විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතුයි
Posted on April 4th, 2019

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ

පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ විදුලි කප්පාදුව නිසා ජන ජීවිතය බරපතල අන්දමින් අඩාල වී ඇති බවයි.

මහා පරිමාණ කර්මාන්ත කරුවන් සහ ඇතැම් ආයතන විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය සපයා ගත්තද කුඩා පරිමාණ කර්මාන්ත කරුවන් සහ ආයතන හිමිකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාව මෙම තත්වය නිසා බරපතල අපහසුතාවකට පත්ව ඇති බව ඇය සඳහන් කළාය.

දිවයිනේ  විදුලි ජනන යන්ත්‍ර නොමැති පාසැල් බොහොමයක් පවතින බවද එම පැසැල් වල අධ්‍යයන කටයුතු මෙන්ම සිවිල් ජන ජීවිතයට බලපාන කටයුතු රැසක්  මේ වනවිට අඩාල වී ඇති බව සඳහන් කළ සුරංගී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ  වැසි රහිත තත්වයකට මුහුණ දීමට රජය අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි.

ඉදිරි කාලයේ වැසි පවතීන්නේද නැද්ද යන්න පිළිබඳ අනාවැකි පළකිරීමේ  හැකියාව  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සතුව තිබියදීත් මෙම වැසි රහිත තත්වය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නොදැන සිටීම බරපතල තත්වයක් බවද ඇය සඳහන් කළාය. ජනතාවගේ බදු මුදලින් යැපෙන ආණ්ඩුව ජනතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් බව මෙයින් මැනවින් පැහැදිලි වන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂවරිය අවධාරණය කළාය.   මෙම විදුලි කප්පාදුව සහ සාමාන්‍ය ජනතාවට ඉන් සිදුවන බලපෑම, ආර්ථික හානිය ආදී සියලු කාරණා සම්බන්ධයෙන් වන  වගකීම  විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් භාරගත යුතු බව ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress