ආණ්ඩුව ගුරුවරුන්ට ගෙවිය යුතු විභාග රාජකාරි දීමනා ගෙවලා නෑ. මේ විදිහට ගියොත් ඉදිරියෙදි රාජ්‍ය සේවකයින්ගේ වැටුපත් නොගෙවා ඉන්න බැරි නෑ.
Posted on April 10th, 2019

ඒකාබද්ධ ගුරු සේවා සංගමය

අපොස උ/පෙළ, සා/පෙළ විභාග රාජකාරි සඳහා ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා ආණ්ඩුව මේවනතාක් ගෙවීමට කටයුතු කර නැත. එහිදී 2018 සා/පෙළ විභාගයට අදාළව ගුරුවරුන් සඳහා ලැබිය යුතු විභාග ශාලා නිරීක්ෂක, උත්තර පත‍්‍ර ඇගයීම් හා ප‍්‍රායෝගික පරීක්ෂණ නිරීක්ෂක යන රාජකාරී සඳහා ගෙවිය යුතු දීමනාද, 2018 උසස්පෙළ විභාගයට අදාල ප‍්‍රායෝගික පරීක්ෂණ සඳහා ගෙවිය යුතු දීමනාද ගෙවීම් ප‍්‍රමාද කර ඇත.

වෙනත් වසරවලදී මේ සියලූ විභාග රාජකාරී සඳහා ගෙවීම් මාර්තු මාසය වන විට ගෙවා අවසන් කරන නමුත් මේ වසරට අදාලව තවමත් මෙම ගෙවීම් ප‍්‍රමාදවීමෙන් ගුරුවරු විශාල අපහසුතාවයකට මුහුණ දී සිටිති. ගුරුවරුන් සඳහා ජීවත්වීමට ප‍්‍රමාණවත් වැටුපක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති අතර ඒ නිසා වැටුප් වැඩිකරගැනීම සඳහා මේවන විටත් ගුරුවරු හා විදුහල්පතිවරු ඒකාබද්ධ අරගලයකට ප‍්‍රවේශවී සිටිති. එවන් තත්ත්වයක් යටතේ ඔවුන්ට ලැබිය යුතු දීමනාවන් පවා නොගෙවා සිටීමෙන් සිදුවන්නේ ඔවුන් තව තවත් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීමයි.

ඒ නිසා මෙම ගෙවීම් තවත් ප‍්‍රමාද නොකර වහාම ලබාදෙන ලෙස අප බලධාරීන්ට බල කර සිටිමු. එසේ නොවන්නේ නම් ගුරු සංගමයක් විදිහට අනෙකුත් ගුරු සංගම්ද සමඟ ඒකාබද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවනු ඇති බවද අවධාරණය කර සිටිමු. මෙම ගෙවීම් ප‍්‍රමාදවීම පිළිබඳ විමසීමේදී බළධාරීන්ගේ පිළිතුර වී ඇත්තේ ඒ සඳහා මුදල් නොමැතයි බවයි. ඒ අනුව ආණ්ඩුව ආර්ථික වශයෙන් වැටී ඇති බංකොළොත්භාවය ප‍්‍රකාශයට පත්වේ. නමුත් ගැටලූව වන්නේ විභාග දීමනාවත් ගෙවාගන්නට බැරි බංකොළොත් ආණ්ඩුව තඹ සතයකින් වුව සිය නාස්තිකාර වියදම් හෝ මර්දනය සඳහා කරනු ලබන වියදම් අඩුකිරීමට සූදානම් නොවීමයි.

අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ මේ ප‍්‍රශ්නය දිගින් දිටම පවතින අතර පසුගිය කාලයේදී ඌව පළාත් සභාව තුළ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු උත්සව අත්තිකාරම් දීමනා නොගෙවීම, ගුරු හිඟ වැටුප් වසර ගණනාවත් තිස්සේ නොගෙවා සිටීම ආදිය නිදසුන් කිහිපයක් පමණි. ඒ සඳහා දිගින් දිගටම සිදුවන අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව ප‍්‍රධාන හේතුවක් වී ඇති අතර මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් ඉදිරියේදී ගුරුවරුන්ගේ වැටුපත් නොගෙවා සිටින තැනටම ආණ්ඩුව පත්විය හැකිය.

එය ගුරුවරුන් විෂයෙහි පමණක් නොව අනෙකුත් සියලූ සේවාවන්ටද පොදුවේ බලපෑ හැකි තත්ත්වයකි. ආණ්ඩුව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇත්නම් ඒ ආණ්ඩුවේම වරදක් මිස රටේ ජනතාවගේ වරදක් නොවේ. ඔවුන් ක‍්‍රියාත්මක කළ වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාකවලට ජනතාව වගකිව යුතු නැත. ඒ නිසා උදාවෙමින් ඇති අනතුර හඳුනාගනිමින් සියලූ රාජ්‍ය සේවකයින් ලෙස සිය අයිතීන් වෙනුවෙන් අපි සියලූදෙනා එක්ව නැගී සිට සටන් කළ යුතු තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් ඇති බව අපි අවධාරණය කර සිටිමු.

මේ පිළිබඳව අවධානය යොමුකර ලෙස බලකරමින් විභාග කොමසාරිස්වරයා වෙත අප විසින් ලිපියක් යොමු කර ලද අතර ඔබගේ අවධානය පිනිස එම ලිපියද මේ සමඟ යොමු කරමු.
සංජීව බණ්ඩාර
ලේකම්
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress