ගුරු – විදුහල්පති දැවැන්ත වැඩ වර්ජනය හමුවේ සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ
Posted on March 24th, 2019

ගුරු – විදුහල්පති සන්ධානය. Teacher – Principal Alliance

ජනමාධ්‍ය නිවේදනයයි

ගරු අධ්‍යාපන අමාත්‍ය,
අකිල විරාජ් කාරියවසම් මහතා,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමණි,

ගුරු – විදුහල්පති දැවැන්ත වැඩ වර්ජනය හමුවේ සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ හා අපේ‍්‍රල් 22 ට පසු ගනු ලබන වෘත්තීය ක‍්‍රියාමාර්ග සමිබන්ධවයි.

මාර්තු 13 දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කර අප සංගම් හා තවත් සංගම් ඒකාබද්ධව කැඳවනු ලැබු වැඩ වර්ජනයේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මුහුණ පා ඇති අර්බුද තේරුම් නොගෙන මාධ්‍ය වෙත සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව දැඩි විරෝධය පළකර සිටින අතරම ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උක්ත ඓතිහාසික වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවතක්සේරු කිරීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළකරමු.

2.    විශේෂයෙන් මෙම ගැටළු නොවිසිඳීමට එරෙහිව පෙබරවාරි 28 වන දින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විසින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පවත්වන ලද උද්ඝෝෂණයට පෙර හා පසු මෙම ගැටළු සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් හෝ ප‍්‍රකාශයක් නොකොට මඟහැර සිට පොලිසිය ලවා ම්ලේච්ඡ ලෙස පහර දීමත්, තම හෙන්චයියන් ලවා අමාත්‍යාංශ භෝජනාගාරයේ ඉදුල් වලින් පහර දීමට අනුබල දීමත් අමාත්‍යවරයෙකුට නොවටින පහත් ක‍්‍රියාවකි.

3.    මාර්තු 13 වන දින වෘත්තීය ක‍්‍රියාමාර්ගය පිළිබඳව පෙබරවාරි 28 දිනම ලිඛිතව අමාත්‍යාංශ ලේකම් වෙතත්, මාර්තු 01 වන දින මාධ්‍ය මගිනුත් දැනුම් දුන්න ද, මාර්තු 13 වන දින අධ්‍යාපන අමත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත්කරන තුරු නිහඩව සිට ඉන් අනතුරුව කරන ප‍්‍රකාශ හුදු නන්දෙඩවිල්ලක් පමණි.

4.    ඒ අනුව අප විසින් මාර්තු 13 වන දින කැඳවනු ලැබු වැඩ වර්ජණය ඉතා සාර්ථක ක‍්‍රියාමාර්ගයක් බවට පත්වෙද්දී මෙම ගැටළු වලට විසදුම් සුදානම් කර තිබු බවත්, ඒ අනුව එහි ජයග‍්‍රහණ වල අයිතිය ලබා ගනිමින් ඒ තුලින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඔබ විසින් සිදුකළ ප‍්‍රකාශ තරයේ ප‍්‍රතික්ෂේප කරන අප සංගම් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් ද මෙම වැඩ වර්ජනයට එක්ව සිටි බව පෙන්වා දිමට කැමැත්තෙමු.

5.    එමෙන්ම 2015 ජනාධිපතිවරණය අභිමුව රාජ්‍ය සේවයට රු: 10000 ක වැටුප් වැඩි වීමක් හා එල්ලා ඇති දීමනා වැටුපට එකතු කරන ලෙස බල කරමින් ගෙන ගිය අරගලයේ ප‍්‍රතිඑලයක් ලෙස රු: 10000 ක දීමනාවක් සහ 03/2016 රාජ්‍ය පරිපාලන වැටුප් චක‍්‍රලේඛය දිනාගන්නා ලදී. ඒ අනුව 2015 වර්ෂයේදි උපාධිධාරියෙකුගේ රු: 16120/- ක් වූ ආරම්භක වැටුප 2020 දී රු: 33330/- ක් දක්වා වැඩි කළ බවත් ඊට සමාන්තර විදුහල්පතිවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවටත් අසත්‍ය කරුණු ප‍්‍රකාශ කරමින් රටත් ජනතාවත් නොමග යැවීමට ගත් පටු උත්සාහයට විරෝධය පලකරන අප සංගම් මෙය මැතිවරණ පොරොන්දුවකට අනුව සමස්ත රාජ්‍ය සේවයට සිදුකළ වැටුප් සංශෝධනයක් මිසක වැටුප් විෂමතා ඉවත් කිරීමට කළ සංශෝධනයක් ලෙස හුවා දැක්වීමට ගත් පටු උත්සාහය කණගාටුවට කරුණකි.

6.    3/2016 රා.ප. වැටුප් චක‍්‍රලේඛයට අනුව ගුරු හා විදුහල්පති සේවා වල වැටුප් වැඩි වීමක් සිදුවුව ද බී.සී. පෙරේරා වැටුප් විෂමතාවයට අනුව 2020 වන විට ගුරු සේවයේ පලවන පන්තියේ ආරම්භක වැටුපට නිර්මාණය වන වැටුප් විෂමතාව රු: 31225/- ක් වන අතර විදුහල්පති සේවයේ පලවන පන්තියේ ආරම්භක වැටුපට අදාලව වැටුප් විෂමතාව රු: 29850/- ක් වන බව ඔබට පෙන්වා දිය යුතුව ඇත.

7.    එමෙන්ම මාධ්‍ය මගින් බොරු චෝදනා එල්ල නොකොට වෘත්තීය සමිති නායකයින්ට අල්ලස් හෝ දුෂණ චෝදනා තිබේ නම් ඒ පිළිබඳව වගකිවයුතු අමාත්‍යවරයෙකු ලෙස විමර්ෂණ සිදුකර නීිත්‍යානුකූලව ක‍්‍රියාකිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිමු. තවද වෘත්තීය සමිති වලට චෝදනා කරන ඔබට එරෙහිව ටෙන්ඩර් වංචා කරමින් කෘතිම කඩදාසියේ පෙළ පොත් මුද්‍රණය හා නිළ ඇදුම් රෙදි වංචාවට අදාළව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බව ද සිහිපත් කරමු.

8.    දෙලක්ෂ හතලිස්එක්දහසක් පමණවන ගුරුවරුන් මෙන්ම පහළොස්දාහසක් පමණ වන විදුහල්පතිවරුන් තව දුවරටත් රැවටීමට ඔබට හෝ ඔබේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බව මාර්තු 13 න මැනවින් පෙන්වා දී ඇත. එහෙයින් තවදුරටත් අප සංගම් වලට අභූත චෝදනා එල්ල නොකොට මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවය තුළ තම ඉල්ලීිම් සම්බන්ධව ක‍්‍රියාත්මක වු දැවැන්තම වැඩ වර්ජනයෙහි සාර්ථකත්වය නිවැරදිව කියවා ගන්නා ලෙස බලකරමු.

ඒ අනුව එළඹෙන දෙවන පාසල් වාරය ආරම්භයට පෙර, එනම් අපේ‍්‍රල් 22 ට පෙර, මෙම ඉල්ලීම් සම්බන්ධව ඔබ විසින් මේ වන විට ලබාදී ඇති බව පවසන විසඳුම් වහා ක‍්‍රියාවට නොගන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව  දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එළඹෙන බව මෙයින් දන්වා සිටිමු.

තවද උක්ත ගැටළුව පිළිබඳව අප විසින් කොතෙකුත් දැනුම්දීම් හා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගත්තද ඔබ හෝ අධ්‍යාපන ලේකම්වරයා මෙතෙක් ඒ සඳහා සාකච්ඡා අවස්ථාවක් ලබාදී නොමැති අතර  ඕනෑම මොහොතක සාකච්ඡා මගින් ගැටළු විසදා ගැනිමට සුදානම් බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
ස්තූතියි.
මෙයට,

01. ලංකා ගුරුසේවා සංගමය – මහින්ද ජයසිංහ මයා

02. විදුහල්පති සේවා සංගමය – සුනිල් පේ‍්‍රමතිලක මයා

03. ස්වාධින ලංකා ගුරු සංගමය – පි.එම්. පුංචිහෙට්ටි මයා

04. ලංකා ගුරු උප දේශකවරුන්ගේ සංගමය – එස්.ජී.එම්. සමරකෝන් මයා

05. ශ‍්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය – ෂෙහාන් දිසානායක මයා

06. පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංධානය – ඩබ්.ඩබ්.ජේ.එල්.එච්. රොවෙල් මයා

07. ලංකා විදුහල්පති සංගමය – පියසිරි ප‍්‍රනාන්දු මයා

08. කතෝලික ගුරු සංගමය – නිර්මලා ගමගේ මිය

09. පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය – දයාරත්න පටබැදි මයා

10. විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය – වසන්ත වීරක්කොඩි මයා

11. ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය – චන්දිමාල් විජේරත්න මයා
 
12. සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය – ඊ.එම්.ජේ ද සේරම් මයා

13.ගුරු විමුක්ති පෙරමුණ – එන්.ටී.එස්. නාදන්

පිටපත්  –      01. ලේකම් –  අධ්‍යාපන අමාත්‍යාංශය
                  02. සියලූ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress