නාගානන්ද, ජිනීවා සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක කඩිනම් අවශ්‍යතාවය.
Posted on March 19th, 2019

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතිඥ

නාගානන්ද සහෝදර නීතිඥවරයාට අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු මලල්ගොඩ මහතා විසින් එල්ල කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු ලබා දී ඇති දඩුවම මේ වන විට මාධ්‍යයේ පළවී ඇත. ලංකාදීප එසැණ පුවත් යටතේ එකී පුවත පළ වී තිබුණේ මෙසේ ය.

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය.

2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි .

අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ.

උපුටා ගැනීම…..

http://www.lankadeepa.lk/latest_news/නාගානන්ද-කොඩිතුවක්කුගේ-නීතීඥභාවය-වසර-3කට-අත්හිටුවයි/1-547433

එම පුවත http://www.lankatruth.com/si/නාගානන්දගේ-නීතීඥභාවය-වසර/ වෙබ් ලිපයේ මෙසේ දැක්විය.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2015 වසරේ 23දා රේගු නඩුවකදී විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් වැරදි කරු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නාගනන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගය අවසන් කිරමින් අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දී ඇත.

අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කර ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කර තිබේ.

එම රේගු නඩුවේදී විජිත් මළල්ගොඩ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිදුකල මෙම ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වීමට හේතුවන බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

නීතිඥ කොඩිතුවක්කු විසින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වෙත එල්ල කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව පෙන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වන වගන්ති උල්ලංඝනය කර ඇති බව ද කියා තිබේ.

ඒ අනුව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව අදාළ චෝදනාවට ඔහු වරදකරු කර ඔහුගේ නීතිඥ භාවය වසර තුනකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් ප්‍රසන්න ජයවර්ධන මහතා සිය නඩු තීන්දුවෙන් කියා ඇත. (පුවත අවසන්)

අධිකරණය තුළදී තමන් හා භාෂණයේ සහ විවාදයේ යෙදෙන නීතිඥවරයන් හෝ පාර්ශවයක් සම්බන්ධව විනිසුරුවරයා සිය අභිමතය සහ බලය භාවිතා කිරීමේදී පාර්ශවයන් අතර සම්බන්ධතා ගැටීම අවම කරමින් සාධාරණ ලෙසත්, දෙපාර්ශවයටම යුක්තිය ඉටු කරන ආකාරයටත් ඒ ගැටුම නිරාකරණය කළ යුතු ආකාරය සම්බන්ධ විද්වත් කතිකාවක් ඇති කිරීම සහ විනිසුරුවරයෙක් විසින් නීතිඥවරයෙකුට එරෙහිව සිදුකරන පැමිණිල්ලකදී අධිකරණයේ සවාධීනත්වයට ඉන් සිදු කරන බලපෑම සහ ස්වාධීන නීතිඥ වෘත්තියක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ කඩිනම් අවශ්‍යතාවය  පිළිබද කරන විග්‍රහයකට මේ ලිපිය විෂය වේ.

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ? මැයෙන් වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද ලිපියක් පහත වෙබ් ලිපිනයෙන් කියවිය හැකිය. එයද දොස්තරලාට අමතර තව බොහෝ වෘත්තීන්වල නියැලෙන ඇත්තන්ද සක්විති රජවරුන් ලෙස විරාජව සිය ධූරවල රාජකාරිය කරවන හෙයින් එම ලිපියද කියවන ලෙස ඉල්ලමි.

http://www.lankaweb.com/news/items/2019/03/16/ලංකාවේ-දොස්තරකම-සක්විති/

 

ආරම්භය

තමාගේ නඩුව තමා නොඇසිය යුතුවා / Nemo judex in causa sua මෙන්ම තම සගයාගේ හෝ තම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුවද තමා නොඇසීම අධිකරණයේ ස්වාධීනත්වයට අවශ්‍යයම වේතම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුව තමා විසින් නොඇසිය යුතුබවට අපරදිග නීතියේ දක්වා නොතිබෙනවා විය හැකිය. නමුත් තමන් හා සම්බන්ධතාවයක් පවතින විටක අපක්ෂපාතී තැනැත්තෝ එකී විභාගවලින් බොහෝ විට ඉවත් වෙති. ස්වභාවික යුක්ති මූලධර්මයනට අනුව කටයුතු කිරීමේදී එසේ සිදු වේ. පවතින නීතිය සහ ස්වභාවික යුක්ති මූලධර්ම අතර ගැටීම් ඇති අවස්ථාවක නීතියට මුල් තැන දීමට සිදු වේ.

නීතිය යනු එක් තැන නතර වී කල් ගෙවන මෙවෙලමක් නොවේ. එය ස්ක්‍රීය සමාජ අවයවයකි. නීතිය සමාජ අවශ්‍යතා අනුව නිරතුරු අලුත් වේ.වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 අවස්ථාවක් සංශෝධනය වූයේ ඒ අනුවය.

නීතියට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විය යුතුය. නීතිය බොහෝදුරට පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නීතිය පැහැදිලි විය යුතුය. නීතිය කලින් කිව හැකි විය යුතුය. යන්න නීතියේ වැදගත් සිද්ධාන්තයකි. ඒ අනුව සමාජයේ සෑම තරාතිරමක තැනැත්තෙක් වෙතම නීතියේ පාලනය සාධාරණව ව්‍යාප්ත වීම අපේක්ෂා කරයි. ප්‍රජාවේ බහුතරයක් ආරක්ෂා වන්නේ එසේ සිදු විමෙනි. එය සඵල කරගැනිම සමාජ අපේක්ෂාවයි. ඉන් බාහිරව සමාජය දියුණු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයක, සෑම විනිශ්චය අධිකාරයක ම හෝ වෙනත් සෑම ආයතනයක ම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවත්, සියලූ තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ පැහැදිලි විධානයි.

ජනාධිපතිවරයා ගේ 2018.11.09 දිනැති අංක 2096 / 70 දරන පාර්ලිමේන්තුව විසුරුවාලීම කරන ලද ගැසට් පත්‍රයේ ප්‍රකාශය සහ 2019 ජනවාරි 05 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ හත් පුද්ගල විනිශ්චය පීඨයක් ලබා දුන් තීරණය මේ දක්වා රාජ්‍ය භාෂාවෙන් ලබා දීමට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ක්‍රියා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමක් වන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය, භාෂාව මත වෙනස්කමකට ලක් නොවී සිටීමේ අයිතිය, සිතීමේ නිදහස, අදහස් පළකිරීමේ අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම්වලට මෙමගින් බලවත් අනතුරු ඇති කරන බවත් ජනාධිපතිවරයා විසින් 2019 ජනවාරි මස 05වන දින කැදවා තිබූ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වන ලද්දේ කවර නීතිමය හේතුමතද යන්න අවබෝධයෙන් තොර බවත් ජනතාච අතර සාකච්ඡා වෙමින් පවතී. රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්දායකය දක්වන අවම සැලකිල්ල මෙයට හේතුවයි.

රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අවම සැලකිල්ලක් දක්වමින් තිබෙන අවස්ථාවකදී පොදු  ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම භාෂාව මත වාරණය වී ඇති අවස්ථාවක මේ පිළිබද සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට සහ නඩු පැවරීමට යටත් කළද උපරිමාධිකරණ විනිසුරුරුන් දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධ විධිවිධාන දැක්වෙන අතර 38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

35 ව්‍යවස්ථාව මෙසේ ය.

  1. (1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරsන ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනු ව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2ඔඋ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමාකරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාල සීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමදී ඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව යටතේ හෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගු භාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

උපරිමාධිකරණ විනිසුරුරුන් සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව විධිවිධාන දැක්වේ.

  1. (1) අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නා හ.

(2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටින තාක් ධුරය දරන්නේ ය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොටගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු ඉවත් කළ නොහැක්කේ ය:

එසේ වුව ද, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය.

(3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව ම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූ ද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය.

ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන්ගේ චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග 84 වගන්තිය මගින් විධිවිධාන සලසා ඇත. ඒ මෙසේ ය.

  1. (1) වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, විෂම පැවැත්ම හෝ අබලතාව යන හේතු මත අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා,සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු එම ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා ජනාධිපතිවරයා අමතා යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම සඳහා දැනුම් දිමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්යෙඅවස්ථාව ප්‍රකාරව, කථානායකවරයාට භාර දි ඇති අවස්ථාවක දී, කථානායකවරයා විසින් එම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබිය යුත්තේ ය.

(2) (අ) ඉහත (1) වැනි ඡේදයේ දක්වා ඇති යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබ තිබෙන අවස්ථාවක දී, කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විමසා, එම යෝජනා සම්මතයේ දක්වා ඇති විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත් කරනු ලැබිය යුත්තේ ය.

(ආ) කථානායකවරයා විසින්, එම විමර්ශන මණ්ඩලයේ එක් සාමාජිකයකු එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේ ය.

(3) එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින් මාස දෙකක කාල සීමාවක් ඇතුළත දී, විමර්ශනය අවසන් කරනු ලැබිය යුතු අතර, ඒ සඳහා අදාළ කාර්ය පටිපාටිය නීති ප්‍රතිපාදනවල සඳහන් වනු ඇත. කෙසේ වුවද, කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලයේ ඉල්ලීම මත, එම කාල සීමාව, එක වරකට මාසයක් නොඉක්මවන්නා වූ වැඩිදුර කාල සීමාවකට දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(4) විමර්ශනයේ වැඩකටයුතු අවසන් කරනු ලැබීමෙන් අනතුරුව, එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින්, එකී මණ්ඩලය ඉදිරියේ සටහන් කර ගන්නා ලද සාක්ෂි සම්බන්ධ කාර්යසටහන් ද සමඟ එහි තීරණය කථානායකවරයාට වාර්තා කරනු ලැබිය යුතු අතර, එම විමර්ශන මණ්ඩලය විසින්, අදාළ චෝදනා ලත් විනිශ්චයකාරවරයා විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බව තීරණය කරනු ලැබ තිබේ නම් පමණක් කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලය විසින් වාර්තා කරන ලද කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. අදාළ විනිශ්චයකාරවරයා වරදකරු නොවන බව විමර්ශන මණ්ඩලය විසින් සොයා ගනු ලැබ ඇත්නම්, කථානායකවරයා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුතු අතර, එම යෝජනා සම්මතය සම්බන්ධ සියලු වැඩකටයුතු අවසන් කරනු ලැබිය යුත්තේ ය.

(5) විමර්ශන මණ්ඩලය විසින් අදාළ විනිශ්චයකාරවරයාට එරෙහිව ඇති විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බවට තීරණය කරනු ලැබ තිබේ නම්, කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. එම යෝජනාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන්ගේ බහුතරයකින් සම්මත වුවහොත්, කථානායකවරයා විසින්, එසේ ඔප්පු කරන ලද විෂම පැවැත්ම හෝ අබලතාව මත අදාළ විනිශ්චයකාරවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

(6) පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හෝ විසුරුවා හැරීම නොසලකා විමර්ශන මණ්ඩලය විසින් සිය වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිය හැකි ය.

අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පුළුල් ලෙස ආරක්ෂාකර ඇති අතර එය නීතියේ පාලනය පවතින රටකට අවශ්‍යම වේ.

නීතිඥවරයන්ගේ ස්වාධීනත්වයද අධිකරණයේ ස්වාධීනත්වයේ කොටසකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ , අධිකරණ සංවිධාන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහය ඇතුළු නීති මගින් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පුළුල් ලෙස අවස්ථාව සළසා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.3 ව්‍යවස්ථාව මෙසේ ය.

15(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු ක්‍රියා සිටීමට හිමිකම් ඇත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126.2 ව්‍යවස්ථාව මෙසේ ය.

126(2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුළත, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කරගෙන යා හැක්කේ ය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි ඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය දීම ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය.

අධිකරණ සංවිධාන පනතේ 41  වන වගන්තිය මෙසේ ය.

සේවා දායකයන්ට සහාය වීමේ හා උපදෙස් දීමේ දී යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් පිහිටවනු ලැබූ සෑම අධිකරණයක ම හෝ වෙනත් ආයතනයක ම පෙනී සිටීමේ උත්තරවාද ඉදිරිපත් කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හිමිකම සෑම නීතිඥවරයකුට ම තිබිය යුතු අතර එකී යම් අධිකරණයක හෝ එකී වෙනත් ආයතනයක හෝ නඩු කටයුත්තක පාර්ශවකරුවකු වන්නා වූ හෝ ඒ නඩු වූ හෝ ඒ නඩු කටයුත්තක දී කරුණු ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නාවූ හෝ සෑම තැනැත්තෙකුටම නීතීඥවරයෙකු විසින් තමා නියෝජනය කරනු ලැබීමට හිමිකම තිබිය යුතුය.

අපරාධ නඩු විධාන සංග්‍රහය 260 වගන්තිය මෙසේ ය.

යම් අපරාධ අධිකරණයක් ඉදිරියෙහි චෝදනා ලැබ සිටින සෑම තැනැත්තකුම විසින් අයිතිවාසිකමක් වශයෙන් මේ සංග්‍රහයෙහි සහ යම් ලිඛිත නීතිය විධිවිධාන වලට යටත් නීතිඥවරයකු මාර්ගයෙන් විත්තිවාචක ඉදිරිපත් කරනු ලැබිය හැකි විය යුතු අතර අතෘප්තියට පත් සෑම පාර්ශවකරුවෙකුටම නීතිඥවරයකු මගින් අධිකරණයේ දී තමා නියෝජනය කරන ලැබීමේ අයිතිවාසිකම් තිබිය යුතුය.

සිවිල් නඩු විධාන සංග්‍රහය 24 වගන්තිය මෙසේ ය

යම් අධිකරණයට පෙනී සිටීමට, යම් අධිකරණයක් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ යම් අධිකරණයක දී යම් ක්‍රියාවක් කිරීමට තත්කාලයෙහි යම් නීතියකින් අධිනීතීඥවරයන්ට හෝ නීතිඥයන්ට පමණක් බලය දෙනු ලැබ ඇති අවස්ථාවක හා එවැනි යම් නීතියකින් ප්‍රකාශිතවම අන්‍යාකාර විධිවිධාන සලස්වා ඇති අවස්ථාවක හැර, යම් අධිකරණයක නඩුවක් හෝ අභියාචනයක පාර්ශවකරුවකු විසින් කිරීමට මේ පනතින් නියම කර ඇති හෝ බලය ලබාදෙනු ලැබ ඇති යම් පෙනී සිටීමක්, ඉල්ලීමක් ඉදිරිපත් කිරීමක් හෝ ක්‍රියාවක් ඒ පාර්ශවකරු විසින් පෞද්ගලිකවම හෝ ඔහුගේ පිළිගත් අනුනියෝජිතයා මගින් හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා එකී පාර්ශවකරු විසින් නැතහොත් ඔහුගේ ඒ අනු නියෝජිතයා මගින් යථා පරිදි පත්කරන ලද නීතිඥයෙකු මඟින් හෝ කළ හැකිය.

එසේ වුවද, ඒ පාර්ශවකරු පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි අධිකරණය විසින් විධාන කරනු ලැබුවහොත් ඔහු විසින් එසේ කළ යුතුය. මේ කාර්යය සඳහා නීතිඥයෙකුගේ උපදෙස් පිට පෙනී සිටින අධිනීතිඥවරයකු අධිකරණයේදී නීතිඥයා නියෝජනය කරන්නේ ය.

මේ ආකාරයට ලංකාවේ සම්මත වෙනත් බොහෝ නීති මගින් සේවාදායකයන් වෙනුවෙන් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අයිතිවාසිකම ලබා දී ඇත.

නීතීඥවරයන්ගේ විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම‍

වෙනත් වෘත්තීන් මෙන් නීතිඥවරයන්ගේ ද විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම සමාජ අවශ්‍යතාවයක් වේ. ඒ සදහා නීති පනවා ඇත. ප්‍රධාන කොටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාවේ ඒ සදහා විධිවිධාන සළස්වා ඇත.

  1. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ යම් නීතියක විධිවිධානවලට යටත්ව, අග්‍ර විනිශ්චයකාරවරයා සහ ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් විනිශ්චයකාරවරයන් තිදෙනකු විසින් –

(උ) නීතිඥවරයන් පිළිගැනීම, බඳවා ගැනීම, වෘත්තියෙහි යෙදී සිටීම, අත්හිටුවීම හා ඉවත් කිරීම හා ඒ නීතිඥවරයන් සඳහා විනය රීති හා ආචාර රීති

ඇතුළු අධිකරණයේ පරිචය සහ කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා කලින් කල රීති සෑදිය හැක්කේ ය.

ඒ අනුව නීතිඥවරයන් පාලනය සදහා 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති යනුවෙන් රීති මාලාවක් පවතින අතර එම රීති  නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද රීති යනුවෙන්ද හදුන්වනු ලැබේ. ඒවා 1988.12.07වන දින අංක 535/7 දරන අති විෂේශ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇත.

එහි 60 සහ 61 රීති මෙසේ ය.

  1. වැදගත් සහ ප්‍රවීණ නීතිඥවරයකු සම්බන්ධයෙන් වූ විට වෘත්තීයේ ඔහුගේ සම වෘත්තිකයන් විසින් අවමානය සලකනු ලැබිය හැකි අපකීර්තිමත් හෝ අගරු හෝ ලෙස සාධාරණව සැලකිය හැකි වන්නා වූ හෝ ඔහු නීතිඥවරයකු ලෙස සිටීමට නුසුදුසු කරන්නා වූ හෝ සමාවක් දිය නොහැකි වන්නා වූ හෝ කිසියම් ආකාරයකට හැසිරීම නීතිඥ විසින් කරනු නොලැබිය යුතුය.

61.නීතිඥවරයකුට නුසුදුසු ආකාරයකට හැසිරීම නීතිඥවරයකු විසින් කරනු නොලැබිය යුතු ය.

අධිකරණ සංවිධාන පනතේ 42.2 වගන්තිය මෙසේ ය.

නීතිඥවර වශයෙන් පිළිගනු ලැබූ සහ බඳවා ගනු ලැබූ සහ යම් වංචාවක් අයථා ක්‍රියාවක් අපරාධයක් හෝ වරදක් සම්බන්ධව වරදකරු වන්නා වූ වන්නාවූ වූ සෑම තැනැත්තකුම නීතිඥ වෘත්තිය යෙදීම අත්හිටුවීම හෝ ඔහු ධූරයෙන් ඉවත් කිරීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකට රැස්වන යම් විනිශ්චකාරවරයන් තිදෙනෙකු විසින් කළ හැකිය.

වෙනත් වෘත්තීන්ට වඩා නීතිඥ වෘත්තියේ ඇති විනිවිද භාවය සහ වගකිවයුතු බව

නීතිඥ වෘත්තියට අමතරව වෙනත් බොහෝ වෘත්තීන් තිබේ. ඒ වෘත්තීන් සහ නීතීඥ වෘත්තිය අතර ඇති කැපී පෙනෙන වැදගත් වෙනස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නිතීඥ වෘත්තිය බැදීම් සහ යුතුකම් සහ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද සීමා නියම කර රීති වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකරමින් ජනතාවට සන්නිවේදනය කර තිබීමයි. එමගින් නීතිඥ වෘත්තිය අනෙක් සියලු වෘත්තීන්ට වඩා සුවිශේෂී පිළිගැනීමක් ලබා ගෙන ඇත. වෙනත් වෘත්තීන්වල නියලෙන වෘත්තිකයන්ගේ මෙවැනි විනිවිද භාවයක් තිබෙන්නේද? යන්න මැදිහත්ව විමසිය යුතු අතර එකී රීතිවලට පටහැනිව කටයුතු කරන නීතිඥවරයන් සම්බන්ධව විවෘතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කරන අතර වෙනත් වෘත්තීන්වල එවැනි විවෘත භාවයක් දක්නට නැත.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කරන විදේශීය නඩු විභාග කරන යාන්ත්‍රණ සහ විදේශීය විනිසුරුරුන් ගෙන ඒම සදහා වන බලපෑම

වර්තමානයේ ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නොවන බවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන පාලන ආයතන දූෂණය වී ඇති බවට මැසිවිලි ඉදිරිපත් කරන තැනැත්තන් ඒ වෙනුවට විදේශීය නඩු විසදන යාන්ත්‍රණ, විදේශීය  ලංකාවේ කටයුතු වලට හදුන්වා දීමට අවශ්‍ය බවට කරුණු ඉදිරිපත් කරයි. 2019 මැයි මාසයේ අවසන් වූ උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම් යුධ අපරාධ ලෙස අර්ථ දක්වමින් වසර ගණනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමේ පක්ෂ විපක්ෂ කරුණු ඉදිරිපත් වන්නේ දේශීය නීතියේ සහ ස්වාධීන අධිකරණයක් ලංකාවේ නැති බවටද කරැණු ඉදිරිපත් කරමින් ය. එවන් තත්ත්වයක් හමුවේ දේශීයව සහ විදේශීකව ඉල්ලීම් මත ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ආගමනයට පෙරමග බලා සිටිති. මෙරට සිටින විවිධ පිරිස් ඒ සදහා ඔවුන්ට ආරාධනා කරති.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමනගේම සාමාජික විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයේ සිටියදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව නීතිඥවරයෙකුට ලබා දී ඇති දඩුවම දෙස බැලිය යුත්තේ යුක්තිය පසිදලන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන දෘෂ්ටියෙන් මිස තව තවත් දේශීය අධිකරණ යාන්ත්‍රණය හෑල්ලු කරන ආකාරයට නොවේ. නීතිඥ නාගානන්දගේ දඩුවම දෙස බැලිය යුත්තේ ජීනිවා කෝණයෙන් නොව දේශීය කෝණයෙනි.

නීතිඥවරයෙකුට එරෙහිව විනිසුරුවරයෙක් කරන පැමිණිල්ල සුවිශේෂී තත්ත්වයේ ලා සැළකිය යුතු බව සහ එම පැමිණිලි විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළ යුතු බව

යම් පුරවැසියෙකුට එරෙහිව නීතිඥවරයෙකු යම් අපරාධයක් හෝ සිවිල් වරදක් සිදු කළ විට අධිකරණය විසින් එකී නීතිඥවරයා සම්බන්ධව නඩු විභාග කිරීම සහ යම් අධිකරණයක විනිසුරුවරයෙක් නඩුවක් අතරතුර යම් නීතිඥවරයකුට එරෙහිව පැමිණිල්ලක් කිරීම සමාන තත්ත්වයක් නො වේ. නඩුව විසදන විනිසුරුවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. එමෙන්ම නීතිඥවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. මේ සියලු දෙනා මිනිසුන් ය. එහිදී විනිශ්චයාසන ගත වීමෙන් ලබන වාසිය තමන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයා තලා, පෙලා, මිරිකා දැමීමට විනිසුරුවරයා ප්‍රයත්න දරන අවස්ථාක දී නීතීඥවරයාට ගත හැකි සහන සීමා සහිතය. මෙය සිදු කරන්නේ උපරිමාධිකරණ විනිසුරුවරයෙක් නම් එයට ගොදුරුවන නීතිඥවරයා අන්ත අසරණභාවයට පත් වේ. එම තත්ත්වයට පත්වන නීතීඥවරයාට ඇත්තේ එකම පිළිසරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ පිහිට පැතීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව උපරිමාධිකරණ විනිසුරුවරුන්ට ඉහළම ආරක්ෂාවක් ලබා දී ඇත. මෙය වැරදියැයි මා කිසි විට කියන්නේ නැත. මන්ද උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් එසේ පැවතිය යුතුය.

මෙහි ඇති ගැටළුව ඇති වන්නේ  උපරිමාධිකරණ විනිසුරුවරුන් විනිශ්චයාසනයේ සිටිමින් තමන් හමුවේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයන්ට එරෙහිව ක්‍රියා කිරීම ආරම්භ කරමින් තමන්ගේ සහෝදර විනිසුරුවරුන් මගින් නඩු විභාග කරවා ගන්නා විටය. එවිට ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” යන්න සිහියට නැගේ. තම සහෝදර විනිසුරුවරයෙක් විසින් කර ඇති පැමිණිල්ලක් අපක්ෂපාතීව විභාග කිරීමට එකී විනිසුරුවරයා සමග දීර්ඝ කාළයක් එකට ඇසුරු කළ, එකට විනිශ්චයාසන ගතවන අනෙක් සහෝදර විනිසුරුවරයන්ට හැකිද? යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය. එකට සිට නඩු තීන්දු ලියන, එකට සිට උත්සවවලට සහභාගීවන උපරිමාධිකරණ විනිසුරුවරුන් ඔවුන්ම චෝදනා නගන නීතීඥවරයාට එරෙහිව නඩු විභාග කරමින් යම් නීතිඥවරයෙක්ට එරෙහිව දඩුවම් ලබා දෙන්නේ නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරු යන්න සනාථ වේ.

විධායක ඒකාධිපතිවාදයත්, ව්‍යවස්ථා ඒකාධිපතිවායත් බැහැර කරන ජනතාව අධිකරණ ඒකාධිපතිපතිවාදය ගැන කථා නොකරන්නේ ඇයිද? යන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටළුවකි. 1505 සිටම යටත් විජිත කරණයට හසු වී සිටින ස්වදේශීය ජනතාව නිදහස පිළිබද විධිමත් අධ්‍යයනයක් මේ දක්වා සිදු කර තිබේද? විදේශයන්ට ගැතිවී දේශීය නිෂ්පාදන පසෙකලන බහුතරයක් වෙසෙන ලංකාවේ බලය අත දරන අය සිත්සේ සිය බලතල බුක්ති විදිති.

විසදුම සහ සමාප්තිය

දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මනියේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද නීතිවලින් පුද්ගලයෝ අනන්ත දුක් වින්දහ. පාර්ලිමේන්තුව පැනවී පමණින්නම, ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ පමණින්නම ඇතැම් නීති හෝ රීති සාධාරණ නොවේ. යුක්ති සහගත නොවේ. සාධාරණ නඩු විභාගයකට පදනම නොවේ.

නීතිය යනු දිනෙන් දින අවශ්‍ය වෙනස් කම් සිදුකරමින් ඉදිරියට යන සමාජ යාන්ත්‍රණයකි. සමාජයේ පුරුෂාර්ථ නීතියෙන් විවරණය කරයි. ඒ අනුව විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අතර ඇතිවන ආරවුල් හෝ ගැටුම් නිරාකරණය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136.1.උ ව්‍යවස්ථාව වහා සංශෝධනයට ලක් කළ යුතු බව මාගේ අදහසයි. එනම් වෙනත් අයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව පැමිණිලි කිරීමක් මෙන් නොව විනිසුරුවරයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව යම් පැමිණිල්ලක් කළ විට එය විභාග කිරීමට අධිකරණයට වග නොකියන ස්වාධීන විනිශ්චය අධිකාරයක් පැවතිය යුතුය. එයට සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් කළ හැකිය. එහි සාමාජිකයන්ගේ සුදුසුකම් කවරක් විය යුතුද? යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතුය.

නාගානන්ද සහෝදර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත්තේ පවතින නීතිය තුළ ලබා දිය හැකි දඩුවමකි. වෙනස් කළ යුත්තේ ඒ දඩුවම නොව එවැනි පැමිණිලි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලයයි. නොඑසේ නම් ස්වාධීන නීතිඥ ප්‍රජාවක් නොව විනිසුරු වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් පමණක් ලංකාවේ ඉතිරි වේ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපතිවරයා සතු බලය භාවිතා කිරීමෙනි. එහිදී ජනාධිපතිවරයාට කිසිම නීතිමය කෝණයක් හෝ සදාචාරමය කෝණයක් නො තිබුණි. තමන්ට අවශ්‍ය පැත්තේ නොසිටින්නා දඩයම් කිරීමට සමත් නීති යාන්ත්‍රණයක් ලංකාවේ තිබේ. නිවැරදි කළ යුත්තේ එයයි. නොඑසේ නම් විදේශීය විනිසුරුවරයන්ගේ ආගමනයට අත වැනීමක් අප විසින්ම කර ගනී.

මෙම ගැටළුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිවක් කරණු ඇතැයි සිතිය නොහැකිය. නීතීඥවරයන්ගේ ස්වාධීනත්වය තබා ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමට ඔවුන්ට සඵල ක්‍රියාමාර්ග නැත. සුපිරි ප්‍රේක්ෂකාගාරවල නීති වැඩමුළු පැවැත්වීමෙන් හෝ නීතිය ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් පමණක් ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කළ නොහැකි බව ඔවුන්ට වැටහීමක් නැත.

රටේ අනන්‍යතාවය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේදී පාලකයන්ට සහ පාලන ආයතන ප්‍රධානීන් වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් ජනතාවට බලවත් අනතුරකි.

 

අරුණ ලක්සිරි උණවටුන 

B.Sc(Col), PGDC(Col) නීතිඥ

2019.03.19

3 Responses to “නාගානන්ද, ජිනීවා සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක කඩිනම් අවශ්‍යතාවය.”

  1. Hiranthe Says:

    අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන

    Ditta Dhamma Wedaniya Karma at work!

    Nagananda praised the above Judges (3 of the 7 West worshiping SC Judges) who gave a verdict in support of the interests of the West, India, LieTTE, UNP, TNA and JVP in January 2019 against holding a fresh election as proposed by My3 after dissolving the parliament.

    Same team screwed Nagananda this time because Vijith Malalagoda is one of the 7 members who ate the foreign meal together.

    The magnificent 7.

    1. Chief Justice Nalin Perera,
    2. Justice Buwaneka Aluwihare,
    3. Justice Sisira J de Abrew,
    4. Justice Priyantha Jayawardena,
    5. Justice Prasanna S. Jayawardena,
    6. Justice Vijith K. Malalgoda and
    7. Justice Murdu Fernando.

    Aiyo Nanaganda!!

  2. aloy Says:

    Never get entangled with lawers,police or judiciery, if you do ,it will be very difficult to extricate your self and your life will be misserable.

  3. Christie Says:

    I have my doubts about this guy? Where is he coming from and where is he leading to?

    To me it looks like he is trying to fill the gap left by Sobithaya with his version of Rule of Law and anti corruption agenda.

    To divide the Sinhalese voters.

    Looking at all stuff on the WWW and talking to some of his followers he is another Indian sucker from and Indian Ghetto in UK.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress