක්ෂිත භාවය මෙන්ම ඇයගේ පෝෂණය සම්බන්ධයෙන් රජයක් වශයෙන් මූලිකවම විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතුව තිබේ. නමුත් වත්මන් රජය විසින් ලිප ගිණි මොලවන කාන්තාවගේ හිස ගිණි තැබීමට විවිධාකාරයෙන් කටයුතු කරමින් සිටියි. බඩු මිල වැඩිවීම, අධ්‍යාපන වියදම් වැඩිවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම මෙන්ම දිනෙන් දින නව බදු පැනවීම නිසා ජීවන වියදම ඉහල යාම මිස මාසික ආදායමේ වැඩිවීමක් නොමැතිකම නිසා නිවසේ වියහියදම් පියවාගැනීම සම්බන්ධයෙන් මෙන්ම දරුවන්ගේ පෝෂණය හා ඔවුනගේ අනාගතය සම්බන්ධයෙන්ද දැඩි මානසික පීඩාවකින් වත්මන් කාන්තාව පෙළෙමින් සිටී.

රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වීමේ පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති වට පිටාවක් තුළ සිය ස්වාමියා හා දූ දරුවන් නිවසට එනතෙක් අවිනිශ්චිත පීඩාකාරී මානසික වටපිටාවක දිවි ගෙවීමට ඇයට සිදුව තිබේ. සමාජයේ හොරමැරකම් වැඩිවීම නිසා කාන්තාවකට තනිවම මහ මග ගමන් කිරීමට හෝ තනිව නිවස තුළ සිටීමය බැරි තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගතව තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර ශ්‍රී ලංකා සමාජය වෙලා ගනිමින් සිටින හෙයින් නිරන්තරයෙන් දරුවන් කෙරෙහි දැඩි අවධානයකින්  සිටින්නට සිදුව ඇත්තේද මව්වරුන්ටයි. මේ සියලු පීඩාවන්ගෙන් කාන්තාව මුදාගැනීම මෙන්ම කාන්තාවගේ සුරක්ෂිතභාවය හා පෝෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට රජය වහාම පියවර ගත යුතුව ඇති බව අපි අවධාරණය කරමු.

එමෙන්ම ඇයට යහපත් පරිසරයක් තනාදී අනාගත පරපුර රටට දැයට වැඩැති පරපුරක් ලෙස ගොඩනැංවීමට කාන්තාව බලගන්වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් එමගින් සමස්ත කාන්තා පරපුරට මෙන්ම රටටම සුරක්ෂිත ආනාගතයක් උදාකරදීමට හැකි නායකත්වයක් රට තුළ බිහිවේවායි මෙවර  කාන්තා දිනයේදී අපි අදිටන් කර ගනිමු.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන සමස්ත ලෝකවාසී කාන්තාවන්ට අපගේ සුභාසිංසන යොමු කරන්නෙමු.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress