ද්‍රවිඩ සන්ධානයට ‘‘හයිබි‍්‍රඞ් උසාවි’’ පොරොන්දුව දුන්නේ කවුද?
Posted on April 1st, 2019

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ  උපුටා ගැන්ම දිවයින

sumana135

ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මතියපරන් ආබ‍්‍රහම් සුමන්තිරන් මාර්තු 22 සවස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට ගෙන යන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළේය.

2015 ඔක්තෝබර් 01දින පොරොන්දු වූ පරිදි ශ‍්‍රී ලංකා රජය විදේශීය විනිසුරුවරුන් ඇතුළු දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවිය යුතු බවට ඔහු බල කළේය. එසේ කිරීමට රජය අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගතහොත්, ද්‍රවිඩ ජනතාව ඉල්ලන පරිදි ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන බවත් පැවසීය. මෙය සුළු පටු තර්ජනයක් නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සාමාජිකයකු වූ සුමන්තිරන් මෙලෙස ප‍්‍රකාශ කළේ ඇයි?

ජාත්‍යන්තර යුද අධිකරණ ක‍්‍රියාවලියෙන් ගැලවීම සඳහා දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතුද?

දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ පොරොන්දුව ද්‍රවිඩ ජාතික සන්ධානය ලබා ගත්තේ කාගෙන්ද? කවදාද?

සුමන්තිරන්ගේ දෙමුහුන් අධිකරණයක් ද්‍රවිඩ ජාතියට ලබා දෙනවා යැයි ශ‍්‍රී ලංකාව පොරොන්දු වූ බවට පිළිගත හැකි සාක්‍ෂි තිබේද?

එවැනි පොරොන්දුවක් සුමන්තිරන්ගේ කණ්ඩායමට ලැබී තිබුණේ කුමන දේශපාලන වාතාවරණයක් යටතේ ද?

ඉහත සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පෙර ද්‍රවිඩ ජාතික සන්ධානයේ සංයුතිය සහ එය පිහිටුවීමේ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ ජනතා නියෝජිතයන්ට ද්‍රවිඩ ජාතික සන්ධානය පිළිබඳව දැනීමක් නැති බව පැහැදිලිය.

2001 අග භාගයේ ද්‍රවිඩ ජාතික සන්ධානය බිහිිවිය. එම සන්ධානයට ලියාපදිංචි පක්‍ෂ කිහිපයක් අයත් විය. එම පක්‍ෂ වලින් සමහරක් 80 දශකයේදී ඉන්දියාවේ පූර්ණ අනුග‍්‍රහය ලැබූ ත‍්‍රස්තවාදී සංවිධාන විය. එම සංවිධාන පසු කලෙක ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස සමයේදී දේශපාලන පක්‍ෂ ලෙස ලියාපදිංචිය ලැබීය. 2001 කොටි ත‍්‍රස්තවාදීන් යුධමය ලෙස ඉතාම ප‍්‍රබල තත්ත්වයක සිටි අතර මුළු වන්නියේ හමුදා බලය සුණු විසුණු වී තිබිණි. අලිමංකඩ හමුදා කඳවුරු සංකීර්ණය කොටි අත්පත් කර ගෙන තිබූ අතර (2000 අපේ‍්‍රල්* කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප‍්‍රහාරයන් (2001 ජුලි* කුමාරතුංග රජය අන්දමන්ද වී සිටි බව අද බොහෝ අයට අමතකය. 2001 ඔක්තෝබර් මස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලකුණ යටතේ තරග කළ ද්‍රවිඩ ජාතික සන්ධානය එම මැතිවරණයේදී (2001 දෙසැම්බර්* උතුරු නැගෙනහිර මැතිවරණ ප‍්‍රදේශවල ආසන 15 දිනා ගත්තේය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවනු ලැබූ ද්‍රවිඩ ජාතික සන්ධානය 2001 ඔක්තෝබර් මැතිවරණයත් සමග කොටි ත‍්‍රස්තවාදීන් සහ එක පෙරමුණක් පිහිටුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙකඩ විය. පරිණත දේශපාලන නායකයකු වූ වීරසිංහම් ආනන්ද සංගරී තනි විය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දේශපාලන පොරපිටියෙන් අතුගා දැමිනි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබූ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග හැප්පීමට ආනන්ද සංගරීගේ පක්‍ෂයට ශක්තියක් නොවීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කැඞී ගිය ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද්‍රවිඩ ජාතික සන්ධානයට නායකත්වය දුනි. එම නායකත්වය 2001 අගදී කොටි ත‍්‍රස්තවාදී කණ්ඩායම ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත්තේ මුළු ද්‍රවිඩ දේශපාලනයම උඩුයටිකුරු කරමිනි.

මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුත්තේ සුමන්තිරන් 2001 දී පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදී සිටියේ නැති බවය. සුමන්තිරන් වැනි පුද්ගලයකුගේ අවශ්‍යතාවය ඒ වකවානුවේ කොටි – ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය නොවීය. නෝරවේ රජයේ මැදිහත්වීමෙන් 2002 පෙබරවාරි අත්සන් කළ ‘සාම ගිවිසුම’ පූර්ණ යුද්ධයකට සූදානම් වීමට යොදා ගත් බව රහසක් නොවේ. කොටි ත‍්‍රස්තවාදීන් 2003 අපේ‍්‍රල් සාකච්ඡුා මේසයෙන් ඉවත් විය. නෝන්ජල් එජාප රජය කොටි ත‍්‍රස්තවාදීන් ඉදිරියේ අසරණ විය. ජාතික ආරක්‍ෂාව අනතුරේ විය. ජනාධිපති කුමාරණතුංග 2003 නොවැම්බර් අමාත්‍යාංශ තුනක් පවරා ගත්තේය. පාර්ලිමේන්තු 2004 පෙබරවාරි මුල විසුරුවා හැරිණි. මහ මැතිවරණයට අපේ‍්‍රල් 02 පැවැත්වීමට නියම විය. කොටි සංවිධානය මේ වන විට දෙකඩ වී තිබිණි. කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් මඩකලපුව – අම්පාර දිස්ත‍්‍රික්කවල උපන් දහස් සංඛ්‍යාත ත‍්‍රස්තවාදීන්ගෙන් සමන්විත කණ්ඩායමක් කොටි සංවිධානයෙන් ඉවත් වී තිබිණි. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන්ගේ යුද ශක්තිය වෙන ආකාරයට පිරවීය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසරය ලත් අපේක්‍ෂකයන් 2004 අපේ‍්‍රල් 02 මහ ඡුන්දයට ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා ඉදිරිපත් කෙරිණි. එම අපේක්‍ෂකයන් වෙනුවෙන් කොටි ත‍්‍රස්තවාදීන් උපරිම සහාය පළ කළේය. ත‍්‍රස්තවාදීන් භීක්‍ෂණය මුදා හැරිණි. බලයේ සිටි එජාපය ද ප‍්‍රහාරයට භීෂණයට ලක්විය. ත‍්‍රස්තවාදීන්ගේ මැදිහත්කමින් උතුර නැගෙනහිර පළාත්වල ආයතන 22 ක් දිනා ගැනීමට සම්බන්ධන්ගේ කණ්ඩායමට හැකි විය. ඉතිහාසයේ ප‍්‍රථම වරට කොටි ත‍්‍රස්තවාදීන්ගේ නියෝජිත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්විය. මෙම පාර්ලිමේන්තු කණ්ඩායම වන්නියේ ප‍්‍රභාකරන්ගේ මූලස්ථානයෙන් පාලනය විය. කිසිදු ප‍්‍රධාන කරුණක් සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමේ අවසරය එම පාර්ලිමේන්තු කණ්ඩායමට නොවීය.

ශ‍්‍රී ලංකාව වේගයෙන් හතරවන ඊළාම් යුද්ධය දෙසට ගමන් කරමින් තිබිණි. ඉතිහාසයේ පළමුවන වරට ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් 2005 නොවැම්බර් ජනපතිවරණය වර්ජනය කිරීමට නියෝගය ලබා දුන්නේය. කොටි ත‍්‍රස්තවාදීන් සමඟ කිළිනොච්චියේ පැවැති සාකච්ඡුාවකින් පසු ද්‍රවිඩ ජාතික සන්ධානය තම ජනතාව ඡුන්දය පාවිච්චි නොකළ යුතු බවට නියෝගයක් ලබාදුනි. පසු කලෙක මහින්ද රාජපක්‍ෂ කඳවුර මුදල් ලබා දී කොටි ත‍්‍රස්තවාදීන් හරහා එම ඡුන්ද තහනම ලබාගත් බවට චෝදනා නැගිනි. එලෙස මුදල් ගනුදෙනුවක් සිදුවූයේ නම් ද්‍රවිඩ ජාතික සන්ධානය සත්‍ය හෙළි කළ යුතුය. මුදල් ලබාගෙන තම සටන කොටි සංවිධානය හරහා පාවා දුන් බව සත්‍යයක් නොවේ. එජාප නායක ජනපති අපේක්‍ෂක රනිල් වික‍්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා හේතුවෙන් ශ‍්‍රී ලංකාවට ආරක්‍ෂක ජාලයක් තිබෙන බවට තේරුම් ගත් කොටි ත‍්‍රස්තවාදීන් මහින්ද රාජපක්‍ෂ දිනවීමට කටයුතු කළ බව එවකට එජාප සභාපති මලික් සමරවික‍්‍රම මෙම ලියුම්කරු සමග පැවසීය.

හතරවන ඊළම් යුද්ධයට මුල පුරමින් 2005 දෙසැම්බර් මුල පැති බෝම්බ ප‍්‍රහාර උතුරේදී දියත් කෙරිණි. 2005 ජනවාරියේදී ත‍්‍රිකුණාමල මුහුදේදී නාවික හමුදා වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක් මරාගෙන මැරෙන යාත‍්‍රාවක ප‍්‍රහාරයකට ලක්විය. ද්‍රවිඩ ජාතික සන්ධානය තම ජනතාවගේ එකම නියෝජිතයා ලෙස හඳුන්වනු ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් යුද්ධය ආරම්භ කර තිබිණි.

2005 අගෝස්තු මස 12 රාත‍්‍රියේ විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් මරා දැමිනි. ද්‍රවිඩ ජාතික සන්ධානය නිහඬව සිටීමෙන් එම අපරාධය අනුමත කළේය. 2006 අපේ‍්‍රල් 25 යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මරා දැමීමට උත්සහා කෙරිණි. 2006 දෙසැම්බර් 01 දින එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මරා දැමීමට කොළඹදී උත්සාහ කෙරිණි. රාජපක්‍ෂ රජය වසර දෙකකුත් මාස 10 දිගටම ක‍්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම 2009 මැයි 19 උදයේ අවසන් විය. කොටි සංවිධානය අතුගා දැමිනි. ලක්‍ෂ 300,000 ජනතාවක් ‘මිනිස් පලිහක්’ ලෙස කොටි ත‍්‍රස්තවාදීන් යොදා ගැනීම නොදැක්කා ලෙස සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයට තම ජනතාව හදිසියේම මතක් විය. හමුදාවට යුද චෝදනා නැගිනි. කිසිදු පදනමක් නැති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ බව රහසක් නොවේ. යුද හමුදාව ‘සිංහල හමුදාව’ ලෙස දිගින් දිගටම හංවඩු ගැසිනි.

2010 ජනපතිවරණය අභියස ද්‍රවිඩ ජාතික සන්ධානය දේශපාලනය උඩු යටිකුරු කළේය. සම්බන්ධන් එජාපය, ජවිපේ සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග එක්වී දස දහස් ගණනාවක් මරා දැමූ බවට චෝදනාවට ලක් වූ යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡුන්දය දීමට තම ජනතාවට උපදෙස් දුනි. උතුර – නැගෙනහිර සියලූම මැතිවරණ දිස්ත‍්‍රික්ක ෆොන්සේකා පහසුවෙන් ජයග‍්‍රහණය කළේය. ලක්‍ෂ 18 ඡන්දයකින් පරාද වුවත් ෆොන්සේකා උතුර – නැගෙනහිර ජයග‍්‍රහණය කළේය.

ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියාට පසු යුද හමුදාවට මානව හිමිකම් චෝදනා නැඟීම විහිළුවකි. ද්‍රවිඩ ජාතික සන්ධානය මානව හිමිකම් සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කළ යුතුව තිබුණේ ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිය කාලයේදී ය. ද්‍රවිඩ ජාතික සන්ධානය එම තීරණය ගත්තේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය දුන් උපදෙසක් අනුව බව රහසක් නොවේ. කවුරු උපදෙස් ලබා දුන්නත් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරන පාර්ශ්ව එම ක‍්‍රියාමාර්ගවලට වගකීම ගත යුතුය.

ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිය ද්‍රවිඩ ජාතික සන්ධානය දෙමහුන් හෝ ජාත්‍යන්තර අධිකරණ පතන්නේ ඇයි?

යුද අපරාධ උගුලේ ශ‍්‍රී ලංකාව හිරකර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයකින් ලබා ගැනීමට නොහැකි වූ රට බෙදන ඉලක්කය ජිනීවා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම හරහා ලබා ගැනීමට උත්සාහයක් තිබෙන බව පැහැදිලිය.

2010 අපේ‍්‍රල් මස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ සුමන්තිරන් 2015 අගෝස්තු මැතිවරණයේදී යාපන දිස්ත‍්‍රික්කයෙන් තරග කර ජයග‍්‍රහණය කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජාත්‍යන්තර මුහුණ සුමන්තිරන් බව අමුතුවෙන් කිව යුතු නැත. කොටි සංවිධානයේ පරාජයත් සමග සුමන්තිරන් හට ප‍්‍රබල භූමිකාවක් කිරීමට අවස්ථාව උදාවිය. යාපනයේ ඉනුවිල් හි උපත ලද සුමන්තිරන් එම පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින ප‍්‍රබලම මන්ත‍්‍රීවරයා බව පිළිගැනීමට සිදු වේ. සුමන්තිරන්ට හිමි අද්විතීය තත්ත්වය නැවත පසක් කර දෙන ප‍්‍රහාරාත්මක කතාවක් ඔහු පසුගිය මාර්තු 22 පාර්ලිමේන්තුවේදී කළේය. ඇත්ත වශයෙන් ම සුමන්තිරන් එදින කළ ප‍්‍රකාශය 2016 ජුනි මස මැද ඔහු වොෂින්ටන් හිදී කළ හෙළිදරව්වක් නැවත අපේ පාර්ලිමේන්තුවට මතක් කර දුන්නැයි කීවත් වරදක් නැත.

ඔහුගේ වොෂින්ටන් සහ පාර්ලිමේන්තු කථා දෙකින් හෙළිවන්නේ 2015 ඔක්තෝබර් 01 ජිනීවා යෝජනාවලිය හරහා දෙමුහුන් අධිකරණ පිහිටුවීමේ එකඟතාවය ඇති කිරීමට (1* ඇමරිකාව මැදිහත් වූ බවය (2* එලෙසම එවකට ‘යහපාලන’ රජයේ අධිකරණ ඇමැති ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ එවැනි විදේශීය විනිසුරුවරුන් සිටින යාන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකාවට අනුකූල බව පිළිගත් බවය. (3* පූර්ණ විදේශීය අධිකරණ යාන්ත‍්‍රණය ඉල්ලා සිටීම යටපත් වීමට එකම හේතුව දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වූ බවය.

2015 ගිවිසුම 2017 මාර්තු සහ 2019 මාර්තු නැවත ශ‍්‍රී ලංකාව පිළිඅරගෙන තිබෙන බව ද ඇත්තය. එවකට විදේශ ඇමැති මංගල සමරවීරට 2015 ගිවිසුම හරහා ශ‍්‍රී ලංකා හමුදා ජාත්‍යන්තරයට පාවාදුන් බව ප‍්‍රකාශ කරන මහජන නියෝජිතයන් සහ අනෙකුත් සංවිධාන ජිනීවා සම්බන්ධයෙන් ඇති සියලූ කරුණු කාරණා සැලකිල්ලට ගත යුතුය. බදු මුදල් කාබාසිනියා කරමින් නියෝජිත කණ්ඩායම් ජිනීවා යැවීමෙන් පමණක් එක්සත් ජාතීන් යුද්ධය දිනූ ශ‍්‍රී ලංකාවට ඇතිකර ඇති බරපතළ ප‍්‍රශ්නය නිරාකරණය කර ගත නොහැක.

සුමන්තිරන්ට දොස් කීමේ තේරුමක් නැත. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානයට අනිවාර්යයෙන් ම යොමු කළ යුතු ප‍්‍රශ්නයක් ඇත. 2015 එකඟ වූ පරිදි පිහිටුවීමට අත්‍යවශ්‍ය යැයි කියනු ලබන දෙමුහුන් අධිකරණය ඉදිරියට දමා තම පක්‍ෂය යුධ සමයේ කොටි ත‍්‍රස්තවාදින්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස කටයුතු කිරීමේ චෝදනාවට ලක්විය යුතුද? සිවිල් ජනතාව මිනිස් පලිහයක් ලෙස ත‍්‍රස්තවාදීන් යොදා ගැනීම වැළැක්වීමට කිසිදු ආකාරයක උත්සාහයක් නොගැනීමෙන් ජනතා නියෝජිතයන් ලෙස තම වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් එම පක්‍ෂයේ වගවීම දෙමුහුන් අධිකරණයේ විභාගයට ලක්විය යුතුද?

අවසන් ලෙස සඳහන් කළ යුතුව ඇත්තේ කොටි සංවිධානයේ මන්ත‍්‍රී කණ්ඩායම පැමිණිලිකරුවන් ලෙස අද හැසුරුනත්, යුද අපරාධ චෝදනා ඉදිරියේ එම කණ්ඩායම චූදිතයන් විය යුතු බවයි.

2015 දී ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් එජාපය – ජවිපේ සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග පෙනී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇත්ත ස්වභාවය ඡුන්දදායකයා ඉදිරියේ පෙන්නා දීම 2019 ජනපති මැතිවරණ සටනට එජාපයට එරෙහිව ඉදිරිපත් වන කණ්ඩායමේ වගකීම බව අමුතුවෙන් කිව යුතු නැත. නිසියාකාර පරීක්‍ෂණයක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිරුවත හෙළිකරනු ඇත. හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය කළ කාර්යභාරය මෙන්ම යුද සමයේ ජනතාව කොටින්ට බිලිදීම මතක් කර දිය යුතුමය.

කොටින්ට යුද බලය තිබෙන තුරු ද්‍රවිඩ ජාතික සන්ධානයට සංහිඳියාව වැදගත් වූයේ නැත. බටහිර රාජ්‍ය නොවන කණ්ඩායම් සංහිඳියාව ගැන කතා කිරීමට පෙළඹුණේ කොටින් විනාශ කර දැමීමෙන් පසුය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ තර්ජනය ඉදිරියේ නිහඬවනවාද? නැතහොත් මිනීමරු කොටි සමග යහන්ගත වූ එම කණ්ඩායම ද්‍රවිඩ ජනතාව ඉදිරියේ හෙළිකරනවාද? මෙම අභියෝගය බාර ගැනීම හෝ නොගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන ත‍්‍රස්තවාදයට එරෙහි සියලූ පක්‍ෂවල වගකීමයි.http://divaina.com/sunday/index.php/deshapalana2/9057-2019-03-28-06-15-65

Tags:

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress