ගෝඨාට එරෙහි නඩුවේ විනිසුරු මඬුල්ල පක්ෂග්‍රාහියි
Posted on June 2nd, 2019

කමල් මහේන්ද්‍ර වීරරත්න උපුටාගැණීම  මව්බිම

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති නඩුවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හැසිරී ඇත්තේ උගත් විනිශ්චය මණ්ඩලයක් හැසිරිය යුතු ආකාරයෙන් නොවන බවත්, එම චෝදනා විභාගයට එරෙහිව ඉහළ අධිකරණයකට යොමු කිරීම සඳහා භාරදෙන ලද අභියාචනය සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීමේ අවස්ථාව වත් ලබා නොදී නිල මැදිරියේ සිටම එය ප්‍රතික්‍ෂේප කිරීම තුළින් විනිශ්චය මණ්ඩලයේ පක්ෂග්‍රාහී භාවය තහවුරු වන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (30දා) අභියාචනාධිකරණය හමුවේදී කියා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කර සිටියේ, තම අභියාචනය භාරනොගෙන ප්‍රතික්‍ෂේප කිරීම නීතියට පටහැනි බව පවසමින් එකී නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ආරක්‍ෂක ලේකම්  ගෝඨාභය රාජපක්‍ෂ මහතා යොමුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම කැඳවනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙසේද කියා සිටියේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයේ මෙම නියෝගය සම්පූර්ණයෙන්ම එම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයත් එකී ත්‍රිපුද්ගල මහාධිකරණයත් පිහිටුවීමට උපයෝගි කොටගෙන ඇති 2018 අංක 09 දරන පනතේ දැක්වෙන නීති ප්‍රතිපාදනවලට පවා පටහැනිය. එහි 12 (ආ) (1) යටතේ ගන්නා ලද නිගමනයක් අනුව මෙම නියෝගය නිකුත් කළ බව එකී නියෝග පත්‍රයේ සඳහන් කොට ඇතත්, එම පනතේ දැක්වෙන නීති ප්‍රතිපාදනවලින් දැක්වෙන්නේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 හා 451 යටතේ දැක්වෙන නීති ප්‍රතිපාදනවලින් ප්‍රකාශ වන්නේත්, ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයක් අභියෝගයට ලක්කළ යුත්තේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට වන අතර එය විභාග කළ යුත්තේද විනිසුරුවරුන් 05 දෙනකුට නොඅඩු විනිශ්චය මණ්ඩලයක් හමුවේ වන අතර ශ්‍රී  ලංකාවේ අභියාචනාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138 වැනි වගන්තියෙන් ප්‍රකාශ කොට ඇති පරිදි නිසඟයෙන්ම (අනිවාර්යයෙන්ම) පවරා ඇති අධිකරණ බලය අහිමි කළ නොහැකි බවද කියා සිටියේය.

තවද ප්‍රථම කොටම යම් තීන්දුවක් හෝ දඬුවමක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පාර්ශ්වයකට ඊට ඉහළ අදාළ අධිකරණයක් වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති මූලික හිමිකම අහිමි කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට කිසිදු  ආකාරයක නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.

දෙවැනුව එසේ ක්‍රියාකිරීම සඳහා කිසිදුම ආකාරයක ව්‍යවස්ථාමය ඉඩප්‍රස්තාවක්ද නැත.

තෙවැනුව පාර්ශ්වකරුවකු විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනයක් කිසිදු කරුණු ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් හෝ ලබා නොදී හිතුවක්කාරව අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට හැකියාවක්ද කිසිදු අධිකරණයකට නොමැත.

එබැවින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් 2019 පෙබරවාරි 18 වැනි දින පෙත්සම්කාර ගෝඨාභය රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය භාරගත නොහැකි බවට ප්‍රකාශ කරමින් දෙන ලද ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය බලරහිත බව ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. වැඩිදුර විභාගය ජුනි මස 06 වැනි දිනට නියම විය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

One Response to “ගෝඨාට එරෙහි නඩුවේ විනිසුරු මඬුල්ල පක්ෂග්‍රාහියි”

  1. Dilrook Says:

    The court has jurisdiction on the matter. Let the court decide.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress