පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙලාදැකීම
Posted on April 23rd, 2019

මාධ්‍ය ප්‍රකාශය Federation of University Teachers’ Associations

2019 පාස්කු ඉරිදාව අප රට මුහුණ දුන් තවත් ව්‍යවසනකාරී දිනයක් ලෙස බොහෝ කාලයක් යනතුරු අප මතකයේ පවතිනු ඇත. යුද්ධය නිමාවී දස වසරකට ආසන්න කාලයක් ගිය තැන අප පසු වුයේ බෝම්බ පිපිරීම් සහ මහා පරිමාන ව්‍යවසනයන් තවදුරටත් අතීතයට අයත් වූ සිදුවීම් ලෙස සිතන ශුභවාදී මානසිකත්වයකිනි. ගැටළු තිබු බව සැබෑවකි. බොහෝ  දේ මිට වඩා හොදින් කල හැකිවද තිබුණි. සංහිදියාව, සාධාරණත්වය හා සාමය වෙනුවෙන් බොහෝ කටයුතු ඉටුවිය යුතුව ද තිබුණි. එහෙත් අප විශ්වාස කළේ වඩාත්ම අදුරු යුගය ගෙවී ගොස් ඇති බවයි. එසේ වුවද පාස්කු ඉරුදින සිදුවීම් අපගේ මෙම සාපේක්ෂ ලෙස ශුභවාදී අදහස් අභියෝගයට ලක්කර ඇත.

විශ්වවිද්‍යල ආචාර්යවරුන් ලෙස අප අපගේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ඉරිදා සිදුවීම් වලට අප කවුරුද යන්න නිර්වචනය කිරීමට ඉඩ නොදෙන ලෙසයි. අප නිසැකවම මීට වඩා යහපත් පිරිසක් වන අතර අප අනාගතයේදී මීට වඩා යහපත් විය යුතුය. පළමුකොට පාස්කු ඉරිදාවේ විපතට පත්වූවන්ට ද, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද, ඔවුන් අයත් ජන ප්‍රජාවට ද, එමෙන්ම අපගේ අසල්වැසියන්ට ද සහ මුළු මහත් පුරවැසියන්ට ද අපගේ සහෝදරතත්වයේ හස්තය දිගුකරමු. මේ ඛේදනීය අවස්ථාවේ එකිනෙකා  සැනසීමට ද එකිනෙකාට උදව් කිරීමට ද කළහැකි දේ කරමු.  ජාතික ලේ බැංකුව ඉදිරිපිට වූ දිගු පෝලිම් පනවා දුන් පරිදි හා මිට පෙර බොහෝ අවස්ථාවන් හිදී පෙන්වා දුන් පරිදි අර්බුධකාරී සහ ඛේදනීය අවස්ථාවල පෙරට ඒමේ විශිෂ්ඨ ගති ස්වභාවයත් අප සතුව ඇත. වෛරයේ, බෙදීමේ හා වාර්ගවාදයේ පුහුකතා වෙතට අප එකිනෙකා  වෙන්කිරීමට ඉඩ නොතබමු.

අපගේ නායකත්වයෙන් අප දැඩිලෙස  ඉල්ලා සිටින්නේ පටු දේශපාලනික බෙදීම් පසෙකලා සැබෑ රාජතාන්ත්‍රිකභාවයකින් යුතුව කටයුතු කරන ලෙසය. දේශපාලන නායකත්වයේ ඇනකොටාගැනීම් හා බල අරගල හමුවේ අප ඇති තරම පීඩා විද ඇත්තෙමු. ඇත්තෙන්ම මෙම ඇනකොටාගැනීම් හා බල අරගල අප රටෙහි ජනයා මුහුණදුන් විදවීම් වැඩි ප්‍රමාණයක මූලහේතුවයි. මෙම ඛේදජනක අවස්ථාවෙන් පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට වෑයම් නොකොට විපතට පත් ජනතාවට සහන සැලසීමට සහ ජනතාවට සත්‍ය හෙළි කිරීමට කටයුතු කරන මෙන් අපි බල කර සිටිමු. මෙම ඛේදජනක සිදුවීම අභිබවනය කොට ඉදිරියට යාම සඳහා බොහෝ දේ කල යුතුය. මේ මොහොතේ අප නායකයින් පෙනී සිටිය යුත්තේ ඒ වෙනුවෙන් සහ එයට පමණක්ම විය යුතුය. විශ්වවිද්‍යාල ප්‍රජාව වශයෙන් අප සියලු සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් සහ පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ එකට එක්ව හිංසනයට සහ අන්තවාදයට එරෙහිව විශ්වවිද්‍යාල තුල සහ ඉන් පිටත එකමුතුව නැගීසිටින ලෙසයි.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට අපගේ සාතිශය සංවේගය පලකරන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. එසේම මේ අසීරු අවස්ථාවෙහි අප වෙනුවන් කැපවී කටයුතු කරන වෛද්‍ය සහ ආරක්ෂක අංශ වෙත අපගේ සහයෝගාත්මක කෘතවේදීත්වය පළකර සිටිමු.

රොහාන් ලක්සිරි ලේකම්/FUTA  
මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සභාපති/FUTA  

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress