මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය අසමත්
Posted on May 6th, 2019

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු කර නැති බව   ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි වැඩ බලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය  සඳහන් කළේ ප්‍රහාරය එල්ල වී සති දෙකකට ආසන්න කාලයක් ගත වුව ද තවමත් ජන ජීවිතය සියයට සියයකින් යථා තත්වයට පත්කිරීමට රජය සමත්ව නැති බවයි.

අද (06)වන දින පාසැල් ආරම්භ කිරීමට රජය කටයුතු කළ ද අද දිනයේ පාසැල් පැමිණිමේ ප්‍රතිශතය 5% ක් දක්වා අවම වීමෙන් පෙනී යන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව  තුළ තවදුරටත් පවතින අවිශ්වාසය බව ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේය.  මේ ආකාරයට අවධානම්කාරී තත්වයෙන් ජන ජීවිතය පවත්වාගෙන යාම නිසා  රටේ ආර්ථිකයට, සමාජ පද්ධතියට සහ ජනතා අයිතීන් වලට බරපතල බලපෑමක් එල්ල වන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකාව සඳහන් කරයි. ඊයේ රාත්‍රි මීගමුව ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම පෞද්ගලික  ගැටුමක් නිසා ඇතිවූ ආරවුලක් වුවද එය ජන ජීවිතය මහත් භීතියට පත්කරන සිදුවීමක් වී ඇත්තේ තවමත් ජනතාව තුළ  අනාරක්ෂිත හැඟීම නිසා බව ඇය පෙන්වා දුන්නාය.

සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් අගමැතිවරයා හෝ රාජ්‍ය අරක්ෂක අමාත්‍යවරයා විසින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවට නිල ප්‍රකාශයක් නිකුත් කරන තුරු මෙම තත්වය සමනය නොවන බව ආරියවංශ මහත්මිය සඳහන් කරයි.  මේ ආකරයට රට පවත්වාගෙන යාම තුළින් දැඩි අනාරක්ෂිත අස්ථාවර බවක් රට තුළ ගෙඩානැගී ඇති අතර එය සිවිල් ජන ජීවිතය පමණක් නොව මෙරට ආර්ථිකය කෙරෙහිද බරපතල බලපෑම් එල්ල කරනු ඇතිබව ඇය පෙන්වා දෙයි.

ජනතාව තුළ ඇති අනාරක්ෂිත හැඟීම දුරු කොට විශ්වාසයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ හැකි වටපිටාවක්  යළි ඇති කිරීම රජයේ වගකීම වනු ඇති බවත් රජය එම වගකීම මඟ හරිමින් සිටින බවටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2019 මැයි 06

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress