සබරගමු සරසවි සිසුන්ට පොලීසිය එල්ලකළ අමානුෂික ප‍්‍රහාරය දැඩිව හෙලා දකිමු
Posted on April 4th, 2019

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය. National Center ‌for Graduate

සබරගමුව විශ්ව විද්යාලයේ සිසුන් භාෂා හා සමාජ විද්යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ දී සිදුකරන කප්පාදුව නවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (03) දින සිදුකරනු ලැබූ සාමාකාමී හා නිරායුධ විරෝධතාවයට රී ලංකා පොලීසිය එල්ල කළ ම්ලේච්ඡ හා අමානුෂික රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකිමු.

මෙවැනි අමානුෂික හා සාහසික ප‍්‍රහාරයන් දියත් කිරීමට පොලීසිය භාරව කටයුතු කරන ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග ක‌ෙලේද නැතිනම් එජාප ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ උවමනාව මත දියත්කළ ප‍්‍රහාරයක්ද යන්න පැහැදිලි නැත. නමුත් අවසානයේ කුමන පන්නයේ ආණ්ඩු හා නායකයින් රට පාලනය කළත් සිසුන් ඇතුළු පොදු ජනතාවට මර්දනය හා මෙවැනි ප‍්‍රහාර එල්ල කිරීමේ අඩුවක් හෝ වෙනසක් නොමැති බව ඉතා පැහැදිලිය.

වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා බලයට පැමිණියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යහපාලනයත් ස්ථාපිත කරන බවට ජනවරමක් ලබාගෙනය. නමුත් පොරොන්දු සමාජ ධර්මයන් ක‍්‍රියාවට නංවනවා වෙනුවට දිගින් දිගටම සිදුවනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුද්ගල නිදහස අභියොගයට ලක්කරමින් සිදුකරන ක‍්‍රියාවන්ය.

රට පුරාත්, ලෝකය පුරාත් මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහලින් කථාකරන මොහොතක ලංකාවේ පාලකයින් හා පොලීසිය මේ ආකාරයෙන් අහිංසක විශ්ව විද්‍යාල සිසුන් තමන්ගේ ගැටළුවලට දීර්ඝ කාලයක් තිස්සේ විසඳුමක් නොමැතිකම නිසාම පාරට බැස සාමාකාමීව නිරායුධව විරෝධතාවයන් දක්වද්දී අමානුෂික ලෙස පහර දී මර්ධනය කිරීමට උත්සහ දැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල අනතුරකට ලක්කිරීමකි. ජනතාවගේ ප‍්‍රශ්න වර්ධනය වෙද්දී පාලකයින්ට ඒ සඳහා විසඳුමක් නොමැතිකම නිසාම ඔවුන් තෝරාගන්නේ මර්ධනයේ පාරයි. ඒ සඳහා පවතින නීති ප‍්‍රමාණවත් නොවන තැන නීති පවා සකස් කරගන්නා පාලකයින් මේ වන විට ආණ්ඩු විරෝධී  ඕනෑම පොදුජන ක‍්‍රියාකාරිත්වයක් මර්ධනය කිරීමට හැකිවන පරිදි ප‍්‍රතිත‍්‍රස්ත පනත නීතිගත කරගැනීමට උත්සහ දරනුයේ ද විසඳුම් ලබාදීමට වඩා මර්ධනය ආණ්ඩුවට පහසු යැයි තීරණය කර ඇති නිසාවෙනි. ආණ්ඩුවට එරෙහිව මතුවන  ඕනෑම ජනතා විරෝධයක් දැඩිව මර්ධනය කිරීමට විවිධ අණපනත් ගෙනඒමට උත්සහ කිරීම තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණාසන්න වීමට නියමිතව ඇතියි යන්න තේරුම් ගන්නවා හැර වෙනත් මාවතක් නොමැති බව ආණ්ඩුව පෙන්වමින් සිටී.

ආණ්ඩුවකට රට පාලනය කිරීමේ දී උගතුන් බුද්ධිමතුන් හැමදාමත් ප‍්‍රශ්නයක් වී ඇති බව පැහැදිලිය. පසුගිය 03 වන දින සරසවි සිසු සිසුවියන්ට පොලීසිය අතින් පයින් පහර දෙමින් නැවත නැවත පහර දෙමින් මාරාන්තික ප‍්‍රහාරයක් දියත් කළේ එවැනි උගතුන් බුද්ධිමතුන් සදාකාලිකව ආබාධිතව තැබීමට බව එම දර්ශන පෙළ තුලින් ලෝකයට අනාවරණය වේ.

විශ්ව විද්‍යාල සිසුන්ගේ අධය්‍යාපන හා සුභසාධන ප‍්‍රශ්න විසඳීම සඳහා පාලකයින් වහා පියවර ගතයුතුය. රටේ අධ්‍යාපනයේ ඉහලම අවස්ථාව හිමිකර ගනිමින් විශ්ව විද්‍යාල තුලට ප‍්‍රවේශ වන සිසුන්ට නිදහසේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් හා භෞතික සම්පත් ප‍්‍රමාණවත්ව ලබාදීම ආණ්ඩුවක වගකීම වනු ඇත. සිසුන් මේ දක්වාම වීදි බැස අරගල සිදුකර ඇත්තේ ආණ්ඩු බලය ඉල්ලා හෝ මැති ඇමතිකම් ඉල්ලා හෝ නොවන බව පැහැදිලිය. නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව, මහපොළ ශිෂ්‍යාධාර කප්පාදුවට එරෙහිව, ගොඩනැගිලි පහසුකම් ලබානොදීමට එරෙහිව, නේවාසික, පුස්කතාල, පරිගණක පහසුකම් ප‍්‍රමාණවත් නොවීමට එරෙහිව බව පැහැදිලිය. එවැනි සාධාරණ ඉල්ලීම් සඳහා සිසුන් පාරට බසින විට පොලීසිය යොදවා සිසුන්ගේ ඔළු පලනවා වෙනුවට, අතපය කඩනවා වෙනුවට, ආණ්ඩුව කළයුතුව ඇත්තේ සිසුන් පාරට බසින තත්වයට පරිසරය නිර්මාණය කිරීම වැළැක්වීමයි. එසේ සිදුනොවන්නේ නම් පාලකයින් එහි වගකීම භාරගතයුතු බවත් අවධාරණය කරමු.

එමෙන්ම මෙවැනි අමානුෂික ප‍්‍රහාරයන් ඇතුළු ප‍්‍රජාත්නත‍්‍ර විරෝධි මර්ධනයන් පරාජයට පත්කිරීමට සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගිතිශීලී බලවේග පෙරමුණ ගතයුතු බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.

ස්තූතියි.

මෙයට,

චන්දන සූරියආරච්චි

කැඳවුම්කරු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress