ජනාධිපතිතුමාට විනාඩි පහකින් රිෂාඩ් බදියුදීන් ඇමැති ඉවත් කරන්න පුළුවන්
Posted on June 2nd, 2019

සංවාදය – අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

ඔබලාගේ කණ්ඩායම මේ දිනවල මත ඉදිරිපත් කරන්නේ ගොඩක් සතුටින් නේද?

එහෙම සතුටක් නෑ. හැබැයි බොහොම ලොකු හිතේ වේදනාවක් සහ රටට සිදුවන මේ අනතුර ගැන දැඩි කම්පනයකට ලක්වෙලා වගේම මේ කාලසීමාව තුළ ඉතාම ක්‍රියාකාරීව වේගවත් කරලා තියෙනවා අපේ දේශපාලනය. ඒ වගේම මේ ආණ්ඩුව විසින් කළ අනවශ්‍ය කටයුතු පිළිබඳව දැඩි ලෙස ජනතාව දැනුවත් කරනවා.

කුමන්ත්‍රණයකින් හදාගත් බව කියන ඔබලාගේ දින (52) ආණ්ඩුව අසාර්ථක වූ පසු, දේශපාලන වශයෙන් හාන්සි වී සිටි මොහොතක මේ බෝම්බ පිපිරීම ඔබලාට හොඳ උත්තේජනයක් වුණා නේද?

ඒක මං සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි කුමන්ත්‍රණකාරීව ආණ්ඩුවක් ගත්තෙ නෑ. විධායක ජනපති ලෙස එතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලයක් එතුමා ක්‍රියාත්මක කළා. එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරලා තිබුණා. නමුත් ඒ වනවිට හාන්සි වෙලා සිටි විපක්‍ෂයට ආණ්ඩු බලයත් ලැබෙන්නේ නෑ. අපි ඉතාම ශක්තිමත් තැනක හිටියේ. ඒවගේම ඒ දින 52 ක්‍රියාකාරිත්වය තුළ ඒ ආණ්ඩුවෙන් පස්සෙත් අපි නැවත වේගවත්ව අපේ කටයුතු කරගෙන යනවා. අපට මේ බෝම්බ පිපිරීම සම්බන්ධව කාලකණ්ණි සතුටක්” නැහැ. නමුත් අපි රටට වෙන අනතුර සම්බන්ධයෙන් දිගින් දිගට කියපුවා අද රටේ ජනතාව ඉස්සරහා සාක්ෂාත් වෙලා තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන්, මධුෂ්, සහරාන්, රිෂාඩ්, වෛද්‍ය සාෆි වගේ ලබන සතියේ මොකක්ද හිට් වෙන මාතෘකාව?

අපිට හිතාගන්න බෑ. විවිධ චරිත විවිධ ආකාරයෙන් කරළියට එනවා. මේ කියන අවිනිශ්චිත ව්‍යාකූල දේශපාලන තත්ත්වයත් වර්තමාන රජයේ තිබෙන ඉතා අඥාන දේශපාලන ක්‍රියාකාරිත්වයත් තුළින් ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දී තිබෙනවා.

කොහොම වුණත් ඒකාබද්ධ විපක්‍ෂය සති දෙක, තුනකට වතාවක් රටේ හිට් වෙන මාතෘකාවක් කරළියට ගේනවා. මේ සිදුකරන්නේ ඔබලාගේ ගිලිහුණු බලය පිළිබඳ වේදනාවන් පහ කර ගැනීමේ ක්‍රියාදාමයක්ද?

බලයෙන් ගිලිහුණු වේදනාව නෙමේ… බලය ගිලිහුණාම අපි අවුරුදු පහක් කොහොමත් විපක්‍ෂයේ ඉන්න ඕනෑ. විපක්‍ෂයේ කාර්ය්‍යභාරය අපි හරියට කරලා තියෙනවා. එහෙට මෙහෙට පනින්නේ නැතුව ආණ්ඩුවට තවදුරටත් හීලෑ කරගන්න නොහැකි ප්‍රබල විපක්‍ෂයක් අපි. ඇත්තටම අපි ලොකු සතුටකින් ඉන්නේ. මොකද අපිට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට හිමි නියම තැන ලැබී තිබුණේ නැහැ. නමුත් අද අපි බොහොම ශක්තිමත්ව රට ඉල්ලන නායකයෙක් එක්ක විපක්‍ෂ නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ විපක්‍ෂයේ භූමිකාව බොහොම තදින් අපි ක්‍රියාත්මක කරනවා.

නමුත් මේ බෝම්බ ප්‍රහාරයට මූලිකවම වගකිවයුත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා බවයි බොහෝ දෙනා කියන්නේ. වගකිවයුත්තන් පැත්තක සිටිද්දී ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඔහු පතුරු ගහන එක සාධාරණද?

ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනෑ මේ බෝම්බ පිපිරවීම පිටුපස ඒ සිදුවූ ක්‍රියාදාමයත් එක්ක රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සහ ඔහු විසින් ප්‍රබල ලෙස අන්තවාදීන් පෝෂණය කිරීමක් කළ නිසා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී තිබෙනවා. අපි කිසිලෙසකින් බැහැර වීමක් සිදුකරන්නේ නෑ මේ බෝම්බ පිපිරවීම, රට අස්ථාවර වීම, ආගමික අන්තවාදීන්, ඉස්ලාම් අන්තවාදීන් වහබ්වාදීන් පෝෂණය කිරීම සම්බන්ධව කිසිසේත්ම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බේරිය නොහැකියි. සමස්ත ආණ්ඩුවම මේ ක්‍රියාදාමය සම්බන්ධ සම්පූර්ණ වගකීම භාරගත යුතුයි. ශ්‍රීලනිපයත්, එජාපයත් 50% බැගින් මේ වගකීම භාරගත යුතුයි. අපි එයින් ආණ්ඩුව කිසිසේත්ම බේරන්න උත්සාහ කරන්නේ නෑ.

සිදුවීම සිදුවන විට රටේ ආරක්‍ෂක අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහෙම නම් ඇයි ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් හෝ තවම ඉදිරිපත් නොවන්නේ?

දෝෂාභියෝග ක්‍රියාදාමය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ බහුතරය අස්සන් සහිතව කථානායකවරයාට ඉදිරිපත් කරලා කථානායකවරයා එය පිළිඅරගෙන, නැවත ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කරලා, නැවත 2/3 ක්‍රියාදාමයකින්, මං හිතන්නේ ඒ ක්‍රියාදාමයත් එක්ක දෝෂාභියෝගයක් සම්මත කිරීම අපහසු වගේම සංකීර්ණ කටයුත්තක්. ඒවගේම මෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම යනු ජනාධිපතිවරයා පමණක් ඉලක්ක කරගැනීමක්. අපි මේ විශ්වාසභංග යෝජනාව රජයට එරෙහිව නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ප්‍රධාන වගඋත්තරකාරයෙක් වෙච්ච බෙදුම්වාදය පෝෂණය කරන ප්‍රධාන කණ්ඩායමක් හැටියට එක්සත් ජාතික පක්‍ෂය මේ ප්‍රශ්නෙන් ගලවලා නිදහස් කරන පිරිසක් හැටියටම නෙමේ, අපි ප්‍රහාරය එල්ල කරන්නේ අගමැති, ජනාධිපති දෙන්නටම.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ඔබලාගේ ආණ්ඩුවේත් වසර 10ක් ඇමැතිකම් දැරුවා. ඒ කාලේ ඔය කියන අන්තවාදීන් පෝෂණය සුළුවෙන් හෝ නොතිබෙන්නට බැහැ. එදා ඔහුගේ කිසිම වැරැද්දක් තිබුණේම නැද්ද?

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා වාර ගණනාවකදී ඇමැති ධුර අපේ රජය තුළ දරා තිබෙනවා. අද හිතලා බලන්න රිෂාඩ් ඇමැතිට ඔහුගේ අමාත්‍යාංශය යටතේ ප්‍රධාන ආයතන 46ක් පවරා තිබෙනවා . ඒ අතරට මාස දෙකකට පෙර අගමැතිවරයා යටතේ පැවැති වෘත්තීය පුහුණු හා නිපුණතා කටයුතු ඇමැතිකමක් පැවැරුවා. අපේ ආණ්ඩු තුළ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා හිටියට ඔහුට ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිකම තුළ හෝ එවැනි අන්තවාදය, බෙදුම්වාදය සම්බන්ධව මූලික කිසිදු කරුණක් අපේ බුද්ධි අංශවලට අසුවෙලා තිබුණේ නැහැ. ඒ වගේම බුද්ධි අංශය හොඳින් එදා ක්‍රියාත්මක වුණා. බදියුදීන් ඇමැතිවරයා සාමාන්‍ය ඇමැතිවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ සිටියා විනා ඔහු ප්‍රධාන භූමිකාවකට අපි ගෙන ආවේ නෑ. එවැනි බලතල ඔහුට පාවිච්චි කරන්න ලැබුණේ නැහැ.

නමුත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ ඔහු යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි අංශය තමයි හො¼දම බුද්ධි අංශය කියලා. එහෙනම් කිසිදු තොරතුරක් නොලැබෙන්න හේතුවක් තිබිය යුතුයි නේද?

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු අපි බලයෙන් පහවෙලා ගිහින් අවුරුදු හතර හමාරක් වෙනවා. මාස තුනක් ඇති කුමන්ත්‍රණය සැලසුම් කරන්න. මේ සිදුවීමේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගත යුත්තේ පවතින ආණ්ඩුවමයි. මේ සිදුවූ සිදුවීමට කොච්චර දක්‍ෂ බුද්ධි අංශ තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවැනි වගකීමක් පැවැරුණේ නැහැ.

අද රටේ ජනාධිපතිවරයා ඉන්නේ විපක්‍ෂය සමඟ. ඉතින් රිෂාඩ් ඇමැතිවරයා ඉවත් කරන්න විශ්වාසභංග යෝජනා ගෙනත් වටෙන් යනවට වඩා ඔබලාට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ හැකියි නේද එක පෑන් පහරින් රිෂාඩ් බදියුදීන් වහාම ඉවත් කරන්න කියලා?

ඒක තමයි මම කියන්නේත්. අපි ඉල්ලීමක් කළ යුතු නැහැ. ඊට එහා ගිය වගකීමක් ජනාධිපතිතුමාට තියෙනවා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැතිවරයා හැටියට, පත්වීම් බලධාරියා හැටියට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙර එය කළ හැකිව තිබුණා. මොකද ආණ්ඩුවට සහාය දෙන ශි්‍රල.නි.ප. කණ්ඩායම මේ විශ්වාභංග යෝජනාවට සහාය දෙනවද නැද්ද කියලාවත් තීරණයක් තවම අරගෙන නැහැ. එච්චර දඟලන්න ඕනෑ නැහැ. ජනාධිපතිතුමාට තව විනාඩි පහකින් රිෂාඩ් බදියුදීන් ඇමැති ඉවත් කරන්න පුළුවන්. විශ්වාසභංග යෝජනා අවශ්‍ය නෑ. නමුත් ජනාධිපතිතුමා එය නොකරන තත්ත්වය තුළ මුස්ලිම් අන්තවාදීන් සහිත මුස්ලිම් ජනසමාජයේ ඡන්ද ටික පිළිබඳවත් ජනාධිපතිතුමාට ආසාවක් ඇති. ඒක තමයි ප්‍රධාන දේ.

ඒ කියන්නේ ඔබ මේ මොහොතේ ජනාධිපතිවරයාට ඍජුවම චෝදනා කරනවා?

පැහැදිලිව චෝදනාවක්. ජනාධිපතිවරයා මීට වගකිව යුතුයි. 

ඉතින් විපක්ෂය හැටියට ඔබලාට ජනාධිපතිවරයාගෙන් මේ ගැන සෘජු ඉල්ලීමක් කළ හැකියි නේද?

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ලෙස අපි කොහොමත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ රැස්වෙලා දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ. අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ත්‍රස්තවාදය තිබිච්ච අවස්ථාවේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිම විපක්ෂයක් නොදුන්න ආකාරයේ සහයෝගයක් අපි මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කරන්න, රට සාමකාමී කරන්න අවශ්‍ය සහයෝගය අපි ආණ්ඩුවට දුන්නා. හැබැයි ඒ දුන්නෙත් මේ රටේ තියෙන ව්‍යාකූල තත්ත්වය අවසන් කරන්න මිසක් ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොවේ. අපි කිසිසේත්ම ආණ්ඩුව පවත්වාගෙන යන්න එක තත්පරයක්වත් ඉඩ දෙන්නෙ නෑ.

මේක විහිළුසහගත ක්‍රමවේදයක්. අද රටේ ජනාධිපති ඉන්නේ විපක්ෂය සමඟ. නමුත් ජනාධිපතිවරයා මේ සිදුවීමේදී ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න නැහැ වගේම විපක්ෂයට හැකියාවකුත් නෑ ඔහු අදාළ කටයුතුවලට යොමු කරවන්න. කොහොමද ජනතාව ඔබලා කෙරේ විශ්වාසය තබන්නේ.

ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්නවයි කියන තර්කය කිසිසේත්ම සාධාරණය කළ නොහැකියි.

ඔබ එහෙම කිව්වට හිටපු ජනාධිපතිවරයාම ප්‍රකාශ කළා මේ පාලනය ඉදිරියට ගියාට රටේ ජනාධිපති අද ඉන්නෙ විපක්ෂය සමඟ කියලා.

සමහර අවස්ථාවල සමහර ප්‍රශ්නවලදී ජනාධිපතිතුමා සහ අපි එක මතයකට එක ස්ථාවරයකට ඇවිත් කටයුතු කරන අවස්ථා තිබෙනවා. හැබැයි ඕගොල්ලො අමතක කරන්න එපා හැමදාම අඟහරුවාදා දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලාසනය දරන්නෙ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ආණ්ඩුව පැත්තෙ ඉඳලා සමහර වෙලාවට ආණ්ඩුවට ගහනවා. ඒක ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තරවල සහ ප්‍රතිඵලවල උපක්‍රමික වැඩපිළිවෙළක්. නමුත් මේ විශ්වය තුළ බිහිවෙච්ච අරුම පුදුම ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. ජනාධිපතිවරයා ආණ්ඩුවට විරුද්ධයි. අගමැතිවරයා ජනාධිපතිවරයාට විරුද්ධයි. නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රිවරු ආණ්ඩුවට විරුද්ධයි. මෙහෙම ආණ්ඩුවක් මේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙනවා කියලා අපට හොයාගන්න ලැබිලා නැහැ.

මම සෘජු පිළිතුරක් අපේක්ෂා කරනවා. මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ක්‍රියාමාර්ගයකට යනවාද?

නෑ. දැනට අප තුළ එහෙම සාකච්ඡාවක් කිසිසේත්ම සිදුවී නැහැ.

එහෙම නොකරන්නෙ ජනාධිපති ඔබලා සමඟ සිටීම තුළ නේද?

මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව රටට සහ රට අනාරක්ෂිත, ව්‍යාකූලත්වයට පත් කිරීම සම්බන්ධව සමස්ත යහපාලන ආණ්ඩුවම වගකිව යුතුයි. ඒ වගකීම සමස්ත ආණ්ඩුවට පවරනවා මිසක් සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා දෙසට පමණක් හරවන්න කරුණු කාරණා නෑ වගේම අපි එහෙම සූදානමකුත් නැහැ. මොකද දෝෂාභියෝගයක් ගෙන ඒම හා සාර්ථක කරගැනීම ඉතා සංකීර්ණයි. අපි දැක්කා ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව ගෙනාපු දෝෂාභියෝගයට අවසානයේ සිදුවූ දේ.

බැසිල් රාජපක්ෂ මහතා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කෙරේ වෙනත් ස්ථාවරයක සිටියදී ඊට පෙරමුණ ගත්තේ විමල්, ගම්මන්පිල වැනි මන්ත්‍රිවරු. මේක හරියට ගොනාට කලින් තිරික්කලය ගියා වගේ වැඩක් නේද?

ඒ කරන ප්‍රකාශ සමහර වෙලාවට යම් යම් පුද්ගලයන් විසින් යම් යම් ආකාරයට මතු කළ දෙයක්. මොකද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම්වලට සෑම සතියකම සහභාගි වන කෙනෙක් සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රිවරයෙක් හැටියට මං ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියට එතුමා කොයි වෙලාවකවත් විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. එතුමා පෙන්වා දුන්නා විශ්වාසභංග යෝජනාව ගෙන එන්නෙ නම් ගෙන එන්නෙ මේ ක්‍රියාමාර්ගවලට අනුව මෙය සාර්ථක කරගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ගැන. මටත් චෝදනාවක් තිබුණානේ.

ඔව්. ඔබත් මුලින් මීට විරුද්ධ බව මාධ්‍යයේ පළ වුණා.

ඔව්. සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා කිව්වා රංජිත් සොයිසා විශ්වාසභංග යෝජනාවට ඡන්දය දෙන්නෙ නැහැයි කියලා. මම කිව්වා, මම ඡන්දෙ දෙන්නෙ නැහැයි කියලා කිව්වෙ, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා කීවේ, මහනායක හිමිවරුන් ඉදිරිපිට හා මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අඩු කරනවා කිව්වේ අතුරලියේ රතන හිමි. උන්වහන්සේට විශ්වාසභංග යෝජනා ගේන්න කිසිම අයිතියක් නැහැ. මොකද උන්වහන්සේ තවමත් ඉන්නේ එජාප මන්ත්‍රිවරයෙක් ලෙස. ඒ වගේම රිෂාඩ් බදියුදීන් ඇතුළු ඒ අන්තවාදීන් එක්ක ආණ්ඩු කරපු කෙනෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 ගල්ලෙන බිඳලා ලෙන්‍ෙදාර ඇරලා සිංහ පැටව් ටික එළියට අරන් මහින්ද මහත්තයා ගෙදර යවන්න මුල්වෙච්ච කෙනෙක්. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ආරක්ෂා කළ ආරක්ෂක කඳවුරේ හිටපු කෙනෙක් රතන හාමුදුරුවෝ. එතකොට මේ බෝම්බ පිපිරීමත් එක්ක සිංහල බෞද්ධ සමාජය, සිංහල ක්‍රිස්තියානි සමාජය, දෙමළ ක්‍රිස්තියානි සමාජය ඔක්කොම එක කඳවුරකට එනකොට සමහර උදවියට දේශපාලන වශයෙන් යන එන මං නැතිවුණා. අර කඳවුරේ අනුකම්පාව ලබාගන්න දැන් ආණ්ඩුවට එරෙහිව පහර දෙනකොට මේ ජයග්‍රාහී සටනේ කොඩිය අතේ තිබිය යුත්තේ යහපාලනය ගෙනා අය අත නොව යහපාලනයට විරුද්ධ වූ අය අත කියන ස්ථාවරයේ මං ඉන්නවා.

ඔබලා රිෂාඩ් ඇමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ හැකියි කියලා විශ්වාසද?

ඒ අරමුණ ජයග්‍රහණය කර ගැනීම සඳහා විශාල උත්සාහයක් ගන්නවා වගේම ආණ්ඩුව පැත්තෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. කවදාවත් විශ්වාසභංග යෝජනාවක චෝදනා පරීක්ෂා කරන්න තේරීම් කාරක සභා පත් කරලා නැහැ. දැන් තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ අතර ජයම්පති වික්‍රමරත්න මහතා කියනවා මේක ඕනෑම මන්ත්‍රිවරයෙක් සම්බන්ධව පරීක්ෂා කරන්න පුළුවන් කියලා. මේක කල්මැරීමක් කරලා එජාපයේ කතෝලික ජනතාව නිහඬ කරලා. මේ දවස්වල කෝටි ගණන් සල්ලි මලු එහාට මෙහාට මන්ත්‍රිවරුන්ගෙ ගෙවල් ඉස්සරහා කරකවන චෝදනාව මං කරනවා. ඒ මන්ත්‍රිවරුන් බිලිබාගන්න සහ විවිධ වරප්‍රසාද දෙන්න, ප්‍රාඩෝ එකක් තියෙන කෙනාට රජය ගානේ බෙන්ස් කාර් එකක් දෙන්න, බෙන්ස් කාර් එකක් තියෙන කෙනාට මොන්ටේරෝ එකක් දෙන්න වැනි විවිධ වරදාන වරප්‍රසාද මන්ත්‍රිවරුන් හරහා කරකැවෙනවා. ඒ කොහොම නමුත් අපි විශ්වාස කරනවා හෘද සාක්ෂියක් තිබෙන නිරෝෂන් පෙරේරා වැනි එජාපයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ යම් එකිනෙකා ඉදිරියට ඇවිත් කියනවා, ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ හින්දා අපි විශ්වාසභංග යෝජනාව රජයට ප්‍රබල බලපෑමක් වගේම ඉදිරි දින කිහිපය ඇතුළත රටේ ජනමතය අවදි කරලා අපි විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් එක්ක රටම පෙළ ගස්සනවා මෙය ජයගහණය කරවීම සඳහා.

ඔබ මන්ත්‍රිවරුන් බිලිබාගන්න ප්‍රකාශයක් මතු කළා. දින 52 ආණ්ඩුවට ඇමැති රිෂාඩ් ගෙන්වා ගැනීමටත් ඔබලා ලොකු ගේම් එකක් දුන්නා නේද?

රිෂාඩ් ඇමැතිවරයා සහ තවත් මේ ආණ්ඩුව ආරක්ෂා කරන ප්‍රබල ඇමැතිවරු. ඒ වගේම දැන් ජනාධිපතිවරණ, මැතිවරණ සටන තුළ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඉන්න කෙනෙක්. තාත්තා සහ පුතා. ආණ්ඩුවට විරුද්ධව බොහෝ දෙනෙක් ඇවිල්ලා එක චෝදනාවකට ලක් වෙලා ඇමැතිකම නැතිවූ මන්ත්‍රිවරයෙක් මේ කට්ටිය ඇවිත් කතා කළා දින 52 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාවේ ඉතා පැහැදිලිව ඒක ඒකාබද්ධ විපක්ෂය විසින්ම ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි දින 52 ආණ්ඩුවට බහුතරය ලබාගන්න බැරිවුණේ.

මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති රවි කරුණානායකට ඊට පසු 113 බහුතරය පෙන්වීමට අදාළව ඔබලා ඉදිරිපත් කළ විශ්වාසභංගය හැසිරවූ ආකාරය රටම දැක්කා. අන්තිමට රිෂාඩ් බදියුදීන්ගේ විශ්වාසභංග යෝජනාවත් එවැනිම නාටකයකින් කෙළවර වෙයිද?

රිෂාඩ් අමාත්‍යවරයාට ගෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වගේම මේ රටට, ජනතාවට ඇළ‍ෙදාළට, ගහකොළට, සතා සීපාවාට ආදරේ කරන හැම මන්ත්‍රිවරයකුටම වගේම හෘද සාක්ෂියක් ඇති සෑම මන්ත්‍රිවරයකුටම යුතුකමක් තිබෙනවා මේ වෙලාවේ රට වෙනුවෙන් හරි පැත්තේ හිටගැනීමට. සල්ලිවලින් කරකැවෙන අය ඒ පැත්තෙ හිටගනියි. රට වෙනුවෙන් හිටගන්න අය හරි පැත්තෙ හිටගනියි.

ඒ වගේම රිෂාඩ් ඇමැතිවරයා සිටින ආණ්ඩුවක විමල්, ගම්මන්පිල මන්ත්‍රිවරු සිටගන්නේ නැති බව කියනවා. ඔබත් ඒ ලැයිස්තුවේද?

ඉතාමත්ම පැහැදිලිව අපි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට ඉල්ලීමක් කළා කුමන හේතුවක් නිසාවත් නොබෝ කාලයකින් බලයට පත්වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවක රිෂාඩ් බදියුදීන් අන්තවාදීන් ආගම්වාදීන් ඇතුළත්  වෙච්ච ආණ්ඩුවකට අපි ඔවුන්ගේ සහයෝගය ගන්නෙ නෑ කියනවා වගේම එවැනි අය ඇතුළත් කළ ආණ්ඩුවක් හැදුවොත් විමල්ලා, ගම්මන්පිලලා එක්ක රංජිත්   සොයිසාලාත් එළියේ.

නමුත් සුළු පක්ෂ නොමැතිව කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ?

සුළු පක්ෂ ඔක්කොම අන්තවාදී, වහබ්වාදීව කටයුතු කරන්නෙ නෑ. රාවුෆ් හකීම් මුස්ලිම් සුළු පක්ෂ නායකයෙක්. ඔහුට මේ චෝදනා කවුරුත් ඉදිරිපත් කරන්නේ නෑනේ. ඒ වගේම තොණ්ඩමාන් මහතාත් එහෙමයි. අපි කියන්නෙ  සුළු පක්ෂ නැතිව තනිකර සිංහල බෞද්ධ රජයක් ගොඩ නඟනවා කියන එක නෙවේ. සුළු ජාතිකයන් සිටින ඒ පක්ෂ අනාදිමත් කාලයක සිට අපේ රටේ හිටියා. 

අපි විරුද්ධ ආගම්වාදයට හෝ  අන්තවාදයට මිසක මුස්ලිම් ජන සමාජයකට නෙවේ.

 හිස්බුල්ලා, අසාද් සාලි වැනි ආණ්ඩුකාරවරුන්ට ප්‍රබල චෝදනා තිබෙනවා. ඒ අය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ඉන්න හින්ද ඔවුන්ට විපක්ෂයෙන් තෙරපුමක් නැත්තේ?

නෑ. අපිට විශ්වාසභංග යෝජනාවක් හෝ එවැනි යෝජනාවක් අසාද් සාලි හා හිස්බුල්ලාට ගෙන ආ නොහැකියි  ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන තත්ත්වයක් තුළ. හැබැයි අපි හැමතිස්සේම කියනවා අසාද් සාලි වැනි එදා 2014 අධිකරණය  ඉස්සරහා තමන් කළ වැරැද්දක් කියලා පිළිඅරගෙන අන්තවාදය, ප්‍රචණ්ඩත්වය වැරැද්දක්  කියලා පිළිගත් කෙනකුට මෛත්‍රිපාල සිරිසේන ජනපති ආණ්ඩුකාර තනතුරක් ලබා දීම ඉතාමත්ම නොකළ යුතු වැරැදි සහගත දෙයක් බව මම අදත් කියනවා. හිස්බුල්ලාට චෝදනාවක් තිබෙනවා නැඟෙනහිර පළාතෙන්ම වහාම ඒ තනතුරින් පහ කළ යුතුයි කියලා. පහකළ යුතුයි පමණක් නොව මද්‍රසා පාසල් වැනි කරුණු හරහා ඔවුන් අධිකරණයට ගෙන ආ යුතුයි. එය ඉතිහාසයේ කෙදිනක හෝ සිදුවන දෙයක්.

ඔබලා පුන පුනා කියනවා ඔබලා පිහිටුවන ආණ්ඩුව නීතිගරුක හා යුක්තිගරුක බවින් යුතු ආණ්ඩුවක් බව. හැබැයි මිනුවන්ගොඩ  සිදුවීමේදී ඔබලාගේ පාර්ශ්වය නියෝජනය කරන මධුමාධව අරවින්ද අද වන තුරුත් පොලිසිය මඟහැර සැඟවී සිටිනවා. කොහොමද එවැනි කණ්ඩායමක් සමඟ එවැනි ගමනක් යන්නේ?

පැහැදිලිව මධුමාධව අරවින්ද සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් හෝ  පොලිසිය හරහා සොයා බැලීමක් කළ පමණින් ඔහු වැරැදිකරුවෙක් කියන නිගමනයට අපිට  පැමිණිය නොහැකියි.

 එහෙනම් ඇයි ඔහු පොලිසිය මඟහරින්නේ?

නෑ. මධුමාධව අරවින්ද සම්බන්ධව උදය  ගම්මන්පිල මන්ත්‍රිවරයා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළා. ඔහු ඔහුගේ දිවුලිපිටියෙ  හදන නව නිවෙසට යනවා. එතැනට යනකොට  යන්න බැරිව මාර්ග බාධක ඇවිත් තියෙනව. එවිට මට යන්න ඉඩ දෙන්න කියලා තියෙනවා. එතැනදී වීඩියෝ කරලා මධුමාධව අරවින්ද මීට සම්බන්ධයි කියලා.  දැන් ඔබට මම මතක් කරනවා 1983 කළු ජූලිය. එය නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම එවකට බලය හොබවපු එක්සත් ජාතික පක්ෂ  ආණ්ඩුව. හැබැයි අවුරුදු 35කට පස්සේ හැමදෙනාම කියනවා 83 කළු ජූලිය නිර්මාණය කළේ ජේ.ආර්. ප්‍රමුඛ එජාපය කියලා.

හැබැයි එදා ජවිපෙ ඇතුළු පක්ෂ 3ක් තහනම් කිරීම නිසා මේ රටේ විශාල පිරිසකගේ  ජීවිත නැති වුණා. හැබැයි අද ඔප්පු වෙලා තියෙනවා  83 කළු ජූලියට ජවිපෙ සම්බන්ධ නෑ කියලා. ඒ පක්ෂ නායකයා මරා දැම්මෙත් මේකට සම්බන්ධයි කියලා. හැබැයි අද ඔප්පු වෙලා තියෙනවා ඔහු නිර්දෝෂියි කියලා. ඒ වගේම මධුමාධව අරවින්ද සම්බන්ධවත් අනාගතේ තීරණය කරයි ඔහු වැරැදිකරුද නිවැරැදිකරුද  කියලා.

 ඒවගේම වඳ සැත්කම් සම්බන්ධව වෛද්‍ය සාෆි සිද්ධියත් එක්තරා රංගනයක් බවට මතයක් සෑදී තිබෙනවා. ඇත්තටම මෙය රංගනයක් නෙවෙයිද?

මේක රටේ පුවත්පතක් විසින් මතු කළා. ඊට පස්සේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නිර්දය ලෙස මේ පුවතට පහර දුන්නා. කොයි රෝහලේද මොකක්ද, කොයි පළාතේද මේක වහාම හෙළිදරව් කරන්න කියලා. මේක රංගනයක් කිව්වා. හැබැයි ඊට පස්සේ තමයි ඒ පුවත්පත සියලු විස්තර සමඟ සියල්ල ඉදිරිපත් කළේ. බොහෝ පැමිණිලි අම්මාවරුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. දැන් ඒ වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වී තිබෙනවා. කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටුව ගැන අපේ කිසිම විශ්වාසයක් නෑ කියලා කුරුණෑගල මහ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා කොන්ද පණ ඇතිව එවැනි තීරණයක් ප්‍රකාශ කිරීම ගැන. නිවැරැදි කමිටුවකින්, නිවැරැදි අධිකරණයකින් විමර්ශනය කර ඒ වෛද්‍ය සාෆිට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බරපතළ අපරාධයක්. මේ ආකාරයේ අපරාධයක් සිදුවුණා නම් දෙවැනි ලෝක සමයේ හිට්ලර්ලා ළඟ හිටපු ජාතියේ වෛද්‍යවරුන් තමයි රිෂාඩ්ලා, සාෆිලා, සහරාන්ලා, අසාද් සාලිලා, හිස්බුල්ලා වැනි අය. 

නමුත් අපිට තර්ක කළ හැකියි සාෆි වැනි වෛද්‍යවරුන් ඕනෑ තරම් ලංකාවේ සිටිය හැකියි කියා. මං මෙවැනි තර්කයක් කරනවා. සිංහල වෛද්‍යවරියක් හරහා මුස්ලිම් අම්මාවරුන් මෙලෙසම වඳ සැත්කමකට භාජන කළොත් ඒ මුස්ලිම් අම්මාවරුන්ටත් පුළුවන් නේද මෙලෙස පැමිණිලි කරන්න?

ඉතා පැහැදිලිව, රටේ පවතින නීතිය අනුව පුළුවන් එවැනි දෙයක් කරන්න. නමුත් එවැනි පැමිණිල්ලක් කිසිම තැනකින් ඉදිරිපත් වී නැහැ. ජාතිකත්ව පදනම ජාතිවාදී මානසිකත්වයකින් මෙවැනි සාහසික අපරාධවලට සම්බන්ධ නම් පැමිණිලි කළ හැකියි.

ඔබටත් ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබෙනවා. පැල්මඬුල්ල පුහුඅරඹ රක්ෂිතයේ ඉඩම් ගනුදෙනුවක් ගැන. ඔබේ බිරියගේ නමින් ලබාගෙන තිබෙනවා කියන මේ ඉඩම් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියෙන් තහනම් නියෝගයක් පවා ආවා නේද?

එතැන බොහොම ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ. එකක් මට ඒ ආකාරයට පුවත්පත් හා ජනමාධ්‍ය මඟින් එවැනි චෝදනා එල්ල වී තිබෙනවා. නමුත් මට අයත් කිසිම දේපොළක් ඒ අතර නෑ. මගේ භාර්යාවට අයත් ඉතාම නිරවුල්ව නිවැරැදිව, නීත්‍යනුකූලව ඇය විසින් මිලදී ගත් ඉඩම් ප්‍රමාණයක ඉතා සුළු බිම් කොටසක් වගා සඳහා සුද්ධ කරලා තියෙනවා. රජයේ අපනයන බෝග ව්‍යාපෘති ආධාර හා මූල්‍ය ආධාර හා බැංකු ණයක් මත ගත්තේ.

මේ ඉඩම් ප්‍රවේණි ඉඩම් නේද? මේවා කොහොමද පවරා ගන්නේ?

නෑ. ප්‍රවේණි කියෙන්නේ ඉස්සර රජ කාලේ සන්නස් මඟින්, ඔප්පු මඟින් එක එක්කෙනාට ඉඩම් කොටස් දීලා තියෙනවා තමන් කළ රාජකාරි අනුව. හැබැයි එවැනි අයගෙන් මිලදී ගත් ඉඩම් කොටසක් නීත්‍යනුකූලව තමයි මිලදී ගෙන තිබෙන්නේ. ඒවා ප්‍රවේණි ඉඩම් බව ඇත්ත. ඒ වගේම මෙය රටේ ප්‍රධාන රූපවාහිනි නාළිකාවක දෙපාරක් ප්‍රචාරය කළා. මම අක්කර 118ක් සුද්ධ කරලා තියෙනවා. අර රිෂාඩ් බදියුදීන් විල්පත්තුව සුද්ධ කළා වගේ හැඟෙන ප්‍රවෘත්තියක් දුන්නෙ. ඉතා පැහැදිලිව හෙක්ටයාර් 1.1යි මම සුද්ධ කළේ අදාළ රජයේ ආයතනවල නිර්දේශ ඇතිව. ඒ භූමිය වම් පැත්තෙන් තව අය වගා කරලා තියෙනවා. දකුණු පැත්තෙ, උතුරෙන් හතර පැත්තෙම වගා කරලා තියෙන ඉඩම් මැද තමයි මම සුද්ධ කළේ. මට තිබෙන ප්‍රශ්නේ සියලු රාජ්‍ය ආයතන අර සම්බන්ධව අවධානය යොමු නොකර මා සම්බන්ධව පමණක් අවධානය යොමු කර කිසිම ලියවිල්ලක් මට නැතිව කිරීම ගැන මට කනගාටුයි. මම මධ්‍යම පරිසර අධිකාරියට කරුණු පැහැදිලි කළ පසු ඒ අය මට කනගාටුව ප්‍රකාශ කර ලිපියක් එවා තිබුණා. අපට මේක වරදක් සිදුව තිබෙනවා කියලා. මේ සිද්ධිය පිටුපස යම් ආකාරයක දේශපාලන වශයෙන් විරුද්ධ පිරිසක් සිටිනවා.

ඔබ නිර්දෝෂී නම් නීතිමය ක්‍රියාමාර්ගයට යා හැකියි නේද? 

ඉතා පැහැදිලිව මම නියමිත අවස්ථාව එන තුරු බලා සිටිනවා. මේ ගැන නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න. එසේ නැතහොත් මං බලාපොරොත්තු වෙනවා මේ පුවත්පත්වලට කියලා පත්තරවල නම කැත නොකර මේ කෑ කෝ ගහන පිරිස් වහාම අධිකරණයක් ඉදිරියට යන්න කියලා. එදාට මා හෝ මගේ ඉඩම අයත් භාර්යාව අධිකරණය ඉදිරියට ඇවිත් නිර්දෝෂීභාවය ඔප්පු කරන්න සූදානම්.

අවසන් වශයෙන් කියන්න ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. ඔබලාගේ සහාය දෙනවාද?

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා අපි සාකච්ඡාවක් ඒ ගැන කළා. අපි පැහැදිලිව තීන්දු කළා විශ්වාසභංග යෝජනාවට අපි සියලු දෙනාගේ ඡන්දය ප්‍රකාශ කළ යුතුයි කියා. ඊව්ඒ පසුපෙළ වැඩි පිරිසක් ඡන්දෙ දෙන්න දැනටම පොරොන්දු වී තිබෙනවා. එජාපයේත් කශේරුකාව සහිත මන්ත්‍රිවරු විවිධ ප්‍රකාශ කරනවා. ශ්‍රී ලනිපය තවම තීරණයක් නෑ. අපි දැනට විශ්වාසභංග 10ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය කඩුල්ල පනින එකක්. මෙයම ආණ්ඩුවේ අවසානය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

සංවාදය – අනුරාධා හේරත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress