ඉදිරි මැතිවරණය සදහා පුලුල් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලපුරයි
Posted on June 6th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුලුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබේ.
එහි එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  හා ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂ මුලස්ථානයේදි පැවැත්විනි.
අපි ගොඩනගන අනාගත රජයක් මගින් අධිරාජ්‍යවාදී බලපැම්වලින් ශ්‍රී ලංකාව බේරා ගෙන ජනතා හිතවාදී පාලනයක් මගින් රට සංවර්ධනය කිරීම සදහා යෝජිත අපේ වැඩපිළීවෙල මැයෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් සකස් කර ඇති පක්ෂයේ වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමද මෙහිදි සිදුවිය.
ඉදිරියේ බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සකස් කෙරෙන ප්‍රතිපත්ති මාලාවට මෙම යෝජනාවලියේ සදහන් කරුණුද ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන බව එහිදි බැසිල් රාජපක්ෂ මහතා සදහන් කලේය.
එකි ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමට පත්කර ඇති කමිටු සදහා ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතවරයෙක් සහභාගි කරවීමටද එහිදී එකගතාවයට පැමිණියේය.
එහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා
අද ලංකා සමසමාජ පක්ෂයට විශේෂ දවසක්. ආචාර්ය එන්.එම් පෙරේරා මහතාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අදයි. එවැනි දිනක අපේ පක්ෂ කාර්යාලයට පැමිණ අනාගත ශ්‍රී ලංකාවේ සුභසිද්ධිය වෙනුවෙන් දියත් කෙරෙන අපේ වැඩපිළීවෙලට සහාය දැක්වීම අගය කරනවා. ලංකා සමසමාජ පක්ෂය 2005 සිටම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතා හිතවාදි වැඩපිළිවෙලට සහාය දෙමින් ඒ රජයේ ප්‍රභල පාර්ශ්වයක් විදියට කටයුතු කළා.
රටේ සියලු ජාතීන් එකතු කරමින් ශ්‍රී ලාංකික ජාතියක් හදන්න කැපවුනු පක්ෂයක් විදියට ලංකා සමසමාජය පක්ෂය සලකන්න පුලුවන්. පසුගිය පලාත් පාලන මැතිවරණයේදී අපි එකමුතුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයක් ලැබුවත් සමහර ප්‍රදේශවල ජාතිවාදී වශයෙන් බෙදිම් තිබීම නිසා අපේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් සිද්ධ වුනා.
මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව පසුගිය මහින්ද චින්තනය වැනි ජනමුල ප්‍රතිපත්තියක් සැකසීම මේ දිනවල අපි ආරම්භ කර තිබෙනවා. ගමින්ගමට ගිහින් තොරතුරු ගන්නවා වගේම වැඩකරන ජනතාවගේ සහ ව්‍යාපාරිකයින් ආදි සෑම ක්ෂේත්‍රයකම ප්‍රජාවගෙන් ඒ සදහා අදහස් ගනිමින් පවතිනවා. අපේ මේ වැඩපිළීවෙලට ලංකා සමසමාජ පක්ෂයේ සහාය හිමිවීම ගැන සතුටුයි.
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අපි ඇඟයිමක් කළා. ඇමරිකාව මෙහෙයවන ජාත්‍යන්තර නව ලිබරල්වාදයේම වැඩපිළිවෙලක් විදියටයි අපි මෙය දකින්නේ. අධිරාජ්‍යවාදය මුල්කරගෙන මෙහෙයවන නව ලිබරල්වාදි වැඩපිළීවෙල ආපස්සට හැරවිම අවශ්‍යයි. බි්‍රතාන්‍ය සූරාකෑමෙන් මිදිලා දේශීය ආර්ථික බලයක් ස්ථාපනය කරලා දේශීය වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාම සිදුවෙමින් තිබියදී කුමන්ත්‍රණකාරී විදියට පැවැති මහින්ද රාජපක්ෂ රජය පෙරලන්න ඔවුන් පියවර ගත්තා. පසුගියදා සිදුවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයත් එහි දිගුවක්. ජනතා පදනම හිනවීම සහ මැතිවරණ පරාජය වළක්වාගන්න ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා රටේ අවුලක් හදලා ඔවුන්ගේ පාලනයක් පවත්වා ගෙන යන්න නිතිරිති පවා වෙනස් කරන්න මේ පාලකයෝ සූදානම්. මේ කුමන්ත්‍රණවලට යට නොවී ප්‍රගතිශීලී ආන්ඩුවක් පිහිටුවීම අවශ්‍යයි. ඒ සදහා ජනතාව තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වෙන වැඩපිළීවෙලක් ඉදිරිපත් කළ යුතුයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න මහතා සහභාගි වු අතර ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා,  ජාතික සංවිධායක බද්දේගම සමිත හිමියන්,  නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා, පාලක ලේකම් එස්. හපුආරච්චි යන මහත්වරුන් සහභාගි වූහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress