ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනි නීතිපතිගේ කරුණු දක්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අතිරේක පෙත්සමක්…….!
Posted on June 11th, 2019

Law & Order

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දන්වා තිබියදී ජනාධිපතිවරයා වෙනුවෙන්  අධිකරණයේ පෙනී සිටින නීතිපතිවරයා එයට පටහැනි ස්ථාවරයක් ගනිමින් සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා නොදිය යුතු බවට ස්ථාවරයක් ගෙන ඇත. මෙය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධව වැරදි අදහසක් දැක්වීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.
ඒ මහතා ඒ බව ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව පවරන ලද SC/FR/357/18 නඩුවට අතිරේක පෙත්සමක් ගොනු කළ අවස්ථාවේ ය.
එම නීතිඥවරයා විසින් ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව ජනාධිපතිවරයා  විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR/357/18 නඩුව පවරා ඇති අතර ඒ නඩුව පවතිද්දී එම නඩුවට අයුතු බලපෑම්වන ආකාරයට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට ඉඩ දීමෙන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවට සහ අධිකරණයේ ස්වාධීනත්වයට අයුතු ලෙස මැදිහත්වී ඇති බවට  චෝදනා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව 107 ව්‍යවස්ථාව, 111(ඇ) ව්‍යවස්ථාව අදාලව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ කතානායකවරයාට එරෙහිවද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාල පෙත්සමක් ගොනු කර ඇති බවත්  එම කාරණා සහ එම නඩුවේ කටයුතු අවසන් නොවී තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018.12.13 දින තීන්දු ලබා දී තිබු බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
තමගේ SC/FR/357/18  මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාමට අදාල අවසරය ගැනීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.4 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ඉල්ලීමක් එම නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කර ඇත. එකී ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම 2019 ජනවාරි 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසුරුවරු ඉදිරියේ සිදුකර ඇති අතර සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ස්ථාවරය ගත් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.

සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ස්ථාවරය ගෙන තිබුණද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත 2019.03.15 දින අවශ්‍ය කටයුතු සදහා යොමු කර ඇත‍. ඒ සම්බන්ධව වූ ක්‍රියාවලියේ අවිධිමත් බව සම්බන්ධවද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් SC/FR/180/18 මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබූ අතර එම නඩුවේ මතුකර ඇති කාරණාවලට අදාලව නඩුව පවත්වාගෙන යාමට අවසර ලබා ගැනීමට එම නඩුව 2019 ජුනි මස 10 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රසන්න ජයවර්ධන, මෘදු ප්‍රනාන්දු සහ තුරෙයිරාජා යන විනිසුරුවරු ඉදිරියේ කැදවූ අවස්ථාවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ ස්ථාවරය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අවලංගු කරමින් ලබා දුන් තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට අදාලව SC/FR/357/18 නඩුවේ නියෝගයක් දීමට නියමිත හෙයින් මෙම නඩුව පවත්වාගෙන යාමට මූලික විරෝධය දක්වන බවයි. දෙපාර්ශවයේ කරුණුවලට සවන් දීමෙන් පසු නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පවරා තිබූ SC/FR/180/19 මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාමට අවසර ලබා නොදී නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළ බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.

සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දීමට නියමිත SC/FR/357/18  නඩුවේ නියෝගය ලබා දීමට පෙර SC/FR/180/19 මූලික අයිතිවාසිකම් නඩුවේ නියෝගය සහ නීතිමය තත්ත්වය SC/FR/357/18  නඩුවේ විනිශ්චයකාරතුමන්ලාගේ අවධානයට යොමු කිරීම යුක්තිය ඉටුකිරීමේ දී අවශ්‍ය බව දක්වමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අවශ්‍ය අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට අදාල ලේඛන ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව කරුණු තහවුරු කිරීමට SC/FR/357/18  නඩුව 2019 ජුනි 25 හෝ 2019 ජුනි 27 හෝ 2019 ජුනි 28 දින වලින් එකකදී කැදවන ලෙස ඉල්ලා අතිරේක පෙත්සමක් 2019 ජුනි 10 දින ගොනුකර ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීම සම්බන්ධව  ජනාධිපතිවරයා ගේ ස්ථාවරය සහ එයට එරෙහි නීතිපතිවරයාගේ ස්ථාවරයේ ඇති වෙනස්කම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරන බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress