ලිහිණියාව හලවල්කැලේ, බුලත්සිංහල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන
Posted on March 20th, 2019

පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය නාවලකන්ද

ඉහල ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්‍රික්කයේ  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් සීමාවේ  පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ නිසා ප්‍රදේශයේ ජල මූලාශ සිඳි යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති වී ඇති අතර එම ගැටළු වලට  විසඳුම් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින්නා වූ වනාන්තර පද්ධති තුළ පරිසර සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ආරම්භ කරන ලදී.

එහි එක් ව්‍යාපෘතියක් ලෙස වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශිය මණ්ඩලය සහ නාවලකන්ද සමනල යෞවන සමාජය එක්ව, අනවසර පදිංචි කරුවන්ගේ ග්‍රහණයට නතුව  විනාශ වී යාමේ තර්ජනයට ලක් වෙමින් පැවති  සංවේදී පරිසර පද්ධතියක් වන ලිහිණියාව, හලවල්කැලේ ග්‍රාමයේ පිහිටි  බුලත්සිංහල දොළ රක්ෂිතය” තුළ ආදර්ශ වන වගා කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව සංවිධානය කරන ලදි.  2019.03.20 වන මැදින් පුර පසලොස්වක පොහෝ දින පැවැත්වූ මෙම රැක් රෝපණ වැසටහන මගින් ප්‍රදේශයට පරිසර පද්ධතියට ගැලපෙන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදි.

මෙරට අති සංවේදී පරිසර පද්ධති සඳහා එල්ල වන මිනිස් බලපෑම් හේතුවෙන් එම පරිසර පද්ධති තුළ වෙසෙන්නා වූ වන ජීවීන්ගේ ජීවන පැවැත්මට බලපෑම් එල්ලවී ඇත. වාසස්ථාන, ආහාර වැනි ඔවුන්ට ජීවත් වීමට අත්‍යවශ දෑ අහිමි වීම හේතුවෙන් මෙම වනාන්තර වල වෙසෙන වනජීවීන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වනාන්තර අවට ඇති ගම්මාන කරා පැමිණේ. මේ හේතුව නිසාවෙන් ගම්වාසීන් හා වනාන්තර තුල වෙසෙන සතුන් අතර ගැටම්කාරී තත්වයන් හට ගනී. 

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම ප්‍රදේශයද එවැනි වන සතුන්ගෙන් පීඩා විඳින ප්‍රදේශයක් වන නිසාවෙන් මෙම වැඩසටහන තුළදී  ප්‍රදේශයට ගැලපෙන්නා වූ පලතුරු පැල සිටවීමට කටයුතු කල අතර එමගින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත් ප්‍රදේශයේ වෙසෙන කුරුල්ලන්, දඩුලේනන්, වඳුරන්, රිලවන් වැනි වන ජීවීන්ටත් ප්‍රදේශයේ ජීවත්වන ගැමියන්ටත් විශාල වාසියක් අත් වේ. එමෙන්ම බුලත්සිංහල දොළ රක්ෂිතය” තුළ දොළට මායිව විශාල පුවක් පැළ ප්‍රමාණයක් රෝපණය කල අතර එමගින් දොල දෙපස ඛාදනය වීම අවම වන අතර ප්‍රදේශයේ ජනතාවට අමතර ආදායමක්ද උපයා ගැනීමට හැකියාව ලැබේ.

මෙම රුක් රෝපණ වැඩ සටහන සාර්ථකව සිදු කර ගැනීම සඳහා වලල්ලාවිට අතිරේක ප්‍රාදේශීය ලේකම්තුමිය සමගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ  වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress