සංහිඳියාව දූෂණය නොකළ යුතුය
Posted on May 29th, 2019

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

‘‘සංහිඳියාව’’ යන වචනය සිංහල ශබ්ද කෝෂවල අර්ථ දක්වා ඇත්තේ සන්සුන් බව, සැනසී විසීම සහ රාජ්‍යයන් දෙකක් අතර පැවැති විරුද්ධවාදීකම් ලිහිල් කිරීමේ රාජ්‍ය තාන්ති‍්‍රක උපාය වශයෙනි. රාජ්‍යයන් දෙකක් අතර ගැටුමක් ශී‍්‍ර ලංකාවේ නොමැති නිසා අපට මෙහිදී වැදගත් වන්නේ ”සැනසී” විසීම යන අර්ථ නිරූපණයයි. නමුත් ‘‘සංහිඳියාව’’ යන වචනය දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල පින්තාරු කළ දේශපාලනඥයන් එහි සැබෑ අර්ථය වන ‘‘සැනසී විසීම’’ යන්න නිවැරැුදිව ග‍්‍රහණය කරගත්තා නම් අද ශී‍්‍ර ලංකා ජාතියට මෙවැනි ඉරණමක් අත්වන්නේ නැත.
 
 සංහිඳියාව යන වචනය පසුගිය කාලයේදී නිරතුරුව අසන්නට ලැබිණි. යහපාලන රජය ඇති කිරීමට පෙර මේ රටේ සංහිඳියාව නොමැති බවත් එය ස්ථාපිත කිරීම සඳහා රටට යහපාලනය ගෙන ආයුතු බවට පුළුල් කතිකාවතක් 
 
 ගොඩනැඟී තිබිණි. සාධාරණ සමාජය ඇතුළු විවිධ සංවිධාන ඒ වෙනුවෙන් පෙනී සිටියහ. නමුත් මේ වන විට රටේ සංහිඳියාව බරපතළ ලෙස දූෂණයට ලක්වී ඇති බව පැහැදිලිය.
 
 වසර තිහක අප මුහුණ දුන් යුද්ධයෙන් පසුව අප රටේ ජාතීන් අනෙකුත් සෑම අංශයකම සංහිඳියාව ඇති කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබිණි. නමුත් ඉන් නිසි ප‍්‍රයෝජන 
 
 ගැනීමට රටක් ලෙස අපට අවස්ථාව නොලැබුණේ අවස්ථාවාදී දේශපාලන න්‍යායපත‍්‍ර ඉදිරියට පැමිණි නිසාවෙනි.
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කි‍්‍රයාකාරිත්වය නිසා මෙරට බහුතරය වන සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍ය සුළු ජාතිකයෝද පීඩාවට පත් වූහ. සිවිල් පුරවැසියන් ලෙස ඔවුන්ගේ මානසික අයිතිවාසිකම් අහිමි විය.
 
 එනිසාම යුද්ධයෙන් පසුව අප රටේ සිදුවිය යුතුව තිබූ සැබෑ සමාජ පරිවර්තනය සිදුනොවිණි. මහින්ද රාජපක්‍ෂ පාලනයෙන් රටේ ආර්ථිකයේ ප‍්‍රගතිශීලී ගමනක් දැකිය හැකි වුවද ඊට සාපේක්‍ෂව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට එම රජයට නොහැකි විය. විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව නැගුණු කූට බලවේගවලට එම රජයට යටවීමට සිදුවිය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තිස්වසරක යුද්ධය නිම කළත් රාජපක්‍ෂ පාලනය නිමාවට පත්වීමය.
 
 රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීමේ ප‍්‍රබල අවිය වූයේ සංහිඳියාවයි. නමුත් අද වන විට රට අපේක්‍ෂා කළ සංහිඳියාව ගොඩනැගීමට යහපාලන රජයට ද නොහැකි වී ඇත.
 
 පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවත් සමග ජාතීන් අතර සංහිඳියාව 
 
 ගොඩනැගීමේ කතා බහ ඉදිරියට පැමිණියේය. නමුත් අද වන විටත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඇති බවක් දක්නට නොලැබේ. 
 
 අන්තවාදීන්ගෙන් මේ රටට වන හානිය වැළැක්වීමට නම් ඔවුන්ගේ ආගමික මිත්‍යා දෘෂ්ටික මතවාද බිඳ දැමිය යුතුය. සහරාන්ලා ඇතුළු පිරිසකට මිනිසුන් ඝාතනය කර ඔවුන්ගේ අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට තරම් පහත් මානසික තත්ත්වයක් ඇති වූ මානසික කි‍්‍රයාවලියෙන් මුස්ලිම් ප‍්‍රජාව බේරා ගැනීමට මුස්ලිම් ආගමික නායකයන් ඉදිරියට ආ යුතුය. ඒ සඳහා අවැසි කථිකාව නිර්මාණය කර 
 
 ගැනීමට බෞද්ධ, හින්දු, කතෝලික ඇතුළු අන්‍යාගමික නායකයෝ ද එක්කර ගත යුතුය. ඒ සඳහා රජයෙන් අවශ්‍ය මග පෙන්වීම කළ යුතුය. නමුත් අදත් එවැන්නක් සිදුවන බවක් නොපෙනේ. දීර්ඝකාලීනව අප රටට අන්තවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජනය වළක්වා ගැනීමට නම් අප ඉහතින් සඳහන් කළ කථිකාව වහාම ආරම්භ කළ යුතුය. එසේ නොමැතිව යම් සිද්ධියක් පිළිබඳව පමණක් එල්ලී සිටීමෙන් අවශ්‍ය සංහිඳියාව රටට ලැබෙන්නේ නැත.
 
 විශේෂයෙන් මෙහිදී වඩා සැලකිලිමත් විය යුතු කාරණයක් ද තිබේ. ඒ අන් කවරක්වත් නොව ජාතික ආරක්‍ෂාවයි. පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ බෝම්බ ප‍්‍රහාර මාලාවට ගොදුරු වූයේ ද ජාතික ආරක්‍ෂාව පිළිබඳව අඩු තක්සේරුවෙන් කටයුතු කළ නිසාවෙනි. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට මෙරට සියලූ බුද්ධි අංශ වඩා සකී‍්‍රය කළ යුතුය. නමුත් පසුගිය කාලයේදී බුද්ධි අංශ අඩපණ කළ බවට නැගෙන චෝදනා බැහැර කළ නොහැක. එනිසාම අප රටේ සංහිඳියාව ඇති කිරීමට නම් ජාතික ආරක්‍ෂාව අංක එකට තබා කටයුතු කළ යුතුය. සාමයෙන් තොර සංහිඳියාවක් නොමැති සේම අන්තවාදීන්ගෙන් නිදහස් නොවුණු රටකද සංහිඳියාව දැකිය නොහැක. එනිසා මේ මොහොතේ වත්මන් පාලකයෝ සංහිඳියාව නමැති වචනය විකෘති නොකර එය සැබෑ ලෙස අප මාතෘභූමිය තුළ ස්ථාපිත කිරීමට පියවර ගත යුතුව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress