ජාතිකවාදය ශාපයක්ද? ආශිර්වාදයක්ද?
Posted on June 16th, 2019

උපුටාගැණීම ලංකාදීප

ආගමෙන් බෞද්ධ වූ සහ ජාතියෙන් සිංහල වූ බොහෝ දෙනා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වග එකහෙළා පිළිගනිති. ව්‍යවස්ථාව යටතේ මෙසේ විය යුතු යයි නියම කර නැත. රාජ්‍යය බුද්ධාගම ආරක්ෂා කිරීමට හා ඊට අනුග්‍රහය දක්වන්නට ප්‍රතිඥා දී තිබුණ ද ව්‍යවස්ථානුකූලව මෙය එක් ආගමකට පමණක් අයත් නොවන රාජ්‍යයකි. ඒ අතර තමන්ට කැමැති ආගමක් ඇදහීමේ සහ ඊට අදාළ පිළිවෙත්හි යෙදීමේ නිදහස ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇත.

 එක් ආගමකට පමණක් අයත් නැත යන්න කඩදාසියට සීමා වූවක් ද?

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස නම් කරනු ලැබීමෙන් එය ලෝකයේ අනෙකුත් රටවලට වඩා වෙනස් රටක් බවට පත් නොවේ. එසේ වනුයේ බොහෝ රටවල් තම තමන්ගේ ව්‍යවස්ථාවල ඉස්ලාමීය ජනරජයක් ලෙස හෝ තමන්ට රාජ්‍ය බලය පවරන යම් ජනතාවකගේ ආගම් නාමයෙන් තමන්ගේ රට නම් කර තිබීමයි.

 ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන ඉන්දියාව ව්‍යවස්ථානුකූලව එක් ආගමකට පමණක් අයත් නොවන රාජ්‍යයකි. එහෙත් ප්‍රායෝගිකව එය බහුතර හින්දුන් විසින් පාලනය කරනු ලබන්නකි. එසේ වුව ද රටක් යම් විශේෂිත ආගමකට හෝ ජන වර්ගයකට අයත් ලෙස ආරෝපණය කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. එසේම එය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හානිකර දෙයක් ද නොවේ. ඒ අර්ථයෙන් ගත් කල හානිකර වනුයේ යම් නිල නොවන ආගමික පොලිසියකට නිදහසේ පුරවැසියන්ගේ හැසිරීම නියාමනය කිරීමට ඉඩ දෙමින්, වචනයෙන් හා ක්‍රියාවෙන් ඔවුන්ගේ නිදහසට බාධා කරන්නට ඉඩ දෙතොත් පමණි.

 ආර්ථික විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ නීතිමය පාලනයේ අසමත් භාවයක් ලෙසයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ දේපළ හිමිකම් පිළිබඳ අයිතිය උල්ලංඝනය වීමයි. අඛණ්ඩව මෙසේ සිදුවනවිට ජාතික රාජ්‍ය සංකල්පය සම්පූර්ණයෙන් බිඳවැටීමකට ලක්වේ. එම බිඳවැටීම සිදුවන්නේ මහා පරිමාණයෙනි. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ ඇති වූ සිද්ධි මෙම තරුණ සනාථ කිරීමේදී විපුල සාක්ෂි සපයා දෙයි.

ජාතිකවාදී වීමම ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු වීමක් නොවේ.

ජාතිකවාදය ප්‍රජාතන්ත්‍රවාදය ඔසවා තැබීමට දායක විය හැක්කේ කෙසේ ද යන්න ඊශ්‍රායලයේ හිටපු අධ්‍යාපන ඇමැතිනී යේල් ටමීර් (Yael Tamir)  2019 දී ලියූ ඇගේ  ‘Why Nationalism’ . නම් පොතේ සවිස්තරව දක්වා ඇත. අද කියන අයුරු ප්‍රජාතන්ත්‍රවාදය පැවැතීමට නම් රටක් නමින් හඳුන්වන භූමියක් තිබිය යුතුය.

 රටක් කියා දෙයක් නැත්නම් ජාතියක් ද නැත. ජාතිකවාදීව පොදුවේ එකට බැඳුණු ප්‍රජාවක් යම් තැනක විද්‍යමාන නොවේ නම් එතැන ජාතියකට (දේශයකට) පැවැත්මක් නැත. ජාතිකවාදය අහෝසි වී ගිය විට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අදාළ වූ සියලුම පූර්ව සාධක ද අහෝසි වී යයි. එම නිසා ජාතිකවාදී වීමම ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු වීමක් නොවේ. එය වැරැදි හේතු මත, වැරැදි ආකාරයෙන් භාවිත කළ විට පමණක් ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරකු බවට පත් වේ.
 නාසි ජර්මනිය දෙවැනි ලෝක මහා යුද්ධයේදී ක්‍රියා කළ ආකාරය මීට හොඳ උදාහරණයකි. එය ආරක්ෂාකාරී, ප්‍රතිගාමී ජාතිකවාදයක් ලෙස ටමීර් (Tamir) හඳුන්වා දී ඇත. එය කුමක්දැයි ඇය විස්තර නොකරන නමුත් එය පහත ආකාරයෙන් පැහැදිලි කළ හැකි වේ. එය ආරක්ෂාකාරී වන්නේ එය ක්‍රියාවේ යොදවන අය බාහිර ලෝකයෙන් තර්ජන එල්ල වී ඇතැයි සිතන නිසාය. සතුරන්ගෙන් බේරීම සඳහා ඔවුන් දැඩි ආරක්ෂක වැස්මක් (කබොල්ලක්) තමන් වටා නිර්මාණය කර ගනිති. එය ප්‍රතිගාමී වනුයේ එයින් මුළු ජාතියම ආපස්සට අදින්නට සැලසුම් කරන නිසාය. තමන් ජනතාව කොටුකර දැමූ දැඩි කබොල්ලට ඉන් අනතුරුව ජාතිකවාදය නම් ආලේපය ගල්වනු ලැබේ. ජාතිකවාදය, මුලින්ම අහිංසකය. එහෙත් පසුව ආක්‍රමණශීලීය.

ජාතිකවාදය මුලින්ම ඇරැඹෙන්නේ හානිදායක නොවන ආරක්ෂාකාරී ක්‍රියාවලියක් ලෙසයි. එහෙත් සියලුම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය ඒවා ආක්‍රමණශීලී බවට පත් වීමයි. එසේ වන්නේ ආරක්ෂාකාරී විලාසයෙන් කාලයක් පුරා යමක් පැවැතුණ හොත් එය ගොජ දමන්නට පටන් ගෙන අභ්‍යන්තර පුපුරා යාම නම් අවස්ථාවට පත්වීමයි. මෙම අභ්‍යන්තර පුපුරා යාමෙන් සමාජයේ කය ඇතුළතින් විනාශ වේ. පුපුරා යාම මුදාහැරෙද්දී සමාජය විනාශ වන්නට ගනිද්දී ඉන් ආරක්ෂා වීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියා හට ගන්නට ද පටන් ගැනේ. එම ප්‍රතිවිරුද්ධ ක්‍රියා ආක්‍රමණශීලී ආකාරයකට පරිවර්තනය වේ. මහා පිපිරීමක් (ස්මෝටනයක්) එවිට පිටතට විද්‍යමාන වේ.

 අභ්‍යන්තර පිපිරීම් සහ පිටතට විදාරණය වන පිපිරීම් යන දෙවර්ගයම සමාජ ප්‍රගතියට හානිකර වේ. අභ්‍යන්තර පිපිරීම් මගින් සමාජය අකර්මණ්‍ය වීමත් ප්‍රතිගාමී වීමත් සිදුවේ. පිටතට විහිදෙන පිපිරීම් මගින් එය කුඩු පට්ටම් වේ. ඒවා සමාජය තුළ බොහෝ කල් පවතින්නට ඉඩ දුනහොත්, ඒවා ඉදිරියට යන සමාජයක සතුරන් බවට පත්වීම නොවැළැක්විය හැකිය. එසේම ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් බවට ද පත්වේ. ජාතිකවාදය නිතරම හවුල් වන්නේ යම් සංස්කෘතියක් සමඟයි. සිංහල බෞද්ධ හෝ ඉස්ලාම් අන්තවාදී සංස්කෘතිය අවසානයේ සංස්කෘතික ජාතිකවාදයක් ලෙස පිටතට දිස් වේ. තමන්ගේ ප්‍රතිවිරුද්ධවාදීන්ට එරෙහිව ඒවා සංස්කෘතික අන්තර්ජාතිකවාදය බවට ඒකරාශි වේ. විවිධ ගෝලීය සංස්කෘතික ක්‍රියාකාරකම් හා ඒවා සම්මිශ්‍රණය වේ.

සංස්කෘතික ජාතිකවාදය යනු කුමක් ද?

සංස්කෘතික ජාතිකවාදය යනු එක් ජන සමූහයක්, රටක් තුළ හෝ ගෝලීය වශයෙන් වෙනත් රටක් තුළ වෙසෙන වෙනත් ජන සමූහයකට වඩා තමන් උසස් යැයි අතිශයෝක්තියෙන් යුතුව හා ආධානග්‍රාහීව උද්දාමයෙන් යුතුව සිතාගෙන කටයුතු කිරීමයි. මෙසේ උසස් යැයි සිතාගෙන සිටීම අනාරක්ෂිත හැඟීමකට මග සාදයි. මෙම අනාරක්ෂිත හැඟීම මගින් සැකයටත් ආරක්ෂාකාරී ක්‍රියාවලියටත් මඟ පාදයි. ප්‍රතිවිරුද්ධවාදියාගේ ක්‍රියා හමුවේ ආරක්ෂණ ක්‍රියාමාර්ග අන්තයට යයි. තමාගේම සමූහයෙන් පරිබාහිර අයකුගේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුකොට ගෙන ඔහු විනාශ කළ යුතු සතුරකු වශයෙන් සැලකේ.

 සංස්කෘතික ජාතිකවාදී හැඟීම උච්ච අවස්ථාවට ගිය විට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් එකිනෙකා හා සටන් වදී. ආගම්වාදීහු අනෙකුත් ආගම්වාදීන් හා සටන් වදිති. බහුතර සමූහයක් ඉන්නා යම් ජාතියක් අනෙකුත් ජාතීන් හා සටන් වදී.
 යම් සමූහයක් සතු ශක්තිය, උපානැණ, දුෂ්කරතා විඳගැනීමේ හැකියාව, සම්පත් ආදී සියල්ල මෙහිදී වැය වෙන්නේ තමන්ගේ උන්නතිය උදෙසා නොව භීෂණය ඇතිකරන්නටත්, ලේ හළන්නටත්ය. එම සටන්වල අනිවාර්ය ප්‍රතිඵලය එයයි. ආර්ථිකය පැත්තෙන් ගත් විට එය පුද්ගල නිපුණතා, දක්ෂතා සහ සම්පත් අනවශ්‍ය ලෙස නාස්ති කර දැමීමකි. එය අනවශ්‍ය බරක් දරා ගැනීමක් ලෙස සැලකේ.

 සංස්කෘතිය ස්ථාවර නැත. එය වෙනස් වෙමින් පවතී.

 සංස්කෘතිය යනු යම් නිශ්චිත ජන සමූහයකගේ හැසිරීම යනුවෙන් සරලව දැක්විය හැකිය. ඔවුන් කෙසේ කුමක් ආහාරයට ගන්නේ ද යන්නත් ඔවුන් තම දූ දරුවන් හදා වඩා ගන්නේ ද ඔවුන් ක්‍රීඩාවේ නිරත වන්නේ කෙසේ ද ඔවුන්ගේ කලා ශිල්ප කෙබඳු ද ඔවුන්ගේ ඇදහීම් හා චාරිත්‍ර විධි කෙසේ වේ ද යනු එම හැසිරීම් ලක්ෂණ කිහිපයකි. එම හැසිරීම් ලක්ෂණ කාලයත් සමග නොවෙනස්ව පවතී යැයි බලාපොරොත්තු වීම අනුවණකමකි

 අලුත් දැනුම, අත්දැකීම්, අලුත් සොයා ගැනීම් සමඟ සංස්කෘතිය නිරන්තර වෙනස් වීමකට ලක් වෙමින් පරිණාමීය ක්‍රියාවලියකට භාජන වෙයි. මෙම පරිණාමීය ක්‍රියාවලිය තුළින් යන අයට මෙම වෙනස්වීම නොතේරේ. එහෙත් එසේ නොවන අයට සිදුවන මෙම නිරන්තර වෙනස්වීම් තර්ජනයක් සේ හැඟේ. ඔවුන්ට දැනෙන්නේ තම පැරැණි සංස්කෘතිය විනාශ වෙමින් ඒ මත නව සංස්කෘතියක් ගොඩනැඟෙන බවය. ඕනෑම සංස්කෘතියක කාලයත් සමඟ එම වෙනස්වීම් හටගැනීම ස්වභාවිකය. සංස්කෘතික ජාතිකවාදය, එම පැරැණි සංස්කෘතිය, නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ දරයි. ඊට පක්ෂග්‍රාහීව කතා කරන අයගේ කැමැත්ත වන්නේ එයයි. වෙනත් වචනවලින් කිවහොත් ඔවුනට ඕනෑ කාලයන්ත්‍රය ආපසු හරවන්නටය. මේ වනවිටත් අතීතයට එක්ව ඇති යුගයට ආපසු යන්නටය.

කලක් නිදමින් හිඳ සංස්කෘතියේ වැරැදි සෙවීම

ඉහත කී සමූහ දෙක අතර වෙනස පහත සඳහන් උපකල්පිත අවස්ථාවෙන් තේරුම් ගත හැකි වේ. වර්ෂ 1900 දී මිනිසකුව අල්ලාගෙන ඔහුව දීර්ඝ නින්දකට ඇද දමා 2019 වසරේදී ඔහුව අවදි කොට විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ළඟදී මුදාහරිනවා යයි සිතමු.

 දැන් ඔහුට කුමක් සිතේ ද? ඔහුට අමුත්තක් දැනේවි ද? නැතහොත් සොබාවිත ගතියක් දැනේවි ද? අනිවාර්යයෙන්ම තමා වටා ඇති හැමදේම මිනිසුන් අඳින පළඳින හැටි, කන, බොන, ඇවිදින, කතා කරන හැටි හැමදේකම අමුත්තක් ඔහුට දැනෙනු නියතය. තමන්ට සුපුරුදු සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඔහුට දැනෙනු ඇත. එම සංස්කෘතිය නැවත ස්ථාපිත කිරීම උදෙසා ඔහු සටන් වදිනු ඇත. සංස්කෘතිය වෙනස් වනවාට විරුද්ධ වන අය වටපිටාවේ සිදුවන කිසි දෙයක් අවධානයට නොගෙන නින්දේ ගැලී උන් අය වෙති.

අමර්ත්‍යා සෙන් සංස්කෘතික ජාතිකවාදය ගැන කී දේ.

 නොබෙල් ත්‍යාගලාභී අමර්ත්‍යා සෙන් මෑතකදී ඉන්දියාවේ සංස්කෘතික ජාතිකවාදයේ නැගීම පිළිබඳව විග්‍රහ කරමින් පොත් දෙකක් පළ කළේය. 2005 හිදී පළ කළ පළමු පොත ‘The Argumentative Indian Writing on Indian Culture, History and  Identity (විවාදශීලී ඉන්දියානුවා, ඉන්දියානු සංස්කෘතිය, ඉතිහාසය හා අනන්‍යතාව පිළිබඳ රචනයක්) නම් විය. 2006 දී ලියූ අනෙක් පොත  ‘Identity and Violence the Illusion of Destiny (අනන්‍යතාව සහ ප්‍රචණ්ඩතාව ඉරණම පිළිබඳ මායාවය.) විශිෂ්ට කෘතියක් වූ මෙහි ඔහු ඉන්දියානු අත්දැකීම් මොනවට විග්‍රහ කරයි. අද ශ්‍රී ලංකාව තුළ අත්දකින දෑ ඊට කෙතරම් සමාන්තර වේදැයි යම් අයකුට මැන බලාගත හැකි වේ.

ඉතිහාසය අලුතෙන් ගොතන  BJP  යේ දෘෂ්‍යමාන හස්තය

‘The Argumentative Indian’ කෘතියේ භාරත ජනතා පක්ෂය  (BJPය) 1970 දශකයේ මැද භාගයේ පැරැණි හින්දුත්වා ව්‍යාපාරය (ඉන්දියාවේ ඉන්දියානු අනන්‍යතාව තහවුරු කරනු සඳහා 1970 ගණන්වල තිබූ ව්‍යාපාරය) කළාක් මෙන් පැරැණි හින්දුවාදය යළි නගාසිටවූයේ කෙසේ ද යන්න පැහැදිලි කර දෙයි. එම ව්‍යාපාරයේදී ඓතිහාසික කරුණු හා සාක්ෂි අලුතෙන් ගොතමින් ඉතිහාසය අලුතෙන් නිර්මාණය කරනු ලැබුවේ බලය හා ප්‍රචණ්ඩතාව මධ්‍යස්ථ හින්දු මතධාරීන් වෙත යොදවමිනි. අනෙකුත් ආගමික හා වාර්ගික කණ්ඩායම්වලට ද මෙම බලපෑම එල්ල විය.

 විවිධ ආගමික ඇදහීම්, විවිධ භාෂා කතා කරන ජනවාර්ගික කණ්ඩායම් ඉන්දියාවේ සිටියදී, හින්දුත්වා ව්‍යාපාරය ඉන්දියාව හින්දු රටක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළේය. ඉන්දියාව විශේෂයෙන් හින්දුන්ට පමණක් අයත් දේශයක් ලෙස කියා පාන්නට, එමගින් ඉන්දියානු ඉතිහාසය අලුතෙන් ලියනු ලැබුවේය. ඉන්දියාවේ මහා හින්දු දර්ශනය තහවුරු කරනු සඳහා වැදගත් පූර්ව අවශ්‍යතාවක් ලෙස එකී කරුණු කියා පෑවේය.

මෙම කාරණා, වෙනත් රටවල ඉන්දියානු ඩයස්පෝරාවල සහයෝගය හින්දුත්වා වෙනුවෙන් පෙළ ගස්වන්නට උපකාරී වූ බව සෙන් (Sen) පවසයි. එකී සත්කාරක රටවල ප්‍රමුඛ සංස්කෘති මධ්‍යයේ ඉන්දියානු අනන්‍යතාවට නැඹුරු වී කටයුතු කිරීම එම සංස්කෘතීන්ගෙන් තර්ජන ලබන්නට හේතු වූයේය. අවම වශයෙන් තමන්ගේ උපන් බිමේ හෝ හින්දු රාජධානිය පවතිනවා යයි සිතීම ඔවුන්ගේ සිතට සැනසිල්ලක් වූයේය.

 සෙන් කියන ආකාරයට 1998 සහ 1999 මැතිවරණ ජයග්‍රහණවලදී ඊන්‍ඡ අනුගමනය කළ ක්‍රියාමාර්ගය මෙයයි. ඉන්දියානු  ඉතිහාසය යෝග්‍ය ආකාරයට නැවත ලියමින් ඉන්දියානු රජයේ විවිධ අවි ආම්පන්න ක්‍රියාවේ යොදවන්නට ගත්තේය. එසේ වුව ද අතීතය නැවත නිර්මාණය කිරීමේ මෙම වික්‍රමය තවදුරටත් නිල වශයෙන් කළ යුතු නොවූයේය. (මන්ද යත්  BJP  ප්‍රමුඛ සභාගය 2004 වසන්ත කාලයේ පැවැති මැතිවරණයෙන් පරාජය වූ බැවිනි.) අතිශය ආතතියෙන් යුතු එම සිද්ධි රාශිය නැවත මතක් කර ගැනීම දෙපැත්තටම වටනේය. මන්ද යත් ඒ මගින් අපට පූජක බලය අනිසි ආකාරයෙන් යොදවන ආකාරය සහ හින්දුත්වා ව්‍යාපාරයට බුද්ධිමතුන්ගේ මුක්කු ගැසීම ගැන කරුණු හෙළි කරන බැවිනි.

ඒ ආකාරය තුළින්, බුද්ධිමතුන් අවිධිමත් ලෙස කරුණු ඒකරාශී කරමින් හින්දුන්ගේ සුපිරි බලය පිළිබඳව ලියූ පොත් වෙනුවට අලුතෙන් ඒ පිළිබඳව ලියූ පොත් කරළියට පැමිණ තිබේ.

 එසේ වුව ද  BJP  රජය ඒවාට කන් නොදී තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍රයට ඇලී ගැලී සිටින බව සෙන් පවසයි. පුරාවිද්‍යාත්මක කරුණු අලුතෙන් ගොතා කීමේ මෙහි අන්ත නරක තත්ත්වය ඉදිරියේදී මතු වීමට නියමිතය. වයඹ දිග ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හින්දු ඉතිහාසයේ වාර්තා වී ඇති යුගයට වඩා බොහෝ කලකට පෙර පැවැති බව ඒවායින් කියයි. ඉන්දු සරස්වතී ශිෂ්ටාචාරය ලෙස එය අලුතෙන් නම් කොට හින්දු ඉතිහාසය අලුතෙන් ලියා ඇත. වෛදික ග්‍රන්ථවල ලියැවී ඇති මෙලෝ නැති සරස්වතී නම් ගංගාවක් ගැන එහි කියැවේ.

තමන් කියන කරුණු සාක්ෂාත් කිරීමට ඊන්‍ඡ ප්‍රමුඛ විද්වත්හු අලුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නිර්මාණය කර ඇති බව සෙන් පවසයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන විකෘතිකර කරුණු පරිගණකගත කරමින් හින්දුත්වා ව්‍යාපාර සාධාරණීකරණය කරන්නට ඔවුන් ඉන්දියාව තුළත් පිටරටවලදීත් වෑයම් කරන බව ද සෙන් පෙන්වා දෙයි.

අහේතුක සමාජ මත නිසා ව්‍යාජ මහජන ප්‍රතිපත්ති බිහි වේ

(අනන්‍යතාව සහ ප්‍රචණ්ඩතාව) Identity and Violence කෘතියේ ප්‍රචාරකවාදීන්ගේ කටයුතු නිසා පදනමක් නැති අතාර්කික මත සමාජගත වෙන ආකාරය සෙන් පෙන්වා දෙයි. එකී පදනමක් නැති බොරු මත එවිට බොහෝ දෙනා පිළිගන්නා බව ඔහු පවසයි. එම සමාජ මත සාමූහික දේශපාලන ක්‍රියාවලීන්ට මග පාදයි. විකෘති මත, හැඟීම්බරව ක්‍රියා කරන්නන් මත පැටවීම මගින් මැතිවරණ ජයග්‍රහණ පහසුවෙන් අත්පත් කරගත හැකි වේ. දේශපාලන බලය ආරක්ෂා කරගත්විට අහේතුක සමාජ මත මහජන ප්‍රතිපත්ති බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි වේ. බැලූ බැල්මට ඒවා ව්‍යාජ බව පෙනුණ ද සංස්කෘතික ජාතිකවාදයේ නාමයෙන් සියලු ශක්තිය යොදවා සටන් කරන්නට ඒවා වැළඳ ගන්නා අය පෙළඹෙති.

ඉන්දියාවේත්, ශ්‍රී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල් රාශියක සිදුවී ඇත්තේ මෙයයි.

මහජන ප්‍රතිපත්ති මගින් කාල යන්ත්‍රය ආපස්සට කරකවා ගන්නට දේශපාලන බලධාරීන් සංස්කෘතික ජාතිකවාදය භාවිත කර තිබේ. එහෙත් එය රටකට ආශිර්වාදයක් නොවේ. යම් අයකු ආපස්සට නොයා අතීතය අතීතයටම යන්නට ඉඩ දී අනාගතය ජය ගන්නට උත්සාහ කරන්නේ නම් එය සැබැවින්ම ආශිර්වාදයකි. සෙසු ලෝකය ඉදිරියට ඇදෙද්දී වැළලී ගිය අතීතය ගොඩ නඟන්නට රටක් උත්සාහ ගැනීම ව්‍යාජ උත්සාහයකි. මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඞ් වරක් ශ්‍රී ලාංකික ව්‍යාපාර සංසදය ඉදිරියේ උපදෙස් දුන් පරිදි යමකු ඉතිහාසයේ එල්බගත යුත්තේ ඉතිහාසයෙන් පසුගිය වැරැදි හඳුනාගෙන ඒවා ආපසු නොකරන්නට උගන්වන්නේ නම් පමණකි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බුදුන් වහන්සේම, අශෝක සහ අක්බාර් අනුගමනය කිරීමට කාලයයි මේ.

 සැබැවින්ම සංස්කෘතික ජාතිකවාදය තුළින් දරුවන්ට උගන්වන්නේ අතිශයෝක්තියෙන් යුතු ජාතිකත්ව මාන්නයකි. එය වර්තමාන අවශ්‍යතා හා නොගැළපෙන ලෙස තමන්ගේ ජන වර්ගය අනෙක් වර්ගයන්ට වඩා උසස් යයි සිතා ගැන්මකි. එවැනි දැඩි මාන්නයකින් පෙළෙන්නකු හට විරුද්ධ මත දරන අන් අයගේ මත ඉවසා සිටිය නොහැකිය. ඒ මත ඔහුට අගය කළ නොහැකිය. ඒ අයගෙන් අලුත් යමක් ඔහුට ඉගෙන ගන්නට ද නොහැකිය. අමර්තය සෙන් තම The Argumentative Indian  කෘතියේ ප්‍රබල ලෙස පහත ආකාරයෙන් එය මතුකොට දක්වයි.

 සැබැවින්ම ඉන්දියාවේ බෞද්ධ අධිරාජයකු වූ අශෝක ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී අන් මත ඉවසීමේ අවශ්‍යතාව පමණක් නොව අසීමිත පොහොසත් බව ද පැහැදිලි කර පෙන්වූයේය. එසේම විවාද පැවැත්වීමේදී සහ විතර්කණයේදී අතිශය පැරැණි නීති ඉවහල් කර ගැනීම ද බැහැර කළේය. සෑම අවස්ථාවකදීම සෑම ආකාරයෙන්ම විරුද්ධවාදියාට ගරු කළ යුතු විය. එම දේශපාලන මූලධර්ම පසුකාලීන ඉන්දියාවේ බෙහෙවින් ඵල දැරුවේය. එහෙත් විවිධ ආගම්වල මතවාද ඉවසමින්, එක සමානව ඒවාට සැලකීම අතින් වඩාත් ප්‍රබල ලෙස කැපී පෙනෙන්නේ ‘අක්බාර්’ නම් ඉන්දියානු අධිරාජයාගේ සමයයි.

 සැබෑ බෞද්ධයන් බුදුන් වහන්සේගේ බ්‍රහ්මජාල සූත්‍රය අනුගමනය කළ යුතුය

බුදුන් වහන්සේ දීඝ නිකායේ, බ්‍රහ්මජාල සූත්‍රයෙන් ඇතැම් ජනයා තමන් වහන්සේට අපහාස කරනා විට කෝප නොවිය යුතු බව සංඝයා වහන්සේට දේශනා කර ඇත. එවැනි අපහාස අසන සංඝයා වහන්සේ එළඹ සිටි සිහියෙන් යුතුව අපහාස කරන්නන්ට කරුණු පහදා දිය යුතු බව එහි කියා තිබේ. එසේම බුදුන් වහන්සේ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන විට උද්දාමයට පත් නොවිය යුතුය. මැදිහත් සිතින් හා නිහතමානීව ඔවුන්  පැවැසූ ප්‍රශංසා වදන් වටිනා වග කියා දිය යුතුය. එවැනි බොහෝ පෘථග්ජනයන්ට නොමැති ගුණාංග බුදුන් වහන්සේ සතු බව ද ඔවුනට වටහා දිය යුතුය.

නානාවිධ බව ඉවසා සිටීම වඩා හොඳය

මෙම අන් මත ඉවසීමේ සහ සමානාත්මතාවේ මූලධර්ම ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවට ද අද දින එකසේ වැදගත් වේ. සංස්කෘතික ජාතිකවාදයේ රැල්ල උපමහාද්වීපය පුරාම මේ වනවිට පැතිරී යයි. කාල යන්ත්‍රය ආපසු හරවමින් අතීතය වෙත යෑමේ අරමුණ පතුරවා හරින්නෝ දෙරටේම සිටිති. සංස්කෘතික ජාතිකවාදය අතීතය යළි ගොඩ නැගීම අරමුණු කරන තාක් කල් එය නවීකරණයට දොර වසා දමයි. එබැවින් සංස්කෘතික නවීකරණය සමාජයට ආශිර්වාදයක් නොවේ. එය සමාජයට නොවැළැක්විය හැකි ශාපයක් වනු නියතය. එම නිසා සමාජයේ බහුවිධ බව නොතකන ජාතිකවාදය ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරෙක් වෙයි.

2019 ජුනි 10 Daily FT පුවත්පතට ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ලියූ Nationalism Helps Democracy to Survive, but only up to limit  ලිපිය පරිවර්තනය කළේ

සමන් පුෂ්ප ලියනගේ

One Response to “ජාතිකවාදය ශාපයක්ද? ආශිර්වාදයක්ද?”

  1. Christie Says:

    Hinduthwa managed to divide the Sinhalese in 1951 by getting hold of Banda.

    That was the start of the Genocide of Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress