ගෙවුණු සතියේ මේ රට පාලනය කලේ අතිඋතුම් අගරදගුරුහිමිපාණන් බව කිවහොත් මේ රටේ කිසි කෙනෙකු විරුද්ධ වන්නේ නැත.
Posted on April 29th, 2019

දීපිකා දිල්රුක්ෂි ගුණසේන

මම බෞද්ධයෙක්. හතර වරිගෙම බෞද්ධ අමු සිංහල බෞද්ධයෙක්!

 ඒත් මගේ රටේ කතෝලික බැතිමතුන් ගැන පුදුම ආදරයක් මට දැනෙන්නේ.මට විතරක් නෙවි, මේ රටේ හැම කෙනෙකුටම ඒ විදියේ හැගීමක් අනිවාර්යයෙන්ම ඇතිවෙලා ඇති. මගේ රටේ කතෝලිකයන් කියන්නේ කොහොමටත් රටට කරදරයක් නොවී… නිසිතැන-සමතැන ගන්න වද වෙන්නේ නැතිව… මේ රටේ මහා සංස්කෘතියට අභියෝග කරනු වෙනුවට යස අපුරුවට තමන්ගේ විශ්වාසයන් ඇදහීම් මේ රටේ සංස්කෘතියට… මුල්වලට… හද ගැස්මට ගලපාගෙන… මිශ්‍රවෙලා… සහයෝගෙන්, සමාදානෙන් තමන්ගේ පාඩුවේ ජීවත්වුණු සහෝදර ජනවර්ගයක්.

 ඒ වගේම මට කතෝලික බැතිමතුන් ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඒ අයගේ කකියන ලේ කඳුලින් දියකරලා අයෙමත් කලින්ටත් වඩා ලෝකෙට ආදරය කරන්න පුළුවන් හදවතක් තියෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවි. ඒක ජිවිත කාලයක…පරම්පරා ගණනක හුරුවක්… උගැන්මක්… පුහුණුවක්.. කිතු සමිදාණන් ගේ ඉගැන්විමතුළ ලද ඔවුන් අපුරු ශික්ෂණය හා දෙවිඳුන් කෙරෙහි වූ අප්‍රමාන භක්තියක් එයින් අපුරුවට විදහා දක්වනවා.

 ඒ වගේම කතෝලික බැතිමතුනි, මට ඔයාලා ගැන පුංචි ඉරිසියාවක් තියෙනවා. ආත්මනුකම්පාවක් එක්ක කැටි වුනු පුංචි  ඉරිසියාවක්. මේක බෞද්ධ රටක් උනාට අපිට ඔයාලට වගේ පෙරටුගාමී, පරිණත, මධ්‍යස්ත ජීවමාන ආගමික නායකත්වයක් මේ වෙද්දී මේ රට ඇතුලේ අපිට නැහැ.අපි වෙනුවෙන්… රට වෙනුවෙන්.. කතාකරන්න.. හසුරවන්න ඉදිරිපත්වෙන තරුණ හිමිවරුන් කිහිප නමක් අතරින් පතර උන්නත් ආගමික සංවිධාන රාමුවේ බලය හා නිලය උසුලන කිසිම බෞද්ධ ආගමික නායකත්වයක් මේ වෙලාවේ රටේ ජනතාව හසුරවන්න…. ජනතාවත් එක්ක එකට හිටගන්න… එලියට වැඩියේ නැහැ. මේ කර්කශ ලෝකේ ජිවත්වෙද්දී ආගමික ශාස්තෘ වරුන් හා ඒ ඉගැන්වුම් විතරක් නෙවි මිනිසුන් හසුරවන්න ජීවමාන ආගමික නායකත්වයකුත් තියෙන්නම ඕනි. ඒ නායකත්වය යම් ආකාරයක සාර්ථක නායකත්ව ගුණවලින් අනුන විය යුත්තේද  … එකී සියලුම නායකත්ව ගුණෝපේත ලක්ෂණ ඔබේ ජීවමාන ආගමික නායකත්වය සතුයි කියල කියන්න මම අබමල් රේණුවකවත් ලෝබ වන්නේ නැහැ. ඒ වගේම වර්තමානය වෙද්දී බෞද්ධ අපිට ඒවගේ නිලයෙන් පැවරුණු වගකීම් ඉටුකෙරෙන ආගමික නායකත්වයක් පෙනෙන්නට ඇත්තේ නැති බවත් කියන්න ලජ්ජා වන්නේත් නැහැ

 අගරදගුරු හිමියනි, මගේ රට, ගැහුවොත් ගහන… මැරුවොත් මරණ කා කොටා ගන්නා ම්ලේච්ච ජන වර්ගයක් නොවන බව ලෝකයට පෙන්වන්නට මුල්වුණේ ඒ පසුපස උන්නේ ඔබ වහන්සේයි.තව තවත් ලෝකයේ අවමානයට, අපවාදයට, අසරණ භාවයට පත් වීම වළක්වාලූයේ ඔබ වහන්සේයි. නගර පුරා…කාණු දිගේ…වීථි දිගේ… ලේ ගලන මහා සංහාරයක් වළක්වාලූයේ ඔබ වහන්සේයි.  ත්‍රස්තප්‍රහාරයෙන් විනාශ වූ දෙහැර මිනිසුන් අනේක දුක් විඳ උපයා සපයාගත් දේපල සියල්ල මෙතරම් ව්‍යසනයකාරී තත්වයකදී පවා ඉතා සුළු ලෙසවත් විනාශ නොවුනේද… රැකුනේද… ඔබ වහන්සේ නිසාය. විපතට පත්ව ගිනියම්වූ හදවත් ඉවසීමෙන් නවතාලුයේ…  සන්සුන්වන්නට  කියන මේ එකම දේශපාලුවකු ගේ ඉල්ලීමකට නොව ඔබ වහන්සේගේ වචනයට ඔබේ බැතිමතුන් ගේ ඇති ආදරය හා ගෞරවය නිසාය.රටක ආගමික නායකයකුට ඉපයිය හැකි… හිමිවන… ඉහළතම ගෞරවය ඔබවහන්සේට ලැබී අවසානය.ඒ මේ රට වැසියන් පසුගිය පාස්කු ඉරිදා සිට අද වෙනතෙක් හැසිරුණු කටයුතු කල අයුරිනි. මේ ලෝකයේ කිනම් හෝ ආගමික නායකත්වයකට ලබන්නට මීටත් වඩා ඉහල පදවියක්… ගෞරවයක්… නිලයක් හෝ තානාන්තරයක් ඇත්දැයි මට හිතා ගන්නට බැරිය

 ඔබ වහන්සේගේ සභාවේ ඔබේ බැතිමතුන්ට මෙවන් අපරාධයක් කල ද්‍රෝහීන්ටත් ප්‍රේම කරන්න වෛර නොකරන්න. ආදරය කරන්නටයි ඉල්ලන්නට හැකි ඔබවහන්සේ ඔබේ බැතිමතුන්ට කෙතරම් ආදරය කරනවා ඇතිද? එකි බැතිමතුන්ට මේ ඇතිවූ ව්‍යසනය, ඔබවවහන්සේව කෙතරම් කම්පනයට පත්කරන්නට ඇතිද? එවන් අවස්ථාවකදී මෙතරම් පරිණත ඉවසීමක්… සුපේශල හික්මීමක්…ඇතිව වචන මාත්‍රයක පරොස් බවක්… අංශුමාත්‍රයක තරහවක්… ඉස්මතු නොකරන්නට තරම් ඇති ඔබේ බුද්ධිමත් ඉවසීම මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දේවත්වයකි

 ගෙවුණු  සතියේ මේ රට පාලනය කලේ අතිඋතුම් අගරදගුරුහිමිපාණන් බව කිවහොත් මේ රටේ කිසි කෙනෙකු විරුද්ධ වන්නේ නැත. උන්වහන්සේ එසේ පිළිගන්නට අකමැති විය හැකි වුවද මේ රට පාලනය කළ නිහඩ හඬ අගරදගුරු හිමිපාණන් ය . කිතුණු බැතිමතුන් පමණක් නොව රටක් හැටියට අපි සියල්ලෝම උන්වහන්සේගේ වචනයට ලබ්ධීන් ගේ බෙදීමක් නැතුවම අනුගත වුනෙමු.එකී අනුගත භාවය නායකයකුට ලේසියෙන් උපයා ගතහැක්කක් නොවේ.ඉවසීමෙන් නැවතිල්ලේ කතාකරන… කියන හැම වචනයකටම වගකීමෙන් බැඳෙන ලෙස අදහස් ප්‍රකාශ කරන…ඒ හැම වචනයකම තමන්ගේ ශාස්තෘවරයාණන් ගේ ඉගැන්වීම පිළිඹිබු කරන… ශාන්ත නිවුණු ප්‍රතිරූපය තුල වූ අභිමානවත් නායකත්ව පෞරුෂයට අපි සියල්ලෝම අනුගත වුනෙමු.ආගමික නායකයෙකුට අනුගාමිකයන් අනුගත කරගැනීම එතරම් අමාරු නැති බව  කෙනෙක්ට කිව හැකි වුවද… මෙවැනි උඩු ගං බලා පීනන්නට අවශ්‍ය අවස්ථාවක අනුගාමිකයන් අවනතකරගැනීම ලෙහෙසි නැත. උන් වහන්සේ ලද දිනුම එයයි. ඉවසීම යනු වචනයක් නොකියා සිද්දිය කර ඇරීමක් නොවන බවත්… අවදිකරවන හඬේ ස්වරයද… අන්තර්ගතයද… තමන්ගේ ශාස්තෘවරයාගේ ඉගනුම අභිබවන්නේ නැතිව ඊට අනුකුල වීමද ආගමික නායකයකු ලබන ප්‍රසාදයට හේතුවන බව පෙන්වා දුනි. උන්වහන්සේගේ අනුපමේය නායකත්ව පෞරුෂය … මනුෂ්‍යත්වය ඉක්මවන ජිවන ස්වභාවය අගයන්නට මම කිතුණු දහම දන්නේ නැත. මගේ බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ ඇති මිනිසා බ්‍රහ්මයකු කරවන නොහොත් මනුෂ්‍යත්වයේ ඉහලම තලයකට පමුණුවන විහරණය අගරදගුරුහිමිපාණන් තුලින් දුටිමි. ඒ මෙත්ථා-කරුණා-මුදිතා-උපේක්ඛා ගුණයි.එකී සතර බ්‍රහ්ම විහරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනූනව උන්වහන්සේ තුළින් ජීවමානව දුටිමි.

 තවත් ඉතා දිගු කාලයක් ඔබේ බැතිමතුන්ට පමණක් නොව මගේ රටේ සියලුදෙනාට ආදරය කරන්නට මග පෙන්වන්නට ඔබ වහන්සේට තිසරණ සරණේ බලෙන් ජය ශ්‍රී මහා බෝසමිඳු පිහිටෙන් උතුම් ශ්‍රී දළදා වහන්සේගේ අනුභාවයෙන් නිරෝගී සැප…දිගාසිරි ප්‍රාර්ථනා කරමි.

 ©️ දීපිකා දිල්රුක්ෂි ගුණසේන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress