පාසල් විවෘත කිරීම හා පාසල්වල ආරක්ෂාව පිළිබඳව උද්ගතව ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධවයි
Posted on May 6th, 2019

සංජීව බණ්ඩාර ඒකාබද්ද ගුරුසේවා සංගමය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මැයි 6 වන දින පාසල් විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. නමුත් පාසල්වල ආරක්ෂාව පිළිබඳව බරපතළ සැකයක් තවමත් පවතී. ආණ්ඩුව කළ යුත්තේ පාසල් විවෘත කිරීමට පෙර ප්‍රමාණවත් ආරක්ෂාවක් තහවුරු කරීමට කටයුතු කිරීම වුවත් කණගාටුදායක කරුණ නම් ආණ්ඩුව එහි වගකීම ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන්මත පැටවීමට චක්‍රලේඛන නිකුත් කරමින් කටයුතු කරමින් සිටින නිර්ලජ්ජිත ආකාරයයි.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් වුවත් ආණ්ඩුව එම වගකීම දැනටමත් පැහැර හැර ඇති බව මෙම ප්‍රහාරය හරහා ඔප්පු විය. ආණ්ඩුව පමණක් නොව පාලක පංතියේ සියලූම කොටස්ද එම වගකීම පැහැර හැරියේය. එනම් එක් පැත්තකින් මෙම ප්‍රහාරය කල්තියා දැනගෙනත් එය වැලැක්වීමට පියවර නොගැනීමෙන් හා මෙවැනි අන්තවාදී ප්‍රහාරයකට රට ඇද දමන ආකාරයෙන් ජාතිවාදය හා අන්තවාදය වැපිරීමට පසුගිය කාලය තුළ කටයුතු කර තිබීමෙනි. එපමණක් නොව රට ජාත්‍යන්තර අන්තවාදී කණ්ඩායම්වල ගොදුරක් බවට පත්කරමින් පාලකයින් අනුගමනය කරන අධිරාජ්‍යගැති විදෙස් ප්‍රතිපත්තිය ද මේ සදහා බලපා ඇති බවද පැහැදිළිය. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි මහා විනාශයක් සිදුවී තිබියදීත් සිය වරද පිළිගැනීමටවත් නිහතමානීත්වයක් නැති පාලක පංතිය එකිනෙකා වෙත ඇඟිල්ල දිගුකරමින් කුළල් කාගනිමින් සිටින අතර පාසල්වල ආරක්ෂාව ගුරුවරුන් හා දෙමාපියන්මත පැටවීමට චක්‍රලේඛන නිකුත් කරමින් සිටින විට අපට ඇසීමට ඇත්තේ බදුපිට බදුගෙවමින්, ආණ්ඩුවක් නඩත්තු කළ යුත්තේ සහ මේ තරම් විශාල ආරක්ෂක බරපැනක් ජනතාව දැරිය යුත්තේ ඇයිද යන ප්‍රශ්නයයි.

ගුරුවරුන්ට හා දෙමාපියන්ට දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්වීමට ආණ්ඩුවෙන් උපදෙස් අවශ්‍ය නොවේ. මන්දයත් මෙවැනි අනතුරක් තිබුණත් නැතත් ඔවුන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන බැවිනි. ඒ නිසා අපි පාසල්වල ආරක්ෂාව තහවුරු කරන ලෙස ආණ්ඩුවට දැඩිව බල කර සිටින අතරම දිගුකාලීන වශයෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීම සඳහා සියලූ ජාතිවාදයන් හා අන්තවාදයන් පරදවා සියලූ ජාති හා ආගම් අතර සහජීවනය හා සහෝදරත්වය ඇතිකර ගැනීමට කටයුතු කිරීමේ හා සමාජය තුළ මනුෂ්‍යත්වය සඳහා පනපෙවීමේ වගකීමක් මේ බැරෑරුම් මොහොතේ විශේෂයෙන්ම ගුරුවරුන් හා දෙමව්පියන්මත පැවරී ඇති බවද අවධාරණය කර සිටිමු.

දේශීය පාලක පංතියත් ගෝලීය අධිරාජ්‍යවාදයත් සිය පටු බල වුවමනාවන් වෙනුවෙන් ජාතිවාදය හා අන්තවාදය සඳහා උඩගෙඩිදෙන බවත්, එහි ප්‍රතිඵලය මෙවැනි මහා විනාශයන් බවත් පැහැදිලි කරුණකි. මෙම ප්‍රහාරයට සම්බන්ධ ෂීෂී සංවිධානය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නිර්මාණයක් බවත්, තවුහිද් ජමාද් නැමති දේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලිය දේශීය පාලක පංතිය කිරිපොවා ඇතිදැඩි කර, ආරක්ෂා කරන ලද සංවිධානයක් බවත් දැන් හෙළිදරව් වීමෙන් තහවුරු වන්නේ එයයි. එවන් තත්වයක් යටතේ මෙවැනි පාලකයින්ගෙන් අපේක්ෂා කළ හැකි මහජන ආරක්ෂාව කුමක්ද යන ප්‍රශ්නය ද අපි ඇසිය යුතුව තිබේ.

ඒ නිසා සමාජයක් ලෙස දිගුකාලීන වශයෙන් ආරක්ෂාව හා නිදහස තහවුරු කරගත හැක්කේ මර්දනකාරී මිලිටරි යාන්ත්‍රණ ශක්තිමත් කිරීමෙන් නොව ජාතිවාදී හා අන්තවාදී ප්‍රවනතා පරාජය කර සමාජය තුළ සමගිය සහෝදරත්වය ඇතිකරගැනීමෙන් පමණක් බව අපි තේරුම්ගත යුතු අතර, ඒ සඳහා මෙවැනි සංකීර්ණ තත්වයන් තුළ පවා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද අපි අවධාරණය කර සිටිමු.

ස්තුතියි. මෙයට, ලේකම්
සංජීව බණ්ඩාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress