පළාත් පාලන නියෝජිතවරියන් ගෙන් 67% ක් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සූදානම්
Posted on March 7th, 2019

මාධ්‍ය ඒකකය- නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ කියයි.

පසුගිය වසරේ මාර්තු 8 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් කාන්තාවන්ගෙන් 67% ක්ම ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය මේ බව සදහන් කලේ පළාත් පාලන නියෝජිතවරියන්ගේ ගැටළු හඳුනා ගැනීම සඳහා පැවති වැඩමුලුවක් අමතමිනි. පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ කාන්තාවන් අති බහුතරයක්  ගතවූ වසරක කාල සීමාව තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කර ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරංගී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා කාන්තාවන් ඉදිරිපත් කිරීමේදී විවිධ අභියෝග රැසක් එල්ලවූ බවයි. ඇතැම් ප්‍රධාන පක්ෂ තමන් පරාජය වන කොට්ඨාස සඳහා කාන්තාවන් නම් කරමින් පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය අවම කිරීමට කටයුතු කළ බව ද ඇය පැවසුවාය.  එමෙන්ම මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කරන බවට පැහැදිලි ඇතැම් කාන්තා නියෝජිතවරියන් ලැයිස්තුවෙන් පත්කිරීමටද එම ප්‍රධාන දේශපාලන පක්ෂ කටයුතු කළ බව ඇය සඳහන් කළාය.

එලෙස විවිධ අභියෝග මැදින් පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂිකාවන් අතුරින් ඇතැම් අය පළාත් පාලන ආයතන වල සභාපති සහ උප සභාපති ආදි තනතුරු පවා දරමින් සිටින බව ඇය කීවාය. තමන් වෙත ලැබෙන විමධ්‍යගත මූල්‍ය ප්‍රතිපාදන මැනවින් කළමණාකරනය කරමින් කාන්තාවන් කටයුතු කර ඇති බවද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම තත්වය තේරුම්ගෙන ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා කාන්තා නියෝජනය වඩා විධිමත් හා පුළුල් යොදා ගැනීමට සියලු පාර්ව කටයුතු කළ යුතු බවද ඇය සඳහන් කළාය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress