රාවණ – 1 චන්ද්‍රිකාව ජුනි 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරිනවා
Posted on June 4th, 2019

මාත්‍ය සුජීව සේනසිංහ ප්‍රවෘත්ති නිවේදනය

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ  ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින්  ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු  විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙ බව ප්‍රකාශ කළේ ඊයේ දින එම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.  

අභ්‍යාවකාශ පර්යේෂණ  ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

 නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමකට (Cooperate Research Agreement) එළඹුනා. මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා එක් පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමිවුණා. ඊට අමතරව මුදල් ගෙවන සාමාජිකයෙකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනය විසින් එම ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු  තරිදු දයාරත්න මහතාවත් මේ කාර්යයට ඉදිරිපත් කළා. මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් පිරිණමා තිබෙනවා.”  

අමත්‍යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳව අමාත්‍යවරයා මෙසේ කරුණු පැහැදිලි කළේය.

මේ වන විට අප රට නැවත යථා තත්වයට පැමිණ තිබෙනවා. ඒ තුළ අප අමාත්‍යාංශය ලබන ජූලි මස 18 වන දින විද්‍යව, තාක්ෂණය, නවෝත්පාදන දැනුම සාමාන්‍ය ජනතාවට සමීප කරවන  ශිල්ප සේනා දැවැන්ත ප්‍රදර්ශනය කොළඹ දී ආරම්භ කරනවා. මෙම ප්‍රදර්ශනයේ දී, විද්‍යව හා තාක්ෂණය අංශ 12 වෙන්කර දැනුම ලබාදීම, නව නිපැයුම් 500 කට අවස්ථාව ලබාදීම, නිෂ්පාදන සඳහා ජනතාව දැනුවත් කරන පැකේජ 1000 ක් හඳුන්වා දීම, ආදී අවස්ථාවන් රැසක් ජනතාවට ලබාදීම අපේ අරමුණයි. ශිල්ප සේනා වැඩසටහන එක් මාසයකට එක් දිස්ත්‍රික්කයක ලෙස  දිවයින පුරා ක්‍රියාත්මක කිරීම හරහා දළ ජාතික නිෂ්පාදනය දෙගුණ කිරීමට අවස්ථාව ලැබෙන බව අප විශ්වාස කරනවා. ”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අධ්‍යක්ෂ හිමාලි අතාවුදගේ, ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

තක්ෂක හේමචන්ද්‍ර

ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress