ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..
Posted on June 4th, 2019

අරවින්ද අතුකෝරල

වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන් පණිවුඩ දෙක මෙන්න

ඊයෙ අපි දැක්කා ලස්සන නාට්‍යයක්. රජයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම සිය ඉල්ලා අස්වීම් ලබා දුන්නා. මේ හරහා ප්‍රබල පණිවුඩ දෙකක් මුස්ලිම් අමාත්‍යවරුන් මෙරටට ලබා දීලා තියෙනවා. පළවෙනි පණිවුඩය තමයි සිංහලයන් වෙත ලබා දුන් පාඩම. මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් සිය පක්ෂ භේද පසෙකින් තබා පක්ෂ හතරක මන්ත්‍රිවරුන් එකට එකතුවෙලා සාමූහික තීන්දුවක් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ට පක්ෂයට වඩා ජාතිය ආගම ලොකුයි කියන එක. විශේෂයෙන්ම හැමවෙලේම කුලල් කා ගනිමින් ජාතිය අමතක කර දමා බලය ගැන පමණක් සිතමින් කටයුතු කරන ඡන්ද කුට්ටි ගැන පමණක් සිතා දේශපාලනය කරන සිංහල දේශපාලකයන්ට මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඉගෙනගනිල්ලා යයි අපි ඉල්ලීමක් කරනවා.

දෙවනුව ඔවුන් ලබාදුන් පණිවුඩය සිංහල සමාජයට හා මුස්ලිම් සමාජයටත් ඉතාම ව්‍යාකූල වූ පණිවුඩයක්. මේ ප්‍රශ්නයේදී අපි දිගින් දිගටම කියූ දේ තමයි මේ මුස්ලිම් අන්තවාදීන් සිටින්නේ අතලොස්සයි, බහුතර මුස්ලිම් ජනතාව අහිංසකයි කියන එක. පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් විසි එක් දෙනෙක් හිටියාට, අමාත්‍යවරුන් නව දෙනෙක් හිටියාට, අප දින වකවානු නම් ගම් සහිත නිශ්චිත චෝදනා නගා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පමණයි. අපි අන්තවාදියා ඉලක්ක කරලයි එහෙම කළේ. කබීර් හෂීම් අමාත්‍යවරයාට අප චෝදනා කළේ නැහැ. රවුෆ් හකීම් අමාත්‍යවරයාට අප චෝදනා එල්ල කළේ නැහැ. අන්තවාදියා සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර ඉරක් ඇඳලා වෙන් කරලා කටයුතු කරන්න අප උත්සාහ කළා. හැබැයි රිෂාඩ් බදුර්දීන් කියන තමන්ගේ සගයාට අන්තවාදය පිළිබඳ චෝදනා එල්ල වෙද්දී ඔබ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී නම පිරිසිදු කර ගෙන එන්නැයි” උපදෙස් දෙනවා වෙනුවට අපේ එකෙක් මොනතරම් වැරදි කළත් ඔහුට අත තියන්නට අප දෙන්නේ නැහැ, ඔහු ඉවත් වෙනවා නම් අපද ඉවත් වෙනවා කියලා ඊයේ රටට දුන්න පණිවුඩය තමයි, මුස්ලිම් මන්ත්‍රිවරුන් අතර අන්තවාදීන් සහ සාමාන්‍ය මුස්ලීම් මන්ත්‍රිවරුන් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් නැහැ කියන එක.

මේ මුස්ලිම් මන්ත්‍රිවරු ඊයේ කළ ක්‍රියාව හරහා අන්තවාදීන් රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීම හරහා ඔවුන් අසරණ කලේ මෙරට අහිංසක මුස්ලිම් ජනතාව යි. මෙතෙක් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට සහාය දෙමින් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අනෙකුත් ජනතාව හා එක්ව උද්ඝෝෂණය කරපු කටයුතු කරපු මුස්ලිම් ජනතාව අන්ත අසරණ තත්වයට මුස්ලිම් දේශපාලඥයන් විසින් ඊයේ ඇද දමා තියෙනවා. අපි ඔක්කොම එකයි කියන පණිවුඩය යි ඊයේ මුස්ලිම් අමාත්‍යවරුන් රටට දුන්නෙ. ඒ පණිවුඩය නිසා මේ රටේ ජාතිවාදී ආගම්වාදී කල කෝලාහල ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි දෙයක් වුනොත්, මුස්ලිම් අන්තවාදයයි මුස්ලිම් ජනතාවයි අතර ඉරක් ගහල වෙන් කරන්න හදපු අපේ වෑයම වෙනස් කරලා සියලු දෙනාම එකයි කියන පණිවුඩය රටට දුන් මුස්ලිම් ඇමැතිවරුන් අනාගතයේ ඇතිවන කලබල පිළිබඳ වගකීම බාරගත යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress