ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම ගැන මුනිවත රැක්කා නම් අගමැති වගකිවයුතුයි
Posted on June 8th, 2019

සංවාදය – අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

මේ වන විට අමාත්‍යාංශ ගණනාවක් හිස්ව තිබෙනවා. ඔබට නව ඇමැති ධුරයක් ගැන බලාපොරොත්තුවක් තිබෙනවද?

ඇත්තටම මේ අවස්ථාවේ ඇමැතිවරු ඉල්ලා අස්වුණේ සුවිශේෂී හේතුවක් නිසා. මං හිතන්නේ මේ වෙලාවේ ඒ හේතුව පදනම් කරගෙන අපි ඇමැතිකම් බලාපොරොත්තු වීම නොවෙයි කළ යුත්තේ. මම හිතන්නේ දැනට ඉන්න කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක්ට මේ ඉල්ලා අස්වූ ඇමැතිවරුන්ගේ වගකීම දැනට භාරදෙයි.

මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වීම හරහා ඇමැති රිෂාඩ් වැටෙන්න ගිය වළෙන් බේරගන්න උප්පරවැට්ටියක් නේද මේ යෙදුවේ?

අපේ කණ්ඩායම් රැස්වීමේදී කතා වුණ කාරණයක් තමයි රිෂාඩ් ඇමැතිතුමාට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා ඊට පස්සේ තව කෙනකුට ගේන්න ඉඩ තිබෙනවා කියලා. පොදුවේ අඩු වැඩි වශයෙන් මුස්ලිම් මැති ඇමැතිවරුන්ට ඇඟිල්ල දිගු වුණා. අනිත් එක ඒ හරහා සමාජයේ ඇතිවූ කතිකාවතත් එක්ක මුස්ලිම් ජන සමාජය විශාල වශයෙන් පීඩාවට ලක්වුණා. ඒ නිසා මුස්ලිම් ජන සමාජය පැත්තෙන් සියලුම මුස්ලිම් මැති ඇමැතිවරුන්ට විශාල පීඩනයක් එල්ල වුණා. ඒ පීඩනයත් එක්ක මේක සාමූහිකව ගත් තීන්දුවක්. ඉතින් මං හිතනවා කඩිනමින් මේ පරීක්ෂණ අවසන් කරලා වැරදිකරුවන් හා නිවැරදිකරුවන් හඳුනා ගැනීම කාටත් හොඳයි කියලා.

ඔබ කියනවා සියලුම මුස්ලිම් මැති ඇමැතිවරුන්ට පීඩනයක් එල්ල වූ බව. ඇත්තටම මේක පීඩනයක්ද එහෙම නැත්නම් “අපිට අත තිබ්බොත් අපි බලාගන්නම්” වැනි තර්ජනයක්ද?

නෑ. ඒ පීඩාව ආවේ මුස්ලිම් ජන සමාජයෙන්. මොකද මහනුවර සිද්ධියත් එක්ක විශාල වශයෙන් නැවත මුස්ලිම් සමාජයට තර්ජනයක් වුණා. ඔවුන් හිතුවා ඔවුන්ට නැවත ගහයි කියලා. ඔවුන් හිතුවා නැවත මෙය සිවිල් කෝලලාහයක් දක්වා වර්ධනය වෙයි කියලා. ඒ තත්ත්වය විශේෂයෙන් කඩ වහන්න මේ විදිහට තර්ජනය කරමින් යම් කිසි රැල්ලක් ඇති වෙමින් තිබුණා. ඒ රැල්ලත් එක්ක මුස්ලිම් ජන සමාජයට ආපු ප්‍රෙෂර් එක තමයි මං හිතන්නේ මෙවැනි තීන්දුවකට හේතු වුණේ.

ඔබේ පක්ෂයේ සභාපති කබීර් හෂීම් පවා ඇමැතිකමින් ඉවත් වීම තුළින් පෙන්නුම් කරන්නේ මෙය එජාපය දැනුවත්වම සිදු වූ දෙයක් බව නේද?

පක්ෂය දැනුවත්ව නෙමෙයි. මේ අය සාමූහික තීන්දුවක් ගත්තා. පක්ෂයට ඒක දැනුවත් කළා. පක්ෂය යම් විදිහකින් ඊට අවසරයක් දුන්නා වෙන්න පුළුවන්.

නමුත් කබීර් හෂීම් කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනම නියෝජනය කරන පුද්ගලයෙක්. අන්තවාදී ප්‍රශ්නයක් අල්ලාගෙන එජාප සභාපති ලෙස මන්ත්‍රි කබීර් හෂීම්ට තිබෙන අයිතිය මොකක්ද මෙහෙම ඇමැතිකමින් ඉවත් වෙන්න?

ඔහු ඉල්ලා අස්වුණා කියලා ඔහු නියෝජනය කරන ඔහුට සහාය දුන්නු සමස්ත සිංහල බෞද්ධ ජනතාවට අසාධාරණයක් වෙන්න එතුමා කටයුතු කරන්නේ නැහැ. එතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ. මං දන්නවා නිතරම දේශපාලන කටයුතු කරමින් ඒ ජනතාවත් එක්ක ඉන්න පුද්ගලයෙක්. ඉතින් ඇමැති තනතුරින් ඉවත් වුණා කියලා ඒ ජනතාවට කිසිසේත්ම අසාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඔබ ප්‍රකාශ කළා තවත් කෙනකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතයි කියලා. කවුද ඒ?

එහෙම නෙමේ, අපිට සැක කරන්න පුළුවන්. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනා එල්ල වුණා. තව කෙනෙක් ඉලක්ක කරලා මේ වගේ විශ්වාසභංගයක් ගෙන එන්න පුළුවන්නේ. මං හිතන්නේ ඒ අය ඒ ගැන තීන්දු කරන්න ඇති. ඊට පස්සේ සියලු දෙනාම ඉල්ලා අස්වෙලා අපි අතරින් කාට හරි චෝදනා තියනවා නම් ඒ පරීක්ෂණ සඳහා ඉඩකඩ දීලා ඒ සියලු දෙනාම ඒ පරීක්ෂණයෙන් පසුව වැරැදිකරුවන් හා නිවැරැදිකරුවෝ හඳුනා ගත්තට පසු නැවත ඔවුන් මැති ඇමැතිවරුන් විදිහට වැඩ භාරගෙන කටයුතු කරයි.

ඉල්ලා අස්වූ පසු නැවත මාසයකින් පමණ ඔවුන් ඇමැති ධුරවල පිහිටුවනවා. මෙවැනි රංගනවලින් ඇයි ජනතාව මුළා කරන්නේ?

ඒක රංගනයක් වෙන්නේ නෑ. ඒ අය නිවැරැදිකරුවෝ වුණාම කවුරු හරි වැරැදිකරුවකු හිටියොත් ඔහු නැවත ඇමැතිවරයෙක් බවට පත් වෙන්නේ නැහැ.

මං ඔබට පෙන්වා දෙන්නම්, රවි කරුණානායක ඇමැතිවරයා, විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වැනි අයට චෝදනා එල්ල වුණා. ටික කලක් ඇමැතිකම්වලින් ඉවත්ව සිටියට දැන් වෙද්දී ඔවුන් හොඳ අමාත්‍ය ධුර දරනවා. ඒකමද මේ වෙන්න යන්නේ?

ඉතින් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල වුණාට මේ කිසිවක් ඔප්පු වෙලා නැහැ.

නමුත් රවි කරුණානායක ඇමැතිවරයාට අල්ලස් ගැනීම සම්බන්ධව දැනටත් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මකව පවතිනවා?

ඔව් ඉතින්, ඒවා ඔප්පුවෙලා නෑනේ. ඒවා මාස ගාණක්, අවුරුදු ගාණක් යනකම් බලා ඉන්නේ කොහොමද? මහජන නියෝජිතයන් හැටියට රටේ ජනතාවගේ ඡන්දෙන් පත්වූ අය ලෙස ඔවුන්ට වගකීමක් පැවරී තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට ඉලක්ක වූ චෝදනාව පොදු සාධකයක් බවට පත්වීමට බලපෑ ආසන්නම හේතුව මොකක්ද?

ආසන්නතම හේතුව තමයි රතන ස්වාමීන් වහන්සේ නුවර කරපු උපවාසය හරහා විශාල පිරිසක් නැවත මුස්ලිම විරෝධී ජනමතයක් ගොඩනඟමින් රට පුරා කඩවල් වහන්න කියලා තර්ජනය කරමින් නැවත මුස්ලිම් සමාජයට ප්‍රහාර එල්ල කරන්න නැත්නම් පල්ලි කඩන්න, නැත්නම් කඩ ගිනි තියන තැනට තල්ලු වෙමින් තිබුණා. ඒ නිසයි මුස්ලිම් මිනිස්සු විශාල වශයෙන් තැති ගැන්මට ලක්වෙලා බයවෙලා ඒ මුස්ලිම් මැති ඇමැතිවරුන්ට ආ ප්‍රෙෂර් එකත් එක්ක ඔවුන් ඒ තීන්දුවට පැමිණියා.

ඔබ කුමන කාරණා පෙළගැස්සුවත් මේ වසර ජාතික මැතිවරණයකට නියමිත වසරක්. එවැනි තත්ත්වයක් තුළ අපිට හැඟෙන්නේ මේක එක්තරා ඡන්ද ගේම් එකක් හැටියට. මොකද මුස්ලිම් දේශපාලනඥයන් සියල්ල එක ගොඩේ දමා ඒ ඡන්ද මල්ලම එකම ගොඩට දාගන්න වෑයමක් නෙමෙයිද මේ සිදුවෙන්නේ?

ඡන්දයට එහා ගියා බරපතළ තත්ත්වයක් මෙතන තියෙනවා. මම නම් කියන්නේ මුස්ලිම් ජන සමාජයෙන් 99%කට වැඩි බහුතරයක් මේ පාස්කු ප්‍රහාරයට තමන්ගේ විරෝධතාව පළ කළා විතරක් නෙමේ ඒවාට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න, අඳුනා ගන්න ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වපු අය කවුද යන්න සොයා බැලීමට උදවු කරපු අය. ඒ නිසා එවැනි තත්ත්වයක අපි දැක්ක කාරණයක් තමයි මේ විදිහට ජාතිවාදයක් හරහා ඔවුන්ව යොමු කිරීමට කටයුතු කිරීම තුළින් ඔවුන් ඒ ජාතිවාදී පිලට එකතු වීමක් වෙන්නේ. උදාහරණයක් විදිහට 1983 කළු ජූලියෙන් අපි කළේ දෙමළ ජන සමාජයම ප්‍රභාකරන්ට භාරදුන්නු එක.

1982 වසරේ ද්‍රවිඩ මන්ත්‍රිවරුන් සියල්ල පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා. එතනින් පසුව ඇතිවූ ව්‍යසනය ඔබට මතක ඇති. එවැනිම දේක පෙරනිමිත්තක් නෙමේද මේ මුස්ලිම් මැති ඇමැතිවරු ඉවත් වීමම හරහා වෙනත් ආකාරයකින් පෙන්නුම් කරන්නේ?

නෑ. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නෑ. ඔවුන් පැහැදිලිවම ආණ්ඩුවෙන් ඉවත් වෙලත් නෑ. ආණ්ඩුවේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. විශේෂයෙන් මේ පැනනැඟුණ, මේ මතු වෙමින් තිබෙන මුස්ලිම් විරෝධය සමනය කරගන්න කරපු කැප කිරීමක් විධියට තමයි මම මෙය දකින්නේ.

ඔබ හිතනවාද රතන හිමියන්ගේ උපවාසය සාර්ථකයි කියලා?

ඇත්තටම රතන හාමුදුරුවන්ගේ උපවාසය මං දකින්නේ එක්තරා දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් කරපු කටයුත්තක් කියලා. රතන හාමුදුරුවන්ගේ දේශපාලන භාවිතය තුළින් මං මේ ස්වාමීන් වහන්සේ නමකට විධියට නෙවෙයි කියන්නේ උන්වහන්සේ දේශපාලනඥයෙක් විධියට පසුගිය අවුරුදු හතර, හතරහමාර තුළ උන්වහන්සේගේ දේශපාලන භාවිතාව අසාර්ථකයි. ඉතින් උන්වහන්සේට දැන් අවශ්‍යයි ඊළඟ වසරේ එන මැතිවරණයේදී නැවත ජනමතයක් නිර්මාණය කරගැනීමටත් ඊළඟ දේශපාලන ඉලක්ක කරා යෑමේ අවශ්‍යතාව සඳහා වටපිටාව හදා ගැනීමට. ඒ වෙනුවෙන් කළ උපවාසයක් හැටියට තමයි මම මෙය දකින්නේ. 

දින 52 ආණ්ඩුව තුළදී රතන හිමියන් නැවත ඔබලාට ආණ්ඩු බලය ලබාදීමට ප්‍රබල මැදිහත්වීමක් සිදුකළා. දැන් මෙවැනි චෝදනාවක් කිරීම අසාධාරණ නැද්ද?

නෑ. උන්වහන්සේ දේශපාලනඥයෙක් විධියට අපි දන්නවා ජාතික හෙළ උරුමය නියෝජනය කළේ. උන්වහන්සේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුණා. ඊට පසු අපි සමඟ ආණ්ඩුවේ යම් එකඟතාවක් එක්ක කටයුතු කළා. පසුව ආණ්ඩුවෙනුත් ඉවත් වුණා. ඉවත් වෙලා උන්වහන්සේ 2015 ප්‍රබල විධියට විවේචනය කරපු රාජපක්ෂ පිල සමඟ එකතු වුණා. ඒ නිසා මං හිතනවා උන්වහන්සේ දේශපාලන භාවිතය ඉදිරි දේශපාලනය සඳහා යොදා ගත් උප්පරවැට්ටියක් කියලා. 

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සිද්ධ කරන්න යන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්ද? ජනාධිපතිවරයත් සිද්ධ කරන්න යන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්න යනවා වගේ වැඩක්ද කියලා දෙපාර්ශ්වයම ගැටලුවකට මුල පුරලා ඇති බවයි සමාජ මතය. ඇත්තටම එතැන හිතන්න කාරණයක් තිබෙනවා නේද?

මෙහෙමයි. අපි කියන්නේ ජනාධිපතිවරයා යම් වැඩ කොටසක් කළා. හැබැයි ඒ වගේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර යම් යම් එකඟතාවකින් තොරව කටයුතු කිරීම හරහා රටට යම් කිසි පසුගාමී තත්ත්වයක් යම් යම් අවස්ථාවලදී ඇති වුණා. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී මම හිතනවා අපිට සිදුවෙයි අලුත් බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් තත්ත්වයකින් කටයුතු කරන්න. 

ජනාධිපතිවරයා මීට පෙර ජනාධිපති ලේකම්වරු ආරක්ෂක ලේකම් වැනි තනතුරු පෝලිමට මාරු කළා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාට ප්‍රබල චෝදනා එක පිට පැමිණෙද්දී ඇයි ඉවත් නොකරන්න කටයුතු නොකළේ. යම් තැනක හිරවීමක් හෝ බලපෑමක් පැවති නිසා නේද?

අපේ බලපෑමක් අනුව ජනාධිපතිවරයා කටයුතු කරන්නෙ නැහැ කියන්න හොඳම උදාහරණයක් තියෙනවා. ඒ ගිය අවුරුද්දේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය තුළින් අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉවත් කළා. ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ සහ ඔය අද විපක්ෂයේ කෑ ගහන බහුතරයක් ඇමැතිවරු ලෙස පත් කළා. ඒ නිසා මම හිතනවා එතුමාට රිෂාඩ් ඇමැති ඉවත් කරන්න හැකියාවක් තිබුණත් එහෙම අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මොකද රිෂාඩ් ඇමැතිතුමා සම්බන්ධ චෝදනා ඔප්පු නොවුණු කාරණා. එක්කෝ ඒවා මාධ්‍යවේදීන් නඟපු චෝදනා වෙන්න පුළුවන්. එක්කෝ වෙනත් විපක්ෂයේ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. ඉතින් ඔප්පු නොවුණු චෝදනා සම්බන්ධව එතුමාට තීන්දුවක් ගන්න අමාරුයි.

ජනතාව බොහොම කැමැත්තෙන් බලා සිටිනවා චෝදනා ලැබූ එක් දේශපාලනඥයෙක් හෝ අධිකරණය හමුවට කැඳවා දඬුවම් දීමක් සිදුවන තුරු. නමුත් ඔබ කියනවා චෝදනා ඔප්පු වන තුරු හිටියොත් මහජන නියෝජිතයන් හැටියට සේවයක් කරන්න කාලයක් නැති බව. ඔබේ තර්කයෙන් මුස්ලිම් මැති ඇමැතිවරු කණ්ඩායමක් බේරෙන හැඩක් පේන්න තිබෙන්නේ?

ඒක තමයි අපි ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ. කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකට එතුමාගේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීලා විශේෂයෙන්ම නිලධාරීන් තුන්දෙනෙක් පත් කරලා වෙනම කාර්යාලයක් පිහිටුවලා ඒ පරීක්ෂණ කඩිනම් කරන්න අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා.

දින 52 ආණ්ඩුවෙන් පසු එජාපය යම් නැඟිටීමකට පැමිණි බව ඔබේ පක්ෂයෙන්ම ප්‍රකාශ කරනවා. නමුත් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු ඒ නැඟිටීම සම්පූර්ණයෙන් සුනු විසුනු වුණා නේද?

බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජනතාව තුළ විශාල වෛරයක් ආණ්ඩුව සම්බන්ධවත්, දේශපාලනය සම්බන්ධවත් ඇති වෙලා තිබෙනවා. ඒක සාධාරණයි. විශේෂයෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරය ආගමික කණ්ඩායමක විශේෂයෙන්ම කිතුනු භක්තිකයෝ ඉලක්ක කළ ප්‍රහාරයක්. ඒ විරෝධය ආණ්ඩුවට විතරක් නෙවේ සමස්ත දේශපාලනඥයෝ සම්බන්ධවත් තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයෙන් මිනිස් ජීවිත 300කට අධික ප්‍රමාණයක් අහිමි වුණා. 500කට අධිකව ආබාධිත වී සිටිනවා. මෙවැනි තත්ත්වයක මුස්ලිම් ඇමැතිවරු නාමිකව ඉවත් වෙලා ඇමැති වරප්‍රසාද එලෙසම භුක්ති විඳිනවා. ඇයි අසරණ ජනතාව තවත් රවට්ටමින් හෑල්ලු කරන්නෙ?

වරප්‍රසාද තියෙනවාද නැද්ද කියන එක බලන්න තව දින කීයද ගතවුණේ?

නමුත් ඇමැතිකම්වලින් ඉල්ලා අස්වීම තුළම එම වරප්‍රසාදත් අහෝසි විය යුතුයිනේ?

අහෝසි විය යුතුයි. මං හිතන්නේ ඒවා අහෝසි වෙලාද නැද්ද කියලා ඉදිරි දින කිහිපය තුළ බලන්න පුළුවන්. තව ඒකට කල් වැඩියි. 

කොහොම කතා කළත් මේ දේශපාලන රංගනවලින් නම් ජනතාව තවත් තම්බන්න බැහැ නේද ඇමැතිතුමා?

කොහෙත්ම බැහැ.

සිදුවූ ව්‍යසන තත්ත්වය, ඒකට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ගත්තම අද රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයම ජනතාවට වහකදුරු වී හමාරයි. කොහොමද මෙවැනි තත්ත්වයක මැතිවරණයකට මුහුණ දෙන්නේ?

රනිල් වික්‍රමසිංහ විතරක් නෙවේ බහුතර දේශපාලනඥයන් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 225ම පෙන්නන්න බැරි තත්ත්වයක් තමයි වර්තමානයේ තියෙන්නේ. විශේෂයෙන්ම විපක්ෂය හිතාගෙන ඉන්නවා නම් එයාලට මේක හොඳ අවස්ථාවක් කියලා එහෙම නැහැ. නමුත් අපි දකිනවා මේ තත්ත්වය අපේ ක්‍රියාකාරකම් මත තීන්දු තීරණ මත අපිට වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඒකට අපිට ප්‍රමාණවත් කාලයක් තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කලින්ම බුද්ධි තොරතුරු නොලැබුණා යැයි දැන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ. නමුත් මේක වළක්වා ගන්න නොහැකි වුණේම ආණ්ඩුවේ පැවැති නොහැකියාව නිසා නේද?

මේක වළක්වා ගන්න නොහැකි වුණේ ආණ්ඩුවටත් එහා ගිහින් අදාළ නිලධාරීන් හා අදාළ බලධාරීන්ගේ නොහැකියාව මත. මොකද අපි දන්නවා විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය  හා සාමය ආමාත්‍යාංශය එක තැනකට සීමා වුණා දින 52 න් පසුව. ජනාධිපතිවරයා යටතට පත් වුණා. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු පිරිස මං  හිතන්නේ මෙහි වගකීම ගන්න ඕනෑ. අපි විශ්වාස කරනවා එහි වගකීම පවතින්නේ ඔවුන් සතුව කියලා. ඊට සාමූහික වගකීමක් තිබෙනවා. 

රටක ආරක්ෂාව, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළව පොලිසියට හා හමුදාවට පවතින්නේ යම් රාමුවක  පිහිටි කොටසක් පමණයි. නමුත් රටක ජාතික ආරක්ෂාව සැපයිය යුත්තේ පවතින ආණ්ඩුව. එවිට කොහොමද නිලධාරීන් ටිකක් ඉදිරියට දාලා අත පිහදාගන්නේ?

නිලධාරීන් විතරක් නොවේ. ආරක්ෂක ඇමැති ලෙස සිටි ජනාධිපතිවරයා මේ සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරුවා බව මං බය නැතිව කියනවා. ඒ වගේම අගමැතිතුමා ආරක්ෂක කවුන්සිලයට කැඳවලා නැත්නම් ඒ පිළිබඳව ඔහු මුනිවත රැක්කා නම් ඒ වගකීම අගමැතිවරයාට පැවරෙනවා.

 මුනිවත රැක්කා නම් කියලා අවිනිශ්චිතව කියන්නේ ඇයි? ඔබත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හැටියට අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුණාද නැද්ද යන්න නොදැන සිටින්න බැහැනේ ඇමැතිතුමා?

ඔහු වාඩි නොවුණා කියලා අපි දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ.

 ඒක බරපතළ වරදක් බව ඔබ දැන් පිළිගන්නවාද?

මං පිළිගන්නවා. එසේ වුණානම් ඒ සම්බන්ධව එතුමා අඩු තරමේ දැනුවත් කරන්න තිබුණා කැබිනට් මණ්ඩලය. එහෙම නැත්නම් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම.

පොලිස්්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීම, ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීම යන කාරණා දෙක ආන්දෝලනයට ලක්වුණා. ඒ ආන්දෝලනයත් එක්ක ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ චෝදනා යම් තරමකින් සමනය කරගන්න නේද  බැලුවේ?

නෑ. ජනාධිපතිවරයා පත් කරපු ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ආවාම අපිට පැහැදිලිවම හොයාගන්න පුළුවන්. හො¼ද ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයක්, හිටපු පොලිස්පතිවරයෙක්. ඒ තුන්දෙනාම සිටින කමිටුවක්. ඔවුන්ගේ කමිටු වාර්තාව එනතුරු අපි බලා ඉන්නේ. ඊට  අමතරව අපි පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළිනුත් අපිට ගොඩක් දේවල්  හෙළිකර ගන්න පුළුවන් වෙනවා සහ ඍජුව  වගකිවයුතු පුද්ගලයන් හඳුනාගන්න පුළුවන් වෙයි.

මෙපමණ චෝදනා රැසක් ජනතාවගෙන් ඔබේ ආණ්ඩුවට එල්ල වී තිබෙන මොහොතක නැවත ජන වරමක් ඉල්ලීම ගැනත් ඔබලාට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා නේද?

අපි පක්ෂයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී බොහොම උපාය මාර්ගිකව සැලසුම් සහගත වී තිබෙනවා. විශේෂයෙන්ම රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. ඒ තමා මේ රටේ අලුත් ගමන් මාර්ගයකට පිවිසිය යුතුයි කියන එක. ඒකට ගැළපෙන ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ සහ අපි සමඟ කටයුතු කරන අනෙක් පක්ෂ තුළ සිදුවුණේ නැත්තම් මං හිතන්නේ අපිට එය බලපාන තත්ත්වයක්.

බෝම්බ ප්‍රහාරයෙන් දින 19කට පසු නැවත ඔබේ ආසනය බිංගිරියෙන් අන්තවාදී ක්‍රියකාරකම් ප්‍රබලව සිදුවුණා. පැහැදිලිවම එය වළක්වා ගන්න හැකිව තිබූ සිදුවීම් පෙළක්. ඇයි මෙවැනි  දෙයක්වත් වළක්වා ගන්න බැරි වුණේ?

ඇත්තටම ඒවා සැලසුම් සහගතව ජනතාව කුපිත කරවන ආකාරයෙන් කළ කුමන්ත්‍රණයක්. පැහැදිලිවම මම දන්නවා එක්තරා ප්‍රදේශයක ආයුධ තියෙනවා කියලා ප්‍රචාරයක් ගියා. නාවික හමුදාව දවස් තුනක් පරීක්ෂණ පැවැත්වූවා. ඔවුන් ගියාට පසුව පසුවදා උදේ නාන මංකඩකදී  පතරොම් හම්බ වෙනවා. එතැන පැහැදිලිවම නාවික හමුදාවට අහුනොවුණේ ඒ වෙලාවේ ආයුධ තිබුණේ නැහැ. පහුවදා සැලසුම්සගතව මේ පතරොම් දානවා නාන මංකඩට තව පුද්ගලයෙක් අහුවන ආකාරයට.

ජනතාව කුපිත කරනවා. ඒ තුළින් තමයි ජනතාව ඒ ප්‍රදේශයේ තිබෙන මුස්ලිම් දේවස්ථාන කිහිපයකට පහර දෙන්නේ. ඒ නිසා මේ පිටුපස ඉතා පැහැදිලියි දේශපාලන කුමන්ත්‍රණ තිබූ බව.

 ඔබ කියන ඔය කුමන්ත්‍රණකාරී කණ්ඩායම විපක්ෂයේ වගේම ආණ්ඩුව පාර්ශ්වයේත් සිටින බවයි චෝදනා එල්ල වෙන්නේ?

ආණ්ඩුවක් හැටියට අපිට මේ රට අස්ථාවර කරන්න කිසිම වුවමනාවක් නැහැ. හැබැයි විපක්ෂයට වුවමනා වෙලා තියෙනවා රට අස්ථාවර කරලා, ජාති භේද ඇති කරලා ඒ තුළින් තමන්ට ඊළඟ දේශපාලන ඉලක්ක කරා යන්න පුළුවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.

නමුත් විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ නම් ප්‍රකාශ කරන්නේ ඔහුගේ මැදිහත්වීමෙන් තමයි රට ඒ මොහොතේ මෙලෙස හෝ සාමකාමී තත්ත්වයට පත් කළේ කියලා?

එතුමා ඉතින් මොනවද නොකියන්නේ. එතුමා ඉතින් හැමදාම බොර දියේ මාළු බාපු එක තමයි  කෙරුවෙ. මේවා සිදුවූ ප්‍රදේශවල ජනතාව දන්නවා මේ පිටුපස සිටියේ කවුද කියලා. 

ඔබට හිතෙන්නේ නැද්ද මේ විදිහට රටත්, ජනතාවත් තවත් අර්බුදයට පත් නොකර පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතුයි කියලා?

පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍යතාවක් නැහැ. ප්‍රධාන මැතිවරණය තමයි  ජනාධිපතිවරණය. ඒක තව මාස කිහිපයකින් එනවා. ඒ මැතිවරණයට මුහුණ දීලා ඊළඟට රට භාර දෙන්න ඕන කාටද  කියලා තීන්දු කරලා ඊට පස්සේ ඒ පත්වන පුද්ගලයාගේ කණ්ඩායමට පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයක් අත්පත් කරලා දුන්නා නම් මං හිතන්නේ තනි කණ්ඩායමකට ඉතිරි අවුරුදු පහ රට කරගෙන යන්න පුළුවන්.

 පවතින තත්ත්වයත් එක්ක මැතිවරණයක් කෙසේ වෙතත් ඔළු ගෙඩි සෙල්ලමකින් පමණයි නේද එජාපයට වෙනස්කම් කළ  හැකි වන්නේ?

කිසිසේත්ම පාර්ලිමේන්තුවේ අපට තිබෙන බහුතරය අහිමි වෙලා නෑ. ඒක අපට ඕනෑනම් හෙට අනිද්දා එන්න කියන විශ්වාසභංග  යෝජනාව හරහා  හොයන්න පුළුවන්. එහෙම ඔළු ගෙඩි සෙල්ලම් කරන්න අපිට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔළු ගෙඩි  සෙල්ලම් කළේ ඒගොල්ලෝ. එහෙම ඔළුගෙඩි  සෙල්ලම් කරලා දවස් 52 කුමන්ත්‍රණයක් කරලා කරලා තමයි මේ රට අස්ථාවර වෙන තැනට ආරම්භයක් ලබාදුන්නේ.

ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම එහි පිළිගත හැකි සාධාරණ කරුණු තිබෙනවා  නේද? 

සාධාරණ කාරණා තිබෙන්න පුළුවන්. නමුත් විශ්වාසභංගයකින් රට තවත් අස්ථාවර කරන එක නෙවෙයි වෙන්න ඕනෑ. මේ ඉදිරි මාස කිහිපය තුළ රට ස්ථාවර කරලා ජාතීන් අතර සමඟිය ඇති කරලා පැහැදිලි මැතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු අපි සූදානම් කරනවා.

ඔබේ ප්‍රදේශයත් අන්තවාදී ග්‍රහණයට හසුවුණා. අසරණභාවයට පත් ජනතාව වෙනුවෙන් ගත හැකි කඩිනම් විසඳුම් තවම හරියට  ක්‍රියාත්මක වී නැහැ. ඊට දැන් හෝ ක්‍රියාත්මක විය යුතුයි නේද?

නැති වූ මිනිස් ජීවිත අපට තවදුරටත්  අරන් දෙන්න බෑ. ඒ  වගේම පෑරුණු හදවත් ඒ වේදනාවට පත්වූ පවුල්වලට අපිට  කිසිසේත්ම සාධාරණයක් කරන්න බැහැ. නමුත් රජයක් විදියට අපිට කරන්න පුළුවන් යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. මං ඒවා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඔවුන්ට කරන සාධාරණයක් නෙවෙයි. මම අවසානයට අවධාරණය කරන්නේ නැවත  මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි කියලා.

සංවාදය – අනුරාධා හේරත් 

ඡායාරූපය – සහන් දහනායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress