ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය සදහා කැම්බල් පිටිය වෙන්කෙරේ
Posted on March 8th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයිදින රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර ඇත.

මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ‌ගෙවා පිටිය වෙන්කර ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබේ.

මැයි දින පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්නවයෙන් අද කොළඹදී රැස්වීමක් පැවැතිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සබරගමුව හිටපු පලාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස , එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතිකපක්ෂයේ පාලක ලේකම් ෂමාල් සෙනරත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද සමරවීර මහතාගේ පුද්ගලික ලේකම්වරයාත් මේ අවස්ථාවට එක්විය. කොළඹ නගරයේ ක්‍රිඩාපිටි අයත් වන කොළඹ නගර සභාව හා වරාය අධිකාරිය නියෝජනය කරමින් විධායක නිලධාරීන් කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට එක්විය.

එක්සත් ජාතික පක්ෂය වෙනත් වර්ෂවල කැම්බල් පිටියේ මැයි දින රැළිය පවත්වන නමුත් මෙවර මැයි දිනය සම්බන්ධව අවසන් එකගතාවලට පැමිණ නැති බැවින් පක්ෂය සමග සාකච්ඡා නොකර මැයි දිනය පැවැත්වෙන ස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව එක්සත් ජාතිකපක්ෂයේ නියෝජිතයා සදහන් කලේය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සිය පක්ෂවල මැයි දින රැළිය පැවැත්වීම සදහා කැම්බල් පිටිය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් කැම්බල් පිටියේ මැයි දින රැළිය පැවැත්වීමට අවසර දෙන ලෙස කොළඹ නගර සභාවෙන් ලිඛීතව ඉල්ලීමක් පවා කර ඇති බව එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නයෝජනය කරමින් සහභාගි වූ කාංචන ජයරත්න මහතා පෙන්වා දුන්නේය. අවසනායේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වන විටත් මැයි දිනය පැවැත්වීමට කැම්බල් පිටිය වෙන් කරවා ගැනිම සදහා ඉල්ලීම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කැම්බල් පිටිය වෙන් කර ගැනීමේ බාධාවක් නැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර ඇත.

ඒ අනුව අප්‍රියෙල් මස 29, 30 හා මැයි 01 යන දිනයන් සදහා මුදල් ගෙවා කැම්බල් පිටිය වෙන් කර ගැනීමට කාංචන ජයරත්න මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලු විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය කැම්බල් පිටියේදි පැවැත්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress